සසල පතිනී🌹-16 කොටස

අම්මා…මං ටවුන් එකට ගිහින් එන්නද?

සන්ජනා විශාකා අසලට ගියේ සිතත් සමග පුදුම තරමේ සටනකින් අනතුරුවය.මලින්ද රාජකාරියට ගොස් ඇත.තුසාරා ද නිවසේ නැත.අද සවස විශ්ව විද්‍යාලයේ සිට තුසර මල්ලී එන නිසා අම්මා වැලි තලප සාදන්නීය.තුසර නිවසට එන්නේ කලාතුරකිනි.

ඒ මොකෝ හදිසියේ..

මට බඩු වගයක් ගන්න තියෙනවා අම්මා.අනික කම්මැලියි

පුතාට කීවද

ඔ..ඔව් අම්මා..

එහෙනම් ගිහින් ඉක්මණට එන්න.දුව එනකොට රුළං පිටි පැකට් එකකුත් ගේනවද? පොඩි පුතා ආසයි රුළං අලුවා කන්න..ගෙනියන්නත් එක්ක හදලා තියන්න පුළුවන්නෙ ..

හා අම්මා..

මේ කරන්නේ බරපතල වරදකි..ඔව්..සන්ජනා එය දනී..එහෙත් අසින්තට කරුණු පහදා දිය යුතුය..තමන්ට අසම්මත බැදීමක සිරවිය නොහැක..මලින්ද දයාබර සැමියෙකි.ඔහුට පිටුපෑමට නොහැකි බව දැන් දැන් සන්ජනාට දැනේ..

එහෙත් ඇගේ සිත අසින්ත කෙරෙහි දැඩි අනුකම්පාවකින් පිරී යයි.මුල සිටම ඇයට අසින්ත පිළිබද තිබුණේ අනුකම්පාවකි. සැබවින්ම ඇය එය ආදරය බව වරදවා වටහා ගෙන තිබුණි..අදද තත්වය එසේමය

අනේ අසින්ත මං ඔයාට හරි ආදරෙයි..ඒත් දැන් මං බැදලා ..මලින්ද මට වෙනස්කමක් කරන් නෑ..මං කොහොමද එයාට ද්‍රෝහි වෙන්නෙ..ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි..

සන්ජනා සිය සිතටම ඒත්තු ගන්වන්නට උත්සාහ කරයි.

~~~~~®uwani Liyangolla~~~~~~

දහවල් විවේකය තුල මලින්දට නිදහසක් ලැබුනි. අද සවස ප්‍රසංගයක් තිබෙන බවට වූ දැන්වීම් ඔහු දුටුවේ උදෑසන එන අතරතුරේය

.

සන්ජනා පව්..ගෙදරට වෙලාමනෙ ඉන්නෙ..අද හවස එක්ක යන්න ඕනෙ

මලින්ද දුරකථනය අතට ගත්තේ සතුටිනි..නිවසේ දුරකථනය නාදවිය.

අම්මා..කොයි සන්ජනා

සන්ජනා තාම ආවෙ නෑ පුතා

මලින්ද ගැස්සුණි..

ඇ..ඇයි..කොහෙ ගිහින්ද?

ඇයි පුතේ බඩු වගයක් ගන්න තියෙනවා කියලා ටවුන් එකට ගියේ..පුතාට කීවෙ නැද්ද..මං අහද්දි කීවා කිව්වනෙ.

මලින්ද තුෂ්ණිම්භූත විය..එහෙත් ඔහු වහා සිත පාලනය කරගත්තේය.

ආ..ඔ..ඔව් අම්මා..මට මතක නැති වුණා..කීවා තමා..කීයට විතරද ගියේ අම්මා..

දහයට කිට්ටු ඇති එතකොට..

දැන් නම් එන්න වෙලා..

එයා එයි අම්මා..

මං වැලි තලප හදනවා ..තුසර එනවා අද

අහ්.ඒක හොදයි

මලින්ද දුරකථනය විසන්ධි කර එදෙස බලා සිටියේ පුදුමයෙනි..ඈ කොහි ගියාද?එතැන් පටන් ඔහුට කාර්යාලයේ කටයුතු කිරීමට තරම් නිරවුල් මනසක් නොවිණි.ඔහුගේ සිතම අවුල් ජාලාවක් වී තිබුණි.

🌹🌹🌹🌹🌹

සන්ජනා..මං දැනගෙන හිටියා ඔයා එයි කියලා

සන්ජනා බියෙන් වටපිට බලන්නීය.

..සන්ජනා අපි නිදහස් තැනකට ගිහින් කතා කරමු..

අනේ මට බෑ අසින්ත

මොකද ළමයො මේ බයවෙලා..මං පිට කෙනෙක්ද

ඩෙනිම් කලිසමකට රෝස පැහැ දිගු බ්ලවුස් එකක් ඇදි යුවතිය දෙස බලද්දී අසින්තගේ දෑස විකසිත වේ..

එන්නකො..

අසින්ත ඇගේ සුරත ඇල්ලීමට ගියත් සන්ජනා වහා පසුපසට විය..

ප්ලීස් ඩෝන්ට් ටච් මී..

ඕ..ඕකේ සන්ජනා..මං අල්ලන් නෑ..එන්නකො අර වීල් එකට යමු.. කොහෙට හරි ගිහින් කතා කරමු..

අනේ බෑ අසින්ත..අර අතන ජූස් බාර් එක හොදයි..එතැනට යමු..

අසින්තට කෝපයක් නැගුනත් ඔහු එය පාලනය කරගත්තේ ඈ දිනාගත යුත්තේ වෛරයෙන් නොව ආදරයෙන් බව දන්නා නිසාය.

හිද ගත් වේලේ සිට සන්ජනා සිටියේ ගිනිකන්දක් උඩ සිටිනා අයුරිනි..ඈ විමසිල්ලෙන් වටපිට බලයි. ඇගේ දෑස සැලේ..

සන්ජනා..

අසින්ත මං කියන්න ආවෙ..ආයෙ ඔයා අපේ ගෙදර එන්න එපා..ප්ලීස්

මොකද්ද ?අපේ ගෙදර… කාගෙද?

මං කීවෙ මලින්දගෙ ගෙදර

සන්ජනා ඔයාමද මේ

අසින්ත තේරුම් ගන්න..මං මලින්දගෙ වයිෆ් දැන්..එයා මේවා දැනගත්තොත් මොනවා වෙයිද?

එයා ළග ඔයා සතුටින්ද ආ.

ඔව්..

බොරු..ඔයා ආදරේ මට..

මට වැරදි දේවල් කරන්න බෑ අසින්ත..ඔව් මං ඔයාට තාම ආදරෙයි..ඒත් මට එයාට ද්‍රෝහි වෙන්න බෑ

එතකොට මට..මට මොකද වෙන්නෙ..

අසින්ත ප්ලීස්..මට වද දෙන්න එපා..

සන්ජනා…ඔයා එන්නම ඕනෙ මා එක්ක..මට කසාද වැඩක් නෑ..ඔය කොලේක අත්සනක් දැම්මට මට ඒවා අදාල නෑ..

ඇයි ඔයා කලින් මාව එක්ක නොගියේ..

අසරණකමට සන්ජනා..ඒත් මං දැන් එහෙම අසරණ නෑ.මට ඔයාව මලක් වගේ බලා ගන්න පුළුවන්

අසින්ත දැන් මං වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි

ඔයා මොන තත්වෙ හිටියත් මට ප්‍රශ්නයක් නෑ සන්ජනා..ඔයා ප්‍රෙග්නන්ට් වෙලා හිටියත් මං ඔයාට ආදරෙයි..ඔයාගෙ දරුවටත් ආදරෙයි…මගෙ ආදරේ වෙනස් වෙන් නෑ මැණික.

සන්ජනාගේ දෑස කදුලින් බරවී ඇත..

ඇගේ සන්වේදී ආදරේ..මෙය නොවේද?

අනේ අසින්ත..

ප්ලීස් සන්ජනා..ලබන සතියෙ මං රට යනවා..සිකුරාදා රෑ ෆ්ලයිට් එකේ..ඔයා මා එක්ක යන්න එන්න ඕනෙ.

අනේ

ඔයා එන්නම ඕනෙ සන්ජනා..ඔයා නාවොත් මං රට යන් නෑ..ඒත් මේ ලෝකෙන් සදහටම යන්නම යනවා..

මොනවද කියන්නෙ අසින්ත.

ඔව් ඔයාගෙ  නමින් දිව්රනවා සන්ජනා..ඔයාට බලන්න වෙන්නෙ මගෙ මිනිය.ඔයා උදේ දහය වෙද්දි මෙතෙන්න නාවොත් වෙන්නෙ ඒක.

පිස්සුද ඔයාට

මලින්ද ඔයාට වද දෙනවා කියලා මං දන්නවා..ඌ මහ ජරා යකෙක්

අසින්ත..කට වහ ගන්න..මලින්ද එහෙම නෑ..එයා ගොඩක් හොදයි..

ඇත්තට ..සල්ලි  වලට කෙල්ලො වෙනස් වෙනවා කියලා අහලා තිබුණට දැන් තමා ඒක ඇත්ත කියලා තේරුණේ..

අසින්ත..මලින්දට බනින්න එපා..එයා ..එයා…මට

ඉතිං..

මට ආදරෙයි..

සන්ජනා දෑස පියාගත්තීය..ඔව් ඔහු තමන්ට ආදරේ බව ඇයට දැනේ..ඔහු එය නිතර කියයි..හැම ගැටළුවකදීම තමන්ව බේරාගන්නේ පුදුම ලෙසය..තමන්ව රැකගන්නේ මලක් ලෙසය..ඔහු සිය කම්මුල් සිපගන්නේ පරෙස්සමටය.මෙතෙක් ඔහු තමන්ට කරදරයක් කර නැත.

🌹🌹🌹🌹🌹🌹

මලින්ද සිටියේ උමතුවෙන් මෙනි..විනාඩි කිහිපයකට පෙර නොදන්නා අංකයකින් දුරකථනයට පැමිණි ඡායාරූප..සන්ජනා තරුණයෙකු සමග කතාබහ කරන අයුරු..

හෝටලයක මේසයක් අසල ඉදගෙන සිටිනා අයුරු.තරුණයාගේ රුව ..ඒ දුෂාන් බව අදුනා ගැනීමට ඔහුට අපහසු නොවිණි..එහෙත් සන්ජනා රෙහන්සාගේ රියදුරු සමග කතා බහ කරන්නේ මොනවාද?

මලින්දට යක්ෂාවේශ වී තිබුණි.දැන් පය සනීප නිසා තාත්තා පැමිණෙන්නේ නැත.අද මලින්ද කාරය රැගෙන ආවේද අපහසුවෙනි..කීප වරක්ම තිරිංග තද කර හැප්පීමට ගිය අවස්ථා වල නූලෙන් බේරුණි..ඇය තමන් රවටා ඇත.මලින්ද සිටියේ  අව්ල්ව ගිය මනසෙනි..ඈ නිකමට හෝ පිටතට යන බව තමන්ට දැන්වූවේ නැත..

සන්ජනා ඇද මත වැතිර සිටිටේ තෝන්තු වී ගිය සිතෙනි. අසින්ත ඇගේ හිස වටා භ්‍රමණය වේ.. රුළං පාර්සලේ  ගැනීමටත් තමන්ට අමතක විය..අම්මා එයට බොහෝ සේ දොස් තබනු ඇයට ඇසුණි.. ඒ මදිවාට ලොකු නැන්දා සවස පැමිණ විමසූ කාරුණය සන්ජනා මහත් භීතියට පත් කර ඇත.

මොකද ළමයො තවම නැද්ද වෙනසක් ..

ඒ කීවෙ නැන්දෙ..

මං ඇහැවෙ දරුවෙක් ගැන..සුභ ආරංචියක් දෙන්නෙ නැද්ද

ලොකු නැන්දාගේ මුහුණේ ඇත්තවෙිමසුම් බැල්මකි..

මේ..මේ…තාම නෑ නැන්දේ

ඕවා කල් දාලා හරියනවද?ලොකු පුතාගෙ වයසත් යනවනෙ..කොල්ලා පොඩි එවුන්ට හරි ආදරෙයි..

සන්ජනා එවේලේ ඈ මග හැර ගියේ පිළිතුරක් ලබා නොදීය..කල්පනාගේ නිමග්නව සිටි ඇයට මලින්ද කාමරයට පැමිණි බව වත් වගක් නොවිණි.

මලින්ද දොර වසා ඇය අසලට පැමිණියේ කමිසයේ අත්දෙක නමමිනි..ඔහු පැමිණි විට ඇය වහා ඇදෙන් නැගී සිටියාය.

මලින්දගේ දෑස රතු වී ඇත.ඔහු ඉනට අත්දෙක තබාගෙන තමන් දෙස බලා සිටිනු දකිනු විට සන්ජනා ගැහෙන්නට විය..ඔහු තමන් ගිය බව දැනගෙනද?

කවුද ඌ..සන්ජනා කවුද ඌ

මලින්ද ගුගුරයි.. සන්ජනා භීතියෙන් ගැහෙන්නේ ඔහුගේ මෙවන් රුදුරු ස්වරූපයක් ඈ දැක නොතිබූ බැවිනි..ඔහු සැබෑවටම කෝප වී ඇත.

ක්..කවුද?

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!