කොහොමද ගර්ල් ෆ්‍රෙන්ඩ්..දැක්කම පිස්සු හැදෙනවා නේද?ආ..
රෙහන්සා රියදුරු අසුනේ සිටින අසින්ත දෙස බැලුවේ කට කොනින් සිනහ වෙමිනි..
මැ..මැඩම් මොනවා කියනවද මන්දා..මට හිතා ගන්න බැරිවුණා..මැඩම් නිකමටවත් මට කීවෙ නෑනේ
ඒවා සර්ප්‍රයිස් හලෝ
රෙහන්සා සිටියේ ප්‍රීතියෙනි.මලින්ද දුටු විට තම සිතට මෙතරම් සතුටක් දැනෙන්නේ ඇයි..
ඉතිං ඉතිං..සන්ජනා මොනවද කීවෙ
මොකුත් කීවෙ නෑ මැඩම්..වචනයක්වත් කතා කලේ නෑ..බය වෙලා ගෙට දිව්වා..
ෂොක් වෙන්න ඇති… ඊළග පාර කතා කරයි..
එ….ඒ..කියන්නෙ අපි ආයෙ මෙහෙ එනවද මැඩම්..
ඔව් අසින්ත..ඇයි කැමති නැද්ද
මොනවා අහනවද මැඩම්..එකෙන්ම කැමතියි.මල් හතයි.
අසින්ත ඔහුට සුපුරුදු රස්තියාදුකාර භාෂාවෙන්ම පිළිතුරු බැන්දේය.
මං සන්ජනාට කීවේ ඔයා මගෙ ඩ්‍රයිවර් දුෂාන් කියලා.. එයා ඉස්සරහදි මං ඔයාට කතා කරන්නෙ දුෂාන් කියලා..මං දන්නෙ නෑ ඔයා එයාගෙ අසින්ත බව..හරිද? මගෙ ප්ලෑන් එකට වැඩ කලොත් අසින්ත ඔයා ගොඩ..
ඒත් මැඩම් කීවේ මැඩම්ව එව්වෙ සන්ජනා කියලනෙ..
අසින්ත තමුන්ට මගෙන් ප්‍රශ්න කරන්න බෑ හරිද?
මැඩම් කියන දෙයක් මැඩම්..මැඩම් මට කලේ කවුරුවත් නොකරන උදව්..මට ඉන්න ඇනෙක්ස් එකක් අරං දුන්නා..මට සල්ලි දුන්නා ..රස්සාවක් දුන්නා..මැඩම් වෙනුවෙන් මං අපායට වුණත් යනවා..
ගුඩ් බෝයි..බට් මං ඔයාව යවන්නෙ හෙවන් එකට ඕ යස්..දැන් මට ක්ලබ් යන්න ඕනෙ..මට වෙරි වැඩි වුණොත් ගිහින් මාලාව එක්ක එන්න..අද නම් මාර හැපි..
හරි මැඩම්..
රෙහන්සාට ඇගේ සුපුරුදු චර්යාවන් ගෙන් මිදිය නොහැක..මලින්ද තමන්ව ප්‍රතික්ෂේප කලේ මෙම හේතූන් නිසා බවද ඈ දනී..එහෙත් ඈ ඒවා වෙනස් කර ගැන්මට එදා සේම අදද එකග නැත.
🌹🌹🌹🌹🌹
මලින්ද සන්ජනාගේ කන්පෙත්තක් මත දෙතොල් තැබුවේය.අසින්ත ගැන කල්පනාවේ නිමන්ගව සිටි ඇය සැනෙකින් මලින්ද දෙස බලා ඉවතට හැරුණි.
බිත්ති ඔරලෝසුව ටික් ටික හඩින් වේලාව රාත්‍රී නවය හමාර සටහන් කර ඇත.ඇගේ සිතිවිලි මලින්ද හදුනන්නේ නැත.ඔහු සෙමින් ඇගේ උරහිසක් සිපගනී.
සන්ජනා ඔහුගෙන් ඈත් වී යහනේ කෙළවරට වන්නීය.ඔහු දනී..රෙහන්සා නිසා ඇය යම් වැරදි වැටහීමකට පැමිණ ඇති බව ඔහු සිතයි.රෙහන්සා පැමිණ ගිය මොහොතේ සිට සන්ජනාගේ යම් වෙනසක් ඇත.මලින්ද සිතන්නේ ඈ මේ වෙනස් වී ඇත්තේ රෙහන්සා නිසා බවයි..එහෙත් ඇගේ සිත පුරා මැවෙන්නේ අසින්තගේ රුව බව නොදන් මලින්ද සෙමෙන් ඇගේ කෙහෙරැලි ඉවත් කර ගෙල සිපගනී
සන්ජනා..ඇයි මේ..ම්…
මට නිදිමතයි..
ඉතිං වෙනදට නිදන්නෙ ඔහොමද..ආ
ඇ..ඇයි..
එන්න
ඔහු ඈ හිස සිය පපුතුර මතට ගත්තේය
මං දන්නවා..ඔයා හිතන්නේ කවුරු ගැනද කියලා.
සන්ජනාගේ හිත ගැස්සුණි..අසින්ත පැමිණි බව ඔහු දැනගෙනද?
සන්ජනා..මං මිස් රෙහන්සා ආශ්‍රය කරන්න කැමති නෑ පොඩ්ඩක්වත්..ඒත් එයා මගෙ බොස්ගෙ දුව..මගෙ ජොබ් එක මට ගොඩක් වටිනවා. ඒ නිසා මට එයාව තරහා කරගෙන බෑ..මං දන්නවා එයා හැසිරෙන්නෙ ගෑණු ළමයෙක්ට සුදුසු විදිහකට නෙවෙයි..
ඒ එයාගෙ සමාජෙ හැටි.
සන්ජනාට සැනසීමක් දැනුනි..
හ්ම්..
මගෙ ජීවිතේ මගෙ ආදරේ ඔයා විතරයි..ඒක කිසිම විදිහකින් වෙනස් වෙන්නෙ නෑ..ඔයා මට ආදරේ නොකළට මං හැමදාම ඔයාට ආදරෙයි.
හ්ම්..
මගෙ වයිෆ් හැමදාටම ඔයා
හ්ම්
බකමුණී.
ඔහු සෙමෙන් ඇයට කිති කැව්වේ ඇයව හිනැස්සීමටයි
අනේ..හී..හී..එප්පා…..
සිනහවෙන් වැසෙන හිත රැදි රහස් ඔහුට පෙනෙන්නේ නැත.
මට හොදටම හොද වුණාම අපි නුවරඑලි යමු..
ඇයි..
හනිමුන් එකට ..බොස් කොහොමත් ලීව් ඇපෘෘ කරලා තියෙන්නෙ..
සන්ජනා ඇසි පියන් සලමින් ඇස් බෝල එහෙ මෙහෙ කරන්නීය.
මොකද අහක බලන්නෙ..
පිස්සු ඔයාට
පිස්සුව හොද වෙනවා එතකොට..
ඔයා මහ හොද නෑ දැන්..ඕනෙ නැති ඒවා කියවන්නෙ..
මොනවද?
ඔය..මං තරහයි..
ඇය කෝඩුකාර පෙම්වතිය වී ඇත.මලින්ද සෙමෙන් ඇගේ රෝස කම්මුලක් පිරිමදියි..
ඔහු ඈ මතට නැඹුරු වීමට උත්සහ කරයි..
ඔය දැන් අයෙත් කකුල මොනවාහරි කරගන්නවා ඉතිං..නටන් නැතුව ඉන්නකො..යාන්තම් හොද වෙනකොට දගලනවා..
ඈ සැර කරන්නේ මලින්ද දෙසට තරවටු බැල්මක් හෙලමිනි.
මට හොදයි දැන්
එහෙනම් ඇයි බෙහෙත් බැදගෙන ඉන්නෙ..නිදන්න දැන්..හ්ම්..
හරි සුදු නෝනා. මං කීකරු හස්බන්ඩ්නෙ.. නිදන්නම්..
ඈ ඔහු ළය මතදීම දෑස පියාගන්නීය.ඒ ළයේ උණුසුම සැනසුමකි..එහෙත් තම සිතේ ගින්දර..
සන්ජනා තැවෙන්නී..අසින්ත පැමිණියේ ඇයි..රෙහන්සා සිතා මතා ඔහු කැටුව ආවේද?..එහෙත් ඇය ඔහු ඇමතුවේ දුෂාන් ලෙසයි..සන්ජනා පැටලී ඇත.මලින්දට නින්ද ගොස් ඇත..ඔහුගේ ළය රිද්මයානුකූලව උස්පහත් වේ..ඔහු ආදරණීය සැමියෙකි. දැන් දැන්..විටෙක සිත සොයන්නේ ඔහුවමයි.
එහෙත් අසින්ත..ඇගේ සිත සසලය..හෙට දිනය අවිනිශ්චිතය..අසින්ත තමා සොයා විත් ඇත..එහෙත් ඇගේ හද ගැහේ..තමන් සසල පතිනියකි..තම සිත එවර දෙදෙනා අතර දෝලනය වන බව ඇයට හැගේ..
~~~~~~~®uwani LIYANGOLLA~~~~~~
සන්ජනා මලින්දගේ ටයි ගැටය සකසයි..අද ඔහු රාජකාරියට යාමට සැරසේ..එහෙත් තවම රිය හසුරුවන්නට අපහසු බැවින් තාත්තා ඔහු රැගෙන යන බව දන්වා ඇත.
මොකද කරන්නෙ ඔය
සන්ජනා ඇගේ බද පිරිමදින ඔහුගේ සුරතට පහරක් ගැසුවාය.
මලින්ද ඇහැකින් ඉගි කලේ අමුතු බැල්මකිනි.
දගලන් නැතිව ඉන්නවද..තාත්තා හෝන් කරනවා ආන්..
දාලා යන්න හිතෙන්නෙ නෑ..සති දෙක තුනක් හිටියනෙ ළගටම වෙලා..
හරි ෂෝක් එතකොට.ජොබ් එක කරන්නෙ කවුද එතකොට.
මං එනකල් පරෙස්සමට ඉන්නවා හරිද? ගස් නැගලා එහෙම අහුවෙන්න එපා..
නපුරු මලින්ද..හිතුණොත් නගිනවා මං..
මොකද්ද කිව්වෙ..වේවැල් පාරක් ඕනෙද?
වේවැලක් තියෙන්න එපැයි ගහන්න
සන්ජනාට කියැවුණේ ඉබේමය.
මොකද්ද
අහ් ..නෑ… මේ..අර
එවර සන්ජනා වටපිට බලමින් පිළිතුරක් සොයයි..
වේවැල කොයි..
ද..දන් නෑ..මං..
සන්ජනා..ඇත්ත කියනවා වේවැල විසික් කළා නේද
නෑ නෑ විසික් කලේ නෑ..ඒක මං ලිපට දැම්මා
මොකක්
හීහී..
සන්ජනා දත් පෙන්නමින් මෝඩ පාටට සිනහා වෙයි..
තමුසෙ නම් මහ කපටි අම්මණ්ඩි කෙනෙක්..ඒත් මෝඩ නිසා ඔක්කොම කියවනවා..
මං මෝඩයිද?ඔයා හරි උගත්නෙ..ඔයාගෙ උගත්කමට ගැලපෙන කැම්පස් ගියපු නෝනා කෙනෙක් බැදගන්න එපැයි..මොකටද මං වගේ මෝඩියක්ව බැන්දෙ
සන්ජනා නැවතත් සුපුරුදු මාදිලියට පැමිණ ඇත. ඈ ඔහු සමග වාද කරයි.
ගුටියක් දීලා හරි හදා ගන්න පුළුවන්නෙ ඒකයි..
ඔහු කියන්නේ ඇගේ නාසය මිරිකමිනි..
තාත්තාට තරහා යයි ..යන්න දැන්..
සිය කම්මුල් සිපගන්නා මලින්දට සන්ජනා කියන්නේ කෝල ලෙසයි..එහෙත් ඔහු යන පාටක් නැත.සන්ජනා බලෙන්ම ඔහුව කාමරෙන් පිටතට තල්ලු කළාය.
🌹🌹🌹🌹🌹
මලින්ද දවසම කාර්ය බහුලය .මගහැරුණු රාජකාරි බොහොමයකි..සන්ජනාට කතා කිරීමට සිතා සිටියද ඔහුට ඉස්පාසුවක් නොවිණි.තවමත් විටෙන් විට පය රිදුම් දේ..එහෙත් මලින්ද දැන් සිටින්නේ සතුටිනි..සිය කෝමල බිරිද දැන් ටිකෙන් ටික තමන්ට ළංවේ..
ඈ ගැන සිතන හැම විටම ඔහු හද මිහිරකින් පිරී යයි..ඇයට සෑහෙන කාලයකින් යම් ත්‍යාගයක් ලබා දීමට නොහැකි විණි.යමක් දිය යුතුය.හිතට එන්නේම කෑම වර්ගය..ඈ විටෙක ළදැරියක සේය..ලොකු නැන්දා එදා ගෙනවිත් තිබූ වැලි තලප පාර්සලයෙන් භාගයක්ම කෑවේ ඇය බව ඔහු දනී..
🌹🌹🌹🌹🌹
සන්ජනා තුසාරා සමග බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙයි..ගෙමිදුලේ දෙන්නා සතුටින් උඩපනියි..මලින්ද තවම නිවසට පැමිණ නැත.
අක්කී..අර එන්නෙ රෙහන්සාගෙ කාර් එක නේද?
තුසාරා කෑ ගහැවේ රථය අදුනාගෙනය.එහෙත් සන්ජනාට ඒ ගැන මතකයක් නැත.
අපෝ..මළ විකාරයක්..අද මොකද දන්නෑ..අයියත් නෑනෙ.
සන්ජනාගේ සිතිවිලි නතරවූ සෙයකි.. නැවැත්වූ රියෙන් රෙහන්සා බැස්සේ මල් මල් හිනා අහුරක් සමගය.
හායි කෙල්ලනේ..ශෝක් සෙල්ලම
මොකද අද..අයියා නම් නෑ..
අයියෝ මලින්ද තව නැද්ද..කමක් නෑ මං ආවෙ තුසාරාව මීට් වෙන්න ..එන්නකො අපි ඇතුලට යමුකො බඩුවක් කියන්න තියෙනවා..
රෙහන්සා තුසාරා ඇදගෙන මෙන් ගේ තුලට ගියේ සන්ජනා තුෂ්ණිම්භූතව බලා සිටින විටයි..ඒ සමගම රියදුරු අසුනෙන් බට අසින්ත ඈ අසලට පැමිණියේ සන්ජනා කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණ වෙද්දීය
ඊලග කොටසට—
©රුවනි ලියන්ගොල්ල©