සසල පතිනී🌹-10 කොටස

මට එපා..ඔයාව එපා..මං කැමති නෑ

තමන් මානව සම්පත් කළමනාකරුවෙකි..දක්ෂ නිලධාරියෙකි..එහෙත් තමන්ට තමන්ගේ බිරිද කළමනාකරණය කරගත නොහැක..

මෙය ඇතැම් විට පොදු ගැටළුවකි.. රාජකාරිය පුද්ගලික ජීවිතය..අතර මිනිසෙකු දෝලනය වේ..මලින්දගේ හිස බරවී ඇත..මේ ගැටළුව යහලුවන් සමග කතා කිරීමටද මලින්ද අකමැතිය..

මිතුරන් තමන්ට සිනහා වෙනු ඇත.බලෙන් ඈ නතු කර ගැනීමට මලින්ද කැමති නැත..ඈ තම සිතට සතුටක් සැනසීමක් දෙන්නේම නැත.

ඊයේ රාත්‍රියේ  ඈ දරුණු ලෙස තමන්ව ප්‍රතික්ෂේප කළාය.ඇයට අසින්ත පිළිබද මේ තරම් දැඩි බැදීමක් තිබීමට යම්කිසි හේතුවක් තිබිය යුතුමය..මංගල රාත්‍රියේ  ඈ කීවේ බොරුවක්ද?අසින්තගේන් ඇයට යම් කරදරයක් සිදුව ඇතිද? එයට බියෙන් ඇය මෙලෙස හැසිරෙනු ඇතිද?

මලින්ද විධායක පුටුවට හේත්තු වී දෑස පියාගත්තේය..නළලත තදින් රිදුම් දේ..

~~~~~~~~®uwani Liyangolla~~~~~~

තුසාරාගෙන් දැනගත් පිරිදි මලින්ද සන්ජනාගේ මිතුරියගේ නිවසට සවස හතර වන විට ගියේ සන්ජනා රැගෙන ඒමටයි. ඔහු හෝන් කළ විට  සන්ජනා මිතුරිය සමගම එළියට බැස්සේ මුහුණේ සිනහව උතුරවමිනි.

ඈ අතින් කටින් දහවල් මිලදී ගත් ඇදුම් බෑග් එල්ලා ගෙනය.ඈ සතුටිනි… බොහෝ සතුටිනි..මලින්ද කාරයේ සිටම ඈ දෙස බලාසිටියේය..

හායි අයියා..ඔන්න අපි වයිෆ්ට හොදට සැලකුවා…කම්මැලි වෙලාවට මෙහෙ ගෙනත් දාන්න…මාත් ඉන්නෙ පාළුවෙන්නෙ

මිතුරිය මලින්ද දෙසට නැමී කියයි

හරි නංගා.. අපි යන්නම්..

ඕකේ බායි..

සන්ජනා හැරි හැරී සිය මිතුරියට අත වනයි..

මලින්ද නිහඩව රිය පදවයි..සන්ජනා වරින් වර හොරෙන් ඔහු දෙස බලයි….රෙදි මලු පිටුපස අසුනට දමද්දි පිටුපස අසුනේ තිබූ ෂොපින් මල්ල ඇයට මතක් විය..

ඇය සෙමින් හැරී ඒ දෙස බැලුවේ හිතේ අති වූ සැකයකයි..ඔව්..ඒ ජෑම් පේර මල්ලකි..ඈ සිතුවා නිවැරදිය..මලින්ද මෙසේ කරන්නේ ඇයි

. විටෙක ඇගේ සිත සසල වේ..කියාගන්මට නොහැකි අමුතුම හැගීමක් හිත ඇතුලේ දළුලනු දැනේ.. එහෙත් අසින්ත මහා වෘක්ෂයක්ව මුළු සිතම වසාගෙන සිටී..

සන්ජනාගේ දෑස පිටුපස අසුනට වරින් වර යොමු වන්නේ ඇයිදැයි මලින්ද දනී.. ඈට දොළ දුකක් සෑදුණු කාලයක කොහොම කෑම සොයා දීමට සිදුවේදැයි ඔහුට නිකමට සිතුනි..මලින්දගේ මුහුණේ ඇදුනේ මද සිනහවකි..

ඒ ඔහු දකින සුන්දර සිහිනයකි..සන්ජනා අතේ  නිල් පැහැ ඇදුමක් ඇන්දවූ චූටි පුතු හිනැහෙයි..

රෝස පැහැ ගවුමකින් සැරසී සුරතල් දුව මලින්දගේ අතේ සිට ඔහුගේ කනට නිවනක් නොදෙමින් යමක් විස්තර කරයි..

ඒ හීන හදවතට බර වැඩිය..මලින්ද ගැ‍ඹුරු හුස්මක් හෙලුවේය.

මේ ඇහුණද?  අර එදා අපි කෑවෙ තෝසෙ..ඒ කඩේ ළගින් නතර කරනවද..තෝසෙ අරං යමුද ගෙදර..අම්මලාටත් එක්ක..මං ආච්චි එක්ක කීවා තෝසෙ කාපු එක ගැන..ආච්චි කිව්වා දවසක  එයාටත් ගෙනත් දෙන්න කියලා

මලින්ද එහෙත් නෑසුන් කන්ව සිටී..ඇය මෙසේ තම පවුලේ අයට ළංවීම ඔහුට සැනසීමකි..

සන්ජනා මලින්ද දෙස හොරැහින් බලන්නේ මලින්දට ඈ නොදැනේ යැයි සිතාය..එහෙත් මලින්ද දැන් අපූරුවට සිය බිරිද පිළිබද ගතු දනී.

තරහා නම් කැමති මම..කතා කරන්න එපා නම් කතා කරන්න එපා කියන්න…තනියම කියවන්න මට පිස්සු නෑ..

මලින්ද දුරකථනය අතට ගෙන ඇමතුමක් ගත්තේ නිවසටයි..

අම්මා..අද උයන්න එපා..අපි එද්දි තෝසෙ ගේනවා..ආච්චිට කන්න ආසයිලු..

සන්ජනා ඔහු දෙස එවර බලා සිටින්නේ පුදුමයෙනි..ඔහුගේ කෝපය අඩුවී නැතිද?

ඔයා ඔච්චර ආඩම්බර මොකද මලින්ද..මගෙ එක්ක කතා කළා නම් ඔය කට ගෙවෙනවද?එක අතකට මං කවුද..ඔයා මගෙන් පළිගන්නෙ ඇයි? මං කොච්චර දුකින්ද ඉන්නෙ කියලා තේරෙන්නෙ නෑ ඔයාට..මං තනිවෙලා ..හොදටම තනිවෙලා..මට කවුරුවත් නෑ..

මලින්ද එවර ඈ දෙස බැලුවේය..

සන්ජනා..තමුන් විහින්  මවා ගෙන හිතාගත්තු දේවල් වලට මට කරන්න දෙයක් නෑ..

ඔයා  තරහා වෙලා ඉන්නෙ ඇයි කියලා දන්නවා මං

ඇයි

ඊයෙ රෑ..මේ ..මං..

ඉතිං

ඔයා..දන්නවා මං කියන දේ..

නෑ මං දන් නෑ

බොරු..ඔයත් අනිත් පිරිමි වගේම තමයි..බොරුවට ආදරේ කියලා ළං වෙන්නේ ආසාවට..

සන්ජනා..තමුසෙ මං ගැන එහෙම හිතුවට මට කරන්න දෙයක් නෑ..ඔව් මං තමුසෙට ආසයි..දැන් හරිනෙ..ඊයෙ රෑ මට කළකිරුණා තමුන් ගැන හොදටම..ඒත් තමුන් එහෙම මගෙන් ඈත් වෙන්න හදන්නෙ මොනවාහරි හේතුවකටද කියලා මට හිතෙනවා..තමුන් එදා කිව්වෙ බොරු වෙන්නත් පුළුවන්නෙ..බය මොකද ඔය හැටි..

මොනවද ඔයා කියන්න හදන්නෙ මලින්ද?

මලින්දගේ හිත එවර කෝපයෙන් පිරුණි

තමුසෙ ඇත්ත කියනවා සන්ජනා..අසින්ත තමුසෙව රැවැට්ටුවාද?තමුසෙට කරදරයක් කළාද?

පව් කතා කියන්න එපා මලින්ද

ඔයා වගේ නෙවෙයි මගෙ අසින්ත

සන්ජනා.මගෙ ඔලුව විකර කරන්න එපා..ඩ්‍රයිව් කරන්න බැරි වෙයි මට..

ඉහි ඉහි..ඔයා ඇයි ඔහොම කියන්නෙ..හරි ඔයා කැමති දෙයක් කරන්න..මං පාඩුවෙ  ඉන්නම්..එතකොට හරිනෙ..ඔයාට ඕනෙ ඒකනෙ

සන්ජනා..ඔයා  හිතන ජාතියෙ මිනිහෙක් නෙවෙයි මං..මට බලෙන්  ඔයාට ළං වෙන්න ඕනෙ නෑ..

මලින්ද කඩේ අසල කාරය නැවැත්තුවේ ඒ මොහොතේය..එහෙත් කඩය තිබුනේ පාරේ එහා පසිනි.

මං තෝසෙ අරං එන්නම්..

එපා එපා..ඔයා ඉන්න මං යන්නම්..මංනෙ   කීවෙ ඕනෙ කියලා

ඔහොම ඉන්න සන්ජනා..ඔයා තනියම ඒවගෙ රිංගන්න යන්න ඕනෙ නෑ..මං ගේන්නම්

එහෙත් සන්ජනාගේ මුරණ්ඩු ගති පැවතුම් ඉස්මතුවේ..ඇය මිටින් හල කිරිල්ලියක සේ කාරයෙන් බැස දිවයන්නීය..ඈ අපරික්ෂාකාරී ලෙස පාර මාරු වනු ඔහු බලාගෙනය..

ෂිට් මේ කෙල්ල නම්..

මලින්ද සීට් බෙල්ට් ගලවා කාරයේ දොර හැරියේය..ඔහු  ද සන්ජනා පසුපස පාර මාරු වී කඩයට ඇතුලු වූවේය.

.ඇයි ඔයා ආවෙ..මං ගේනවනේ..

මලින්ද ඈට රවා කෑම පාර්සලයට මුදල් ගෙව්වේය.ඒ සමගම පාර්සලය අතට ගත් සන්ජනා ඉස්සර විය.

සන්ජනා දුවන් නැතිව ඉන්නවා ටිකක්..පාර බලලා පනිනවා..

එහෙත් ඈ මලින්දට කන් නොදීපාරට දෙසට දිව ගියාය..මලින්ද ඈ පසුපසින් ආවේ සිතින් ඈට දොස් තබමිනි..

ඉදිරියේ ඇත්තේ වංගුවකි..සන්ජනා නැවතී මලින්ද දෙස බලා පය පාර මධ්‍යය දෙසට තැබුවේ අනෙත් පස වංගුව දෙස නොබලමිනි..ඒ දෙසින් ආ ත්‍රී රෝද රථය වේගයෙන් එක්වරම වංගුවෙන් මතුවිය.

මලින්ද වේගයෙන් ඈ දෙසට දිව විත් පාර මැදට යෑමට සැදූ ඈ අද්දේත් ..ත්‍රී රෝද රථ රියදුරු සන්ජනා දුටු විට පාලනයෙන් ගිලිහුනු රිය මෙහා පසට කැපුවේත්.. මලින්දගේ කකුලක් එයට යටවූයේත් තත්පර දෙක තුනක් ඇතුලතය..සන්ජනා මලින්ද ඇද්ද පාරට බිම වැටුණද ඇයට කිසිදු අනතුරක් නොවිණි..

ආහ්..

මලින්ද වේදනාවෙන් කෑ ගැසුවේ කකුල බදාගෙනය..

රියදුරු ත්‍රීරෝද රථය නවත්තා ගත්තෙද අපහසුවෙනි.එය අසල වූ තාප්පයක ගැටුණි.

එහෙත් ඔහුට කිසි අනතුරක් නොවිණි.

ආ..අනේ..මලින්ද

සන්ජනා බියෙන් ඔහු වෙත දිව ආවේත් කඩේ සිටි පිරිසද වටවූයේත් එකවිටමය..සැනෙකින් ක්‍රියාත්මක වූ පිරිස මලින්ද රෝහල් ගත කිරීමට කටයුතු කළහ..මලින්ද සිටියේ දැඩි වේදනාවෙනි.. ඔහුගේ හිසද තුවාල වී ඇත.එහෙත් ඔහු බිය වූයේ සන්ජනා ගැනය..

සන්ජනා..ඔයා හොදින්ද

තමන්ව රැගෙන යන වෑන් රථයේ ඔහු අසලින්ම සිට කදුලු සලන ඈ දෙස බලමින් ඔහු ඇසුවේය.ඔහුට හොද සිහිය තිබෙන එක සන්ජනාට සැනසීමකි.

ඔ..ඔව්..ඉහි..ඉහි…

.හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කළ මලින්දට වහා ප්‍රතිකාර කෙරිනි..සන්ජනා නිවැසියන්ට දැන්වූ බැවින් ඔවුන්ද වහා රෝහලට පැමිණ තිබුණි..

හදිසි ප්‍රතිකාර ඒකකයේදි මලින්දට සිහි නැතිවීම හේතුවෙන් වෛද්‍යවරු කලබල විය..

එදින රැය පුරාම රෝහල් බංකුවක පවුලේ අය සමග සන්ජනා සිටියේ කිව නොහැකි පීඩනයකිනි..ඔහු තමන්ව බේරා නොගත්තා නම් අද ඔහු වෙනුවට රෝහල් ඇදක වැතිර සිටින්නේ තමන්ය..

සිදු වූ දෙය මේ වන තුරු ඇය පැහැදිලිව කාහටවත් කීවේ නැත.ඇය එය කියන්නට තබා සිතන්නටත් බියය..තමන් ඔහුගේ කීම පිළිගත්තා නම් තත්වය මෙසේ බරපතල වන්නේ නැත..

තවමත් ඔහුට සිහිය නැත…සන්ජනා  ගැහෙයි…

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!