රත් දෙකොපුල්- 04 කොටස

ගිහාරා කඩිමුඩියේ වැඩ. උදේ පාන්දර ආපු වෙලාවේ ඉඳලා කඳවුරේ බඩු ලෑස්ති කරනවා. හෙට උදේ තමයි වැඩ පටන් ගන්නේ. කෑම්ප් එකේ ඉන්න ගිහාරාගෙ යාලුවෝ  එකක කෙල්ල හොඳටම වැඩ. හෙට දවසෙ කරන්න තියෙන වැඩ ඔක්කොම ප්ලෑන් කරන්න ඕනේ. වැඩේ ලේසි නැහැ. වෛද්‍ය කඳවුරක් එක පැත්තක. මිනිසුන්ගේ ගැටලු හඳුනා ගැනීමේ කඳවුරක් තව පැත්තක. ළමයි වෙනුවෙන් වැඩ කරන කොටසකුත් ඉන්නවා. කාශ්ටක අව්වෙ ගිහාරත් වැඩ.

 

වැඩ ඔක්කොම ඉවර කරලා  රෑ වෙනකොට කට්ටිය ගිනිමැලයක් ගහ ගත්තා. ගිනිමැලේ වටේට කට්ටියම ඉඳගෙන හෙට දවස ගැන කතා කරන්න පටන් ගත්තා. හැමෝම තරුණ වයසේ අය. එන්ජිඕ එකේ ප්‍රධානියා විතරයි වයසක කෙනෙක්ට ඉන්නේ. එයා ස්වීඩන් ජාතිකයෙක්.

 

‘‘ ගිහාරාට  මහන්සි වගේ.. ”

 

ගිහාරා  එයාගේ යාළුවා වුණු හසී එක්ක කතා කර කර ඉන්න තැනට ආපු  මිතුන් ඇහැවා.

 

‘‘ ටිකක් විතර.  දැන් ගාණක් නෑ. ”

 

ගිහාරා හිනාවෙලා උත්තර දුන්නා .

 

‘‘ මිතුන්ට මේ අපි  මහන්සිද අහන්න මතක් වෙන්නේ නෑ නේද?  ඒකෙත් හැටි බලාපල්ලකෝ  ”

 

හසී මිතුන්ට ඇද කලා.

 

‘‘ උඹලට ඉතිං මේවා හුරුයිනෙ.  ඒ උනාට ගිහාරාට  එහෙම නෑනෙ. එයා සිටු මළිගාවක සිටු කුමාරියක්. අපිත් එක්ක මෙහෙම බැහැලා හිටියට  ”

 

‘‘ සූ..  ඇත්තද මිතුන්.  උඹ ගිහාරා ගැන  මොකද ඔය හැටි හොයන්නේ ”

 

‘‘ මට හොයන්න බැරිද? ”

 

‘‘ මොකද බැරි? ඕන තරම් හොයන්න. කිසි ප්‍රශ්නයක් නෑ නේද ? ”

 

‘‘ ඇති අනේ දැන් කියෙව්වා. මට නම් නිදිමතයි. ”

 

ගිහාරා  එහෙම කියනකොටම කඳවුරට ඇතුළු වුණේ කාර්  එකක්. බැලූ බැල්මට හුරුපුරුදු ගතියක් තිබුණට කාර් එක ගිහාරා ඉන්න දිහාවට එනකල් ගිහාරාට අඳුරගන්න බැරි වුණා. කාර් එකෙන් බහින හංසකව දැක්කම ගිහාරාට ඔක්කොම අමතක උනා.කාර් එකේ විදුලි ලාම්පු වල එළිය එක්ක මුහු වුණාම හංසකට ඇවිත් තිබුණෙ අමුතුම පෙනුමක්.

 

‘‘ හංසක ”

 

ගිහාරාගෙ මුවෙන් පිට උනු වචනෙ හසීට වගේම මිතුන්ටත් හොඳින් ඇහුණා. කෙල්ල හෙමින් හෙමින් හංසකගෙ දිහාට අඩිය තිබ්බා.

 

‘‘ මිතුන්. උඹ හිත හදා ගනින්. උඹට සොරි ඩොට් කොම් තමයි. අර ඇවිත් ඉන්නේ අයිතිකාරයා. ”

 

හසී මිතුන්ට තට්ටුවක් දාලා කිව්වා.

 

‘‘ ඇත්ත බං. දුක හිතෙන කතා කියන්න එපා. මගේ පපුව පැලෙන්න වගේ. ජෝක් නෙවෙයි බං. ”

 

ගිහාරා හංසක ළඟට ආවා. කෙල්ලගෙ ඇස් සතුටින් දිලිසෙනවා. මොනවා වුණත් හංසක මෙහෙම එයි කියලා කෙල්ල කීයටවත් හිතුවේ නෑ. හිතාගන්න බැරි විදියට හංසකව දැක්කට පස්සේ කෙල්ලට හරිම සන්තෝෂයි. හංසක ඔෆිස් කිට්  එකෙන්ම හිටියේ. ක්‍රීම් පාට කලිසමකට නිල් පාට ෂර්ට් එකක් ඇඳලා  හරිම ඩීසන්ට්. හංසක කෙල්ලගේ අත අල්ල ගත්තා.

 

‘‘ කියන දේ නාහා ආවා නේද? ”

 

කෙල්ල යටිතොල හපා ගත්තා.

 

‘‘ කියලනෙ ආවේ ”

 

ගිහාරා හෙමිහිට මිමිණුවා.

 

‘‘ හ්හ්ම්ම්. ”

 

පිටිපස්සේ ඉඳන් උගුර පාදපු වර්ෂ දැක්කම ගිහාරා හංසක  ළඟින් ඈත් වුණ. හංසක පිටිපස්ස හැරිලා බැලුවා.

 

‘‘ වර්ෂ. මේ ඉන්නෙ මගෙ නෙලුම් මල… ”

 

වැඩ කරලා මහන්සියට හොඳට නාලා රෝස පාට දිග ගවුමක් ඇඳගෙන ඉන්න කෙල්ලව දැක්කම වර්ෂට දැනුනේ පහන් හැඟීමක්. කිසිම බාහිර ආටෝපයක් නැහැ. ඒ වුණත් සුන්දරත්වය අඩුවකුත් නැහැ. කිසිම කෙල්ලෙක් ළඟ  රැඳුනේ නැති හංසකගෙ හිත මේ කෙල්ල ළඟ අනිවාර්යෙන් නැවතිලා ඇති කියලා වර්ෂට හිතුණා.

 

‘‘ කොහොමද නංගා. අපෙ මෑන්ට ඔයාව දකින්නෙ නැතුව ඉන්නම බැරිවුණා. තිබ්බ තදියමේ හැටියට  ඉස්පිරිතාලෙ නතර වෙන්න වෙයි කියලා මම නං හිතුවේ. ”

 

ගිහාරා  ලැජ්ජාවෙන් බිම බැලුවා .

 

‘‘ ගිහාරා. මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වර්ෂයා.. ”

 

‘‘ කොහොමද අයියේ ”

 

‘‘ හොඳයි නංගා .. ”

 

‘‘ ඔයාලට  මහන්සිත් ඇතිනේ. යමු ඇතුලට.  මං  ඔයාලට බොන්න මොකුත් ඇරගෙන එන්නම්. ”

 

‘‘ වෙලාවේ හැටියට සොෆ්ට් ඩ්‍රින්ක්ස් නම් හරියන් නෑ නංගා. හංසකයට වගේම මටත් ඕනේ හාර්ඩ් ඩ්‍රින්ක්ස් තමයි. ”

 

වර්ෂ  කියද්දි හංසක වර්ෂගෙ පිටට පාරක් ගැහැවා.

 

‘‘ මැදවච්චියේ ඕවා නම් හොයන්න හම්බ වෙන එකක් නෑ  ”

 

හිනා වෙවී කිවුව ගිහාරා යාලුවො දෙන්නත් එක්ක කඳවුර ඇතුලට ගියා. ඒ යනකොට හසී මිතුන් එක්ක ඉස්සරහට ආවා.  ගිහාරා ඒ දෙන්නා  ඉස්සරහ නැවතුන නිසා හංසකත් නතර වුණා.

 

‘‘ හංසක. මේ මගේ හොඳම යාලුවො දෙන්නෙක්. මේ හසී. මේ මිතුන් ”

 

‘‘ හංසක. අපිට ඔයාට කියන්න ඕනේ කවුරු කියලද.. ”

 

හසී කට දැම්මා .

 

‘‘  වෙන මොකද්ද කියන්න ඕනෙ.  මේ නෙළුම් මලේ අනාගත හස්බන්ඩ්. එච්චරයි. ”

 

වර්ෂ එකපාරටම කියලා දැම්මා. මිතුන්ගෙ මූණ එක පාරටම වෙනස් වෙලා ගියා. ඒ වෙනස හංසකට හොඳටම පෙනුනා.

 

‘‘ හොඳයි. හඳුනා ගැනීම සතුටක් ”

 

හසී කිව්වා. හංසක ගිහාරාගෙ අත අල්ලගෙන ඉස්සරහට ගියා. වර්ෂ මගදි කල්පනා කරලා ඇඳුම් දෙකක් ගත්තෙ අද ඉන්න වෙයි කියලා. හංසක අකමැත්තෙන්  උනත් ඒකට ඉඩ දුන්නා. ඒ නිසා හොඳට ගියා. කෑම්ප් එක තිබ්බෙ ඉස්කෝලෙක. එතන වත්ත පල්ලෙහා තිබ්බ ළිඳකින් තමයි නාන්න තිබ්බෙ. මහන්සියයි රස්නෙයි නිසා කොල්ලො දෙන්නා ඒ ළිදෙන් නාගත්තා..

 

‘‘ කවද කාපු ටකරංද බං.  කලුවරේ ජරමරේ මේ වගේ ළිඳකින් නාන එක. ”

 

වර්ෂ කිව්වෙ වතුර බාල්දියක් ඇඟේ හලා ගන්න ගමන්. යාලුවො දෙන්නට මේක අළුත් අත්දැකීමක්. ඉස්සෙල්ලම ගොඩට ගියෙ වර්ෂ.

 

‘‘ වර්ෂයො. මගෙ ටී ෂර්ට්  එක ගේන්න බැරි උනා.. ”

 

‘‘ මං ඇරන් එන්නම්.. ”

 

‘‘ අරයට කියන්න ගේන්න  කියලා.. ”

 

හංසක කිව්වෙ අහක බලාගෙන. වර්ෂගෙ කට ඇද  වුනා.‍

‘‘ ආ. ඒකටනෙ ෂර්ට්  එක දාලා ආවෙ නේද? ”

 

‘‘ පිස්සුද  බං. ”

 

‘‘ හරි හරි.. මෙතන කතා කරන්න විතරයිනෙ පුලුවන්. මං ඒ පැත්ත බැලන්ස් කර ගන්නම්.. ”

 

වර්ෂ හිනා කටක් පුරවගෙන උඩට ගොඩ උනා. ටිකකින් ගිහාරා කොල්ලගෙ ටීෂර්ට්  එකත් ඇරගෙන පල්ලම් බැස්සා. කොල්ලා ඉක්මණට  ගිහාරා ලගට ආවා. හංසක ශෝර්ට් එකත් ඇඳගෙන කොණ්ඩෙ පිහිනවා.

 

‘‘ ආ.. ”

 

ගිහාරා දිග් කරපු ටීෂර්ට්  එක  ගන්න ගමන්ම කොල්ලා වටපිට බලලා ගිහාරව ළගට ඇදගත්තා.

 

‘‘ හංසක. ”

 

‘‘ තමුසෙ නෑවෙ කොහෙන්ද? ”

 

කොල්ලා ගිහාරගෙ තෙත කොණ්ඩෙ සිපගත්තා. ඒ සුවඳ විඳින්න හිත බල කරනවා.

 

‘‘ මෙතනින්. ”

‘‘ කීයටද? ”

‘‘ හයට විතර. ”

‘‘ ශිට්. අර කොල්ලොත් දකින්න ඇති. ”

‘‘ නෑ. එයාලා කවුරුවත්  නැති අතරෙ මායි හසියි නෑවෙ. ”

‘‘ හරි ශෝක් ”

‘‘ අනේ අත අරින්නකො. කවුරුවත්  දකියි. ”

‘‘ දැකපු දෙන්.. ”

‘‘ ඇඳගන්නකො ඕක.. ”

‘‘ බෑ.. ”

‘‘ මේ කොණ්ඩෙත් තෙතයි තව. ”

 

ගිහාරා හංසකගෙ කොණ්ඩෙන් ඇද්දා. කොල්ලා ගිහාරාගෙ ඇස් වලට එබුනා.

 

‘‘ මං ආවට කැමතිද.. ”

 

ගිහාරා බිම බැලුවා..

 

‘‘ හංසක..මං අම්මිලාට කිව්වා මේ මැරේජ් එකට කැමති නෑ කියලා.. ”

 

‘‘ඉතිං.. ”

 

‘‘අම්මිලා  තීන්දු කරලා ඉවරලු.. ”

 

‘‘හ්ම්… ”

 

‘‘ හංසක. දෙයක් අහන්නද.. ”

 

‘‘ හ්ම්”

කොල්ලා ගිහාරාගෙ අතක් ඇරගෙන මෘදු  විදිහට සිප ගත්තා.

 

‘‘ ඔ..ඔයා.. ඇයි මෙහෙ ආවෙ. ඇයි මාව ෆලෝ කරන්නෙ.. ”

 

ඒ පාර කොල්ලට යකා නැග්ගා.

 

‘‘ මං කාවවත් ෆලෝ කරන එකෙක් නෙවේ. හරිද? තාරි උනත් බලෙන් මගෙ ළඟට ආපු එකියක්. තමුසෙගෙ පස්සෙනුත් මං එයි කියලා හිතන්න එපා . ”

 

ඒක කිව්වා තාලෙට කෙල්ලට නිකම්ම හිනා ගියා.

 

‘‘ ඇයි තමුසෙ හිනාවෙන්නෙ ? ”

 

‘‘ නෑ මොකුත් නෑ . ”

 

‘‘ කියනවා.. ”

 

‘‘ හංසක..උඹ හෙට උදේ වෙනකල් නානවද? ”

 

උඩහින් ඇහුනෙ වර්ෂගෙ කටහඩ. කොල්ලා කෙල්ලගෙන් ඈත් උනා..

 

‘‘ බලාගමු.. ”

 

කෙල්ලට මුමුණලා කොල්ලා උඩට නැග්ගා.

 

‘‘ වර්ෂ අයියා..ඔයාලට මේ ක්ලාස් රූම් එකේ නිදාගන්න පුලුවන්. අපි ගෑනු ළමයි නිදන්නෙ අර කූඩාරම් වල. ”

 

ගිහාරා කිව්වෙ  රොටී කාලා තේ බොන කොල්ලො දෙන්නට.

 

‘‘ මරු කෑම  නංගි. කාලෙකින් මෙහෙම ලුණු මිරිස් එක්ක සිරා රොටියක් කෑවෙ. ”

 

වර්ෂ කිව්වෙ ඇත්තටම.

 

‘‘ මේ හදිසියට ළඟ ගෙදරකින් හදලා ගෙනාවෙ. එයාලා උදව් කරනවා.  ඔයාලා කලින් ආවා නම් බත් කන්න තිබ්බා. ”

 

හසී කිව්වෙ වර්ෂට තව රොටියක් බෙදන ගමන්..

 

‘‘ මේ ළඟ හොටෙල් එකක් නැද්ද. ”

 

හංසක ඇහැවෙ මේකෙ කොහොමද  නිදන්නෙ කියලා හිත හිත.

 

‘‘ නෑ අයියා. අපෙ එන්ජීඕ එකේ ලොක්කත් ඉන්නෙ මෙහෙමයි. සුද්දෙක්  එයා. ”

 

‘‘ ගිහාරා. එහෙනම් යන්න.    හසී එක්ක ගිහින් නිදන්න. අපි අර කොල්ලො සෙට් එකත් එක්ක ටිකක් ඉඳලා නිදන්නම්. ”

 

හංසක කිව්වෙ ගිනිමැලේ ළඟ හෙමීට සිංදු කියන කොල්ලො දිහා බල බල. ගිහාරා කොල්ලට කීකරු වෙලා නැගිට්ටා.ඒ වෙනකොට මිතුන් වර්ෂ එක්ක ෆිට් වෙලා. ඒත් හංසක නම් මිතුන්ව ගණන් ගත්තෙ නෑ. කොල්ලොත් එක්ක එකතු වෙලා සිංදු කීවට මොකද හංසකගෙ හිත තිබ්බෙම ගිහාරාලාගෙ කූඩාරම් පැත්තෙ.  ඒ ඇස් කොච්චරවත්   ඒ පැත්තට ඇදෙනවා. දැන් රෑ දොලහත් පහුවෙලා. හංසකගෙ දැඟලිල්ල තේරුම් ගත්ත වර්ෂ  හෙමීට කොල්ලට ළංවුනා.

 

‘‘ මොකද? මතක් වෙද්දි ඉන්න බෑද?  ”

 

වර්ෂගෙ මූණෙ තිබ්බෙ චාටර් හිනාවක්.

 

‘‘ පිස්සුද බං.. බලපං මේ කැලේක සතා සර්පයා නැද්ද…..පිස්සු හෝන්තුවක්නෙ. මොකට දුක් විඳිනවද. මදුරුවො  එහෙන්. ”

 

‘‘ ඒකිට මේව පුරුදු ඇති බං…. ”

 

‘‘ මඟුල. බැන්දම නම් නටන්න දෙන් නෑ මං. අර මිතුන්  ගිහාරා දිහා බැලුව විදිහ ඇල්ලුවෙ නෑ මට. ”

 

‘‘ මටත් තේරුණා. ඒත් දැන් අවුලක් නෑ. උඹ ඒකි මැරි කරන්නෙ කියලා කිව්වනෙ.. ”

 

‘‘ හ්ම්.. ”

 

හංසක ගිනි මැලේ ගිනිදැල් බුර බුරා නැගෙන හැටි බලං හිටියා. මොකද්ද  මේ වෙලා තියෙන්නෙ? ඇයි මෙහෙම කරන්නෙ? කොල්ලට තවම හිත තේරුම් ගන්න බෑ.

‘‘ හංසක..මං සිරා අහන්නෙ..උඹ මේ කසාදෙ  කරන්නෙ ඇත්තටම ද? ”

‘‘ නෑ.. ”

 

‘‘ එහෙනම්. ඇයි මේ.. ”

 

‘‘ දන් නෑ. නිදිමතයි.යමුද? ”

 

‘‘හ්ම් ”

 

වර්ෂ නැඟිට්ටෙ හංසක යන දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා. සෑහෙන අමාරුවෙන්  ඩෙස්ක් එකක් උඩ නිදා ගත්තු හංසක පාන්දර  ජාමෙ නින්දට වැටුනා. කොල්ලට ඇහැරෙන කොට හතර වටින් එළිය වැටිලා. වර්ෂ පේන්නත් නෑ. එළියට බැස්සම එලියෙ එකම කාලගෝට්ටියයි. කඳවුර පටං ගෙන. කට්ටිය එහෙට යනවා.. මෙහෙට යනවා. මිනිස්සු පිරිලා. දැක්කම දුක හිතෙනවා. ගොඩක් අය කැහැටුයි.

බෙහෙත් ගන්න  පෝලිමේ ඉන්න පිරිස අතරින් හංසක හෙව්වෙ ගිහාරාව. ගිහාරා වයසක ආච්චි  කෙනෙක්ව වත්තම් කරගෙන යන හැටි හංසක දැක්කා. ආච්චිට ඇවිද ගන්නවත් හරිහමං පණක් නැහැ. කෙසඟ සිරුරක් තිබ්බේ .ගිහාරා මොනවද කියව කියව ආච්චිව එක්කගෙන ගියෙ ඩොක්ටර් කෙනෙක් ළඟට. පෙනුන විදිහට දෙමළ ආච්චි කෙනෙක්. ගිහාරා දෙමළ දන්නවද?  හංසක ඒ අස්සෙ ඒකත් කල්පනා කරනවා. ගිහාරා එනකල් හංසක බලාගෙන හිටියා.

‘‘ මොකද  උඹ මෙතන හොරගල් අහුලන්නෙ. ගුඩ් මෝනිං. එනවා මේවා අරං යන්න උදව් කරනවා. ආවා නම් වැඩ කරන්න ඕනෙ. ”

 

වර්ෂ ආවෙ ලොකු පෙට්ටි ගොඩක් උස්සගෙන. හංසක වර්ෂ දිහා බලලා ඒ පෙට්ටි දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවා. ඒ පෙට්ටි වල තිබ්බේ කෑම ජාති.

‘‘ මේ මොනවද බං මේ.. ”

 

‘‘ කෑම බං කෑම. ”

 

හංසක බාගයක් අතට ගත්තා. වර්ෂ ඉඟි කරාට පස්සේ හංසක වර්ෂගෙ පිටිපස්සේ  ගියෙ  වෙන කරන්න  දෙයක් නැති කමට.මිතුන් හසී එක්ක හොඳටම වැඩ. ඒ දෙන්නට බාර වෙලා තිබ්බේ පොඩි ළමයින්ගේ අඩුපාඩු හොයලා බලන එක. පොඩි ළමයි එයාලගේ වටේ පිරිලා.

වර්ෂ එතැනට කෑම ටික අරන් ගියපු ගමන්ම මිතුන් ඒවා ටික ඇරගෙන ළමයින්ට බෙදන්න පටන් ගත්තා. හසී හංසකගෙ අතේ තිබ්බ කෑම පෙට්ටි අරගෙන බෙදන්න පටන් ගත්තා. ළමයි හංසකගෙ ඇඟෙත් එල්ලිලා.

‘‘ අංකල් අපිටත් කෑම එකක් දෙන්නකෝ ”

 

‘‘ ඔක්කොටම දෙනවා පුතාලා. බයවෙන්න එපා ”

 

මිතුන් කෑගහනවා. මැදවච්චියේ මේ කාෂ්ඨක අව්වේ ඒ කෙසඟ සිරුරු දකිද්දී හංසකට දැනුනෙ පුදුම සංවේගයක්. කොල්ලට හිතාගන්න බෑ මෙහෙම ජීවිතත් තියෙනවද කියලා. කාලයක් තිස්සේ යුද්දෙන් බැට කාපු මිනිස්සු දැන් දුප්පත්කමින් බැට කනවා. හවස් වෙනකල්ම ගිහාරා එක්ක කතා කරන්න හංසකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ තරමට කඳවුරේ වැඩ ගොඩක් පිරිලා තිබුණා. හංසකත් වර්ෂ එක්ක එකතුවෙලා ඒවට උදව් කරේ හරි සන්තෝසෙන්. ඒත් අද අනිවාර්යෙන්ම කොළඹ යන්න ඕනේ. හංසක ලෑස්ති වෙලා කාර් එක ළගට ආවා. ගිහාරාත් ඒ වෙනකොට එතෙන්න ඇවිල්ලා.

 

‘‘ ඔයා යනවද හංසක? ”

 

ගිහාරා ඇහැවෙ දුකෙන්. කෙල්ල දැක්කා හංසක අද මහන්සි උනු හැටි.

‘‘ හ්ම්..යන්න ඕනෙනෙ. ඔයත් යමු.. ”

 

‘‘ අනේ..මට එන්න බෑ. සතියක් ඉන්නවා මං.. ”

 

‘‘ හිතුවක්කාරයිනෙ. කිව්වට අහන් නෑනෙ.. ”

 

‘‘ මං වරදක් කරන් නෑනෙ. ”

 

‘‘ එක්ක යන්න මං එන්නං. එතකම් පරිස්සමින් ඉන්න ”

 

‘‘ හා.. ”

 

‘‘ අර මිතුන් එක්ක ඕනවට වැඩිය යන්න එපා. ”

 

‘‘ ඇයි? ”

 

කෙල්ල ඇස් ලොකු කළා.

 

‘‘ තමුසෙ බබෙක්ද? තේරෙන් නැද්ද? ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා‍ ”

 

‘‘ අනේ.. ”

 

‘‘ අනේ තමයි. රෑට පරෙස්සමට  නිදා ගන්නවා.. අව්වෙ ඉන්න එපා ඔච්චර. මගෙ නම්බරේ දාගන්නවා ෆෝන් එකට..මිස් කෝල් එකක්ඟ ”

 

කොල්ලා කිව්ව නම්බරේ කෙල්ල දාගත්තා.

 

‘‘ මට රෑට කතා කරනවා. හරිද? කොහෙවත් ඇවිදින්න යන්න එපා.. ”

 

‘‘ හ්ම්.. ”

 

‘‘ චුට්ටක් එනවා ළඟට මට කිස් කරන්න ඕනෙ ”

 

කොල්ලා කිව්වෙ කෙල්ලගෙ අතකින් අදින ගමන්.

‘‘ පිස්සුද ..අර වර්ෂ අයියලා එනවා.. ”

 

‘‘ මට මොකෝ.. ”

 

හංසක කෙල්ලගෙ කම්මුලක් තත්පරේට සිපගත්තා. ඈතින් එන මිතුන් ඒක දැක්කා. වර්ෂට නම් ගාණක් නෑ. වර්ෂ දන්නවා හංසකගෙ හැටි.

‘‘ ඔය ජෝඩුව ඔහොමමයි.. ”

 

වර්ෂ  ඔහෙ කියලා දැම්මා.

‘ මං පරක්කු වැඩියි. ’ මිතුන් කියා ගත්තෙ එයාගෙ හිතටමයි. කොහොමත් ගිහාරාගෙ තත්වෙට තමන් ගැලපෙන්නෙ නැති බව දන්න නිසාම මිතුන් එයාගෙ අදහස මෙච්චර  කල් හිතේම හිර කරගෙන හිටියා. අද ඒක හරි කියලා කොල්ලා තේරුම් ගත්තා.‍

හංසකගේ කාර් එක පිටත් වෙන හැටි ගිහාරා ඔහේ බලාගෙන හිටියා. දෙන්නා ගියාට පස්සේ ගිහාරාට දැනුනෙ ලොකු පාලුවක්. රෑ වෙලා යන එකට කෙල්ලගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් හංසකට යන්නම ඕන උනා. වර්ෂට තව වැඩ වගයක් තිබ්බා. මහන්සිය නිසාම කෙල්ලට දන්නෙම නැතුව වැටුණ ගමන් නින්ද ගියා.

පහුවදා  හවස ටිකක් විවේකයක් ලැබුණා. කෙල්ල හංසකගෙ නමබරේට ඇමතුවාට ඒක ඕෆ් කරලා. කොල්ලා ඊයෙ කරදරයක්  නැතුව ගියාද දන් නෑ. එදා රෑ ගිහාරා නිදන්න යද්දි ෆෝන් එක රිං උනා .ඒ හංසක.

‘‘ හංසක.. ”

 

‘‘ හංසක තමයි. තමුසෙට මං ඊයෙ කිව්ව නේද කෝල් එකක් ගන්න කියලා.. ”

 

‘‘ මං ගත්තා. ෆෝන් එක ඕෆ්නෙ.. ”

 

‘‘ අදනෙ ගත්තෙ.. ”

 

‘‘ හරි සොරි.. ”

 

‘‘ මොකද?  මිතුන් ඉන්න නිසා මාව ඕනෙ නැද්ද? ”

 

‘‘ මොනවද  අනේ කියවන්නෙ.. ”

 

‘‘ කවුද ඉන්නෙ ඔතන.. ”

 

‘‘ හසී..එයා නිදි.. ”

 

‘‘ ඔය මඟුල කවද්ද ඉවර වෙන්නෙ.. ”

 

‘‘ තව දවස් තුනකින්.. ”

 

‘‘ එච්චර  ඉන්න බෑ..හෙට  එනවා මං..රෑ එමු ආපහු.. ”

 

‘‘ අනේ… ”

 

‘‘ කිව්වනෙ මං..ලෑස්ති වෙලා ඉන්නවා ”

 

‘‘ බෑ මට.. ”

 

‘‘ බලමුකො. මගෙ හැටි දන්නෙ නෑ තවම.. ”

 

කෙල්ල ෆෝන් එක කට් කලා.

‘‘ ඇයි  හංසක ඇයි?  ඔයා මොනවද  මට මේ කරන්නෙ. ඔයාට මාව මැරි කරන්න උවමනාවකුත් නෑ. මොකද්ද  මේ කරන සෙල්ලම. අපි දෙන්නම බඳින්නෙ කැමැත්තෙන් නෙවෙයි. මොකද්ද  මේ වෙන්නෙ. ”

 

ගිහාරා කඳුලු කැට කොට්ටෙ හංග ගත්තා.  කිව්වා වගේම හංසක පහුවදා හවස් වෙද්දි කඳවුරට ආවා.

‘‘ අන්න උඹේ කුමාරයා ආවා. ”

 

හසී කිව්වෙ කෙල්ලගෙ අත කොනිත්තලා.

 

‘‘ ගිහාරා. උඹ එයාට කැමති නෑ කිව්වට එයා නම් උඹට ඇත්තටම කැමතියි වගේ. ”

 

‘‘ මන්දා හසී. මට තේරෙන් නෑ. මොකක් උනත් අපිට මැරි කරන්න වෙනවා.. ”

 

හංසක කෙල්ල එනකල් කාර් එකට හේත්තු වෙලා බලං හිටියා. අඳුර එබිකම් කරනවා..

 

‘‘ මිතුන් මං යනවා. ”

 

ගිහාරා මිතුන්ගෙන් සමුගත්තා.

 

‘‘ ගිහාරා මට හිතෙනවා ඔයා අපි එක ආපු අන්තිම කෑම්ප් එක මේක වෙයි කියලා.. ”

 

මිතුන් කිව්වෙ වේදනාවෙන්.. ගිහාරාගෙ සන්සුන් දසුන නැතුව කෑම්ප් එක පාලු වෙනවා කියලා කොල්ලා දන්නවා.

 

‘‘ අපි කාලෙට ඉඩ දෙමු මිතුන්. හසීව බලා ගන්න. ”

 

‘‘ හ්ම්.. ”

 

හංසක දොර ඇරියම කෙල්ල හසීට අත වනාගෙන කාර් එකට නැග්ගා. කොල්ලා කාර් එක පාරට දැම්මා.

‘‘ මොකද?  දුකද බුම්මගෙන ඉන්නෙ.. ”

 

තවමත් ශටර් එකෙන් එලිය බලාගෙන ඉන්න කෙල්ලගෙන් හංසක ඇහැවා. කෙල්ල මීක් නෑ.

 

‘‘ මොනවද  මිතුන්ට කිව්වෙ.. ”

 

‘‘ හංසක ප්ලීස් කෑ නොගහ යනවද? ”

 

‘‘ මේක මගෙ කාර් එක.  මට ඕනෙ විදිහට තමා මම මේකෙ යන්නෙ. ”

 

ගිහාරා සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා.  රෑ වෙන්න රෑ වෙන්න පාර පාලුවෙනවා. ඒත්  ගොඩක් රෑ වෙලා  ඒ නයින් පාරෙ දඹුල්ලට කිට්ටු වෙන්න යන්න අමාරුයි. මොකද පාරෙ අලි ඉන්නවා. කොල්ලා ඒක දැනගෙනමයි රෑ වෙලා ආවෙ.   ඉනාමළුව හරියෙදි කොල්ලා කාර් එක හැරෙව්වෙ හොටෙල් එකකට. ඇස් පියාගෙන නින්දෙ හිටපු කෙල්ලට හංසක ඇහැරවන කල් ගාණක් නෑ.

‘‘ මැඩම් බහිනවද? ”

 

ගිහාරා වටපිට  බැලුවෙ පුදුමෙන්. මෙච්චර  ඉක්මණට ගෙදර  ආවද? ඒත් ගිහාරට පෙනුනෙ බල්බ් එලි..

‘‘ හංසක මේ කොහෙද? ”

 

‘‘ මේ ඉනාමළුව. හොටෙල් එකක්. දැන් යන්න බෑ පාරෙ අලි ඉන්නවා. බොරුවට බය නොවී එනවා.  හෙට උදේ යමු. ”

 

ගිහාරා කරන්න දෙයක් නැති කමට කොල්ලගෙ පස්සෙන් ආවා. කොල්ලා රිසෙප්ශන්  එකෙන් රූම් දෙකක් බුක් කරද්දි කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා. රූම් එකට යන අතරතුරේදි ඒ පුදුමෙ කටින් පිටවුනා.

‘‘ හංසක.. ඇයි රූම් දෙකක්..ආ”

 

හංසක කෙල්ල දිහා කට කොනින් හිනා වෙවී බැලුවා.

‘‘ ඇයි තමුසෙට තනියම නිදන්න බැරිද. එහෙනම් එනවා මගෙ ළගට..අපරාදෙ සල්ලි.. ”

 

‘‘ පිස්සු..අනේ මන්දා ඔයා නම්.. ”

 

‘‘ බබා. මට මාව කන්‍ට්‍රෝල් නැතුව යාවි. ඒකයි. ඔයා එහා රූම් එකේ ඉන්න. මං උදේට කතා කරන්නම්.. ”

 

හංසක රුම් එක ලඟදි කෙල්ලගෙ නළල සිපගෙන කෙල්ලව රූම් එකට දාලා වැහැවා. හංසකගෙ හැසිරීම කෙල්ලට තේරුම් ගන්නම බෑ. හංසක පළවෙනි දවසෙ හැසිරුනේ අන්තිම නරක විදිහට. එදා මනමාලි බලන්න ආව වෙලේ හිටපු හංසකමද මේ.. හංසක රූම් එකේ ජනෙලෙන් අහස දිහා බලං හිටියා..හඳ පායලා.. කොල්ලට වස කම්මැලියි..නිදිමතකුත් නෑ වගේ. හංසක හෙමීට කාමරෙන් එලියට ආවා.

ගිහාරා තනියම නිදන්න කැමති නෑ. කෙල්ල නිදන්නෙ නැනී අම්මා එක්ක. කෙල්ලගෙ ඇඳට එහා පැත්තෙ ඇදේ නැනී අම්මා නිදනවා. කඳවුරේ ඉද්දිත් හසී ළඟ හිටියා . ගිහාරා නිදන්න ෆුල් ට්‍රයි කලා. ඒත් නින්දක් එන්නෙම නෑ. එක එක සද්දත් ඇහෙනවා.

අන්තිමේදි  ගිහාරා ගැහෙන ඇඟිලි තුඩු වලින් හංසකගෙ නම්බර් එක ඩයල් කලා. හංසක හොඳට නිදි ඇති කියලා එක පාරටම හිතුනු නිසා ගිහාරා ආයෙම ෆෝන් එක කට් කළා.

‘ අම්මෝ. හොඳ වෙලාවට කෝල් එක කට් කලේ. නැත්නම් ආයෙත් යකා වෙයි. ’

කෙල්ලට ඇස් පියා ගන්න ලැබුණෙ නෑ. අනිත් පැත්තට හංසක ආයෙත් කෝල් කළා. ඒ වෙනකොට කෙල්ලගෙන් මිස් කෝල් එක හංසකට ලැබිලා තිබ්බේ. ගිහාරා බයෙන් බයෙන් ෆෝන් එක ආන්සර් කළා.

‘‘ හෙලෝ… මොකද නින්ද යන්නේ නැද්ද ළමාතැනී ”

කෙල්ලට ඇහුනේ ඝෝෂාවක්.. සිංදු සද්දයක්. හංසක නිදි නැද්ද එතකොට. කොහෙද ඉන්නේ?

‘‘ හංසක. ඔයා කොහෙද ඉන්නේ. ඔයා නිදි නැද්ද? ”

 

‘‘ නෑ බබා. මං ටිකක් පහළට ආවා.  කම්මැලි හිතුණා.  ඇයි නින්ද යන්නේ නැද්ද? ”

 

‘‘ හංසක. මට බය හිතෙනවා. එක එක සද්ද ඇහෙනවා. මම නිදන්නේ නෑනී අම්මා එක්ක  ”

 

‘‘ එහෙනම් පල්ලෙහාට එන්න. මෙතන පොඩි ඩාන්ස් එකකුත් යනවා. එනවද?.. ”

 

‘‘ හා.. ”

 

‘‘  රූම් එකෙන් එලියට ඇවිත් වමට හැරිලා පඩිපෙල බහින්න. හරිද? ”

 

‘‘ හා.. ”

 

කෙල්ල හංසක කිව්ව විදිහට පල්ලෙහාට ආවා. ඈතින් ඇහුනෙ සංගීත රාවයක්.  හංසක ශාලාව කොනක ටේබල් එකක් ළඟ ඉඳගෙන කෙල්ලට අත වැනුවා. ගිහාරා හෙමීට ඒ ලගට ගිහින් ඉඳගත්තා. හංසකගෙ අතේ බීර වීදුරුවක් තිබුණා . කොල්ලා හෙමීට ඒක තොල ගානවා. ඒක දැක්කම නම් කෙල්ලට හිතුනා ආපු මෝඩකම කියලා. කෙල්ල අප්පිරියාවෙන් වීදුරුව  දිහා බලනවා දැකපු කොල්ලා කට කොනට හිනාවක් නංවගත්තා.‍

හංසක රැවුල කපලා නෑ. යාන්තම් වැවුනු  රැවුල් කොට අතරින් මතුවුන ඒ හිනාව හරිම ආකර්ෂණීයයි. කෙල්ල ඒ දිහා හොරෙන් බලලා අහක බලා ගත්තා.

‘‘ මොකද?..තමුසෙටත් දෙන්නද?..ආ  බොනවා ටිකක්.. ”

කොල්ලා වීදුරුව කෙල්ලට ළං කලා.

‘‘ මං තාරිකා නෙවේ.. ”

 

කෙල්ල ගත් කටටම කිව්වා.

 

‘‘ තමුසෙ කොහොමද  දන්නෙ තාරිකා ඩ්‍රින්ක්ස් ගන්නවා  කියලා. ”

 

‘‘ ඔය ෆීල්ඩ් එකේ ඉන්න අය ගැන අහන්නත් දෙයක්ද?  හොඳ අයත් ඇති. ඒ උනාට තාරිකා ගැන නම් ඕවා පත්තරේත් යනවනෙ. ”

 

‘‘ හ්ම්..තාරි ලඟදිත් වෙරි පිට ඉද්දි මං ගිහිල්ලා ඇනෙක්ස් එකට ඇරලුවා. ”

 

කොල්ලා කියද්දී ගිහාරාගෙ  ඇස් සලිත වුණා…

‘‘ බයවෙන්න එපා. ඇරලුවා  විතරයි ”

කොල්ලා ආයෙත් වීදුරුව කටට ගත්තෙ ගිහාරා දිහා  බලාගෙනමයි.

‘‘ඔයාට ඔය ජරාව බොන්නේ නැතුව ඉන්නම බැරිද? ”

 

කෙල්ල ඇහැවෙ මූණත් අඳුරු කරගෙන.

‘‘ පුළුවන්. ඔයා මගේ ළඟ ඉන්නවානම් ”

 

කොල්ලා ඇස් හීන් කරලා අමුතුවට බලලා එහෙම කිව්වම කෙල්ලට ලැජ්ජා හිතුණා.

‘‘ කැමතිද? ”

 

කොල්ලා රහසින් වගේ ආවා. ගිහාරා බිම බලාගෙන  ඔරවගෙන හිටියා. හංසක වීදුරුව ඈත් කළා.

‘‘ඒක නෙමෙයි. යමුද පොඩි ඩාන්ස් එකක් දාන්න”

 

හංසක ඇහැවෙ ගිහාරාගෙ දකුණු අතින් අල්ලන ගමන්.

‘‘ ඔයාට පිස්සුද හංසක? මං ඕවා දන්නේ නෑ. ”

 

‘‘ ඔව් ඉතින්. තමුසෙ වගේ ගොඩේ නැට්ටිච්චියො කොහොම දන්නේ. අහපු මමයි මෝඩයා ”

 

හංසක නපුරු විදිහට කියද්දී ගිහාරා ආයෙත් හංසක ගේ ඇස් දිහා බැලුවා .

‘‘අර බලනවා අර කෙල්ලො ඩාන්ස් කරන හැටි. වාව්.  තාරිත් එහෙමයි. තමුසෙ මේ දිග බායි ගවුමක් ඇඳගෙන කොහොමද ඩාන්ස් කරන්නේ. ඒකත් මළ විකාරයක් තමයි. ”

 

කොල්ලා එහෙත් කියලා මහ සද්දෙන් හිනා උනා.

‘‘ හංසක. ඔයා හිතන්නෙ මට ඩාන්ස් කරන්න බෑ කියල නම් ඔයාට වැරදිලා එහෙනම්. යමුකෝ. ”

හංසක හිතුවේ නැති විදිහට කෙල්ල හංසකගෙ අතින් ඇදගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ගියා. හංසක පුදුම වෙලා කෙල්ල එක්කම ගියා. ඩාන්සින් ෆ්ලෝ එකේ ඒ වෙනකොට වාදනය වුණේ පරණ හින්දි ගීතයක තනුවක්.

ඒකේ තාලෙට ගිහාරා හංසක එක්ක කපල් ඩාන්ස් එකක් දැම්මෙ කොල්ලව තවත් පුදුම කරවලා. ඇත්තටම  ගිහාරා කොහොමද කපල් ඩාන්ස් දන්නෙ. හංසකට සැක හිතුනා. ඒත් කොල්ලා මොකුත් අහන්නෙ නැතිව කැරකී කැරකී නටන කෙල්ල දිහා බලාගෙන හිටියා.ගිහාරාටම ඇති වෙලා ඩාන්ස් එක නතර කරන කල් කොල්ලා ඔහෙ පැද්දි පැද්දි හිටියා. අන්තිමේදී මහන්සියටම ගිහාරා හංසකගෙ පපුව උඩින් ඔලුව තිබ්බා.

‘‘ මොකද ළමාතැනී.  දැන් ඇති නේද? යමුද රූම් එකට? ”

කොල්ලා හිමිහිට ඇහැවා. රූම් එක ළඟට එනකල් දෙන්නගෙම කිසි කතා බහක් තිබ්බේ නැහැ. ගිහාරා රූම් එකේ දොර ඇරගෙන ඇතුල් වෙලා දොර වහන්න හැදුවා. ඒත් හංසක දොර වහන්න ඉඩ දුන්නේ නැහැ. ගිහාරා  ඇස් ලොකු කරගෙන හංසක දිහා බැලුවා.

‘‘  හංසක ඇයි? ”

හංසක ගිහාරා  දිහා ඇස් චූටි කරලා බැලුවා.

‘‘ ඇත්ත කියනවා ගිහාරා..  තමුසෙ කොහොමද ඔච්චර හොඳට කපල් ඩාන්ස් දාන්න පුරුදු වුණේ ”

ඒක අහපු විදිහට නං කෙල්ලට නිකම්ම හිනා ගියා. ඇත්තටම කොල්ලා ගිහාරා දිහා වශී වෙලා වගේ බලාගෙන හිටියා. රතුපාට දෙකොපුල් තවත් රතු වෙලා. හංසක එහෙමම දොර වහලා කෙල්ල තුරුළු කරගෙන කම්මුල් ඉඹින්න පටන් ගත්තා.

‘‘ අනේ එපා හංසක. ඔයා හොඳයිනේ. දැන් යන්නකො රූම් එකට ”

‘‘ බෑ තමුසෙම තමා මාව ඇවිස්සුවේ. මං පැත්තකට වෙලා හිටපු අහිංසක කොල්ලා ”

‘‘ පිස්සු ඔයාට. යන්නකො”

‘‘ දැන් තමුසෙම නේද කිව්වේ තනියම නිදියන්න බෑ කියල.  බයයි කියලා..  හොල්මන් කියලා.. දැන් මොකද මාව එළවන්නෙ.. ”

‘‘ මට බයයි ඔයා ඔහොම බලද්දි  ”

‘‘ මාව විශ්වාස නැහැනේ. මං යන්නං එහෙනම් ”

හංසක යන්න හදද්දි ගිහාරා ඒ බාහුවක එල්ලුනා.

‘‘ යන්න එපා. මට විශ්වාසයි.. එන්න නිදියමු.. ”

කෙල්ල හිමිහිට මිමිණුවා.

‘‘ ෂුවර්ද ? ”

කොල්ලා යටි තොල හපාගෙන එහෙම ඇහැවා.

‘‘ ඔව්.. මං ඇඳ මැදින් කොට්ට දානවා. ඔයා එහා පැත්තෙ මම මෙහා පැත්තෙ.. ”

‘‘ හරි බලමුකෝ. මම ඕනේ ඔට්ටුවක් අල්ලන්නම්. තමුසෙ  හෙට උදේ ඉන්නේ මගේ පපුව උඩ  ”

හංසක හිනා වෙවීම ඇහැක් ගැහුවා. හංසක කිව්වා වගේම උදේ බලද්දි කොට්ට කොහේවත්. ගිහාරා  හිටියේ හංසකගෙ පපුව උඩ. ගිහාරා යකෙක් දැක්කා වගේ බයවෙලා වොශ්රූම් එකට දුවන හැටි  කොල්ලා බලාන හිටියේ හිනාවෙවී.

ඒ සන්සුන් දෑස..  රත් දෙකොපුල්.. කොච්චර හංසකව  නොසන්සුන් කළත් කොල්ලා කෙල්ල ඉස්සරහ පුදුම විදියට ඉවසුවා. කෙල්ල අකමැත්තෙන් කෙල්ලට කරදරයක් කරන්න කොල්ලට හිත හදාගන්න බැරි වුණා. මොකක්ද මේ හිතේ තියෙන හැඟීම. ඒක තෝර බේර ගන්න බැරිව හංසක  පුදුම විදිහට හිතෙන් විදෙව්වා. ඒත් කෙල්ලව හොඳට බලාගන්න තමා කොල්ලට හිතෙන්නෙ.

උදේ කෑමත් හොටෙල් එකෙන්ම ඇරගෙන දෙන්නා ආපහු කොළඹ යන්න පිටත් වුණා. හංසක කෙල්ලව ගෙදරටම ඇරලුවා. ගේට්ටුවෙන් කාර් එක ඇතුලට දානකොටම කොල්ලා දැක්කා හැන්ඩ්සම් කොල්ලෙක් ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා.

‘‘ දෙයියනේ පැහැසර ”

කෙල්ලට නිකම්ම කියවුණා. කාර් එක නතර කරපු ගමන් ගිහාරා බොහොම සන්තෝසෙන් බැහැලා  ගියේ පැහැසර ලඟට. ගිහාරා පැහැසරගෙ අතේ එල්ලුණේ හංසක ගිනි පිටවෙන ඇස්වලින් බලාගෙන ඉද්දිමයි. ගිහාරා පැහැසර එක්ක හරි හරියට කතා කරද්දි හංසක එහෙමම කාර් එක හරවගත්තෙ දූවිලි වලාවක් නංවාගෙන.  එතකොට තමයි ගිහාරාට හංසකව මතක් උනේ.

‘‘ නංගා. මස්සිනා නේද?  මොකද අර හරවගෙන යන්නේ”

ගිහාරාට කියා ගන්න දෙයක් නැති උනා.

‘‘ ආ.. ඒක තමයි පැහැසර අයියේ. එයාට මොකක්ද වැඩක් තියෙනවා කිව්වා. හදිසියි කියලත් කිව්වා. ඇත්තටම ඔයා හදිසියේම ආවේ කොහොමද? මේ මට හිතාගන්නවත් බෑ. ඔයා කෝල් එකක්වත් දුන්නේ නැහැනේ. ”

ගිහාරා පැහැසරගේ පැත්තට හැරුණා.

‘‘  මගේ එකම නෑනගෙ කසාදෙට. මං නෑවිත් කොහොමද? ආන්ටි කෝල් කරලා කියනකං මම දන්නෙවත් නෑ. ඔයාට නිකමටවත් මට කියන්න හිතුනේ නැද්ද ගිහාරා…ලබන සතියෙ වෙඩින් එක කියලා. ”

පැහැසර කියද්දී ගිහාරා ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් පැහැසර දිහා බැලුවා.

‘ලබන සතියේ වෙඩින් එක. ඒක වෙන්නෙ කොහොමද?’

‘‘ අයියේ..  මට මේ.. ”

‘‘ හරි හරි.. දැන් ඕවා හිතන්න එපා. දැන් වැඩ ගොඩක් තියෙනවා. යමු ඇතුලට. කට්ටිය  බලාගෙන ඉන්නවා ”

පැහැසර ගිහාරා එක්කම ගේ ඇතුළට ගියා. ගේ ඇතුලේ ලොකු කලබලයක්. අද අම්මා තාත්තා ඔක්කොම ගෙදර. නැනී අම්මත් කලබලෙන් එහෙ මෙහෙ දුවනවා. ඒ මදිවට සියදෝරිසුත් ඇවිල්ලා. ගිහාරාට හිතාගන්න බැරිවුණා මොනවා කරන්නද කියලා. මොනවා උනත් මේ දවස් දෙක තුනට ලොකු කලබලයක් වෙලා තියෙනවා.

කලබල ඉවර වුණහම නැනී අම්මාගෙන් හෙමිහිට විස්තර අහගන්නවා කියලා ගිහාරා  හිතාගත්තා. ඒත් එක පාරටම හංසකට  උනේ මොකක්ද කියල නම් කෙල්ලට හිතාගන්නම බැරි වුණා.

හංසක යක්ෂාවේශයෙන් පිට උනාට මොකද කොල්ලගෙ හිත යකාගෙ කම්මලටත්  එහා. ගිහාරා ඒ කොල්ලව දැක්ක ගමන්  කාර් එකෙන් බැහැලා ලගට ගියපු හැටි..අතේ එල්ලුන හැටි…. ඒ ඔක්කොමත් හරි.. තමන්ව නොසලකා හැරිය හැටි..හංසකගෙ හිතට වද දුන්නා..

‘ මං ඕකිව අහුවුණොත් ඉතුරු කරන් නෑ.. ශිට්.. මට තිබ්බෙ කනට දෙකක් ගහලා ඇදගෙන එන්න. ඉන්නෙ නම් පත්තිනි අම්මා වගේ.. ඒකට මොකද? ගිහාන් අතේ එල්ලුණු හැටි ’

හංසක ට්‍රැෆික් එක නිසා කාර් එක නැවැත්තුවා. තරහ වැඩි කමට කලර් ලයිට් පේන්නෙත් නෑ. කොල්ලා නන්ස්ටොප් හෝන් කරනවා. තවම තියෙන්නෙ රෙඩ් කලර් ලයිට් එක. ඒත් හංසකට ගාණක් නෑ. ඔහේ හෝන් කරනවා. වට පිටේ හිටපු  කට්ටියත් හංසකගෙ වාහනේ දිහා බැලුවෙ පිස්සු තද වෙච්ච  කෙනෙක්ගෙ වාහනයක් දිහා බලන ගානට.

හංසකගෙ නරක  වෙලාවට ට්‍රැෆික් රාළහාමි කෙනෙකුත් සිද්ධිය දැක්කා. ට්‍රැෆික්  රාලහාමි ඇවිල්ලා ෂටර් එකට තට්ටු කරනකල් හංසකට වගක් තිබ්බේ නැහැ.

‘‘ මහත්තයා කරුණාකරලා වාහනේ අර අයිනෙන් නවත්තලා බහින්න. ”

‘‘ඔහ් ශිට්.. ”

කොල්ලට නිකම්ම කියැවුනා. ඒ අස්සෙ හංසකගෙ ෆෝන් එක රිං උනා..කෝල් එක ගිහාරාගෙන්. හංසක දත්මිටි කනවා.

‘ඕකි හින්ද  ආයෙත් හිරේ යන්න වෙනවා. ’

හංසක ෆෝන් එක ඕෆ් කරලා දාලා කලර් ලයිට් එක හරි ගියාට පස්සේ කාර් එක අයිනට කරගෙන නැවැත්තුවා. රාලහාමි එක්ක බොහොම අමාරුවෙන් ශේප් වෙලා හංසක එතනින් මාරු උනා. හංසක කෙලින්ම ගියෙ ඔෆිස් එකට. ඒ වෙනකොට ඔෆිස් එක ඇරෙන වෙලාව.

බොසා යකා වගේ එනහැටි දැකපු සිකුරුටි  කොල්ලා සැලුට් කලේ සීරුවෙන් හිටගෙන. හංසක කොල්ලටත් රවාගෙන ඇතුලට ගියා. කට්ටිය යන්න ලෑස්ති වෙනවා. වෙලාව හතරයි

කෙල්ලො ටික කොණ්ඩ පීරනවා. කොල්ලො බෑග් අස් කරනවා. බොසා මේ වෙලාවෙ කඩා පාත් වෙයි කියලා කවුරුවත්  හිතුවෙ නෑ.

‘‘ මොකද මේ වෙලා තියෙන්නෙ. ඔෆිස් ඇරෙන්නෙ හතර හමාරට. තමුන්ලගෙ අම්මගෙ අප්පගෙ බූදලේද මේක.. හිතුණ වෙලාවට එන්න යන්න.. ”

හංසක පොලොවෙ අඩි හැප්පුවා. කට්ටිය බයේ  ගැහෙනවා. බොසා කවදාවත්  නැතුව මේ වෙලාවට ඇවිත් මෙහෙම කෑ ගහන්නෙ ඇයි කියලා කට්ටියට හිතා ගන්න බෑ..

‘‘ සෙනුරි…තමුසෙත් යන්නද ලෑස්ති. කවුද තමුසෙලාට යන්න කිව්වෙ.. ”

‘‘ ආ.. නෑ සර්.. මේ අද බස් ස්ට්‍රයික් එකක්. ඒ නිසයි කට්ටිය කලින් යන්න ලැහැස්ති වුනේ. ”

‘‘ හරි ෂෝක්. බස් ස්ට්‍රයික්  කියන හැම වෙලාවටම මේ ඔෆිස් එක මේ විදිහට වහලා දාලා යන්න ගියොත් කොහොමද මේකෙ වැඩ කරන්නේ. අද තමුන්ලා කාටවත් කලින් යන්න බෑ . පහ වෙනකල් වැඩ කරන්න වෙනවා. මේක ඕඩර් එකක් ”

හංසක පුපුර පුපුර එයාගෙ කැබින් එකට යන හැටි හැමෝම තුෂ්ණිම්භූත  වෙලා බලං හිටියා. සෙනුරිටත් හිතාගන්න බෑ.

‘හංසකට අද මොන යකෙක් වැහිලද?..’

සෙනුරි  වර්ෂට කතා කලේ, වර්ෂවත් මේකට හේතුව දන්නවද කියල අහල බලන්න. වර්ෂටත් හිතාගන්න බැරි වුණා එහෙම වෙන්න හේතුව.‍

හංසක හිටියෙ දැවි දැවී. කොල්ලා පිස්සෙක් වගේ කොණ්ඩෙන් ඇද ගත්තා. මොකද්ද  මේ වුණේ. උදේ බලද්දි හා පැටියෙක් වගේ තුරුලෙ හිටපු කෙල්ල වෙන කොල්ලෙක්ගෙ ඇගේ එල්ලුන හැටි. හංසකගෙ ඇස් ඉස්සර මැවිලා පෙනුනා. ඒත් ඒ කොල්ලා කවුද? හංසකට ඒ ප්‍රශ්නෙ මතක් උනේ දැන්. ඇත්තටම ඒ හිටියෙ කවුද?  කලබල වෙලා එතැතින් ආපු එක ගැන හංසක දැන් පසුතැවෙනවා.

‘අපරාදේ..  මට ගිහිල්ලා බලන්න තිබ්බේ ඒ කවුද කියලා.’

සෙනුරි පණිවිඩය දුන්නට පස්සේ  වර්ෂ කෝකටත් කියලා ඔෆිස් එකට ආවේ හංසක මොන පිස්සුවක් නටයිද කියලා හිතාගන්න බැරි වෙච්ච හින්දා. සෙනුරි කිව්ව හැටියට නම් මොකක් හරි ලොකු දෙයක් සිද්ද වෙලා තියෙනවා. අද උදේ වෙනකල් හංසකගෙ මූඩ් එක හොඳට තිබ්බා කියලා වර්ෂ දන්නවා. මොකද උදේ කතා කරද්දී හංසක හොඳට කතා කළා.

වර්ෂ කැබින් එකට ඇතුල් වෙද්දි හංසක හිටියේ සුවපහසු පුටුවට හේත්තු වෙලා අත් දෙක ඔලුව පිටිපස්සට බැඳගෙන.. කකුලක් පිට කකුලක් දමාගෙන. ඒ කකුල් දෙකම තිබ්බෙ මේසෙ උඩ. කොල්ලා උඩින් කැරකෙන ෆෑන් එක දිහා බල බලා කල්පනා කරනවා. වර්ෂ ආවා කියලවත් හංසකට වගක් නැහැ. ඒ තරමට කල්පනාව.

වර්ෂ මේසෙ ළඟටම ඇවිල්ලා හංසකගෙ කකුල් දෙකට තට්ටුවක් දැම්මා. කොල්ලා මේසෙ පැත්තකින් ඉඳගන්න ගමන් හංසකට කතා කළා.

‘‘ ඒයි. හංසකයා මොකද්ද උඹට වෙලා තියෙන්නේ? ”

වර්ෂගෙ හඩට වගේම තට්ටුවට කොල්ලා මේ ලෝකෙට ආවා.

‘‘වර්ෂයා උඹ ආවද? අර රොයිටරේ නේද මැසේජ් එක දුන්නෙ. කොයි ඕකි.. මං අල්ල ගන්නම්. ”

හංසක වර්ෂටත් කඩං පැන්නා.

‘‘ මොකද්ද  බං  සෙනූ ගියා.. ”

‘‘ මං කිව්වා උන්ට යන්න එපා කියලා.. ”

‘‘ දැන් පහ පහුවෙලා. බොරුවට කෑ නොගහා ඉන්නවා. ”

වර්ෂයා මට පාඩුවේ ඉන්න දීලා උඹ පලයන්කො යන්න මෙතනින් ඇණයක් නොවී ”

‘‘යන්න තමයි ආවේ. නැතුව මෙතන පැල් බැඳගෙන උඹත් එක්ක ඉන්න නෙවෙයි. අර කෙල්ල බය වෙලා කතා කරපු හින්දා මං හිතුවා මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙලා ඇති කියලා. උඹට උදව්වක් ඕන ඇති කියල හිතලයි ආවෙ. මගෙන් උදව් එපා නම් මං යනවා ”

වර්ෂ පුටුවෙන් නැගිට්ටා.

‘‘ නෑ.. නෑ.. යන්න එපා වර්ෂයා. මාර අවුලක් උනා. ශිට්.. ”

‘‘ මොකක්ද අවුල? ගිහාරා ගැන නේද අවුල? ”

‘‘ උඹ කොහොමද දන්නෙ? ”

‘‘ තාරි ගැන නම් උඹ කවදාවත් ඔය විදිහට කලබල වෙලා නෑ. ඒක නිසා ෂුවර් එකට අවුලක් ගිහාරා ගැන  ”

‘‘ ඔව් බං සිරාවටම. මං ගිහාරාව ගෙදරට ඇරලුවා. යනකොටම දොරකඩ හිටියා හැන්ඩ්සම් පොරක්. ගිහාරා මාවත් අමතක කරලා දුවගෙන ගිහිල්ලා ඒකාගෙ අතේ එල්ලුනා. ”

‘‘ මොකක් කිව්වා. සිරාවටම හිතාගන්නවත් බෑනේ. ”

‘‘ ඒකනෙ බං. මං හිතුවෙ නෑ ගිහාරා එහෙම කෙල්ලෙක් කියලා. ”

‘‘ ඉතිං උඹ අහන්න එපායැ ඒ කවුද කියලා ”

‘‘ අහන්න මතක් වුණේ නෑ බං.  මට යකා නැග්ග පාර මං කාර් එකෙන්  බහින්නේ නැතුව එහෙමම හරවගෙන ආවා. තව පොඩ්ඩෙන් අදත් කූඩුවේ ඉන්න වෙන්නේ. රාලහාමිට කුණු කුණු ගාලා යන්තම් ශේප් උනා”

‘‘ මොකක්ද බං උඹ කරන මේ විකාර වැඩ. උඹ ඉස්සෙල්ලා ගිහිල්ලා අහලා බලන්න එපැයි ඒ කොල්ලා කවුද කියලා. කවුද දන්නෙ ගිහාරාගේ අයියා ද, මල්ලි ද කියලා”

‘‘ පිස්සුද බං. ඒකිට කවුරුවත් නෑනෙ”

‘‘ එහෙනම් නෑ කෙනෙක් ද දන්නෙත් නැහැනේ. උඹ එයාට කෝල් කරලා ඇහැවෙ නැද්ද? ”

‘‘ ඒකි කෝල් කළා. මම ෆෝන් එක ඕෆ් කළා ”

‘‘ ගොනෝ. උඹට කිසි දෙයක් හරියට කරගන්න බැහැනේ. ඔහොම කලබල වෙලා පුළුවන් ද? ඉස්සෙල්ලා හොයල බලන්න එපැයි උනේ මොකද්ද කියලා ”

‘‘ මට මොකුත් මතක් වුණේ නෑ බං. මට පිස්සු වගේ. ශිට්.. ”

‘‘අපි මෙහෙම කරමු. ඕක හිතේ තියාගෙන ඉන්න බෑනේ. දැන් ගිහිල්ලා බලමු මොකද එහෙම වුණේ කියලා. ”

‘‘ උඹට පිස්සුද? මම යන්නේ නෑ ඒකි ළඟට  ”

‘‘ බැරිනම් උඹ ඕන මඟුලක් කරගනින්. ඔන්න මං ගියා හරිද? ”

වර්ෂ කේන්තියෙන් කැබින් එකෙන් පිට වෙන හැටි හංසක බලාගෙන හිටියේ හිස් හැඟීමෙන්. ගිහාරා තමන්ට කළේ මදිපුංචිකමක් කියලා තමයි හැම වෙලේම කොල්ලට හිතුණේ. ඒ නිසා ගිහාරාට ආයෙ කතා කරන්න යන්නේ නැහැ කියලා කොල්ලා හිතාගත්තා. ආඩම්බරකාර හිත කාටවත් නැමෙන්න කැමති නෑ.

කොල්ලා හයට විතර කැබින් එකෙන් එලියට යන්න හදද්දිම එතැනට එතැනට කඩා පාත් වුණේ තාරිකා.

‘‘ හායි ඩාලිං. ”

තාරිකා කොල්ලගෙ බෙල්ලේ එල්ලුනා. ඒ දැක්ක පාර හංසකගෙ නිවීගෙන ගියපු කේන්තිය ආපහු අලුත් උනා.

‘‘ මොකද ඕයි? තමුසෙට පිස්සුද? ”

හංසක තාරිකාට කඩන් පැන්නා.

‘‘ මොකක්ද හංසක. ඔයා දවස් ගාණකින් මාව බලන්න ආවෙ නෑ. ඉතින් ඇයි මේ මං ආවම එළව ගන්නේ ”

‘‘ තාරි. මට දැන් ගමනක් යන්න තියෙනවා. කරුණාකරලා තමුසෙ යනවා මට වද නොදී ”

‘‘ අද මට ෂෝ එකක් තියෙනවා. රෑ දහයට. ඔයාවත් එක් කරගෙන යන්නයි මං ආවෙ. අනේ හංසක යමුකෝ ”

තාරිකා හුරතල් වුණා.

‘‘මේ තාරි. සිංහල තේරෙන්නේ නැද්ද උඹට. කරුණාකරලා යනවා මගේ ඔළුව කන්නේ නැතුව. එකියක් මදිවට තවත් එකියක් ආවා ඔළුව කන්න ”

තාරිකාව තල්ලු කරලා දාලා හංසක පිටවුණා. තාරිකාට හිතාගන්න බෑ හංසකට මොනවා වෙලාද කියලා. තාරිකා එහෙමම වාඩි වෙලා අමායාට කෝල් එක ගත්තෙ වුණු දේ  කියන්න හිතාගෙන. හංසක කොහෙවත් යන්නෙ නැතුව කෙලින්ම ආවේ ගෙදරට. කොල්ලා එහෙමම රූම් එකට ගිහිල්ලා දොර දඩාස් ගාලා වහගත්තා .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!