අවසන් රාත්‍රිය-13කොටස

‘‘සදැසිව විතරයි  මං ඉල්ලන්නෙ අන්කල්..ජීවිත කාලෙම  මට එයාව දුකක් නොදී බලා ගන්න පුලුවන්. ”

රශ්වින් සදැසි ළගට ඇවිත් කෙල්ලගෙ අත අල්ල ගන්න ගමන් කීවා.සදැසි වගේම අප්පච්චිත් හිටියෙ වික්ෂිප්ත  වෙලා..මල්ලිලා දෙන්නාට මේ ගැන ලොකු තේරුමක් නෑ..එයාලා ඔහේ බලං හිටියා..

‘‘ මගෙ පුතාලා දෙන්නා ගෙට යන්නකො..ආං මං පැණි වළලු වගයක් ගෙනත් තියෙනවා. කාමරේට ගිහින් කන්නකො. මහත්තයාත් දුවත් එක්කම ගෙට ගොඩ වෙලා ඉදගමුකො.. ”

අප්පච්චි  කිසි කලබලක් නැතිව කීවා..මල්ලිලා ගෙට දුවද්දි සදැසි රශ්වින්  එක්කම ගෙට අඩිය තිබ්බා..

‘‘දෝණි..මහත්තයා ට බොන්න මොකුත් හැදුවා නම්.. ”

අප්පච්චි  අණ දුන්න නිසා සදැසි සාලෙන් ඉවත් වුනා..රශ්වින් පුටුවකට බර වුණා..සදැසි ගැහෙනවා හොදටම ..කලබලේට කෙල්ලට තේ හදන හැටිත්  මතක් වෙන් නෑ..කේතලේ රත් වෙන්න තියන්නත් බෑ අත වෙව්ලනවා..

‘‘මහත්තයා ..කොයි පළාතෙද.. ”

‘‘මං නුවර අන්කල්.. ”

‘‘හොදට සල්ලි බාගෙ එහෙම ඇති නේද.. ”

            ‘‘ඔව් අන්කල්..කිසි අඩුවක් නෑ.. ”

‘‘එතකොට..මේ කටයුත්තට දෙමව්පියෝ  කැමතිද.. ”

‘‘අවුලක් නෑ අන්කල්”

‘‘මං ඇහැවෙ දෙමව්පියෝ  කැමතිද කියලා.. ”

‘‘අම්මාගෙ නම් අව්ලක් නෑ..ඒත් තාත්තා එක්ක නම් තවම කතා කලේ නෑ..හැබැයි ඉතිං මගෙ කැමැත්තට එයාලා අකමැති වෙන් නෑ..මැරි කරලා එකට ජීවත් වෙන්නෙ අපි දෙන්නනෙ.. ”

‘‘මහත්තයා  කෙලින් කතා කරනවා..ඒක හොදයි..එතකොට එදා රෑ මහත්තයා  ආවෙ. ”

‘‘එදා වුනු දේ සදැසි කීවනෙ අන්කල්..මට සදැසිව අමතක  කරන්න බැරි උනා..ඒ නිසා මං එයාව හොයාගෙන ආවා.. ”

‘‘දුවත් කැමතිද මහත්තයා ට.. ”

‘‘ඔව් අන්කල්..ඒත් මට මහත්තයා  කියන්න එපා..දුරයි වගේ..පුතා කියන්න.. ”

‘‘අපි කොහොමත් දුරයි මහත්තයා ..දුව මහත්තයා ට මේ ගැන මොකුත් කිව්වෙ නැද්ද. ”

‘‘ඒ කිව්වෙ.. ”

‘‘ ඇත්තටම .මහත්තයා  අපි දුවට කටයුත්තක්  කතා කරලා තියෙන්නෙ .. ”

රශ්වින්ගෙ සතුටු  මූණ සැනෙකින් අතුරුදහන්  වුනා..කොල්ලා මෙහෙම දෙයක්  හීනෙකින්වත් හිතුවෙ නෑ..

‘‘අපි ඒ අයට වචනෙ දීලා ඉවරයි ..දුවත් කැමති වුනා..අපි බොහොම දුප්පත්  මිනිස්සු  මහත්තයා ..ඒත් අපි දීපු වචනයක් කවදාවත්  වෙනස් කරන් නෑ.. ”

‘‘ඒත් අන්කල්..ඒක හරිම අසාධාරණයි ..සදැසි මට කැමති නම් ඇයි ඒක වෙනස් කරන්න බැරි. ”

‘‘අපි අසරණයි මහත්තයා ..අනික මහත්තයා  මේ ඉන්නෙ සෙල්ලක්කාර වයසක..මගෙ දුවගෙ රූපෙට වහ වැටිලා මහත්තයා  කසාද කතා කලාට කසාද ජීවිතේ  ඔහොම සැහැල්ලු නෑ මහත්තයා ..ලොකු වගකීමක්..මහත්තයා  එදා රෑ හිටියෙ මත් වෙලා කියලත් මං දන්නවා..මහත්තයා  හිතුවෙ මට ඒක නොදැනුනා කියලා වෙන්න ඇති..ඒත් පුතේ අපේ කෙස් පැහුනෙ අකලට නෙවෙයි.. ”

‘‘ප්ලීස් අප්පච්චි ..මට සදැසිව ඕනෙ..මට එයා නැතුව බෑ.මං එයාට ගොඩක් ආදරෙයි .. ”

කොල්ලා සදැසිගෙ අප්පච්චි ළඟ දණින් වැටුනා..සදැසි තේ එක අරං ආවෙ එතකොට..සදැසිගෙ ඇස් වලට කදුලු  පිරුනා.කොල්ලා අප්පච්චි  ඉස්සරහ  දණින් වැටිලා ඉන්නවා..

‘‘මහත්තයා  අවංක බව මට තේරෙනවා..ඒත් අපි අසරණයි ..මහත්තයා  මගෙ කෙල්ලට ඇත්තටම  ආදරේ නම්  එයා සහෝදරියක් කියලා හිතලා අමතක  කරන්න.. ”

රශ්වින් නැගිට්ටා..තවත් කතා කරලා වැඩක් නෑ..රශ්වින් සදැසි දිහා බැල්මක් වත් හෙලන් නැතුව  පිටවෙන හැටි සදැසි බලං හිටියෙ වේදනාවෙන් ..රශ්වින්ගෙ කාර් එක නොපෙනී ගියා.

‘‘දුව…අද ඒ වැඩේ කල් ගියා..ඒ නිසා  මං ආවා…..හෙට උදේ අර ඇත්තොන්ගෙ ගෙදරින්  නැකැත් අරං එනවා කියලත් කපු නෝනා කීවා…මං ආපු නිසා ඒ ගමන මං ස්ථිර  කළා.. ”

අප්පච්චි  රශ්වින්  ගැන වචනයක්වත්  කතා නොකර මේ කියන ඒවා සදැසි අහං හිටියෙ පුදුමෙන් ..

‘‘අප්පච්චි …අනේ”

අප්පච්චි  අත ඉහලට ඉස්සුවා..

‘‘දුව මං අහිංසක ගැමියෙක්..ඒත් මගෙ වචනෙ වෙනස් කරන්න බෑ..අනික ඒ මහත්තයා  සෙල්ලක්කාර  වයසට දුව ගැන හිතුවට පහු වෙනකොට දෙන්නගෙ නොගැලපීම් තේරෙයි..දැන් මං දුවට කතා කරලා තියෙන්නෙ අපිට ගැලපෙන කෙනෙක්.. ”

‘‘රශ්වින් හොද කෙනෙක් අප්පච්චි .. ”

‘‘වෙන්න පුලුවන්   ඒත් දැන් කරන්න දෙයක් නෑ.. ”

අප්පච්චි  ගේ ඇතුලට  ගියෙ කතාව ඉවරයි කියල නොකියා කියලා..මොකක් වුනත් අප්පච්චි ගෙ වචනෙට ඉහලින් යන්නවත්.. ඒ වචනෙට අකීකරු වෙන්න වත් සදැසිට හයියක් නෑ..හෙට දවසෙ සිද්ද වෙන දේ ගැන සදැසි අවිනිශ්චිත  හැගීමෙන් රැය පහන් කලේ කොට්ටෙ පුරාම කදුලු වැල් ගලන් යද්දි…

‘‘රශ්වින්..රශ්වින්..මට ඔයාව ආයෙ කවදාවත්  දකින්න ලැබෙන් නැතිවෙයිද..අනේ මගෙ මහත්තයෝ …ඔයාට දියකිදුරිව  ලැබෙන් නෑ..මං මායාවක් විතරයි .. ”

🌹🌹🌹🌹

 

රශ්වින් කාර් එක එලෙව්වෙ ෆුල් ස්පීඩ් එකෙන්..කොල්ලගෙ ඇස් රතුවෙලා ..කේන්තිය උපරිමයි…බලාපොරොත්තු  කන්දක් තිබ්බා..මනුස්සයෙක්ගෙ බලාපොරොත්තු  කඩවුනාම දැනෙන අපේක්ෂාභංගත්වය. ඒක පීඩිත හැගීමක් ….රශ්වින්ගෙ  ඔලුව පුපුරන්න  වගේ..ඔක්කොමත් හරි සදැසි නිකමටවත් කිව්වෙ නෑ..

‘සදැසි…උඹ රශ්වින් කවුද කියලා තවම දන්නෙ නෑ. උඹෙ ඔය මගුල වෙන්න දුන්නොත් මං රශ්වින් නෙවෙයි…උඹෙ මනමාලයා මං පරලොව යවනවා..’

කොල්ලා කාර් එක පාරෙ අයිනෙන් නතර කලා..කාර් එකෙන් බැහැලා.කාර් එකේ රෝදෙකට  පයින් ගැහැවා.

‘‘ශිට්..මගුල.. ”

රශ්වින් එක අතක් ඉනට තියාගෙන කොණ්ඩෙ අතින් පීරුවා..

එක්කෝ දැන්ම ගිහින් ඒකිව ඇදගෙන එනවා..මට බැරිද එච්චර  දෙයක්…සදැසි මගෙ..ඒත් අර පොඩි උන් දෙන්නා..උන් පව්…උන් බයවෙයි…කොච්චර  උනත් සදැසි අප්පච්චි ට ආදරෙයි ..බයයි..අනේ මන්දා..බලමුකො එක හීනෙන් එලිවෙන් නෑනෙ..

‘ඔයා මගෙ දියකිදුරි…’

කොල්ලා ආයෙත් කාර් එක ස්ටාර්ට්  කර ගත්තා

 

🌹🌹🌹🌹

 

නැකැත් අරං ආපු පිරිස බර සාකච්ඡාවක්..සදැසි පැත්තකට වෙලා ඉදගෙන හිටියෙ මල්ලිලාත් එක්ක..මනමාලයා  සදැසි දිහා බැලුවට කෙල්ල නිකම්වත් ඔලුව ඉස්සුවේ නෑ..මේ වෙනකල් දෙන්නම වචනයක්වත්  තනියම තියා නිකම්වත් කතා බහ කරලා නෑ..මනමාලයා ට සදැසි එක්ක කතා බහ කරන්න උවමනා උනාට මල්ලිලා  දෙන්න හෙල්ලෙන් නෑ..සදැසි කලින්ම මල්ලිලා ට උගන්නලා තිබ්බෙ එයාව තනි කරන්න එපා කියලා..

‘‘අක්කෙ…අර  මහත්තයා  අපිට රවනවා.. ”

නිදැස්  හිමීට මිමිණුවා.පොඩි උනාට කොල්ලො දෙන්නට ටක් ගාලා යමක් වැටහෙනවා..

‘‘ඉතිං ඔයාලත් රවන්න.. ”

‘‘හා..අපෙ රශ්වින් අයියා නම් එහෙම නෑ .හරි හොදයි..අක්කෙ ඔයා එයාව බදින්න..එතකොට අපිට හැමදාම සෙල්ලම් කරන්නත් පුලුවන්.. ”

සදැස් කිව්වෙ සදැසි තරවටු බැල්මක් හෙලද්දි.

‘‘ස්ස්ස්ස්ස්..කෑ ගහන්න එපා මල්ලි.. ”

‘‘අක්කෙ ඔයා කියන්නකො එයාට යන්න කියලා”

‘‘ අප්පච්චි  බනී..කෑ ගහන්න එපා.. ”

මනමාල පිරිස යනකල්ම පොඩි දෙන්නා කොහොල්ලෑ වගේ කෙල්ලට ඇලිලා හිටියා..

‘‘දුව හෙට වැඩට යනවද..දැන් මගුලත් ළග එකේ ඔය රස්සාව  නතර කලොත් මොකද.. ”

‘‘අප්පච්චි  ලබන මාසෙ වෙනකල් මං යන්නම්..මේ මාසෙ පඩි ගත්තෙත් නෑ තවම..මං අස් වෙනව කියලා කියන්න ඕනෙ කලින්.. ”

‘‘හ්ම්..අර මහත්තයා  කිව්වා දෝණි එක්ක ටිකක් කතා කරන්නත් ඕනෙ කියලා..මං වැඩ කරන තැන විස්තර  දුන්නා…මගුලට ඕනෙ කරන ඒවත් ලෑස්ති කරගමු..මං ඉතුරු  කර ගත්ත සල්ලි ටිකක් තියෙනවා ..එයාලා කිව්වෙ දෙගොල්ලොම එකට ගමු කියලා..ඒ නිසා අපිට ලොකු වියදමක් නෑ..මං මේ ඉඩම දෝණිගෙ නමට ලියනවා..මල්ලිලා දෙන්නට සලකගෙන මං නැති කාලෙක ඉන්න මගෙ දුව.. ”

සදැසි ඉකිගැහුවා.

‘‘මොනවද  අප්පච්චි  මේ කියන්නෙ..අප්පච්චි මගෙ ආයුසත් අරගෙන ජීවත්  වෙන්න ඕනෙ.. ”

‘‘ ආයුස ගැන අපිට කියන්න බෑ දරුවො..මට ඕනෙ ඉක්මණට   මේවා එකලාසයක් වෙනවා දකින්න.. ”

සදැසි හිස් බැල්මෙන් පාර දිහා බැලුවා..ආයෙත් ඒ දගකාරයා එන්නෙ නැතිවෙයි..මුළු හිතම පාළු කාන්තාරයක් වෙලා..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!