‘‘ඔයාගෙ අත් ඔච්චර සිනිදු වුණේ කොහොමද? ”
සදැසි රශ්වින්ගෙ ඔලුව හෙමීට අත ගෑවා.කොල්ලා සදැසිගෙ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන සනීපෙට ඇස් පියාගෙන ඉදලා ඇහැවෙ විකාර ප්‍රශ්නයක්.
‘‘එහෙම තමයි ගෑණු ළමයි ”
‘‘ඇත්තද? මං දන්නෙ නැහැනෙ. ”
රශ්වින් හෙමීට කෙල්ලගෙ අතක් අරගෙන සිපගත්තා.
‘‘දැන් නම් ඔලුවෙ අමාරුව අඩුවෙනවා වගේ. ”
‘‘ආ..එහෙමද? ”
සැදැසි දඩිබිඩියෙ රශ්වින්ව තල්ලු කරගෙන නැගිටින්න හැදුවා.
‘‘ඒයි. මෙහෙ එනවා. ”
රශ්වින් නැගිටලා සදැසිව ආයෙත් ළං කරගත්තා.කොල්ලගෙ ගැඹුරු සුසුම් සදැසිගෙ කම්මුල් වලට වැටෙනවා. සදැසි හොදටම බයවෙලා.
රශ්වින් හෙමීට ඒ කම්මුලක් මත දෙතොල් තිබ්බා. රශ්වින්ගෙ පහසින් සදැසි ඇස් පියා ගත්තෙ ඒ උණුහුම විදින්න.ටිකකින් රශ්වින්ගෙ උණුසුම දැනුනෙ කෙල්ලගෙ දෙතොලට. රශ්වින් ආදරණීය විදිහට මුදු විදිහට සදැසිගෙ නළලත දෙතොල් තිබ්බා.
සදැසි ඒ පපු තලේ උඩ හිස තියාගෙන ඒ සෙනෙහස විදගත්තෙ ආදරෙන්. ඒ මොහොතේ කෙල්ලට මේ ලෝකෙ වෙන කිසිම දෙයක් මතක් වුණේ නෑ. කොල්ලාටත් එහෙමයි.රශ්වින් හිටියෙ මත් වෙලා වගේ..ඒ සිනිදු පහස රශ්වින්ගෙ සිතුවිලි නතර කරවලා.තව තවත් ඒ පහසේ ඇලී ගැලී ඉන්න රශ්වින්ට ඕන වුණා.
‘‘ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා”
සාලෙන් ඇහුණෙ රශ්මිකාගෙ සිංදුවක සද්දෙ.සදැසි රශ්වින්ගෙන් ඈත් වුණේ කරන්ට් එක වැදුණා වගේ. කෙල්ල දඩිබිඩියෙ දුවන්න හැදුවා.
‘‘ඒයි ඔහොම ඉන්නවා.ඔය විදිහට ගාල කඩාගත්තා වගේ දිව්වම අක්කා මොනවා හිතයිද? ”
කොල්ලා තරවටු කළා.
‘‘අනේ…අක්කා…අයියෝ. ”
‘‘මෙහෙ එනවා”
රශ්වින් කෙල්ලගෙ කරට අත දාගෙනම කාමරෙන් එළියට ආවා.රශ්මිකා වතුර ජොග්ගුවක් උස්සගෙන කිචන් එක පැත්තට යනවා. ඒ ඇසිල්ලෙන් සදැසි මිදුලට පැන ගත්තා.රශ්වින් අක්කව හොයාගෙන ගියා.
‘‘ආ… මොකද තත්වෙ. ”
‘‘තමුසෙ මරු ඕයි. ඒත් ඇයි මෙච්චර ඉක්මණට ආවෙ? ”
‘‘ ඇයි වෙලාව යනවා දැනුනෙ නැද්ද? මේ මල්ලි..තමුසෙට එකක් කියන්නම්. තමුසෙ ඒ කෙල්ලව අනිවාර්යයෙන් කසාද බදින්න ඕනෙ. තමුසෙ වගේ බූරුවෙක්ට ඒ වගේ කෙල්ලක් හොද වැඩියි තව. අහිංසකීට දුකක් දුන්නොත් මං තමුසෙව තියන් නෑ.. හරිද? ”
රශ්මිකා දබර ඇගිල්ල උලුක් කරලා තර්ජනේ කළා. රශ්වින් මේ කෙල්ල නිසා දැන් හොද අතට වෙනස් වෙලා කියලා දන්න නිසා තමයි රශ්මිකා මෙහෙම දෙන්නට උදව් කරන්න තීරණේ කලේ.
‘‘හරි හරි ඕයි. මං ඒකිට ආදරෙයි. සිරාවටම. ”
‘‘එහෙනම් ඒ තාත්තා එක්ක කතා කරලා මගුල ඉක්මන් කරමු. ”
‘‘මං නං දැන් හරි ලෑස්තියි. ”
‘‘තමුසෙ ඉතිං ලෑස්ති වුණාට කෙල්ලොන්ට එහෙම වෙඩින් ගන්න පුළුවනෑ.. ”
‘‘වෙඩින් නම් මොනවද ඕයි. මං නං ඕවට ආස නෑ..ඒ උණාට ඒ කෙල්ල ආස ඇතිනෙ. ”
‘‘ඒකනෙ.දැන් බලනවා මං.. මගුලට කියලා කොච්චර ලෑස්ති වුණාද? අවුරුද්දකට වැඩිය”
‘‘අපොයි ඔව්. අපෙ හොද පණ ගියා තමුසෙගෙ ඉලව් මගුල් ගේ හින්දා. ඊළග ආත්මෙ නම් තමුසෙ වැරදිලා වත් මගේ අක්කා වෙන්න එපා. ෂිට් කඩවල් ගාණෙ තමුසෙගෙ නාටාමි වැඩේ කර කර ආවෙ මංනෙ.සංසාරේ. ”
රශ්වින් අක්කට ඇහැක් ගහලා එළියට පැන්නා.
‘‘මාමි දැන් ඔළුවෙ අමාරුව හොදයිද? ”
මාමා දැක්ක ගමන් චූටි ඇහැවා.
‘‘මොන”
රශ්වින්ට එකපාරටම ඒකත් අමතක වුණා.
‘‘ඇයි ඔයාගෙ ඔලුව රිදුනා නේද? ”
සදැසි ඇස් හීනි කරලා බලං හිටියා.. බොරුවක් ද කොහෙද කරලා තියෙන්නෙ ..අමුතු හිනාවක් මූනෙ.
‘‘ආ..මේ..ඔව් ඔව්.. දැන් හරි. දැන් යන්නෙ නැද්ද? රෑ වෙනවා නේද?මොකද කියන්නෙ අද මෙහෙ ඉමුද? ”
කොල්ලා සදැස්ට ටොක්කක් ඇන්නා.
‘‘ඉමු ඉමු”
පොඩි දෙන්නා උඩ පැන්නා.
‘‘පිස්සුද? යමු රෑ වෙන්න කලින්”
සදැසි සැර කරපු පාර කට්ටියම සමු අරං යන්න පිටත් වුණා. රශ්වින් ඒ පාරනම් පොඩි දෙන්නව කොහොමහරි පිටිපස්සෙ සීට් එකට නග්ගලා, කෙල්ලව ඉස්සරහට නංග ගත්තා.
‘‘පොඩි දෙන්නාට දැන් බය ඇරිලා. ”
‘‘අනේ රශ්වින්. මල්ලිලා ලොක් එක අරියිද? එයාලා වැටෙයිද? ”
‘‘පිස්සුද හලෝ. මේකෙ ලොක් දාන්නෙ මං. අරින්න බෑ. ”
සදැසි හැරි හැරී පිටිපස්ස බලනවා. මල්ලිලාට සැර කරනවා. දගලන්න එපා කියලා.
‘‘පව් ඕයි. උන් දෙන්නා ඔහෙ නටපුවාවෙ..තමුසෙ ඉස්සරහ බලාගෙන යනවකො”
රණවිරු උයන හරියත් පහුවුණා.මල්ලිලා දෙන්නට නින්ද ගිහින්. ඒ නිසා සදැසි පිටිපස්සට යන්න හැදුවට කොල්ලා කලේ කාර් එක ස්ලෝ එකේ අරං ගියපු එක.
‘‘බය වෙන්න එපා..මේකෙ ඇතුලෙ වැටෙන්නෙ නෑ. මං හෙමීට අරං යන්නෙ. ”
‘‘අනේ රශ්වින් පව් එයාලා. මං දෙපැත්තෙන් අල්ල ගන්නම්.නවත්තන්නකො. ”
‘‘කිව්වනෙ වැටෙන් නෑ. ”
රශ්වින් සැරකළා.ඇත්තටම කොල්ලා හෙමීට තමා ඩ්‍රයිව් කළේ.
‘‘දියකිදුරි මගේ”
රශ්වින් හෙමීට සදැසිගෙ අතක් අල්ල ගත්තා.අපි මැරි කළාම ඉස්සෙල්ලම දුවෙක් හදමු.ඔයා වගේම දියකිදුරියක්.සදැසිගෙ කට බාගෙට ඇරුණා.
‘‘මොකද ඔහොම බලන්නෙ.ජෝක් නෙවෙයි සිරා හරිද?ඔයා ප්‍රෙග්නන්ට් වුණාමත් මං කාර් එක අරං යන්නෙ මෙහෙම ස්ලෝ එකේ. ”
සදැසිගෙ මූණ රතු වුණා.පිස්සු හොදටම.
‘‘ආයෙ ජොබ් එකට යන්න එපා. ”
‘‘යන්න වෙනවා මට”
‘‘එහෙනම් මං ඇරලන්නම්. සදුදා උදේ ලෑස්ති වෙලා ඉන්න. මැරි කළාට පස්සෙ යන්න ඕනෙ නෑ. ”
රශ්වින්ගෙ හීන.. බලාපොරොත්තු..දෙයියනේ.. සදැසිට එක පාරටම කටුක යථාර්තෙ මතක් වුණා. මේ හිටියෙ හීන ලෝකෙක.ඒත් දැන් ඒවා කියලා රශ්වින්ගෙ මූණෙ තියෙන මේ හිනාව නැති කරන්නෙ කොහොමද?සදැසි දහස් වාරක් හිතින් දුක් වුණා.ඊට පස්සෙ රිකිල්ලගස්කඩට යනකල්ම කොල්ලා කතා කලේ ඉස්කෝලෙ කාලෙ වෙච්චි දේවල් ගැන. සදැසි ඒවට හූමිටි තිය තිය අහගෙන හිටියා.සදැසිලාගෙ ගෙවල් පාරට හරවද්දි කොල්ලාට පාළුයි වගේ
‘‘සිරාවටම දාලා එන්න හිතෙන් නෑ ඕයි. තමුසෙව ඉක්මණට මගේ ළගට ගන්නවා. ”
‘‘ඔච්චර ආදරේ කරන්න එපා රශ්වින්.මට දරා ගන්න බෑ. ”
‘‘මං එහෙමයි හලෝ.ආදරේ නම් ආදරෙයි.. හැබැයි තරහයි නම් ආයෙ මූණවත් බලන් නෑ. ”
කොල්ලා එහෙම කියාගෙන ගෙදර මිදුලට කාර් එක දැම්මා.හවස හයට කිට්ටුයි.මිදුල දිහා බලපු සදැසිගෙ මූණ එහෙමම විරූපී වෙලා ගියේ කොල්ලගෙ කතාවත් එක්කම.
‘‘අප්පච්චි”
සදැසි බයෙන් හැකිලෙද්දි රශ්වින්ට දැනුනෙ මාර සංතෝෂයක්.
‘‘ෂා..කොල්ලගෙ වෙලාව හොදයි. දැන්මම මගුල තීන්දු කරගමු. ”
කොල්ලා අඩියට දෙකට බැහැලා අප්පච්චි ළගට ගියා. සදැසි ගල් ගැහිලා බං හිටියා. මල්ලිලා දෙන්නත් ඒ අතරෙ ඇහැරියා. සදැසි මල්ලිලා එක්කම බැහැගෙන අප්පච්චි ලගට ගියා.. අප්පච්චි ආවෙ ඇයි.
‘‘අන්කල්..මං සදැසිව මැරි කරන්න කැමතියි.. ”
රශ්වින් ගෙ කෙලින් කතාවට සදැසිගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න පටං ගත්තා ..