රශ්වින්ට ආවේ බිස්නස් සම්බන්ධ කෝල් එකක්. ඒ කෝල් එක සදැසිලගෙ ගෙවල් හරියට එනකල්ම නතර වුණේ නැහැ. ඒ කෝල් එකට රශ්වින් කියපු කිසිම දෙයක් සදැසිට හරියට තේරුනේ නැහැ .මොකද සම්පූර්ණයෙන්ම business field එක ගැනයි කතා උනේ .සදැසිට කතා කරන්න උවමනා වුණත් රශ්වින්ට බාධා කරන්න කෙල්ලට පුළුවන්කමක් තිබ්බේ නැහැ
කාර් එක මිදුලට දානකොට සදැසි හොදටම බය උනා.. අප්පච්චි ගෙදර ඇති .රශ්වින් දැන් මොනව කරයිද? මොනවා කියයිද ? මල්ලිලා දෙන්නා මිදුලෙ සෙල්ලම් කරනවා. කාර් එක දැක්ක ගමන් කොල්ලො දෙන්නා සෙල්ලම නවත්තලා ඇස් ලොකු කරගෙන කාර් එක දිහා බලාගෙන හිටියා.එතකොට තමයි කොල්ලගෙ කෝල් එක ඉවර වුණේ.රශ්වින් කාර් එකෙන් බැස්සා.. සදැසිත් එහා පැත්තෙන් බැහැ ගත්තා
මල්ලිලා දෙන්නා කාර් එකෙන් බහින අක්කව දැකලා ටිකක් වෙලා පුදුමෙන් බලන් ඉදල දුවගෙන ඇවිල්ලා අක්කගෙ ගවුමෙ එල්ලුනා.. රශ්වින් හිනාවෙලා දෙන්න ලඟට ආවා
‘‘කොහොමද මල්ලිලා”
සඳැස් නිදැස් දෙන්නම පුදුම වෙලා බලාගෙන ඉන්නවා.රශ්වින් දෙන්නගේම උරහිස් මත අත් තිබ්බා.
‘‘අක්කෙ මෙයා කවුද ? ”
නිදැස් බැරිම තැන ඇහැවා..එහෙත් සදැසිට උත්තර දෙන්න වුනේ නෑ..
‘‘මේ මමද මල්ලිලා ..මම තමා ඔයාලගේ අයියා. රශ්වින් ..හරි ද..ඔයාලා කවුද”
‘‘මං සදැස්..මේ නිදැස්”
‘‘කොයි කොයි ..දෙන්නකෝ බැට් එක ”
කොල්ලා සදැස්ගෙ අතේ තිබ්බ පොල්පිත්ත උදුර ගත්තා..සදැසි දවසක් ගෙනත් දුන්න ප්ලාස්ටික් බෝලෙන් තමයි දෙන්නා සෙල්ලං කරන්නේ.. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් බැට් එකක් විදිහට කපලා අප්පච්චි දෙන්නට හදලා දීල තිබ්බා. රශ්වින් පොඩි එවුන් දෙන්න එක්ක සෙල්ලම් කරා
‘‘මල්ලි අප්පච්චි කොයි . ”
සදැසි ඇහැවෙ අප්පච්චි පේන්නෙ නැති නිසා
‘‘අප්පච්චි පන්සලට ගියා අක්කේ ”
සඳැසි ගේ ඇතුලට ගියේ රශ්වින්ට බොන්න මොනවා හරි හදන්න කියලා.. සදැසිගෙ හිත ගැහෙනවා ..දැන් අප්පච්චි ආපුහාම රශ්වින් මොනවා කියයිද ..මං එයාට ඇත්ත කිව්වේ නෑ කියලා එයා බනී ද ?රශ්වින් ටිකක් වෙලා සෙල්ලම් කරලා දෙන්නත් එක්ක මිදුලේ තිබ්බ අඹ ගහ යට බංකුවක ඉඳගත්තා. ඒ ඩිංගට දෙන්න රශ්වින් එක්ක මාර විදිහට ෆිට් උනා .
‘‘අයියා කොහෙ ඉදලද ආවේ”
නිදැස් ඇහැවෙ රශ්වින්ගේ කාරෙක දිහා පුදුමෙන් බල බල
‘‘මං ආවෙ නුවර ඉඳලා ”
‘‘ඇයි ඔයා අපේ අක්කිත් එක්ක ආවෙ”
‘‘අක්කි ඇරලන්නනෙ”
‘‘අයියා. අපි බයේ හිටියේ අක්කි අද එන්නේ නැති වෙයි කියලා ..අප්පච්චි හෙට මාලිගාවට යන්න බැහැ කිවුවා ”
පොඩි එවුන් දෙන්නා ගිරව් වගේ කොල්ලාත් එක්ක කියවනවා .
‘‘ඇයි හෙට මාලිගාවට යන්නේ”
‘‘ඇයි අනේ අක්කි ඔයාට කිව්වේ නැද්ද ..හෙට අපේ උපන්දිනේ ..අක්කි හැම උපන් දිනයකටම අපිව මාලිගාවට එක්ක යනවා.. අක්කි හෙට අද ආවෙ නැත්නම් හෙට මාලිගාවට යන්න වෙන්නෙ නැහැනෙ අපිට ”
‘‘අප්පච්චි හෙට උදේම ඈත වැඩකට යනවා කීවා .. එහා ගෙදර අපි දෙන්නව තියලා ”
‘‘ඒත් දැන් ඔයාලගේ අක්කි ආවනෙ .. ඒක නිසා ඔයාලව මාලිගාවට එක්ක යයි ”
‘‘ඔයා දැකල තියෙනවද මාලිගාවේ ඉන්නවා ලොකූ අලියෙක් ”
සදැස් ඇස් දෙකත් ලොකු කරල කටත් උල් කරල හුරතල් විදිහට කියන හැටි රශ්වින් බලන් හිටියේ ආදරෙන්.
‘‘සූ..ඇත්තද මං දැකලා නෑනේ ”
කොල්ලා ඇස් ටිකක් ලොකු කරල කිව්වා
‘‘ඒකනෙ අනේ ඔයා නුවර හිටියට ඇති වැඩක් නැහැ ”
සදැසි තේ එකකුත් හදාගෙන මිදුලට ආවෙ ඒ වෙලාවේ ..දෙන්නම ගිරව් වගේ කොල්ලත් එක්ක කියවන හැටි දැක්කම සදැසිට හිනා ගියා .සදැසි තේ එක කොල්ලට දුන්නා..
‘‘අක්කා අපිට තේ නෑ නේද ”
සදැස් මූණ ඇඹුල් කරගෙන කීවා
‘‘ඔයාලටත් එක්ක තමයි හදලා තියෙන්නෙ මේ ලොකු මග් එකට”
රශ්වින් එහෙම කියලා දෙන්නටම තේ පොවන හැටි සදසි බලන් හිටියේ පුදුම වෙලා.
‘‘අපි මෙයාටත් උගුරක් දෙමු නේද.. නැත්නම් මෙයා කෙල ගිලියි…අනේ අපේ අසරණ බඩවල් පව්..එතකොට.. ”
රශ්වින් සදැසිට ඇහැක් ගහලා තේ කෝප්පයෙන් කෙල්ලට උගුරක් පෙව්වා..ඊට පස්සෙ කොල්ලා ඉතුරු ටික එක හුස්මට බීගෙන ගියා
‘‘ෂා මරු..නියමයි ”
කොල්ලා එක හුස්මට බීපු තේ කෝප්පෙ කෙල්ලට දුන්නා.
‘‘ අප්පච්චි එන්න රෑ වෙයිද සදැසි”
‘‘එ්ක තමා ”
‘‘පංසල මේ ළඟද ..මං ගිහිල්ලා හම්බවෙන්න ද ..ඒත් එහෙම තැනකට මෙහෙම යන එක හරි නෑ නේද ..හෙට උදේම එන්නම්..හරි නේ.. දැන් රෑ වේගෙන එන නිසා තුන්දෙනාම ගෙට ගිහිල්ලා දොරවල් වහගෙන ඉන්න අප්පච්චි එනකල්.. ”
පොඩි එවුන් දෙන්න ඔලුව වැනුවා.රශ්වින් පොඩි දෙන්නගෙ ඔලුව අත ගාලා සදැසිගෙත් ඔළුව අතගාලා කාර් එකට ගොඩ උනා
‘‘පරෙස්සමින් .. යන්න බුදු සරණයි ”
සඳැසි වගේම පොඩි දෙන්නත් කියද්දී රශ්වින් ගෙ හිතට මොකක්දෝ වුණා ..මේ කට්ටිය කොච්චර අහිංසකද ..ඒ හිත් වල තියෙන්නේ කොච්චර හොඳ හැඟීම් ද ?
අප්පච්චි එන්න රෑ වුණා ..එතකොට පොඩි දෙන්නම නින්දට ගිහිල්ලා. සඳැසි අප්පච්චිට මේ ගැන කියන්නේ කොහොමද කියල හිතා ගන්න බැරුව හිටියේ ..කියලත් බෑ නොකියත් බෑ .එක අතකට රශ්වින් ඇවිල්ලා කියන එකත් හොඳයි
‘‘දෝනි අද ආපු එක හොඳයි ..මං හිතුවෙ එන්න බැරි වෙයිද කියලා .පොඩි දෙන්න බයේ හිටියේ මාලිගාවට යන්න බැරිවෙයි කියලා”
‘‘ඉතින් මං ආවානෙ අප්පච්චි අපි මාලිගාවට යමු ”
‘‘මට යන්න වෙන්නෙ වෙන්නේ නැහැ දෝනි.. මට දවස් දෙකක වැඩක් හම්බුනා.. හෙට පාන්දර මං එහෙ යනවා.. මං එන්නෙ අනිද්දා හවස.. ”
‘‘අප්පච්චි එතකොට අපිට තනියමනෙ යන්ට වෙන්නේ ”
‘‘කමක් නෑ පොඩි දෙන්නත් එක්ක හිමීට බස් එකේ ගිහින් එන්න පුලුවන්නෙ ..නැත්තං පොඩි දෙන්නගෙ හිත් නරක් වෙයි. ”
‘‘ මං එක්ක යන්නම් එහෙනම්. ”
‘‘ රෑ වෙන්න කලින් ගෙදර එන්න”
සදැසිට එදා රෑ හරියට නින්දක් නෑ..කොල්ලවමයි මතක් වෙන්නෙ….හෙට උදේම රශ්වින් එයිද ? ඒත් මාලිගාවට යන්නත් ඕනෙ.. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ
පහුවදා පාන්දරම අප්පච්චි ගියා.. සදැසි උදේම නැගිටලා කිරිබත් හැදුවා.. සදැසි අප්පච්චිටත් අත කිරිබත් කන්න දීලා තමා යැව්වෙ..ගෙදර තිබ්බ පොඩි මේසෙට කිරිබත් ඇරලා කෙහෙල් ඇවරියකුත් එක්ක තියලා පොඩි දෙන්නට ඇහැරෙව්වා.
‘සුභ උපන්දිනයක් මගේ පැටවුණේ ”
කොල්ලො දෙන්නට මාර සන්තෝසයි .. කෙල්ල ගෙනාපු අලුත් ඇඳුම් දෙකත් මල්ලිලාට දුන්නා. ඒවත් ඇඳගෙන කිරිබත් කන්න යනකොටම උදේ හතට විතර මිදුලෙ කාර් එකක් හෝන් කරනවා ඇහුනා . රශ්වින් ගෙට ගොඩ ගොඩවුනේ අතින් කටින් මළු ගොඩක් පුරවගෙන
‘‘හැපි බර්ත්ඩේ කොල්ලනේ ..ඔන්න අයියත් ආවා. ශා..කිරිබත් තියෙන්නේ. මරු ”
රශ්වින් නිල් ඩෙනිමට සුදු ෂර්ට් එකක් ඇඳලා.. දිග සුදු ගවුමක් ඇඳල ඉන්න සදැසි දිහා රශ්වින් බලන් හිටියේ හරි සන්තෝසෙන් ..ඒත් සදැසිට මේක ලෝක පුදුමයක් ..රශ්වින් කොහොමද දන්නෙ මල්ලිලාගෙ උපන්දිනේ ගැන
‘‘ඔහොම බලන්න එපා අක්කේ.. මල්ලිලා විස්තර කීවා .. අපි දැන් මාළිගාවට යනවා. කොයි අප්පච්චි”
කොල්ලා කිව්වේ සදැසි දිහා බලාගෙන
‘‘අප්පච්චි උදේම ගියා අයියා”
සදැස් උත්තර දුන්නා .රශ්වින්ට මෙලොව වගක් නැහැ ..කොල්ලා කිරිබත් කෑල්ලක් අරගෙන කෙලින්ම පොඩි උන් දෙන්නට කැව්වා ..ඊළඟට සදැසිටත් කැව්වා .වෙන දේවල් අදහා ගන්න බැරුව සදසි ඔහේ බලාගෙන ඉන්නවා
‘‘අයියා මේ මලු වල මොනවද තියෙන්නෙ”
සදැස් ඒවා දිහා බැලුවේ කුතුහලෙන්
‘‘ වැඩි දෙයක් නෑ .. ඔයාලට එක වගේ ඇඳුම්.. එතකොට බෝල බැට් සෙල්ලම් බඩු ..තව පොත් එහෙමත් ඇති ”
සදැසිට ලොකු පුදුමයක් ..රශ්වින් මේව ගත්තෙ කොයිවෙලේද ..ඊයේ රෑ මේ බඩු ගන්න ඇති.
‘‘ දෙන්නා කාමරේට ගිහිල්ලා මේ මලු ටික අරගෙන ඇදලා බලන්නකෝ.. සාලේ හැඩි වෙනවනේ .. ”
රශ්වින් දෙන්නව ෂේප් එකේ කාමරයට යැව්වා .කොල්ලා කෙල්ල ළඟට කිට්ටු වුනේ දඟකාර හිනාවක් මූණෙ තියාගෙන
‘‘දියකිදුරි ලස්සනයි ඔහොම.. ”
රශ්වින් සදැසිගෙ මූණ අතගෑවෙ ආදරෙන්..සදැසිට මේ දේවල් තවත් දරා ගන්න බෑ..ඒ ආදරේ..තමන්ට විතරක් නෙවේ.තමන්ගෙ පවුලෙ අයටත් ඒ විදිහටම දෙනවා..
‘‘සදැසි ඒ පපුවට බර වුනා.. ”
‘‘මහත්තයා ඇයි මේ..ඇයි මේ..මට දරන්න බෑ.. ”
කොල්ලා ඒ නළල් තලේ තදින් සිපගත්තා..
‘‘මගේනෙ..මගෙ ආදරේනේ..මට නින්දක් නෑ.. රෑ තිස්සෙ මතක් වෙනවා..ෆෝන් නම්බරේ ගන්නවත් මතක් උනෙ නෑනෙ.. ”
‘‘මට ෆෝන් එකක් නෑ රශ්වින්.. ”
‘‘මං අරං දෙන්නම්.. ”
‘‘එපා…රශ්වින් මට කියන්න දෙයක් තියෙනවා.. ”
කෙල්ල ඔලුව ඉස්සුවා.
‘‘අක්කී..මේ බලන්න මේක රිමෝට් කාර් එකක්.. ”
එතකොටම නිදැස් කාමරෙන් එලියට ආවෙ සතුටින් උඩ පැනගෙන..කෙල්ල කොල්ලගෙන් ඈත් වුනේ තත්පරේට.