අවසන් රාත්‍රිය-9කොටස

‘‘මහත්තයා ”

සෑහෙන වෙලාවකට පස්සෙ සදැසි හඬ අවදි කළා.රශ්වින්ගෙ  මුහුණට ආවේ අමුතුම හිනාවක්

‘‘මහත්තයා කොහොමද බස් එකට නැග්ගෙ ”

‘‘නෝනා ..මම බස් එකට නැග්ගෙ පිටිපස්සෙ දොරින් ”

සදැසිගෙ  මුහුණ රතු වුණා..

‘මේ මහත්තයට හොඳටම පිස්සු අප්පා ’

සදැසි   හිත යටින් මුමුණනවා

‘‘ඒකද දැන් තමුන්ට තියෙන දැවෙන ප්‍රශ්නෙ… මම බස් එකට නැග්ගෙ කොයි දොරෙන් ද කියන එකද ..මං මෙහෙම තමුන්ව හොයාගෙන ආපු එක. ඒක ප්‍රශ්නයක්  නෙවෙයිද..තව පොඩ්ඩෙන් මට සිහි නැතිවෙනවා දෙන්න ගියපු ඉන්ජෙක්ශන්  එකට”

කොල්ලා හිනාවුනා..සදැසි ඒ කඩවසම් හිනාව දිහා බලං හිටියා.

‘‘ දන්නවද මං කොච්චර කට්ටක් කෑවද කියලා.. හැමදාම හවසට මං  හිටියේ බස් හෝල්ට් එකේ.. ”

සදැසිගේ ඇස් පුදුමයෙන් මහත් වුණා..

‘ ඒ කියන්නේ මං මහත්තයා ගැන හිතනවා වගේ එයත් මං ගැන හිතනවාද?’

‘‘ඔය ඇත්තම ද …මහත්තයා බස් හෝල්ට් එකේ හිටියෙ  ඇයි? ”

‘‘බස් ගණන් කරන්න ..හරි නේ .. තමුසෙට මොලේ නැද්ද ඕයි. තමුසෙට මං කැමතියි.. ඒක තේරෙන්නෙ නැද්ද ?නැත්නම් මං  හොයාගෙන මෙහෙම එනවද.. අනිත් එක තමුසෙ මට අකමැති නම්  මගේ අතේ එල්ලිලා ඔය විදිහට එනවද ? ”

ඒ පාර රශ්වින්ට යකා නැගලා.. ඇයි වදේ මේ කියන දේ තේරෙන්නේ නැද්ද?සඳැසි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ  පාර රශ්වින් හිනා වෙනවා

‘‘බය උනාද  ..මං ජෝක් කලේ  හලෝ.. ඒත් ඉතින් විහිළුවකුත් නෙවෙයි ..සිරාවටම මට ඔයාව මීට් වෙන්න ආස හිතුනා ”

සදැසි ඒ පාර නිහඩ වුනා.එදා බීලා කියවද්දි  නම් මීට වඩා වෙනස් වගේ..සදැසිගෙ   මූණ හැකිලුනු බව කොල්ලා දැක්කා..

‘‘ඇයි අප්සෙට් වුනේ..ජෝක් කියපු නිසාද..නෑ සිරා හරිනෙ.. ”

‘‘එහෙම නෙවෙයි..එදා මහත්තයා  බීලා හිටිය වෙලේ නම් ගොඩක් කරුණාවන්තයි.. ”

‘‘ඔහ්. එහෙනම් යමු ආපහු ටවුන් එකට”

‘‘ඒ  මොකටද”

‘‘ශොට් එකක් දාගෙන එන්න”

කොල්ලා ඇහැක් ගැහැවා.සදැසි බකස් ගාලා හිනා වුනා..

‘‘සදැසි..සිරාවටම  මං මේ කියන්නෙ..මට ඔයාව මතක් වෙනවා හොදටම..ෆුල් ට්‍රයි කලා අමතක කරන්න..ඒත් අමතක  කරන්නම බැරිඋනා….රෑට නින්ද යන්නෙම නෑ..ඒ මදිවට ඔෆිස් එකේදිත්  ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි.. ආ..තව එකක්. මට දැන් එඩ්‍රස් ලියාගෙන යන්න ඕනෙ නෑ..ගෙදර පාර අමතක වෙන් නෑ.. ”

කොල්ලා විවෘතයි ..හිතේ තියෙන දේ හැංගුවේ නෑ..

‘‘සදැසි ..ඔයාට මාව මතක් උනේම නැද්ද.. ”

රශ්වින් මේසෙ උඩ තිබ්බ සදැසිගෙ අත උඩින් දකුණු අත තිබ්බා.සදැසි හිරි වැටිලා ගියා..

‘‘මතක් උනා.. ”

‘‘කොයි වෙලේද”

‘‘හැම වෙලේම.. ”

සදැසි කිව්වෙ බිම බලාගෙන යටිතොල හපාගෙන.

‘‘කොලඹ බස් එකෙන් බැහැලා  හෙව්වෙ මාවද.. ”

‘‘ඔව්.. ”

‘‘හිතුනද මං එයි කියලා ”

‘‘ඔව්.. ”

‘‘මට කැමතිද? ”

‘‘ඔව්..ආ…මේ නෑ.. ”

ඔව් කියවුනාට කෙල්ල කලබල වුනා..

‘‘කට බොරු කිව්වත් දිව බොරු කියන් නෑ හලෝ”

‘‘අනේ මහත්තයා ”

සදැසිට එක පාරටම මතක් උනේ එයාගෙ කසාදෙ  තීන්දු වෙලා බව..මෙච්චර  වෙලා රශ්වින්ගෙ ලෝකෙ අතරමං වෙලා හිටපු කෙල්ලට යථාර්තෙ අමතක වෙලා තිබ්බෙ..

‘‘මහත්තයා  වෙන්නෙ මැරි කලාට පස්සෙනෙ කෙල්ලෙ….ආයෙ මට මහත්තයා  කියන්න එපා..ඒ වචනෙ කියන්න එදාට  ආදරෙන් මට ලංවෙලා.. ”

කොල්ලගෙ ඇස් වල දහසක් බලාපොරොත්තු ..

‘‘අනේ.. ”

‘‘ඔයා දුප්පත් ..ඒක මට ප්‍රශ්නයක්  නෙවේ..මට ඕන තරම් සල්ලි තියෙනවා ..මං හොදයි කියන් නෑ..ඒත් මගෙ තියෙන එකම වරද තමා එඩ්‍රස්  එක අමතක වෙන්න වෙරි වෙන එක..ඒ වැරැද්ද  කොහොම හරි හදා ගන්නවා..දැනටමත් පටං ගෙන..පොරොන්දු වෙනවා  ”

කොල්ලගෙ ආයෙ හිතේ එකක් කටේ එකක් නෑ..කියන්න තියෙන ඔක්කොම කියලා දැම්මම හිත නිදහස්..අනික සදැසිව රවට්ටන්නවත් අතරමං කරන්නවත් කොල්ලගෙ අදහසක් නෑ..කොල්ලා කතා කරන්නෙ ඇත්තම ඇත්ත.

ඒත් අවාසනාවට  සදැසිට ඇත්ත කියන්න ඕනෙ උනත් රශ්වින්ගෙ මූණ බලාගෙන කියන්නෙ කොහොමද ..සදැසිත් රශ්වින් වගේම ආදරේ  කරනවා..

‘‘යමුකො දැන්.. ”

රශ්වින්ගෙ පිටිපස්සෙන් ගාට ගාට සදැසි කාර් එකට නැග්ගා. කොල්ලට ඕනෙ උනේ කවුරුවත්  නැති තැනකට යන්න..මොකද ඒ වෙනකොට අවන්හලේ ගොඩක් අය පිරිලා හිටියා .

කොල්ලා  නිහඩව කාර් එක අරං ගියා..සදැසිට කතා කරන්න ඕනෙ වුනාට  සදැසි ගොලුවෙලා හිටියා..පාරෙ පාලු හරියක කාර් එක නතර කරලා රශ්වින් කෙල්ලව බස්ස ගත්තා. රශ්වින් ඒ අත අල්ලගෙන එක පාරටම වම් අතේ වෙදගිල්ලට මුද්දක්  දාද්දි සදැසිට කරගන්න දෙයක් නැතිඋනා…

‘‘සදැසි..ඔයා මට ආදරෙයි  නේද.. ”

කොල්ලා ඒ ඇස් වලටම එබිලා අහද්දි  කෙල්ල මොනවා කියලා කරන්නද .

‘‘ඔයාගෙ ඇස් වලින් මට පේනවා ඒ ආදරේ. ආදරෙයි  නේද.. ”

රශ්වින් කෙල්ලට තවත් ළංවුනා..රශ්වින්ට ඉවසං ඉන්න බැරි උනා.මොකද කෙල්ල තමන්ගෙ කර ගන්න කොල්ලා හීන දැක්කා.කවදාවත්  මේ හිත මෙහෙම  නොසන්සුන් වෙලා නෑ.

‘‘ආදරෙයි  නේද.. ”

කොල්ලගෙ සුසුම් සදැසිගෙ මූණට වැදෙනවා..ඒ ඇස් වල ආකර්ශනේට සදැසි නතු උනා..

‘‘ඔව්.. ”

සදැසිට නිකම්ම කියවුනා..රශ්වින් එක පාරටම සදැසිගෙ කම්මුලක් සිපගෙන නටන්න පටංගත්තා..කොල්ලා තනිකරම පිස්සෙක් වෙලා..

 

🎶

 

ජින්ක චිකා ..ජින්ක චිකා ..ජින්ක චිකා ..ජින්ක චිකා….

හෙ හෙ හෙ හේ… හෙ හෙ හෙ හේ…

 

 

🎶

ඒ දගර නැටුම දකිද්දි සදැසිට නිකම්ම හිනාගියා.එතකොටම එතනින් ගියෙ වෑන් එකක්.ඒකෙ හිටපු කොල්ලෙක් ඔලුව එලියට දාලා විසිල් පාරකුත් ගහගෙන ගියා.සදැසි ලැජ්ජාවෙ රතු උනා..ඒත් මේ පිස්සු කොල්ලා කොච්චර  ආදරණීයද… සදැසිට  මේ සිතිවිලි දරාගන්න බර වැඩියි..

‘‘මේ සතුටට අද නම් වැටෙන්න බොන්න ඕනෙ. ”

කොල්ලා ඩාන්ස් එක නවත්තලා කිව්වා.සදැසි රැව්වා ඒක ඇහුන ගමන්..

‘‘ඔහ් සොරි.. ”

කොල්ලා ඔලුව කහනවා.

‘‘පුරුද්දට  කියැවුනේ.. ”

‘‘ලයිසින් දැම්මෙ නැද්ද  ඔලුවට.. ”

සදැසිත් සාමාන්‍ය තත්වෙට එන්න  උත්සහ  කලා

‘‘මොකක්.. ”

‘‘උකුණොන්ට”

‘‘උඹට මං උකුණො  පෙන්නනවා..වෙලාවක.. ”

කොල්ලා කිව්වේ ඉනට අත තියාගෙන..සදැසි හිනාව පාලනය කරගෙන හිටියා..

‘‘යමු”

ආයෙත් ගමන පටං ගත්තා..

‘‘එදා මං ගියා මනමාලියක් බලන්න.. ”

රශ්වින් කියද්දි සදැසිගෙ ඇග ගැහෙන්න ගත්තා..මේ මොනවද  වෙන්නෙ..කොල්ලාට සදැසිව දුරයි කියලා දැනුනෙ නෑ..හැමදේම කෙල්ලට කියන්නයි ඕනෙ උනේ..

‘‘සිරාවටම  මරු කෑල්ලක් ඈ..හෙප්පුව දිග් කලෙත් ෆැෂනබල් විදිහට .. ”

‘‘ආ.. ”

‘‘ඔව් කොට ගවුමක් ඇදලා හිටියෙ .මොඩ්න් මනමාලියො.. ”

‘‘ඉ..ඉතිං. ඔයා කැමති උනාද.. ”

‘‘නැතුව..කවුද අකමැති එහෙම සිරා කෑලිවලට..ඒත් අවුලකට තිබ්බෙ ඒ වෙනකොට මගෙ හිත දියකිදුරියක් මායාවක් කරලා වශී කරගෙන හිටපු එක.. ”

සදැසිගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ දැන්..ඒත් කෙල්ලට එක පාරටම රත් උනේ තමන්ගෙ  ඇත්ත කියන්නෙ කොහොමද  කියලා..

‘‘මේ සදැසි…ඔයාගෙ අප්පච්චි  ඉන්නවා ඇති නේ ගෙදර…බෑණා මෙහෙම ආවට අවුලක් නෑනෙ..අද කළ යුතු දේ අදම කරන්න ඕනෙ..මං නම් එහෙමයි.. ”

සදැසි හොදට ම බය උනා..අප්පච්චි  කියන්නෙ දීපු වචනෙ වෙනස් කරන විදිහෙ කෙනෙක් නෙවෙයි..

‘‘රශ්වින්.. ”

කෙල්ල හිතට දිරි ගත්තා.. රශ්වින්ට මාර හැපි .කෙල්ල නම කියලා කතා කල එක කොල්ලට ලෝකයක්..

‘‘කියන්න වස්තුව. ”

කොල්ලා සදැසිගෙ අතක් අරගෙන ඒ මත දෙතොල් තිබ්බෙ සදැසිව තවත් අසරණ කරලා..මේ ආදරේ කෙල්ලට දරා ගන්න බෑ..හම්බුවෙලා දවස් දෙකයි ඒත් සින්නක්කරේටම  අයිති කර ගන්න තීරණේ කරලත් ඉවරයි..අර පොරොන්දම ..මේ පොරොන්දම…ඒවා කොල්ලට අදාලම නෑ..

‘‘රශ්වින්..මං කියන දේ.. ”

‘‘බයවෙන්න එපා..මං අප්පච්චිට කතා කරන්නම්.. ”

‘‘රශ්වින් අහන්න.. ”

රශ්වින්ගෙ ෆෝන් එක රිං උනේ එතකොටමයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!