අවසන් රාත්‍රිය-8කොටස

රශ්වින් ගුඩ් ෂෙඩ් එකේ හොටෙල්  එකක් ඇතුලෙ ඉදගෙන තිබහ නිසා කූල් ඩ්‍රින්ක් එකක් බොන ගමන් හිටියෙ. ඒකෙ ඇතුලෙ හිටියට වීදුරු දොරන් එළිය පේනවා.අදත් බලාපොරොත්තු  සුන් වෙයි කියලා කොල්ලගෙ හිත බයෙන් හිටියෙ.

ඒත් කොළඹ බස් එකෙන් බැහැලා කැරකි කැරකි වටපිට බල බල එන කෙල්ලව දැක්කම කොල්ලා බිබී හිටපු බීම උගුරත් ඉස්පොල්ලෙ ගියා. සන්තෝසේ කියාගන්න බෑ.ඒත් මේ කෙල්ල වටපිට බල බල හොයන්නෙ කාවද?කොල්ලගෙ හිතට ආවෙ සැකයක්.ටිකක් වෙලා  බලං ඉදලා කෙල්ලව ෆලෝ කරගෙන ආවා.සදැසි රිකිල්ලගස්කඩ බස් එකට නගින්න යද්දිත් වට පිට බැලුවා.කොල්ලා කණුවකට මුවා වුණා.

ඒත් බස් එක අද්දන්න හදන කොට රශ්වින් බස් එකට නැග්ගෙ පිටිපස්සෙ දොරන් . සදැසි ළග අසුන හිස් වෙලා තියෙනවා දකිද්දි ආයෙ ඉතිං කොල්ලට මාර හැපි.රශ්වින් නිකමට වගේ  සිතට ආපු දගකාර සිතිවිල්ල නිසාම, සදැසිගෙ හැටි බලන්නත් එක්ක ඇගට හේත්තු වුණා. ඒත් සදැසි බෑග් එකෙන් හැට්ට කට්ටක් අරගද්දි කොල්ලට තරු පෙනුනා.

කොල්ලා කරන්ට් එක වැදුනා වගේ ඈත් වුණේ තව ටිකකින් ටී පනස් හයක් බැස්සුවාට වඩා හපන් වෙන නිසා.

‘අහිසංක පාටට හිටියට මේකි ලේසි එකියක් නෙවේ. ’

කොල්ලා හිතුවෙ සන්තෝසෙන්. මෙහෙම අපත වැඩ කරන උන්ට දෙයියන්ගෙම පිහිටයි.

‘‘ඔහොම නේද කළගුණ සළකන්නෙ.. මැඩම් ආ. ”

කොල්ලගෙ ගැඹුරු හඩට සදැසි ගැස්සිලා ගියා.. කෙල්ල එකපාරටම කොල්ලා දිහාට හැරුණා.ඒ කටහඩ..

‘‘ දෙයියනේ රශ්වින්.. ”

සදැසිගෙ හිතට දැනුනෙ පුදුම සන්තෝසයක්.ඒ වගේම තමා රශ්වින්ටත්. කොල්ලා ඇස් වලිනුත් හිනාවෙනවා.

‘‘ අනිනවකො ඔය හැට්ට කට්ටෙන්. අපොයි අහිංසක රශ්වින් කොල්ලා”

සදැසි තාමත් පුදුමෙන් බලං ඉන්නවා

‘‘මැඩම්..මේ බස් එකේ රිකිල්ලගස්කඩට ආවම  ආපහු එන්න බස් එකක් තියෙයිද? මගේ කාර් එක හොරු අරං යයිද? බහිමුද බස් එකෙන් .මං ඇරලන්නම්”

රශ්වින්ම හේතු කියලා තීරණෙත් අරගෙන සදැසිගෙ අත අල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා.සදැසි රූකඩේ වගේ කොල්ලගෙ පිටි පස්සෙන් ගියා.සදැසිට මේක අදහගන්න බෑ. බෙල් කරපු පාර කොන්දොස්තර මල්ලි ගමකට බනිනවා. බස් එක අද්දලා තිබ්බෙ මගකට විතරයි.

රශ්වින් අත අත් අරින්නෙම නෑ .සදැසිත් සද්ද නෑ..හෙමින් පයින්ම කාර් එක ළඟට දෙන්නා ඇවිදගෙන ආවා. කොල්ලා දොර ඇරලා දුන්නම සදැසි කතාවක් නැතුවම නැග්ගා. හාරගම හරියට එනකල්ම දෙන්නම සද්දයක් නෑ.ආවට මොකද සදැසි දැන් ඉන්නෙ තුෂ්ණිම්භූත වෙලා. හිතින් ප්‍රාර්ථනා කලාට මොකද ඇත්තට මුහුණු දෙන්න අමාරුයි. කියන්න දාහක් දේවල් හිතේ තිබ්බට කිසිම දෙයක් කියාගන්න බෑ.අහන්න දාහක් දේවල් තිබ්බට කිසිම දෙයක් අහගන්න බෑ.

 

හාරගම ෆාම් එක ළග තියෙන අවසන්හලේ අයිනෙන් කොල්ලා කාර් එක නතර කළා.රශ්වින් හොදට සීට් එකට හේත්තුවුණා.

 

🎶මේ නිහඩ බව බිදෙන්න

තව මොනවා හරි කියන්න

ඔය ඇස් වලින් සිනාසී

මා දිහා දැන් බලන්න.🎶

 

රශ්වින් තාලෙට කියදිද සදැසිගෙ මූණට හිනාවක් ආවා.

‘‘යමු.  ෆාම් එකේ  යෝගට් කමු පැණි එක්ක”

රශ්වින් එක්ක බැහැලා  සදැසි අවන්හලේ එළියෙ මේසයක් ළග ඉදගත්තා

‘මොකද්ද මේ වෙන්නෙ.’

කෙල්ලගෙ පපුව ගැහෙනවා  හොදටම.සදැසි හොදටම බය වෙලා ඉන්නෙ.රශ්වින් දිලිසෙන ඇස් වලින් බලද්දි සදැසිට රශ්වින් ළගින්ම ඉන්න ඕනෙ කියන හැගීම වගේම. ඒ ඇස් වලින් පැනලා දුවන්න ඕනෙ කියන හැගීමත් එක විදිහට වද දුන්නා. කොල්ලා යෝගට් දෙකක් අරගෙන පැණි  දාලා සදැසිට එකක් දිග් කළා.සදැසි හිමීට ඒක කන්න පටං ගත්තා.

‘‘එහෙනම් මේක ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වගේ වෙයි නේද? ”

රශ්වින් එක පාරටම කියනකොට සදැසිගෙ හිනාව බකස් ගාලා එළියට පැන්නෙ යෝගට් හැන්දත් පැත්තකට කරලා.රශ්වින් ඒ හිනාව දිහා බලං හිටියෙ ආසාවෙන්.හිනාවෙනකොට ඒ කම්මුල් වල ගැහෙනවා.කම්මුල් රතු වෙනවා. කෙල්ලගෙ තිබුණෙ අහිංසක ලස්සනක්.

‘‘චෑ…මං හිටියෙ සිරාවටම වතුර බැරල් එකක ඔබලා ගන්න. දියකිදුරියක් කරලම. ඒත් ඉතිං ගොලුයි නම් අවුල්නෙ. එක අතකට ඒකත් හොදයි. නැත්නම් කනක් ඇහෙන්න නෑනෙ. ”

රශ්වින් ඔහේ කියවනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!