‘‘කොයි තමුන්ගෙ හස්බන්ඩ් ”
රශ්වින් අහද්දි සදැසිගෙ ඇස් වල කදුලු පිරුනා
‘ මහත්තයා ඉන්නෙ මං ගැන වැරදි වැටහීමක.. ඒත් ඕවා හරිගස්සනවට වඩා එහෙමම හිතාගෙන ඉන්න එක හොදයි..’
කෙල්ල එහෙම හිතුවා..
‘‘දන්නවද..මං නම් මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් උනාම ලගින් හෙල්ලෙන් නෑ.. ඕ.යස්..මේ රශ්වින් කොල්ලා එහෙමයි.. ”
රශ්වින් තනියම කියවනවා. මහත්තයාගෙ නම රශ්වින්. සදැසි දැන් දැන ගත්තා..
‘‘ ඔහ්..ඒක නෙවේ.. ඔයා අඩන්නෙ ඇයි … ”
සදැසි ඒත් සද්ද නෑ.
‘‘මෙච්චර රෑ වෙලා ඇයි මෙතන තනියම ඉන්නෙ.. ”
සදැසි ඒ පාර කට ඇරියා..
‘‘ මං එද්දි ගමට යන අන්තිම බස් එක ගිහින් මහත්තයා ..මං කොළඹින් එද්දි වෙලා ගියා.. ”
‘‘කොළඹ.. ? ”
ඒ පාර රශ්වින් ඇස් ලොකු කරගෙන කෙල්ලගෙ උඩ ඉදලා පල්ලෙහාට බලනවා. සදැසි ඇදලා ඉන්නෙ දණහිසෙන් අගල් තුනක් විතර පල්ලෙහාට දිග බෝරිච්චි අත් දාපු ගවුමක්. ෆුල් ගොඩේ ටයිප් ..ඒ උනාට එන්නෙ කොලඹ ඉදලලු.
‘‘ ඔහ්..ඔයා කැම්පස් ගර්ල් කෙනෙක්ද.. ”
රශ්වින් ඇහැවෙ රැග් සීසන් එකේ කැම්පස් ළමයි මෙහෙම අදින නිසා. සදැසිගෙ ඇස් වල කදුලු අලුත් උනා
‘කැම්පස්..කැම්පස් එක..ඒක සදැසිට හිතන්නවත් බැරි හීනයක් විතරයි …සදැසිට උරුම කැම්පස් එක ගැන අහන එක විතරයි ’
කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවා.
‘‘එහෙනම්”
‘‘ගාමන්ට් එකක මං වැඩ කරන්නෙ. ”
‘‘ ඔහ්… ගාම්න්ට් කෑල්ලක්.. ”
රශ්වින්ගෙ කට කොනක් ඇදවුනා.. මූණට ආවෙ නසරාණි හිනාවක්..සදැසි ඒ දිහා බලං හිටියෙ දුකින්.. ඇයි සමාජෙ මේ තරම් කුරිරු..ගාමන්ට් යන්නෙ මේ සමාජෙම ඉන්න අක්කලා..නංගිලා..නෙවෙයිද… ඒකත් එක රස්සාවක් විතරයි ….පාරෙ කුණු අදින මනුස්සයාගෙ ඉදලා ඉහලම රැකියාව දක්වා. ඒ රැකියා වලින් මොනවම හරි දෙයක් මේ රටට සමාජෙට ලැබෙනවා නෙවෙයිද?
ගාමන්ට් එකේ දවසම වැඩ කරන්නෙ දහඩිය මහන්සිය කැප කරලා නෙවෙයිද? ඉගෙන ගත්ත අය… ඉගෙන ගත්තෙ නැති අය.. කොහොම පරතරයක් තිබ්බත් මේ ජීවන සටනට ඒ රස්සාව නරකද..
සදැසි ඒ ප්‍රශ්න ඇහැවෙ තමන්ගෙ හිතින්මයි. සදැසි ගෙ අපසෙට් උනු මුණ දැක්කම කොල්ලගෙ හිනාව අතුරුදහන් වුනා
‘‘ ඔහ් මට දැන්නෙ මීටර් වුනේ..ඔයාව කොලඹ කොල්ලෙක් රැවැට්ටුවා නේද..බදින්නම් කියලා බබෙක් බඩට දීලා..ඔහ් ශිට්. මහ ජරා සත්තු ..මට ඕකුන්ව පේන්න බෑ”
ඒ පාර රශ්වින් පොලොවෙ අඩි හප්ප හප්ප පුපුරනවා. සදැසි බලං හිටියෙ මේ මනුස්සයා ට මොනව වෙලාද කියලා..
‘‘මොකද්ද නම.. ”
ඒ පාර කොල්ලා අහනවා..
‘‘සදැසි.. ”
‘‘ඔයාගෙ නෙවෙයි හලෝ..අරූගෙ.. ”
‘‘කාගෙද.. ”
‘‘ඔය බඩේ ඉන්න බබාගෙ අප්පගෙ.. ”
‘‘ආ.. ”
සදැසිගෙ ඇස් දෙක පුපුරන්න තරම් විසල් වෙලා..කටත් බාගෙට ඇරිලා.. සදැසි දරා ගන්න බැරිම තැන මහ හයියෙන් අඩන්න පටං ගත්තා..
‘‘අයියෝ..එපා එපා. අඩන්න හොද නෑ..බබාට හොද නෑ….ස්ස්ස්සස්… සොරි මං අහන් නෑ.. ”
රශ්වින් ඒ පාර සදැසිගෙ ඔලුව අත ගානව.. සදැසිට ඒ වෙලාවෙ දැනුනෙ ලොකු රැකවරණයක්.
‘‘මං ගෙදරට ඇරලවන්නම්. බය වෙන්න එපා..මගෙ අක්කගෙ බබා ලැබෙන කල් අක්කා එක්ක එහෙ මෙහෙ ගියෙ මම..මං දන්නවා ප්‍රෙග්නන්ට් මදර්ස්ලා පරෙස්සම් කරන හැටි.. ”
කොල්ලා කිව්වෙ බොහොම කරුණාවෙන්..සදැසිට හිතුනෙ රශ්වින්ව එව්වෙ දෙයියො තමා කියලා..
‘‘ ඒත් මහත්තයා ..මේ ලග පාත නෙවෙයිනෙ..ගොඩක් දුර.. ”
‘‘ කමක් නෑ..මගෙ යාලුවෙක් ඉන්නවා රිකිල්ලගස්කඩ ..මං එහෙ ඉන්නම් අද..ඒත් අවුලකට තියෙන්නෙ මට මතක නෑ උගෙ ගෙදර කොහෙද කියලා..ශිට්.. ”
කොල්ලා මූණ අප්‍රසාදයෙන් එහෙ මෙහෙ වැනුවා..
‘‘මේ ජරාව බිව්වොත් ඔහොමමයි..මගෙ ෆෝන් එකත් කොහෙද දන් නෑ.මතක නෑ.. ”
කොල්ලා ඉනට වම් අත තියාගෙන අනිත් අතින් නළල පොඩි කලා.
ඇයි එහෙනම් බොන්නෙ කියලා අහන්න කටට ආවට කෙල්ල ඇහැවෙ නෑ..ඒ වෙනුවට කෙල්ල ඇහැවෙ වෙන ප්‍රශ්නයක්
‘‘එහෙනම් මහත්තයා කොහොමද රිකිල්ලගස්කඩට යන පාර හොයා ගන්නෙ.. ”
කොල්ල ඒ පාර කෙල්ල දිහා බැලුවෙ රවාගෙන.
‘‘ඇයි තමුන් දන්නෙත් නැද්ද එහෙට යන පාර. තමුන්ටත් වෙරිද? ”
‘‘දන්නවා.. ”
‘‘එහෙනම් මට කියනවා.. ”
සදැසි ඔලුව වැනුවා..
‘අප්පෝ සැර..ඒ උනාට මට පිහිට උනේ මහත්තයා .’
අර කොල්ලො තුන් දෙනා ගැන මතක් වෙන කොටත් කෙල්ලට බයයි.
‘මහත්තයා එවුන්ට ගහපු හැටි..අනේ පව් එයාත් ගුටි කෑවා..’
කෙල්ල රශ්වින්ගෙ පස්සෙන් කාර් එක ලගට ගියා..අලුත්ම පන්නයෙ කාර් එකක්..කොල්ලා ඇරලා දුන්නෙ ඉස්සරහ දොර..සදැසි පැකිලුනා..
‘‘ ඇයි.. ”
‘‘මං පිටිපස්සෙන් ඉද ගන්නම්.. ”
‘‘ඇයි.. ”
‘‘හරි නෑනෙ මං මෙතන ඉදගන්න එක.. ”
‘‘පිස්සු නැතිව නගිනවා හලෝ. ලග හිටිය කියලා මං තමුසෙව ගිලින් නෑ.. ”
රශ්වින් සැර කරපු පාර කෙල්ල ඉදගත්තා..සදැසි කවදාවත් මෙහෙම කාර් එකකට නැගලා නෑ. ආවට මොකද සදැසි ගැහෙනවා..අද කාලෙ කාවවත් විශ්වාස කරන්නෙ කොහොමද.. මහ රෑ ගෑනු ලමයි අරං ගිහින් මරලා දාන කතා.. කරදර කරන කතා..විකුණන කතා.. සදැසිට මතක් උනා. අනේ දෙයියනෙ මේක එහෙම රාත්‍රියක් වෙයිද..මගෙ අන්තිම රාත්‍රිය වෙයිද..කෙල්ලගෙ හිත ගැහෙනවා..
‘රශ්වින් මාව බේරගත්තට එයත් නරක කොල්ලෙක්ද දන් නෑ..’
කොල්ලා කාර් එක ස්ටාර්ට් කර ගත්තා..
‘‘හා දැන් පාර කියමු ”
කොල්ලා එහෙම කිව්වම සදැසි අත දිග් කලා…රශ්වින් ඔලුව කහ කහ ඇක්සලේටරේ පෑගුවා..
‘‘මහත්තයා ”
‘‘ම්ම්. ”
‘‘මහත්තයා නෑවෙ නැද්ද දවස් ගානකින්. ”
‘‘වට්… ”
රශ්වින් ඩ්‍රයිව් කරන ගමන් කෙල්ල දිහා බැලුවා.කලුවර නිසා හරියට කෙල්ලව පේන් නෑ..
‘‘මොකද්ද ඇහැවෙ.. ”
‘‘නෑ ..මහත්තයා හැම වෙලේම ඔලුව කහන නිසා මං ඇහැවෙ..මහත්තයා ගෙ ඔලුවෙ උකුණො ඉන්නවද නැත්නම්..මගෙ ඔලුවෙත් හිටියා…අර ලයිසින් කියලා බෙහෙතක් තියෙන්නෙ. ඒක දෙපාරක් දැම්මා.. උකුණො වද වෙලා යනවා. පව් වැඩක් තමයි සත්තු මරන එක ..ඒ උනාට ඉතිං අපි කොහොමද කොච්චරවත් කහ කහ ඉන්නෙ… ”
සදැසි විස්තර කලේ ඇත්තටම කොල්ලා ගැන අනුකම්පාවෙන්..මහත්තයා කොච්චර හොද කොල්ලෙක්ද..නැත්නම් ඇත්තටම මෙහෙම තමන්ව ඇරලවන්නෙ නෑනෙ..කෙල්ල හිතුවෙ ඇත්තටම හොද හිතින්..
‘‘පිස්සුද ඕයි.ඒ මගෙ පුරුද්ද. ”
රශ්වින් රවනවා කෙල්ල දැක්කෙ නෑ..කොල්ලා සැර කරපු පාර සදැසි නිහඩ වුණා.
‘උකුණො..ඊයා..ශිට්.මේකි වගක් නැතුව කිව්ව හැටි..චාටර් අප්පා’
කොල්ලා හිතින් බනිනවා. වැව රවුමෙ යනකොට සදැසි උවමනාවෙන් වටපිට බැලුවා. විදුලි බල්බ් පාට පාටින් දිලිසෙනවා. නුවර වැවට ඒ එළිය වැටිලා අපූරු රටා මැවිලා. වැව රවුමෙන් රිකිල්ලගස්කඩ පැත්තට යන පාරට දානකොටම පොලිසියෙන් කාර් එක නැවැත්තුවා …
‘‘ඔහ් ෂිට්.. ”
කොල්ලා සුක්කානමේ ඔලුව ගහ ගත්තා..සදැසි ඇස් නලලෙ තියාගෙන බලං හිටියෙ හොදටම බයවෙලා..
‘අනේ දෙයියනේ .ඇයි මං මෙච්චර අවාසනාවන්ත ..මං නිසා මහත්තයාත් අමාරුවේ වැටෙනවා..’
පොලිස් නිලධාරියා ඇවිත් රශ්වින්ගෙ පැත්තෙ ෂටර් එකට තට්ටු කලා..කොල්ලා සද්ද නෑ..සදැසි ඊටත් වඩා බය උනා.
‘දෙයියනේ ..මහත්තයාට නින්ද ගිහින්ද..හපොයි..’