‘‘ මිස්… ගමට යන අන්තිම බස් එක ගියෙ දැන් විනාඩි දහයකට කලින්…”
ටිකට් කවුන්ටරේ අන්කල්ගෙ උත්තරෙත් එක්ක සඳැසි ගොලු වුනා.
‘‘දෙයියනේ! මං දැන් ගමට යන්නෙ කොහොමද? ”
සඳැසිගෙ හිතට දැනුනෙ මහා භයංකාර හැඟීමක්. සඳැසි වැඩ කරන්නෙ ගාමන්ට් එකක. අද සිකුරාදා ගමට එන දවස. කොච්චර කලින් එන්න හැදුවත් මැනේජර් සඳැසිට එන්න දුන් නෑ. කෙල්ල වරුවක් නිවාඩු ඉල්ලන්න ගියාම තවත් වැඩක් දුන්නා. මොකද මැනේජර් සඳැසිට බැල්ම දාගෙන හිටියෙ. ඒ හින්දා එන්න පරක්කු වුනා. සඳැසි මාසෙකින් මේ ගමේ යන්නෙ. නුවරට එනකොට ගොඩක් රෑ වුනා. ඒ වෙනකොට රිකිල්ලගස්කඩට යන අන්තිම බස් එකත් පිටත් වෙලා.
සඳැසිට ඇඩෙන්න එනවා. දුප්පත්කමට ගාමන්ට් එකට රස්සාවට ගියෙ කරන්න වෙන දෙයක් නැතිකමට. සදැසි ළඟ ෆෝන් එකකුත් නෑ. ඇත්තටම කෙල්ල එහෙමවත් සතයක් නාස්ති කලේ නෑ.
‘අප්පච්චි දන්නවා අද එනවා කියලා. මග බලාගෙන ඇති දැන්..’
සඳැසි කල්පනා කර කරම විදුලි පහන් එලියෙන් බස් හෝල්ට් එකෙන් එලියට ආවා. දන්න අඳුනන කවුරුවත් නෑ. තමන්ගෙ අවාසනාවන්තකම ගැන සඳැසිට තමන් ගැනම දැනුනෙ ආත්මානුකම්පාවක්. එන්න එන්න සෙනඟ අඩුවෙනවා. සඳැසිගෙ ඉදිරිපිට නතර කරලා හෝන් කරපු සුදු පාට කාර් එක නිසා කෙල්ලගෙ දැහැන බිඳුනා..
සඳැසි බලද්දි ඒකෙ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු කොල්ලෙක් සඳැසිට අඬ ගැහැවා. සදැසි හොදටම බයවෙලා වටපිට බැලුවා. දැන් නම් කවුරුවත් පේන්න නෑ. සඳැසි එතනින් යන්න හැදුවා විතරයි කොල්ලා ෂටර් එකෙන් ඔලුව දාලා කෑ ගැහැවා.
‘‘ ස්ස්.. මේ නංගි.. ”
සඳැසි ආපහු හැරුණා.
‘‘පොඩ්ඩක්… මේ… මේ එඩ්‍රස් එක කොහෙද කියනවද? ”
සඳැසි ඒ පාර බයවෙලා බලං ඉන්නවා. අර කොල්ලා කාර් එකෙන් බැහැලා වැනි වැනී සඳැසි ලගට ආවෙ එක විනාඩියට. අන්ධකාරෙ දුරු කරන්න පාරෙ වීදි ලාම්පු එළි සටනක යෙදෙනවා. ඒ අතරෙ පෙනෙන මේ රුව ගැන සඳැසි තුෂ්ණිම්භූත වෙලා බලං හිටියා.
‘‘ එක්ස්කියුස්මී නංගි. මේ එඩ්‍රස් එක තියෙන්නෙ කොයි පාරෙද… ”
සඳැසි කොල්ලා දිහා හොඳට බැලුවා. හොඳට බීලා ඉන්නෙ. ඒත් බොහොම වැදගත් පාටයි. හොඳට ඇඳලා. කලු පාට ට්‍රවුසර් එකට ලා දම් පාට ෂර්ට් එකක්. ටයි එකකුත් දාලා. හැබැයි ටයි එකේ බාගයක් තිබ්බෙ ෂර්ට් එකේ සාක්කුවේ. සඳැසි කොල්ලා දිග් කරපු කොලේ අරගෙන බැලුවා. වීදි පහන් ආලෝකය ඒක කියවන්න ප්‍රමාණවත් වුණා.
‘‘ මං දන් නෑ මහත්තයා.. ”
සඳැසි බොහොම අහිංසක ව කිව්වා.
‘‘දන් නෑ? එතකොට මං ගෙදර යන්නෙ කොහොමද? අද රෑ නිදාගන්නෙ කොහෙද? අම්මා බලං ඇතිනෙ… ”
කොල්ලා කියද්දි සඳැසිගෙ ඇස් පුදුමෙන් මහත් වුනා. මේ අහන්නෙ තමන්ගෙ ගෙදරට යන පාරද?
‘‘මං දන් නෑ මහත්තයා… මං මේ පැත්තෙ නෙවෙයි.. ”
‘‘එහෙනම් කොහෙද? ”
කොල්ලා ළඟින් එන සැර මත්පැන් ගඳට සඳැසිගෙ බඩ පපුව කැලැත්තීගෙන එනවා වගේ. කෙල්ල නහය හැකිලුවා. දවල්ට කන්නෙත් නැතුව ආපු නිසා කෙල්ලට හොඳටම බඩගිනියි. ඒ අස්සෙ ආපු මේ ගඳ නිසා කෙල්ලට එක පාරටම වමනෙට ආවා. සඳැසි එහෙමම පාරෙ කාණුව දිහාට නැමුනා.
සඳැසි වමනෙ දානවා දැක්ක කොල්ලා කටත් ඇරගෙන කෙල්ල දිහා බැලුවා.
‘‘ඔවැක් ”
සඳැසි වමනෙ දාලා ආපහු හැරිලා බලද්දි අර කොල්ලා ඇස් පොඩි කර කර සඳැසි දිහා බලනවා.
‘‘ ඔ.. ඔයා ප්‍රෙග්නන්ට් ද? ”
කොල්ලා එහෙම ඇහැවම සඳැසිට කලන්තෙ වගේ.
‘‘පි..පිස්සුද? ”
‘‘එහෙනම් වමනෙ දාන්නෙ. අපෙ අක්කත් පොඩි එකී හම්බුවෙන්න ඉන්නකොට ඔහොමයි වමනෙ දැම්මෙ. ”
සඳැසිගෙ මූණ ලැජ්ජාවෙන් රතු උනා. මේ නම් මහ මොංගල් කොල්ලෙක්. සදැසි එතනින් යන්න හැදුවා.
‘‘ඒයි. ඔහොම ඉන්නවා. කොයි මගෙ එඩ්‍රස් එක.. ”
සදැසිගෙ අතේ තිබ්බ කොල කෑල්ල දිහා බලලා කොල්ලා ඇහැවා. සදැසි ටක් ගාලා කොලේ දිග් කලා.
‘‘එතකොට ඔයා දන් නෑ මේ එඩ්‍රස් එක.. ”
‘‘ නෑ. මහත්තයා මං කීවනෙ”
‘‘ එතකොට මං අද ගෙදර යන්නෙ කොහොමද ? ”
කොල්ලා ඔලුව කහ කහ කාර් එකට නගින හැටි සඳැසි පුදුමෙන් බලං හිටියා. කොල්ලා එහෙමම කාර් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට ගියා. කාර් එකත් වැනෙනවා වගේ.
සඳැසි ආයෙත් කලින් ප්‍රශ්නෙටම වැටුණා. කොහොමද ගෙදර යන්නෙ. විනාඩි පහක් යනකොට සදැසිගෙ ඇස් වල කඳුලු පිරිලා. සදැසි බයවුනේ කොල්ලො තුන් දෙනෙක් පයින් කෙල්ල ඉන්න දිහාට එද්දි. මැර පෙනුමක් තිබුණ කොල්ලො තුන්දෙනා ලොකු බෑග් එකක් තුරුලු කරන් ඉන්න සදැසි දිහා බැලුවෙ ගිලින්න වගේ. අහිංසක කෙල්ල බයෙන් ගැහෙනවා.
සදැසි ගැහි ගැහී කොල්ලො තුන් දෙනා දිහා බලං හිටියෙ මේ තමන්ගෙ අන්තිම රාත්‍රිය කියලා හිතලා. සදැසි දන්නවා එයාට දුවලා බේරෙන්න බෑ කියලා. සදැසි හිටියෙ මැනේජර්කාරයට හිතින් සාප කර කර. මැනේජර් එක එක ඉඟි බිඟි පෑවට, සදැසිව තනි කර ගන්න බැලුවට සදැසි බැල්මකින් වත් අනුබලයක් දුන් නෑ.
අද නිවාඩු ඉල්ලන්න ගිය ගමන්ම මැනේජර් දාපු සවුත්තු හිනාව සදැසිට මතක් උනා. ඇයි මේ ලෝකෙ මෙච්චර කුරිරු. අහිංසක කෙල්ලෙක්ට ඇයි පාඩුවේ ඉන්න දෙන් නැත්තෙ.
‘‘ චීස් බෝලයක්නෙ නංගි. මේ අපි එනකල්ද හිටියෙ. ”
කොල්ලො එක එක කතා කිය කිය කෙල්ලව වට කර ගත්තා. දෙයියො බැලුවා වගේ කාර් එකක් නතර කලේ එතකොට. ආයෙත් කාර් එකෙන් බැහැලා වැනි වැනී ආවෙ ඉස්සෙල්ලා ආව කොල්ලා.
‘‘ බඩදරු අම්මෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති වල් හිවල්ලු උඹලා.. ”
කොල්ලා කාර් එකෙන් බැස්සෙ බැනගෙනමයි.
‘‘මේ අයියෙ මේ ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නෙ.. ”
කොල්ලන්ට වල් හිවල්ලු කියලා බැනගෙන කාර් එකෙන් බැහැලා ආවට ඒ මහත්තයා එහෙම අහලා කොළයක් දික් කරද්දි සදැසිගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා. අර කොල්ලෙක් ඒ කොලේ අරගෙන කාණුවට විසි කළා.
‘‘ මේ හලෝ පව් නොදී යනවද? ”
‘‘ මෙලෝ සිහියක් නැතිව එනවා ගෑනු රකින්න.. ”
සදැසි පුදුමෙන් බලාගෙන ඉද්දි කාර් එකේ ආපු මහත්තයා එක කොල්ලෙක්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා.
‘‘මොකද්ද යකෝ කිව්වෙ. කාටද සිහිය නැත්තෙ.. ”
ඒ එක්කම ඒ කොල්ලා කනට ගහපු පාර මහත්තයා බිම.
‘‘අනේ මහත්තයා .. ”
සදැසිට කෑ ගැහුනා. තමන්ව බේරගන්න ඇවිල්ලයි මහත්තයා ගුටි කෑවෙ..
‘‘හා හා.. නංගි කලබල වෙන්න එපා.. මහත්තයා සෙත්තපෝච්චි. චීස් බෝලෙ යමු අපිත් එක්ක. ”
කොල්ලොන්ගෙ අවධානෙ ආපහු කෙල්ල දිහාට යොමු උනා. සදැසි ගිඩි ගිඩි ගාලා ගැහෙනවා. තමන් කොච්චර අවාසනාවන්ත ද? සදැසිගෙ කේන්දරේ හැටියට අම්මට අපලයි ලු. මල්ලිලා දෙන්න ලැබෙන්න යද්දි අම්මා මැරුණෙ ඒ හින්දලු. නෑදෑයො එහෙම කතා වෙන හැටි පුංචි කාලෙ ඉදලා සදැසිට ඇහිලා තියෙනවා.චූටි සදැසි ඒ වෙලාවට කොහෙ හරි මුල්ලක හැංගිලා අඬනවා. කුලී වැඩ කරන අප්පච්චිට සදැසිට ඉහලට උගන්නන්න හයියක් තිබ්බෙ නෑ. යාන්තම් අවුරුදු දහ අට වෙද්දි සදැසි ගමේ අක්කා කෙනෙක් මාර්ගෙන් මේ රස්සාව හොයා ගත්තෙ අප්පච්චි ගෙ බලවත් විරෝදය මැද.
‘‘ඒයි සුදු කෙල්ලෙ මොකද ගැහෙන්නෙ.. ”
එක කොල්ලෙක් සදැසිගෙ බෑග් එකට අත තිබ්බා.
ඒ එක්කම ඒ කොල්ලා කෑගහගෙන බිම වැටුනෙ සදැසි ඇස් උඩ තියාගෙන බලං ඉද්දි. මහත්තයා ලේ පෙරාගෙන ඒ කොල්ලොන්ට ගහන්න පටං ගත්තෙ සදැසිට මොකුත් හිතා ගන්න බැරිවෙද්දි. වෙරි මර ගාතෙ උනාට රශ්වින්ට මේවා සිම්පල්. අර කොල්ලො තුන් දෙනාම එකවර කඩා පැන්නට රශ්වින් වෙරි මරගාතේ වුණත් කොල්ලො තුන් දෙනාට ඇප නැති වෙන්නම ගැහැවා.
ඉස්කෝලේ කාලෙ ඉඳලම වලි කිව්වොත් එතන රශ්වින්. රශ්වින් නම් එතන වලි. කොල්ලා එහෙම පොරක්. හැබැයි වෙරි මරගාතේ නිසා රශ්වින්ටත් පාරවල් තුන හතරක් වැදුනා. අන්තිමේදී කොල්ලො තුන්දෙනා කෙල්ල ගැන අදහස අත්හැරලා එතනින් මාරු වෙලා ගියා.
‘‘ වල් හිවල්ලු. උඹලා කොහෙද දුවන්නේ? බයේ නේද ? .. කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න දෙන් නැති බූරුවො…. ”
රශ්වින් වැනි වැනි ඈත යන කොල්ලොන්ට තාම බනිනවා. සදැසි හිමීට රශ්වින්ගෙ ළඟට ආවා.
‘‘ මහත්තයා එයාලා ගියා ”
රශ්වින් කෙල්ල දිහා බැලුවා. කෙල්ල තාමත් හොඳටම ගැහෙනවා. ඒ එක්කම සදැසි අත් දෙක එකතු කරලා රශ්වින්ට වැඳගෙන දෙපාමුල වැටුණා. කොල්ලගෙ වෙරිත් හිඳුනා වගේ. කෙල්ල ඒ කකුල් දෙක අල්ලගෙන හොදටම අඬනවා. රශ්වින්ට කරගන්න දෙයක් නැහැ. ජීවිතේ පළවෙනි පාරටයි මේ වගේ සිදුවීමක් සිද්ද උනේ.
‘‘ ඒයි නැගිටිනවා. මොකද මේ කරන්නේ”
රශ්වින් අහකට පැනලා කිව්වා. සදැසි හිමීට නැගිට්ටා .
‘‘මහත්තයට ගොඩක් පින්. මහත්තයා මගේ ජීවිතේ බේරුවා”
රශ්වින් ඔළුව කහ කහ කල්පනා කරනවා දෙන්න ඕනේ උත්තරය මොකක්ද කියලා. සදැසි දැක්කා රශ්වින්ගේ කටේ එක පැත්තක ලේ ගලනවා. කොල්ලට ඒවා ගානක් නෑ..සදැසි ඉක්මනට එයාගේ බෑග් එකෙන් පොඩි ලේන්සුවක් ඇරගෙන කොල්ලට ලං වෙලා ලේ පාර පිහින්න පටන් ගත්තා. රශ්වින් ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා. සුදු මූණ… බෝල ඇස්.. පිම්බුණු කම්මුල්.. රෝස දෙතොල්… විදුලි පහන් වල ආලෝකයෙන් කොල්ලට පේනවා.. කොල්ලට දැන් ඒ මූණ සිපගන්න හිතෙනවා..
‘අපොයි! ඒත් මේ බඩදරු අම්මා කෙනෙක්’
ඒ එක්කම කොල්ලගෙ යටි හිත කෑ ගැහැවා. සදැසි ඉක්මණට ඈත් වුණා. රශ්වින් කටත් ඇරගෙන සදැසි දිහා බලාගෙන ඉන්නවා.
‘‘මේ… ඒක නෙවෙයි. ඔයා මට කිව්වේ ඉස්සරහ වංගුවේ දකුණු පැත්තෙ පාරේ යන්නද? නැත්තං වම් පැත්තෙ පාරට හැරෙන්න කියලද. මං ආපහු හරවන් ආවෙ ඒක අහන්න”
කොල්ලා එහෙම අහද්දී සදැසිගෙ කටත් ඇද උනා.
‘‘මං එහෙම එකක් කිව්වද ? ”
සදැසි තමන්ටම මූමුණ ගත්තා. ඒ පාර රශ්වින් හෝ ගාලා සාක්කු අදින්න පටන් ගත්තා.
‘‘කොයි ඒක ”
කොල්ලා තමන්ටම මුහුණ ගත්තා. කෙල්ලට තේරුණා මේ හොයන්නේ අර එඩ්‍රස් එක ලියල තිබ්බ කොලේ කියලා.
‘‘ මහත්තයා.. මහත්තයා හොයන්නෙ එඩ්‍රස් එක නේද.. ඇයි මහත්තයා අර කොල්ලෙක් ඒක අර කාණුවට විසි කලේ”
‘‘අයියෝ අර කාණුවේ. දැන් මං කොහොමද ගෙදර යන්නෙ”
රශ්වින්ට මේක පුරුද්දක්. හැමදාම බිව්වම ගෙදරට යන පාර අමතක වෙනවා. ඒ නිසා කොලේක ලියලා ඒක සාක්කුවට දාගෙන ඉන්නෙ. කොල්ලා ආයෙත් කාර් එක පැත්තට ඇවිදගෙන ගියා. දොරත් ඇරලා හදිසියේම ආපහු මතක් උනා වගේ සදැසි දිහා බැලුවා.
‘‘ මේ නංගී. එන්න ලිෆ්ට් එකක් දෙන්නම්.. ”
සඳැසි ගල් වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම බීපු කෙනෙක් එක්ක කොහොමද කාර් එකේ යන්නේ. අනිත් එක රිකිල්ලගස්කඩ කොච්චර දුරයිද?
‘‘එපා මහත්තයා මට යන්න පුළුවන්”
රශ්වින් ආපහු කෙල්ල ළඟට ආවා.
‘‘ මං බීලා තමයි ඉන්නේ. ඒ උනාට මගේ ඩ්‍රයිවින් ෂුවර් මට.. බයවෙන්න එපා එනවා.. නැත්නම් අරුන් ආපහු ආවොත් තමුසෙව හපයක් කරලා දායි. අනික බඩදරු අම්මා කෙනෙක් නිසයි මං මේ කියන්නෙ.. ”
රශ්වින් දැඩිව එහෙම කියද්දි කෙල්ල හොඳටම බය වුණා. බඩදරු කතාව කියන්නෙ ඉස්සෙල්ලා සඳැසිට වමනෙ ගිය නිසා. සදැසිට ඒක ගැන කල්පනාවකුත් නෑ. මේ වෙච්චි දේවල් වලට මනස විකාර වෙලා..
‘‘ ඒත් මහත්තයා මගේ ගෙදර මේ ළඟපාත නෙවෙයි රිකිල්ලගස්කඩ”
‘‘මොකක්”
කොල්ලා ආයෙත් ඔලුව කහන්න පටන් ගත්තා.