වලව් පුතා- 13 කොටස

රන්දු විහංගට ගත්තේ ඊට දවස් දෙක තුනකට පස්සේ.

විහඟ මං කෑම්ප්  ආවා

හරි රන්දු..එයා සයින් කළාද?

ඔව්

විහංග  ඔෆීස් රුම් එකේ ජනේලෙන් එලිය බැලුවා

යෙහංසා  ඉස්සර ස්කූටරේ නැගලා එනවා බලන් හිටපු හැටි කොල්ලගෙ හිතේ ඇඳුනා.

විහංග.යෙහංසාගෙ හිතේ උඹ ඉන්නකල් මට එයාට ලං වෙන්න බෑ

දුරකථනයෙන් ඇහෙන රන්දුගෙ ගැඹුරු කටහඬට කොල්ලා ගැස්සිලා ගියා

රන්දු

ඔව් බං .ඉස්සෙල්ලම උඹ එයාගෙ හිතින් යන්න ඕනේ. ඊළඟට මම ඒ හිතට ඇතුළු වෙන්නම්

උඹ  මොනවද කියන්නේ රන්දු

මේකයි  විහංග..නෙක්ස්ට් වීක් මගේ බර්ත් ඩේ එක. මං ඒකට මෙහෙ හොටෙල් එකක පොඩි පාටි එකක් දෙනවා යාලුවන්ට. උඹත් වරෙන්. හැබැයි තනියම බෑ .රෝෂනී එක්ක

රන්දු පිස්සුද  බං. අර චමූ කියනවා වගේ තොරොම්බල් කරත්තයක් දක්කගෙන එන්න මට පුළුවන්ද?

ඇයි උඹ ඔය කටින්ම නේද කිව්වේ රෝෂිණීව මං මැරි කරනවා කියලා .

රන්දුගෙ  සරදම් හිනාව විහංගට පෙනුනෙ නෑ.

කිව්වා තමා බං ඒත් ..

ඒත් මේත්  කියලා බෑ. උඹ රෝෂිනී එක්ක එන්න ඕනෙමයි. මං යෙහංසාටත් ඉන්වයිට් කරනවා .සදූ එයාව එක්ක එයි. උඹ යෙහංසාට පේන්න රෝෂිණී එක්ක ඉන්න ඕනේ. උඹට තේරෙනවනෙ. උඹව එපා වෙන විදිහට ඉන්න ඕනේ

රන්දු.. උඹ මාව පණපිටින් පුච්චන්නද හදන්නෙ ?

උඹට කරන්නම වෙනවා

හරි උඹ ලෝයර්ව හම්බ වුණාද ?

ඔව් ඒවා ගානට.. මේ උඹ දැන්මම රෝෂිණීට කියලා ලෑස්ති කරගනින් .

 

හහ්….ආයේ අමුතුවෙන් ලෑස්ති කරගන්න දෙයක් තියෙනවද? ගෙදරට ඉන්නෙත් මේක්අප් නාලා.

මචං විහංග.. ප්‍රියංගා ආන්ටි කොහොමද කැමති වුනේ? ඊටත් වඩා අංකල්

මොනව කරන්නද බං. වලව් පෙළපතනෙ

විහංග  ෆෝන් එක කට් කළේමහීපාල කාමරයට ඇතුළු වුණු නිසා.

***********

සදූ මං උඹට කීවා මට එන්න බෑ කියලා

යෙහංසා ලිෆ්ට්  එකට ගොඩ  වුණු ගමන් සදුනිට කිව්වා. පාටිය තිබ්බෙ හතර වෙනි තට්ටුවේ.

ඔය චුරු චුරුව නවත්ත ගනින් බං. විහංග එන එකක් නෑ.. රන්දු අයියා කිව්වා මට. අනික වලව්වේ ඉඳලා  මේ බර්ත් ඩේ පාටියකට අච්චර දුර කොළඹ එයිද?

සඳුනි සැර කරපු පාර යෙහංසා නිහඬ වුණා. සඳුනිගේ බල කිරීම නිසාමයි යෙහංසා මේ පාටි එකට ආවේ.සඳුනිමයි බලෙන්ම තද දම් පාට සිල්ක් සාරි ජැකට් එකකට ලා දම් පාට  සිල්ක් සාරියක් යෙහංසාට ඇන්දුවේ. පොඩි මේකක් එකකුත් දැම්මෙ යෙහංසාගෙ විරෝධය නොසලකා.

පාටිය තිබුණු හෝල් එකට ඇතුළු වෙනකොටම රන්දු ඇවිත් යාලුවෝ දෙන්නව පිළිගත්තා. රන්දු අද ක්‍රීම් පාට ෆුල් සූට් එකක් ඇඳලා.

අම්මේ… රන්දු අයියාගේ හැඩ ..වාව්..සුපර්බ්… ආ

සදුනි කටපුරා හිනාවෙලා රන්දුට ලං වුනා.

හැපි බර්ත් ඩේ අයියෙ.

යෙහංසාත් සුබ පැතුවා.

ම්…. තෑන්ක්ස් ගර්ල්ස්.. අර පැත්තට යමු

යෙහංසා වාඩි වෙලා වටපිට බැලුවා .

උඹ කාවද හොයන්නේ?

සදුනි ඇහැවම යෙහංසා  රැව්වා .

මට රැව්වට ඔය හිත රවට්ටන්න බෑ

සදු ප්ලීස් .ටිකක් සද්ද නැතුව ඉන්නවද?

හරි මං යනවා රන්දු අයියා ළඟට. උඹ තනියම මෙතන ඉඳලා වටපිට බලපං

සඳුනි ගස්සගෙන නැගිට්ටා .යෙහන්සා මේසෙ දිහා බලා ගත්තෙ අසරණව . .සශේන් වගේම තුෂාන්  ඇවිත් ඉන්නවා යෙහංසා ඉස්සෙල්ලා දැක්කා .විහංගත් එයිද?යෙහංසාගෙ හිතේ තිබ්බ එකම පැනයට උත්තර ඉක්මනට හම්බවුණා.

මචං විහංගයා..

තුෂාන් සශේන්වත් තල්ලු කරගෙන කෑ ගහගෙන ගිය දිසාවට හැමෝගෙම  අවධානය යොමු වුණා. ඒ ඇස් අතර යෙහංසාගෙ ඇස් දෙකත්  තිබ්බා.තුෂාන් හග් කළේ විහංගව. විහංග  නිල් ඩෙනිමට සුදු අත්දිග ෂර්ට් එකක් ඇඳලා. ඒක සැහැල්ලු විදිහට උඩින් දාලා. කොල්ලා මාර හැන්ඩ්සම්. විහංගගෙ අතේ එල්ලිලා හිටිය රෝෂිණී රතුම රතු පාට සාරියක් ඇදලා.යෙහංසාගෙ හිත කඩන් වැටුනා. මොනදේ උනත් මෙහෙම දර්ශනයක් බලං ඉන්න තරම් ඒ හිත හයිය නෑ.

විහංගගෙ ඇසුත් එහෙ මෙහෙ යනවා. තත්පරේකදි ඒ ඇස් යාවුණා.ඒ මොහොතෙම යෙහන්සා බිම බලා ගත්තා.සඳුනි කන්න කතා කරපු නිසා යෙහංසා සඳුනි එක්ක කෑමට වාඩි වුණා. යෙහංසා ගෙ දෑස විහංගව ලුහුබදිනවා. ඒ වගේම විහංගගෙ දෑස යෙහංසාව  ලුහු බදිනවා. රන්දුගෙ දෑස මේ දෙන්නගෙම දෑස් ලුහුබඳිනවා.

 

රෝෂිණී විහංග ළඟින් හෙලවුණේ නෑ. විහංග අමාරුවෙන් උනත් ඉවසන් හිටියේ රන්දුගෙ තර්ජනය නිසා. යෙහංසාව දැක්ක වෙලේ ඉඳලා විහංග නොසන්සුන්. කෙල්ලගෙන් පේන චාම් සුන්දරත්වය විහංගව පුරුදු විදිහටම සසල කළා. එකම එක පාරක් යෙංහසා ආයෙත් තුරුළු කරගන්න…සිප ගන්න විහංගගෙ හිතේ හටගත්තේ නොනිමි ආසාවක්.

විහංග අපි ඩාන්ස් කරමුද?

විහංගගෙ අතේ එල්ලුණු රෝෂිණී නිසා විහංගගෙ කල්පනා දැහැන බිදුනා.

හ්ම්

විහංග රෝෂිණී එක්ක කපල් ඩාන්ස් එකක් පටන් ගත්තෙ යෙහන්සාගෙ ඇස් ඉස්සරහම.යෙහංසාට  දැනුනේ කවුරුහරි පිහි තුඩකින් පපුවේ ගැඹුරටම අනිනවා වගේ .විහංග මීට කලින් ක්ලබ් එකකදී යෙහංසාව තුරුළු කරගෙන ඩාන්ස් කරපු හැටි ඒ හදවත් දෙකේම මතකේ තියෙනවා. ඒත් අද?…

නංගා ප්ලීස් ඩාන්ස් විත් මී.

රන්දු යෙහංසාගෙ අත අල්ලගෙන නැගිට්ටුවා ගත්තෙ යෙහංසාට හිතන්නවත් ඉඩ නොදී.රන්දු යෙහංසාගෙ ඉනට අත තියලා කපල් ඩාන්ස් එකක් පටන් ගත්තෙ කෙල්ලව වටයක් කරකවලා.විහංග යටිතොල හපාගත්තා.කොල්ලගෙ අතක් මිට මෙලවුණා..දැන් රෝෂිණීව කොල්ලට මතකත් නෑ.රන්දු මොනවදෝ යෙහංසාගෙ කනට මුමුණනවා.යෙහංසාත් අමාරුවෙන් මූණට හිනාවක් නංවගත්තා.රන්දු තවත් ළං වෙවී හිනාවෙනවා. විහංගට රන්දුව මරන්න තරම් තරහක් දැනුනා. කොල්ලා රෝෂිණීව අත ඇරලා  හෝල් එකෙන් එළියට ගියේ රෝෂිණී ගල් ගැහිලා බලාගෙන ඉද්දි..රන්දුට සීන් එක මීටර්. යෙහංසා දැක්කා විහංග යන හැටි

මං විහංගව බලන්නං.නංගා සදූ එක්ක ඩාන්ස් කරන්න

 

රන්දු විහංග ගිය දිහාට ඉක්මනින් අඩිය තිබ්බා .

විහංග

රන්දුගෙ කෑගැහිල්ලට විහංග නැවතුනා.රන්දු දුවගෙන කොල්ලා ළඟට ආවා.

උඹ කොහෙද මේ පිඹගෙන යන්නේ ?

විහංගගෙ මූණ බලන්න බෑ කළු වෙලා.

විහංග උඹට මොකද උනේ?

මොකුත් නෑ බං.  මට කාර් එකේ ෆෝන් එක අමතක උනා. මං ඒක අරන් එන්නං .

ආ එහෙමද? ටක් ගාලා වරෙන් එහෙනම්

රන්දු හිනාව ගිලගෙන ආපහු හැරුනා.

විහංග  ඇතුලට ආවෙ පැය බාගෙකට විතර පස්සෙ.කොල්ලා ආපු ගමන් යෙහංසාව හෙව්වා. යෙහංසා තනියම ටේබල්  එකක් ළඟ ඉඳගෙන හිටියා. ඒ කිට්ටුව  මේසේ රෝෂිණී කෝල්  එකක. විහංග රෝෂිණී ළඟට ගිහින් ඉඳගත්තා.

යෙහංසාගෙ ඇස් තත්පරේට ඒ දිහාට යොමු වුණා. විහංග යෙහංසාව නුදුටුවා වගේ රෝෂිණීව තුරුළු කරගෙන එයාගේ කම්මුලක් සිප ගත්තා. යෙංහසා බලන් හිටියේ තුෂ්නිම්භූතව. ඊටත් වඩා රෝෂිණී  බය වුණා. මොකද විහංගගෙන්  කවදාවත් මේ වගේ හැසිරීමක් අත්විඳලා නැති නිසා.

රෝෂි..මං ටිකක් එලියට ගියා.

ඔහ්..මං බය වුනා.

රෝෂිණී   කොමල පපා කියද්දී විහංග රෝෂිණීගෙ  අතක් අල්ල ගත්තා.යෙහංසාගෙ මූණ අන්තිම නරක අතට හැරුණා.කෙල්ලට මේ දර්ශනේ විඳ ගන්නම බෑ.යෙහංසාට මෙලෝ දෙයක් මතක් වුණේ නෑ. කෙල්ල එක පාරටම නැගිටලා ජෙට් එක වගේ හෝල් එකේ දොර දිහාට යන හැටි විහංග ඇහිබැමි උස්සගෙන බලන් හිටියා. යෙහංසා මේසෙ උඩ තිබ්බ  පුංචි අත් බෑග් එකත් ගත්ත නිසා කෙල්ල යන්නම ගිය බව විහංගට තේරුණා. විහංග කලබලේ වටපිට බැලුවා.

සඳුනි පේන්නත් නෑ. රන්දු යාලුවෝ එක්ක බර කතාවක්.එළියෙ මහ වැස්සක්. විහංග කලබලේ නැගිට්ටා

විහංග ඇයි

රෝෂිණී අත අල්ල ගත්තා .

ආ…නෑ..රෝෂි මේ..ඔහොම ඉන්න මං ටක් ගාලා එන්නම්.

විහංග නැගිට්ටේ රන්දු ළඟට යන්න.රන්දු එක්ක බ්‍රිගේඩියර්  සර් හිටියා. විහංග දැක්ක ගමන් බ්‍රිගේඩියර්  පිටට තට්ටු කළා.

කොහොමද කොල්ලො .අපිට උනේ ලොකු පාඩුවක්.

සර්

විහංග  රන්දු දිහා බැලුවා.

ඉතින් ඉතින්

සර් කාලෙකින් නේද?

ඒකනෙ… දැන් හොඳයි නේද ?

ඔව් සර්…

බ්‍රිගේඩියර්ට  කෝල් එකක් ආව නිසා ඒ සැණින් විහංග රන්දුව පැත්තකට ඇද ගත්තා.

රන්දු යෙහංසා ගියා

ගියා… කොහෙද?

එළියට තනියම . සඳුනි පේන්නත් නෑ කියන්න

රන්දු වටපිට බැලුවා.

වොශ්රූම් ගියා වෙන්න ඇති

රන්දු ප්ලීස් පොඩ්ඩක්  ගිහින් බලපං. එයා අප්සෙට් එකේ ගියේ

ඇයි අප්සෙට් වුණේ

මං..මං රෝෂිණීව කිස් කළා..එයා දැක්කා .ගියා නැගිටලා එලියට

මචං සර් ඉන්නවා.මං ගිහින් කොහොමද? යාළුවොත් ඉන්නවා.සර් ආවෙ දැන්..

රන්දු විහංගව ගණන් නොගෙන වටපිට බලන ගමන් කීවා.

රන්දු යෙහංසා තනියම ගියේ.මහ රෑ..වැස්ස හොඳටම

විහංග  දත් අතරින් කිව්වෙ කේන්තිය උපරිම විදිහට පාලනේ කරගෙන.

විහංග ප්ලීස්. උඹ ගිහින් ටිකක්  බලපන්කෝ.ප්ලීස් මචං..අන්න සර් කතා කරනවා..සර්ට සළකන්න ඕනෙනෙ බං

රන්දු කලබලෙන් එතැනින් ඉවත් වුණේ විහංගට විකල්පයක් නොදී. කොල්ලට  හිත හිත ඉන්න කාලයක් තිබුනේ නෑ. කොල්ලා ඉක්මණට හෝල් එකේ දොර දිහාට දුවගෙන ගියා. විහංග වටපිට බල බල  ලිෆ්ට් එකේ පහලට ගියත් යෙහංසා දකින්න ලැබුනෙ නෑ. විහංග කලබල වුනේ මේ මහ වැස්සේ රෑ කෙල්ල තනියම එළියට ගිය නිසා.

මේ මල්ලි.. දැන් මේ හරියෙන් ගර්ල් කෙනෙක් ගියාද?පර්පල් කලර් සාරි එකක් ඇඳලා

විහංග හෝටල් සේවකයෙක් නවත්ත ගත්තා.

සර්.. මේ ඉස්සෙල්ලා නම් මිස් කෙනෙක් ගේට් එක පැත්තට ගියා. වැස්සෙම.. ඒත් අපි කෑ ගැහුවා. ඇහුවෙ  නෑ.

 

විහංග  ගේට් එක දිහාට දිව්වා.පාරට ගියත් යෙහංසාව පෙනුණේ නෑ. විහංග ඉක්මණට කාර් පාර්ක් එකට ඇවිත් කාර් එක ස්ටාර්ට් කරගත්තා. වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ වැටෙන වැහි වතුර ඉවත් කරන්න වයිපර් පොර බදිනවා. විහංග දෑස් තියුණු කර කර පාර දිහා බල බල ඩ්‍රයිව් කළේ හුලං වැස්සට පාරවල් හරියට නොපෙනෙන නිසා. මෙච්චර ඉක්මනට යෙහංසා කොහෙ ගියාද?

මෙච්චර දුරක් ගියපු කොල්ලට හිතාගන්න බෑ.විහංගගෙ හද ගැස්ම වේගවත් උනේ යෙහංසාට කරදරයක්ද කියලා හිතෙනකොට. ඉස්සරහ තිබ්බ බස් හෝල්ට් එකේ දෙතුන් දෙනෙක් ඉන්නවා දැක්කම විහංග කාර් එක ස්ලෝ කළා. විහංග එකපාරටම බ්රේක් ගැහැවෙ හෝල්ට් එකේ යෙහංසා ඉන්නවා පෙනුණු නිසා. ඒත් කොල්ලා දත්මිටි කෑවෙ එතන තව කොල්ලො තුන් දෙනෙක් යෙහංසාව වට කරගෙන හිටපු නිසා. එක කොල්ලෙක් කෙල්ලගේ අතින් අදිනවා. යෙහංසා බේරෙන්න ට්‍රයි කරනවා.

කාර් එක ආවා කියලා වෙරි මර ගාතේ හිටපු කොල්ලොන්ට ගාණක් නෑ.විහංග සුදු අත්දිග ෂර්ට් එකේ දිග අත් උඩට නවන ගමන් කාර් එකෙන් බැස්සෙ උපරිම කේන්තියෙන්. විහංග ආව ගමන් යෙහන්සා අල්ලගෙන හිටපු කොල්ලගෙ අතින් ඇදලා කනේ පාරක් ගැහැවා. ඒ එක්කම එතැන මැවුණේ සටන් ජවනිකාවක්.විහංගගෙ කේන්තිය නිවෙන කල් ඒ කොල්ලො තුන්දෙනා ගුටි කෑවා .යෙහංසා සීතලට වගේම බයටත් ගැහි ගැහී බලන් හිටියා.

එවෙලෙ රෝෂිණීට ලංවුනු විහංග දැක්කම යෙහංසාට උන්හිටි තැන් අමතක උනා. කෙල්ල නැගිටලා එලියට ආවෙ මෙලොව සිහියකින් නෙවෙයි. සඳුනිටවත් කියන්න කෙල්ලට මතක් වුණේ නෑ.යෙහංසා කවදාවත් හිතුවේ නෑ විහංග වෙන කෙනෙක් එක්ක ඉන්න දර්ශනේ තමන්ට මෙච්චර බලපෑමක් කරයි කියලා .යෙහංසා හොටෙල් එකෙන් පිට පිට වුණේ  අසිහියෙන් වගේ.මහ වැස්ස කියලවත් කෙල්ලට දැනුණේ නෑ.රාත්‍රිය.. අන්ධකාරය කියලවත් මතක් වුණේ නෑ .යෙහංසා පාර දිගේ දුවගෙන ගියේ පිස්සියක් වගේ. ඒ යනකොට තමා මේ මදාවියෝ රංචුවට අහුවුනේ. උන් යෙහංසාව හෝල්ට් එක ලඟට ඇදගෙන ගියා. කොල්ලො තුන් දෙනාම බිම දාලා තුෂ්ණීම්භූත වෙලා ඉන්න යෙහන්සා ගාවට ආපු විහංග යෙහංසාගේ මූණට එබුනා.

වැහි වතුරට යෙහංසා හොඳටම තෙමිලා. මුළු සාරියම ඇඟට ඇලිලා කාර් එකේ ලයිට් වල එළියෙන් වගේම පාරේ වීදි ලාම්පු එළියෙන් යෙහංසා  හුස්ම අල්ලගෙන විහංග දිහා බලන් හිටියා .විහංගත් හොදටම තෙමිලා. වැහි වතුර කොල්ලගෙ නළල දිගේ බේරෙනවා. විහංගගෙ ඇස් දිහා බලන් හිටපු යෙහංසාගෙ ඇස් බාගෙට පියවීගෙන එද්දී  යෙහංසා වැටෙන්න ගියා. විහංග එකපාරටම කෙල්ලව අල්ලගෙන තුරුළු කරගත්තා. අතීතයේ එක දවසක වැස්ස වෙලාවක ඒ අම්බලමෙදී යෙහංසා සිහි විසංඥ වෙන්න ගියපු හැටි කොල්ලට මතක් උනා . යෙහංසාගෙ ඇස් පියවුණේ විහංගව අන්දමන්ද කරවලා.කොල්ලා එහෙමම යෙහන්සා දෝතට අරගෙන වැස්සෙම  කාර් එකේ ඉස්සරහා සීට් එකෙන් තිබ්බා. ඩ්‍රයිවින් සීට් එකට ගොඩ වුනු විහංග යෙහංසාගෙ මුහුණට තට්ටු කළා.

යෙහංසා..යෙහංසා.. නැගිටින්න යෙහංසා

කොල්ලා කථා කළාට තිබුණු අධික ශීතල නිසාම යෙහංසා හිටියෙ අසිහියෙන්..මේ  සිද්ධ වෙච්ච දේවල් ඇත්තටම කෙල්ලගේ මනසට බර වැඩියි. ඇත්තටම තමන් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන කෙනාගේ වෙන්වීම දරාගන්න තරම් යෙහංසාගෙ මනස ශක්තිමත් වුණේ නෑ.

විහංග සීට් එකට හේත්තු වෙලා මොහොතක් ඇස් පියා ගත්තා.

ගිය සැරේ ක්ලබ් එකකදි එක කෙල්ලක් අල්ලගෙන නැටුවා කියලා වෙරි වෙලා මාර පිස්සුවක් නැටුවා.අද..මෙයාගෙ හැටි දැන දැනම මං රන්දුගෙ යෝජනාවට කැමති වුණා..ශොක් වෙන්න ඇති මං රෝෂිණීව කිස් කළාම..ඊරිසියාකාරි…

මොකක්ද ඊළඟට කරන්නේ .විහංගට ට හිත හිත ලතැවෙන්න කාලයක් තිබුනේ නෑ .විහංග ජීප් එක  පාරට දැම්මෙ දෙපාරක් නොහිතා.

 

**********

රන්දු අයියේ යෙහංසා නෑනේ.. මං හැම තැනම බැලුවා..ෆෝන් එකත් වැඩ නෑ.

සඳුනි හැමතැනම හොයලා බැරිම තැන රන්දු ළඟට ආවා.

යෙහංසා ගියා සඳුනි

කොහෙද ?

බයවෙන්න එපා පොඩි සීන් එකක් වෙලා. විහංග අර රෝෂිණීව තුරුළු කරගෙන කිස් කරලා. ඒක දැකලා යෙහංසාට අප්සට් ගිහින් කෙල්ල එලියට ගිහින්.

දෙයියනේ එතකොට මේ මහ රෑ වැස්සේ

හරි හරි..මං විහංගව යැව්වා බලන්න කියලා.

ඒත් යෙහංසා කොහේ ගිහින්ද? කොහොමද හොයා ගන්නේ ?

ඔයා බයවෙන්න එපා. විහංගයා ලෝකේ පීරලා හරි අද කෙල්ලව හොයාගන්නවා .අපි ඒ දෙන්න ගැන හිතන එක අත අරිමු. දැන් අර රෝෂිණිව ටිකක් ශේප් කරගමු.

රන්දු අයියේ යෙහංසා ආවෙ නැත්නම් විහංග එක්ක..

ම්..එහෙනම් ඉතිං විහංග තනි රකියි. එහෙම නාවොත් අපි රෝෂිණීව හොටෙල් රූම් එකක් නතර කරවමු.මොකක් හරි බයිලයක් කියමු. මං ඔයාව බෝඩිමට ඩ්‍රොප් කරන්නම්.

අනේ මන්දා අයියෙ මට නම් බයයි.

මං ඉන්නකල් බයවෙන්න එපා

රන්දු සඳුනිගේ අත අල්ලගත්තෙ සඳුනි නොහිතුව විදිහට. කොල්ලා සදුනිගේ ඇස් වලට එබුණා.

රන්දු අයියෙ

සඳුනි ඒ බැල්මට බයවෙලා ලැජ්ජාවෙන් බිම බැලුවා.

ආදරෙයි

රන්දු හෙමිහිට මුමුණලා සඳුනි එක්කම රෝෂිණී  ළඟට ගියා.

මාත්

සදුනි තොල් මතුරනවා කොල්ලට යාන්තම් ඇහුණා. රන්දුගෙ මුහුණේ ඇඳුනු හිනාව ගොඩක් වෙලා රැඳුනා.

***********

විහංග සැරෙන් සැරේ යෙහංසා දිහා බලනවා. වේගෙන් යන්නත් බෑ. පැය භාගයක් ඇතුළත  ගෙදරට එන්න කොල්ලට පුළුවන් වුණා.යෙහංසාව දෝතට ඇරගෙන කොල්ලා ගෙදරට ඇතුළු වුණේ සිකුරුටිගෙ උදව්වෙන් . සිකුරුටි ගියාට පස්සේ දොර වහලා  විහංග යෙහංසාව කාමරේ ඇඳට අරන් ගියා.

යෙහංසා…යෙහංසා

විහංග ටවල් එක ඇරගෙන කෙල්ලගේ ඔලුව පිහින ගමන් කතා කළා. ඒත් යෙහංසාට සිහිය ආවෙ නෑ. කෙල්ල වෙව්ලන හැටි කොල්ලට බලන් ඉන්න බැරි වුණා.ඒ රෝස දෙතොල් ගැහෙනවා. ටිකක් වෙලා යෙහංසාගෙ පියකරු මූණ දිහා බලන් හිටපු විහංග ඒ වෙව්ලන දෙතොල්  මුදුව සිපගත්තා.කොල්ලා යෙහංසාව තුරුළු කරගෙන ඒ සිපගැනුම රළු කළේ යෙහංසාට සිහිය ගන්න

ආහ්..

කොල්ලා හිතුව විදිහටම යෙහංසා කෙදිරි ගාද්දී විහංග ඈත් වුණා.

යෙහංසා ඇස් අරින්න. මාව ඇහෙනවද?

යෙහංසා  ඇස් ඇරියා.විහංග මුහුණට එබී ගෙන හිටියා.

විහංග දැක්කම යෙහංසාට වෙන  කිසිම දෙයක් මතක් වුණේ නෑ.යෙහංසාට දැනුනෙ පුදුම තරම් සතුටක්.

විහංග..විහංග…මගේ විහංග වලව් පුතා.

යෙහංසා දකුණු අත ඔසවලා විහංගගෙ මූණ අතගෑවා. කොල්ලගෙ කොණ්ඩෙ තවමත් වතුර බේරෙනවා. යෙහංසාගෙ අතැගිලි විහංගගෙ දෙතොල් මතින් යද්දි විහංග ඒ අත අරගෙන තදින් සිප ගත්තා. දෙන්නට දෙන්නා ඇස් දිහා බලන් හිටියේ කාලෙකින් නුදුටු ඒ ඇස් වල තමන් ඉන්නවද කියලා හොයන්න වගේ .තෙතබරිත වුණු යෙහංසාගෙ සාරිය ඇගටම ඇලිලා. යෙහංසාගෙ සිනිදු අතැගිලි වල ස්පර්ශයත් එක්ක විහංගගෙ ඉවසීමේ සීමාව අවසන් වුණා.විහංග ආයෙත් පාරක් යෙහංසාගෙ දෙතොලට බරවුණා. යෙහංසා ඒ සිපගැන්මට අනුබල දුන්නේ අතැගිලි වලින් කොල්ලගෙ  මුහුණ,කොණ්ඩේ  ස්පර්ශ කරන ගමන්. වචනයක්වත් දෙන්නට දෙන්නා කතා නොකලාට ඒ ඇස් ඒ හිත් දොඩමලු වුනේ අවට පරිසරයේ තිබ්බ වර්ෂාව…ගෙරවිලි හඩ..ඇහෙන්නේ නැති තරමටම.

යෙහංසාගෙ සාරිපොට විහංගගෙ අතින් ගැලවෙද්දී ඒ ගෙල මතින් කොල්ලා වියරු සුසුම් ගෙන ගියා.විහංගගෙ වියරු ඇස් ඉස්සර වගේම මත් මගින් පිරෙද්දි යෙහංසා විහංගගෙ ෂර්ට් එකේ බොත්තම් එකින් එක හෙමිහිට ගැලෙව්වා. අවුරුද්දක් තිස්සේ නොලැබුණු උණුසුම රැකවරණය හොයන්න යෙහංසා ඒ පපුව උඩ දෙතොල් තිබ්බා.

 

*******

විහංග දිග් කරපු කෝපි කෝප්පේ යෙහංසා එක දිගට බීගෙන ගෙන ගියේ හිතේ තිබ්බ අපහසුතාවය මග අරව ගන්නත් එක්ක. උදේ විහංගට තුරුළු වෙලා නිදාගෙන ඇහැරෙනකොට යෙහංසා දැක්කෙ විහංග පාඩුවේ බලන් ඉන්න හැටි.ඒ බැල්මෙ වියරුව එහෙමමයි.යෙහංසා නැගිටලා ඉඳගත්තේ අපහසුතාවයෙන් මිදෙන්න. යෙහංසා එහෙමම ඉද්දි විහංග රූම් එකෙන් එලියට ගියා. යෙහංසා ගැහෙන හිතින් සිද්ධ වුණු දේ කල්පනා කළා.

 

අනේ මං වගේ මෝඩියක්. එයා මාව ඩිවෝස් කලා. දැන් රෝෂිණීව බඳින්න යනවා. මට මොකද උනේ ඊයේ. මට මේ කිසි දෙයක් මතක් වුණේ නැහැනේ .මං දැන් කොහොමද එයාට මුහුණ දෙන්නෙ

යෙහංසා බෙඩ් ෂීට් එකේ කොනක් හප හපා දහ අතේ කල්පනා කරනවා. විහංග රෑ සීතලට පිජාමා සූට් එක අන්දවපු හැටි මතක් වෙද්දිත් කෙල්ලට දැනුනේ ලැජ්ජාවක්. දෙන්නම නිහඬව හිටියා. කතා කළේ ඇස් ,දෑඟිලි විතරයි.

විහංග හිටියේ ෂෝර්ට් එක විතරක් ඇඳගෙන. යෙහංසා අපහසුවෙන් ඇඹරෙන හැටි කොල්ලට පෙනුනා. ඇත්තටම විහංග හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව. රන්දුට මුහුණ දෙන්නෙ දෙන්නේ කොහොමද? කොච්චර බලන් හිටියත් කෙල්ල කට අරින්නෙ නැති බව දන්න නිසා විහංග  ඉස්සර වුණා.කොල්ලා යෙහංසාගෙ මුහුණ දෝතට අරගත්තා.යෙහංසා ඒ ඇස් දිහා බැලුවේ ආයාසයෙන්.

යෙහංසා…. මැණික මේ වලව් පුතාට තාමත් ආදරේද

යෙහංසා ඇසිපිය ගැහැවෙ ඔව් කියන්න

ඔයා රන්දුව මැරි කරන්න ඕනේ. මං වෙනුවෙන්

යෙහංසා තුෂ්ණිම්භූත වුණා.

මං රෝෂිණීව මැරි කරනවා. ඒත් ඔයා ඔහොම  ඉන්නවට මං කැමති නෑ. රන්දු ඔයාට කැමතියි

යෙහංසාගෙ සුදු මූණට ලේ පිරිලා කම්මුල් රතු වෙන හැටි කොල්ලට පෙනුනා.යෙහංසාගෙ ඇස් වලට ආවෙ වියරු බැල්මක්.යෙහන්සා මුළු වීරියම යොදවලා කොල්ලව තල්ලු කළා.

තමුන් මගේ කසාදෙ ගැන වදවෙන්න ඕනෙ නෑ මිස්ට විහංග කෞශල්‍ය මැදගෙදර. තමුන් කැමති කෙල්ලෙක් බැඳගන්නවා.ඊයෙ වුණු දේ අමතක කරනවා

යෙහංසා කිව්වේ කේන්තියෙන්..

කොහොමත් මං ඒක අමතක කරලා ඉවරයි. මට ඕවා සිම්පල් තමුසෙ අඬාගෙන නැටුවට.

විහංග

ඔව් විහංග තමයි මං… තමුසෙ එදා මාව රිජෙක්ට් කළා. මතකද ? මාව පිස්සෙක් කළා. මං අච්චර ආදරේ කරලත් හේතුවක් නැතිව මාව අත ඇරලා දැම්මා. දැන් තමුසෙ හිතන්නේ මං ආදරේට ළං වුණා කියලද?මට ආස හිතුණා ඊයෙ දම් පාට සාරිය ඇදගෙන ඉන්නවා දැක්කම..තමුසෙත් ඉතිං ඇදගෙන හිටියෙ බඩත් එළියෙ දාගෙනනෙ..මොන කොල්ලද පිස්සු වැටෙන්නෙ නැත්තෙ..

විහංග..

යෙහංසා කෑ ගැහැවා..ඒත් විහංග නතර කළේ නෑ..

දන්නවනෙ මේ වලව් පුතාගෙ හැටි..තමුසෙගෙ කැමැත්ත වැඩක් නෑ.. තමුසෙ හින්දා මං අවුරුද්දක් දුක් වින්දා. මං බේරුණේ මාරකයකින්..තමුසෙට සතුටුද දැන්.තමුසෙ මං ගැන නිකංවත් බැලුවද? මාව බලන්න ආවද..එක පාරක් මං කෑ ගැහැවා කියලා මගෙ පැත්තවත් බැලුවෙ නෑ ආයෙ..

විහංග යෙහංසාගෙ අත් ගොබේ තද කරගෙන දත් මිටි කන ගමන් ඇහැවා

විහංග..මං..මං..එන්..න..

මට මොකුත් අහන්න ඕනෙ නෑ යෙහන්සා ..මුකුත් ඕනේ නෑ.. රන්දු ගැන මං කිව්වේ ඌ හොඳ එකා නිසා. මොකක් වුණත් තමුසෙත් එක්ක මං පවුල් කෑව නිසා.. අනික අපේ අම්මලාට තමුසෙ ගැනයි මං ගැනයි සැකයි තාම.රන්දුව බැන්දම ඒ සැකේ නැතිවෙනවා.

යෙහංසා කඳුලු නවත්තගන්න උත්සාහ කලාට වැඩක් වුණේ නෑ. මොකක්ද මේ වුණු දේ.

දන්නවද මං රෝෂිණීව මැරි කරලා ලස්සන බබෙක් හදනවා. තමුසෙ වගේ වද එකියක් මට ඕනේ නෑ

 

විහංග කුරිරු විදිහට කිව්වේ හිත උපරිමයටම පාලනය කරගෙන. කොල්ලා හිතින් පුදුම විදිහට දුක් වුණා. යෙහංසාට වඩා කොල්ලා දහස් වාරයක් හිතෙන් මැරි මැරී ඉපදුණා.ඊයෙ යෙහංසාගෙ  ඇස් දකිද්දී කොල්ලාට වෙන කිසි දෙයක් මතක් වුණේ නෑ.

දැන් ඔය චුරු චුරුව නවත්ත ගන්නවා .ලෑස්ති වෙනවා. යන්න ඕනි මට. මං බෝඩිමට දානන්ම්

යෙහන්සා ඒත් සද්ද නෑ. විහංග ඒ පාර යෙහංසාව තුරුළු කරගෙන කම්මුලක් සිප ගත්තා.

ලෑස්ති වෙනවද නැත්නම් අදත් මගේ එක්ක ඉන්නවද?

කොල්ලා හිමිහිට කනට මිමිණුවා.යෙහංසා කොල්ලව තල්ලු කරගෙන  නැගිට්ටා. විහංග ඇස් වලට උනපු කඳුල පිහ ගත්තා.

මැණික මං ආදරෙයි. මෙහෙම නොකලොත් ඔයා මාව දාලා දාල යන්නෙ නෑ. ඔයාට මං වගේ පව්කාරයෙක් ඕනෙ නෑ. මට සමාවෙන්න

විහංග හිතින් මිමිණුවා.යෙහංසා අල්මාරිය ඇරියා. තිබුන විදිහටම අල්මාරියේ ඇඳුම් පුරවලා තිබුණා .

යෙහංසා ..ඕවා ඇරං යන්න. රෝෂිණී ඕවට කැමති නෑ.

යෙහංසා මුකුත් නොකියා එක ඇඳුමක් තෝරගෙන වොෂ් රූම් එකට ගියා. වොශ්රූම් එකේ ටැප් එකයි ෂවර් එකයි  දෙකම උපරිමයෙන් ඇරලා දාලා බිත්තියට හේත්තු වෙලා කෙල්ල අඩන්න පටන් ගත්තෙ මේ වේදනාව දරන්න බැරුව. විහංගට ඇහෙන්නේ නැති වෙන්නයි කෙල්ලට ඕනෙ වුනේ .ඒත් විහංගට ඒ හඬ ඇහුණා.කොල්ලා ආවේගෙන් තත්පරේට වොෂ් රූම් එකේ දොර ලඟට  ආවා.දොරට තට්ටු කරන්න දකුණු අත ඉස්සුවාට කොල්ලා තට්ටු කළේ නෑ .විහංග එහෙමම වොෂ් රූම් එකේ දොරට නලල තියා ගත්තා.

හ්ම්..

කොල්ලා දිග බරැති සුසුමක් හෙලුවා.

අද මේ විදිහට දුක් වින්දද  අනාගතේ දවසක යෙහංසා හිනා වෙයි. රන්දු එක්ක අලුත් ජීවිතයක් පටන් ගත්තට පස්සේ සන්තෝසෙන් ජීවත් වෙ.යි බබාලා ලැබිලා ඒ ලෝකෙ වැඩ වැඩි වෙනකොට මාව අමතක වෙයි .

විහංග හිතට තේරුම් කළා. කොල්ලා සාලෙට ආවා.

ජීප් එකේ යනකල්ම යෙහංසා කිසි කතා බහක් නෑ. විහංගත් සැරෙන් සැරේ බැලුවට  කතා කළේ නෑ. අඬලා අඬලා යෙහන්සා දුක නැති කරගන්න උත්සාහ කළාට ඒක හිතන තරම් ලේසි වුනේ නෑ. විහංග රෝෂිණී එක්ක සන්තෝසෙන් පවුල් ජීවිතය ගත කරන හැටි මවාගෙන යෙහන්සා හිත හදාගේන උත්සාහ කළා. ඒ ඇස් ෂටර් එකෙන් එළියෙ දිහාට අරමුණක් නැතිව බලාගෙන යන හැටි කොල්ලට පෙනුනා. අඩලා අඬලා සුදු මූණ රතු වෙලා.වැස්ස එක්ක මන්දාරම් අහසේ පායපු දේදුන්නක් වගේ අමුතුම ලස්සනක්. ඒ කම්මුල් සිප ගන්න කියලා කොල්ලාගේ හිත බල කරනවා .

ඒත් විහංග  ආයාසයෙන් දරාගෙන හිටියා. කොළඹ බෝඩිම ළඟ ජිප් එක නතර කළා. යෙහන්සා විහංග දිහා බැලුවා.විහංගත් අන්තිම පාරට කියලා හිතාගෙන ඒ ඇස් වල ගිලිලා හිටියා.යෙහංසා අසීරුවෙන් දෙනෙත් මුදවාගෙන ජීප්  එකෙන් බැහැල යන හැටි බලාගෙන හිටපු විහංග සීට් එකට ඔලුව හේතුකරගෙන හැඟීම් හංගගත්තා .

*********

උඹ මොකක්ද කළේ විහංගයා ..උඹ මාව ඇන්දුවා නේද ?

රන්දු විහංග‍ගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ල ගත්තෙ බර්ත් ඩේ පාර්ටි එක තිබ්බ හොටෙල් එකේදි.විහංග ෆෝන් එක බැලුවෙ යෙහංසා ගියාට පස්සේ

ඉන්න තැනකින් හොටෙල් එකට වරෙන්  බූරුවා.

රන්දුගෙ  එක දැක්කම විහංග නළලට තට්ටුවක් දාගත්තා.

දැන් මොනවද කියන්නේ රන්දුට..

කොල්ලා නිකට පිරිමැද්දා. හොටෙල් එකට ගොඩ වෙනකොටම රන්දු විහංගව අල්ලගත්තා.

රන්දු

උඹ යෙහංසාව  මට දෙනවා කියලා උඹ ඒකි එක්කගෙන ගියා නේද ?

රන්දු අතෑරපන්  මාව..මිනිස්සු බලනවා පොඩි අවුලක් උනා.

රන්දු අතහැරියා.

ඇත්ත කියපන්..කෝ යෙහංසා

බෝඩිමේ

බොරු.. සදූට මං කතාකලානේ .

විහංග බිම බලා ගත්තා බලාගත්තා.

උඹට මං කීවා විහංග.. උඹ රට යන්න ඕනේ කියලා. නැත්නම් උඹ මටයි යෙහංසාටයි පාඩුවේ ඉන්න දෙන්නේ නෑ .

මචන් සොරි මං උඹට කීවනේ යෙහංසාව  බලන්න කියලා. මං යද්දි එයා වැස්සේ තෙමීගෙන හෝල්ට් එකේ. කොල්ලෝ වගයක් එයාට කරදර කරන්න හැදුවා. මං උන්ට  ගැහුවා. යෙහංසාට සිහි  නැති වුණා..එයා බයවෙලා හිටියෙ. මං එයාව ගෙදරට අරන් ගියා .මට වෙන කිසි දෙයක් මතක් වුණේ නෑ කලබලේට

රන්දු අහක බලා ගත්තෙ මූණට එන්න හදපු හිනාව නිසා.

එච්චරද? වෙන මොකුත් නැද්ද?

රන්දු ඇස් හීනි කළා

පිස්සුද බං

විහංග ඇස් හංග ගත්තා .

 

රන්දුවා..මං යෙහංසාට කීවා මට රෝෂිණීව මැරි කරන්න ඕනෙ කියලා…උඹව බදින්න කියලා

ඉතිං ඒකි කැමති වුණාද?

කැමති වෙයි..

උඹ මට කොලේ වහනවා. උඹට තිබුණෙ නැද්ද ඊයේ රෑ යෙහන්සා ආපහු හොටෙල් එකට අරන් එන්න. නැත්නම් බෝඩිමට ඇරලන්න

මචං මට මුකුත් මතක් වුණේ නෑ .

උඹට සිහිකල්පනාව තිබ්බෙම නැද්ද ?උඹ  ඩ්‍රින්ක්ස් ගත්තෙත් නැහැනෙ..වෙන විදිහකින්වත් මත් වුනාද?

රන්දු  නවත්තපං .උඹට යෙහන්සා මැරි කරන්න බැරි නම් කියපන්.මං වෙන එකෙක් හොයාගන්නම්

වෙන කවුද? සශේන්ද ? තුෂාන් ද?

විහංග රන්දුගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ල ගත්තා

රන්දු  උඹ සීමාවේ ඉඳපන්

මං සීමාවේ ඉන්නේ . උඹයි සීමාව දන්නේ නැතුව අතරමං වෙලා ඉන්නේ

රන්දු ඉවසිල්ලේ නැවතිල්ලේ කියලා දැම්මා .

විහංග පුටුවකට බර වුණා .

හරි මං යෙහංසාව මැරි කරන්නම් .හෙට ඉඳලා මං දිගටම ඩියුටි. මාසයක් යනකල් මට එන්න වෙන්නෑ . ස්පෙශන් මිශන් එකක්. නිවාඩු දාන්නම් ඊට පස්සේ.

විහංග කොණ්ඩෙ අතින් හැදුවේ මූණෙ වෙනස් වීම පාලනය කරගන්න. කොහොමද මේවා ඉවසගෙන ඉන්නෙ

මචං ඩිවෝස් එක.. මට ලෝයර් මීට් වෙන්න ඕනේ

ඒවා ගානට හරි ..උඹ කලබල නොවී උඹේ වැඩක් බලාගනින්.. මට බාර දුන්න වැඩේ  මං හෙමිහිට ගානට කරන්නම්. කොහොමත් ඩිවෝස් කේස් ඇදෙනවා.උඹේ වැඩේ ලබන මාසේ පහු වෙනකොට හරි යයි.. උඹ උසාවි ගානේ ලෝයර්ස්ලා ගානේ ගිහින් වලව්වට ආරංචි වුනොත් මං දන්නෑ

තෑන්ක්ස් මචන්. මං යන්නම් එහෙනම්

ඒ උඹේ මනමාලි අරන් යනවා

කවුද

රෝෂිණී

ඔහ්..මට අමතක උනා මචං.රෝෂිණී කොයි.

උඹට මතක් උනේම නැද්ද

නෑනෙ..රන්දු කොයි රෝෂි..

මං ඒකි නැවැත්තුවා ඊයේ  හොටෙල් රූම් එකක. උඹ මහා පිස්සෙක් බං..

රන්දු විහංගගෙ කරට අත දාගෙන ලිෆ්ට් එකට ගොඩවුණා.

***************

යෙහංසා දවසම හිටියෙ නිදාගෙන. සදූ ඇවිත් කතා කළාට ඔළුව ඉස්සුවේ නෑ. රන්දුගෙ උපදෙස් නිසා සඳුනි හාර හාර මොනවත් අහන්න ගියේ නෑ. පහුවදා යෙහන්සා ඔෆිස් ගියා. පුරුදු විදිහට දවස ගෙවෙද්දි එක හවසක  රන්දු  ආවා.

රන්දු අයියා. වාඩිවෙන්න.

සඳුනි රන්දුට සංඥා කලා.

සඳු ඉන්න එකත් හොඳයි. මං ආවෙ යෙහංසා එක්ක ටිකක් කතා කරන්න.

රන්දු යෙහංසා දිහා බැලුවා.යෙහංසා බිම බලා ගත්තා.

විහංග ඔයාට කියන්න ඇති කාරණයක්. මං ඒ ගැන කතා කරන්න ආවෙ

යෙහංසා සඳුනි දිහා බැලුවා. සඳුනි ඇස් හීනි කළා.

මං දන්නවා මේක එච්චර ලේසි නෑ කියලා.නෙක්ස්ට් මන්ත් එකේ ඔයාලට ඩිවෝස් එක ලැබෙයි. මං කැමතියි ඔයාව මැරි කරන්න.

සදුනිගෙ හිත හෙල්ලුනාට සඳුනි ඒ බව පෙන්නුවේ නෑ. එක දිගට බිම බලාගෙන ඉන්න යෙහංසාව පෙන්නලා රන්දු ඉඟි කළා.

රන්දු අයියා යෙහංසා  ගැන හැමදේම දන්නවා. මීට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙන්නේ  නෑ යෙහංසා.ඔයා විහංග නිසා වින්දෙ දුක්ම විතරයි . රන්දු අයියා හොඳ කෙනෙක් කියලා අපි හැමෝම දන්නවා.

ඒ කතාවට කෙල්ල ඔලුව ඉස්සුවා

එයාගෙ කැමැත්ත ඒකද රන්දු අයියේ

ඔව්

එතකොට ඔයාගේ කැමැත්ත .මට ඔයාට දරුවෙක් දෙන්න බෑ රන්දු අයියේ

ඒක විහංගට ප්‍රශ්නයක් වුණාට මට ප්‍රශ්නයක් නෙමේ. අපි දරුවෙක් අරගෙන හදාගමු. ඒකත් කොච්චර පිනක්ද ?

සඳුනි වගේම යෙහංසා එකිනෙකා  දිහා බැලුවේ පුදුමෙන්. රන්දුට මේ තරම් හොද හිතක් තියෙනවා කියලා යාලුවෝ දෙන්නම හිතුවේ නෑ

ඒත් මං දන්නවා. යෙහංසා ඔයාගෙ ආදරය මට නොලැබෙන බව. ඔයාට පුලුවන් වයිෆ් කෙනෙක්ගේ යුතුකම් ඉෂ්ඨ කරන්න. මොනවා කිව්වත් ඔයා මාව මැරිකරන කල් විහංග රෝෂිණීව බඳින්නේ නෑ. ඔයාට ඕනෙ විහංගගෙ සතුට දකින්න නේද?

යෙහංසා හිස සැලුවා.

මං කැමතියි රන්දු අයියේ

යෙහන්සා එහෙමම කාමරේට ගියා.

රන්දු කට කොනින් හිනාවෙලා සඳුනි  දිහා බැලුවා. සදුනි ඇස් ලොකු කරගෙන රන්දු ළඟට ඇවිත් වාඩි වුණා.ඒ ගමන්ම රන්දු සඳුනිගේ කම්මුලක් සිප ගත්තේ සඳුනි ලැජ්ජාවෙන් රතු වෙද්දි.

ඔයා බය වුණාද සඳු

රන්දු ඇහැවෙ රහසින් වගේ.

ටිකක්

මාව විශ්වාස කරන්න ..අපි මේ දෙන්නව එකතු කරමු. දෙන්නම පව්

මට ඔයා ගැන ආඩම්බරයි රන්දු අයියේ

සදුනි රන්දුගෙ පපුවේ  උඩ ඔළුවේ තියාගත්තා.රන්දු සඳුනිගේ ඔළුව අතගෑවා.

********

විහංග එදා වලව්වට ගියාට පස්සේ ආයෙ කොළඹ ආවෙත් නෑ. ෆැක්ටරි එකේ වැඩ ගැන සම්පූර්ණ අවධානය යොමු කළාට කොල්ලා හිටියේ මේ ලෝකෙ නෙවෙයි. ඇත්තටම හිතේ විශාල ප්‍රශ්නයක් තියෙද්දි හිත එකඟ කරගෙන වැඩ කරන එක ලේසි නෑ. මාසයක් ගත වුණාට පස්සෙ රන්දු ගමට ආවා කියලා කෝල් කලා

විහංග හවස ග්‍රවුන්ඩ් එකට ගියෙ යාලුවො සෙට් එක මීට් වෙන්න.

මචං අන්න ලොක්කා ආවා. පටන් ගමු

එච්චර වෙලා විහංග එනවද කියලා ඔත්තු බල බල හිටපු තුෂාන් රන්දුට සංඥාව දුන්නා

සිරාවටම රන්දු උඹ යෙහන්සා බදිනවද?

සශේන් කතාව පටන් ගත්තා .යාළුවො තුන්දෙනා බර සාකච්ඡාවක්. විහංග ඒ ළඟට එනකොට ඇහුණු කතාව නිසා කොල්ලා මොහොතකට ගල් වුණා. විහංග හිටියෙ බිත්තියට මුවා වෙලා.

ඔව් බං. මං යෙහංසාව ලස්සන මනමාලියක් කරලා කැන්දගෙන යනවා. කෙල්ලෝ කවුරුත් ආසයි මනමාලියෙක් වෙන්න .අර වලව් පුතා වගේ මං මෝඩ නෑ බං.

රන්දු කිව්වේ සද්දෙන්. රන්දු දන්නවා විහංග ෂොක් වෙලා අහන් ඉන්නවා කියලා .

සිරා කතාව බං . මං  කිව්වයි කියලා හිතාගනින් රන්දු.යෙහංසාට විහංගව අමතකම වෙලා යයි උඹ වගේ සිරා බුවෙක් සෙට් උනාම.

තුෂාන්  කතාවට පොහොර දැම්මා.

ආයෙත් අහලා මචං. මං එයාට අන්දන්නේ ඇත්දල පාට වෙඩින් සාරි එකක්.අපි හනිමුන් යන්නෙ නුවරඑළියෙ .මං හොලිඩේ බංග්ලෝ එකක් දැම්මම බුක් කරලා තියෙන්නෙ. මතක් වෙනකොටත් මට පිස්සු වගේ බං

උඹේ පින බං. ඒ වගේ සිරා කෙල්ලෙක් ලැබෙන එක. අරූ  බූරුවෙක්. නැත්නම් වදයි කියලා පිනට දෙනවද?

උඹලා බලාගෙන හිටපල්ලා .මං යෙහංසාට ආදරේ කරන්නේ එයාට මාව විතරක්ම පේන්න. කොහොමත් මැරි කරපු ගමන්ම අපි බබෙක් හදනවා.

ඒ රන්දුවා.. දැන් ඔය කතාව නතර කරමු.විහංගයා  එනවත් ඇති.මොකක් වුණත් ඌට අප්සෙට් යයි

තුෂාන්  කිව්වේ බොහොම දුකෙන්

ඒ මොකටද? විහංග දැන් යෙහංසාව ඩිවෝස් කරලා ඉන්නෙ. මොකටද දුක් වෙන්නේ

රන්දු  කිව්වේ කේන්තියෙන් .විහංග දත්මිටි කාගෙන ආපහු හැරුනා.ටික වෙලාවකින්  යාලුවෝ ටික දැක්කේ විහංගගෙ ජීප් එක වේගෙන් ග්‍රවුන්ඩ් එකේ අනිත් පැත්තෙ පාරෙන් ටවුන් එක පැත්තට ඇදෙන හැටි.රන්දුගෙ මූණෙ ඇදුනෙ හිනාවක්.

දාපන් පහක්.වැඩේ පත්තු වුණා

සශේන් කෑ ගැහැවා .

සිරාවටම . අරූගේ බොක්කටම  වැදෙන්න ඇති හනිමුන් කතාව නම්. මුගේ කට නම්

තුෂාන්  හිනා වෙනවා නන්ස්ටොප්.

ඇත්තටම තුෂාන් මං හිතුවෙ එදා බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙවත් මුන් දෙන්නා සෙට්ල් වෙයි කියලා. ඒත් නෑ. සඳුනි  කියන්නේ යෙහන්සා විහංග ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ කියලා.

මෙහෙම ගියොත් උඹට සිරාවටම යෙහංසාව  මැරි කරන්න වෙයිද?

පිස්සුද බං.. මං මැරි කරන්නේ සඳුනිව.

උඹේ සිරා ලව් එකනෙ.

පව් බං සදුනි..මං යෙහංසාට ප්‍රපෝස්  කරද්දි ඔහේ බලන් හිටියා.මට සපෝට් කළා.

උඹේ වගේම සදුනිගෙත්  හිත හොඳයි.

ඒත් බං අපි මීට වඩා යමක් කරන්න ඕනේ. තව ප්ලෑන් එකක් ඕනේ .නැත්නම් අර විහංගයාගේ හිත වෙනස් කරන්න බෑ.

අපි මොකද කරන්නේ ?

රන්දු අමුතු ඇක්ෂන් එකක් දාගෙන සශේන් දිහා බලලා තුෂාන්ට ඇහැක් ගැහැවා.ඒ කියන්නේ රන්දු දන්නවා කරන්න ඕන දේ.

*********

විහංගගෙ  ඔලුව යකාගේ කම්මල වගේ. කොල්ලට ඉවසන්න බෑ රන්දු කියපුවා.

යෙහංසා අරන් හනිමුන් යන්නේ නුවරඑළියෙ බංග්ලෝ එකකට… මනමාලියක් කරගෙන. මං ඕකට… ෂිට්.

විහංගයට තමන්ගේ හිත තේරුම් ගන්න බෑ.

ඒත් ඇයි මං දුක් වෙන්නේ. මට ඕන වුණේ ඒකනෙ.ඒත් මට ඉවසන්න බෑ ෂිට්..

විහංග බ්‍රේක් කරපු පාරට සාරධා මල් වලට වතුර දදා හිටපු බටෙත් අතහැරියා.

මේ යෝදයා හැදෙන්නෙම නෑනේ. එක  පාරක් අවුරුද්දකට එක තැන ඉන්න වැඩ සිද්ධ කර ගත්තා .තාමත් වැඩ  එහෙමමයි.

ඩෙනිම් ජැකට්  එක ගලවගෙන උරහිසේ එල්ලගෙන වලව්වට ගොඩ වෙන විහංග දිහා බල බලා සාරධා හිතුවා.විහංග වලව්වට ගොඩ වෙනකොටම කොහේදෝ ඉඳලා දුවගෙන ආපු රෝෂිණී විහංගගෙ අතේ එල්ලුණා.

හායි විහංග කොහෙද අනේ ගියේ ?ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ.

විහංග රෝෂිණීට රවලා එතනින් යන්න හැදුවා.

විහංග අපි හෙට ගමනක් යමුද? මගේ යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකක් තියෙනවා

විහංග රෝෂිණීගෙ අත ගසා දැම්මා.

 

රෝෂිණී පාඩුවේ ඉන්නවා. තමුසෙ මොකද කොයි වෙලෙත් මගේ ඇඟේ එල්ලෙන්න දඟලන්නේ

විහංග යටිගිරියෙන් ගුගුරද්දි සාලෙ වාඩිවෙලා හිටපු රෝෂිණීගෙ දෙමව්පියෝ වගේම ගජවීර්,ප්‍රියංගත් එකිනෙකා දිහා බලා ගත්තෙ පුදුමෙන්. විහංගගෙ කේන්තියේ තරම කොච්චරද කියනවනම් කොල්ලට සාලෙ හිටපු අමුත්තන්ව පෙනුනෙත් නෑ.

පුතා මොකද මේ?

ප්‍රියංගා ළඟට දුවගෙන ආවේ ඇතිවෙන්න යන වාතාවරණය ගැන බයවෙලා.විහංග එතකොටයි කට්ටියව දැක්කේ .ගජවීර් නැගිට්ටා.

විහංග රෝෂිණීගෙ දෙමව්පියෝ ඇවිත් තියෙන්නෙ මේ කටයුත්ත ගැන කතා කරගන්න. ඉක්මනට වෙඩින් එක ගන්න ඕනේ.දැන් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරනවනේ. තමුන් මොකද මේ ළමයට කෑ ගහන්නෙ.

අප්පච්චි මොන වෙඩින් එකද?

විහංග  ඇහැවෙ ගාණක්වත් නැතිව

විහංග.. තමුන් කවුරු එක්කද මේ කතා කරන්නේ ?

අප්පච්චි මට සමාවෙන්න. ඒ උනාට මං මේ මගුලට කැමති නෑ

ගජවීර්…මොකද්ද මේ නාඩගම

ඒ රෝෂිණීගේ අප්පච්චි

රෝෂිණී ..තමුසෙ කියනවා. මං කොයි වෙලේද තමුසෙව බඳිනවා කියලා කිව්වේ .ආ කියනවා.

රෝෂිණී සද්ද නෑ.

මං එදත් කිව්වා ..අදත් කියනවා. මං මේ මඟුලට කැමති නෑ. ඔයාලා බලෙන්ම රෝෂිණීව මගේ කරේ එල්ලන්න හදන්නෙ.

 

විහංග .තමුන් ඔය සෙල්ලම නතර කරන්න ඕනේ. තමුන් කසාද බඳින්නෙ නැද්ද එතකොට ?ඇයි තමුන්ට රෝෂිණීව කසාද  බඳින්න බැරි?

ගජවීර් ඇහැවෙ උපරිමේටම කෝපය පාලනය කරගෙන.

මොකද මං

විහංගට ඉතුරු ටික කියාගන්න බැරි වුණා. කොහොමද කටක් ඇරලා කියන්නේ තමන් බැඳලා හිටියේ කියලා. දැන් ඩිවෝස් වෙලා ..ඒත් ආදරේ යෙහන්සා..

විහංග ආපහු හැරුණෙ විදුලි වේගෙන්.පුංචි මහත්තයා ආව විදිහටම ජීප් එකේ නැගලා ඉගිලෙන හැටි මිදුලේ ඉඳලා සාරධා බලන් හිටියේ කටත් ඇරගෙන.

විහංගට යන්න තැනක් තිබුණෙ නෑ .කොල්ලට හැමදේ ගැනම දැනුනේ කළකිරීමක්.විහංග එහෙමම පිටත් වුණේ කොළඹ යන්න. මොකද විහංගට තනි වෙන්න ඕනේ උනා. විහංග කොළඹ එද්දි මහ රෑ වුණා.ආව ගමන් ප්‍රියංගාට මැසේජ් එකක් දැම්මෙ ප්‍රියංගා  බය වෙන බව දන්න නිසාම.

විහංග ඇඳේ හාන්සි වෙලා ෆෝන් ගැලරියේ තියෙන යෙහන්සාගේ පින්තූර එකින් එක බලන්න ගත්තා.

ඔබ හා ගෙව්ව මොහොතක සුවය හන්තානෙට වැඩියි.

විහංගගෙ අතින් නොදැනුවත්වම ටයිප් වුණු මැසේජ් එක කෙල්ලගේ ෆෝන් එකට ගියා. යෙහන්සා මැසේජ් එක ඕන් කළේ ගැහෙන ඇඟිලි තුඩු වලින්.යෙහංසාගෙ ඇස් වලට කඳුළු පිරුණා.

යෙහංසා ඒ නම්බර් එකට අරගත්තා .විහංග  ආන්ස්වර් කළා .ඒත් කතා කළේ නෑ .ටිකකින් ඇහුනෙ එහා පැත්තෙන් ඉකි බිදින හඬ.. මෙහා පැත්තෙන් ඇහුනේ තදින් සුසුම් හෙළන හඬ. පැය භාගයක්ම ඒ කෝල් එක ඒ විදියමයි. අන්තිමේදී යෙහංසා කට් කරලා ෆෝන් එක ඕෆ් කළා.

මොකක්ද මේ වෙන්නේ විහංග. අපි දෙන්නා කසාද බැඳලා අවුරුදු හතරකට කිට්ටුයි. ඒත් ආදරෙන් හිටියෙ දවස් තුනයි. ඒ දවස් තුන අමතක කරන්න බැරුව ඔයා වගේම මාත් විඳවනවා. ඇයි මේ…? ඇයි මේ?….

යෙහංසා හිතින් ඇහැවෙ තදින් ඇස් පියා ගන්න ගමන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!