සශේන් මොකාද ඌ.. උඹලට මෙච්චර පොඩි දෙයක් වත් හොයාගන්න බැරිවුණාද ?
විහංග සශේන්ට කඩන් පැන්නා. පිට්ටනියෙ සෙල්ලම් කරන කොල්ලොත් හැරිලා පැවිලියන් එක දිහා බැලුවා .යාලුවො ටික එක්ක විහංග එතන හිටියේ.
මචං අපි හොයනවා
දැන් දවස් දෙකක් තිස්සෙ උඹලා කියන්නේ පරණ කතාවමයි .මං ඔය හෝටලේ මුදලාලිගේ හොම්බට දෙකක් ඇන්නාම කියයි
පිස්සුද යකෝ මුදලාලි මොනවා කරන්නද?
තුෂාන් කෑ ගැහැවා.
කපු අම්මණ්ඩි මොකද
ඒවා හරි. මං එයාට පැහැදිලි කළා
ඒක හරියන්නෑ මං පැහැදිලි කරන්නම්.
පිස්තෝලෙන් ද? මේ නිකන් හිටපං බං ..ඒ කපු අම්මාට ප්‍රෙෂර් තියෙනවලු .උඹ හදන්නේ බය කරලම හාට් ඇටෑක් හදවන්නද
රන්දු සන්සුන්ව කිව්වේ පඩියක ඉඳගෙන චුයිංගම් එකක් හපන ගමන්
උඹ යෙහංසාගෙන් ඇහැවෙ නැද්ද කොල්ලා ගැන
තුෂාන්ට හිමිවුණේ රැවුමක්
ඕකනේ බැරි . දවා අලුවෙලා යන බැල්ම .අරකිත් පිච්චනෙවා ඇති.
තුෂාන් රඟපෑවා
ඒකිගෙන් ඒවා අහන්න ගිහින් මගේ අතින් තව පොඩ්ඩෙන් ගන් එක පත්තු වෙනවා. හනිමුන් යන්න කලින් මට හිරගෙදර කූරු ගනින්න වෙයි
ඇති එච්චර දෙයක් තේරුම් ගත්තා
රන්දු පුරුදු සන්සුන් ස්වරයෙන් කීවා
විහංග මං සිරා අහන්නේ .උඹ ඒ කෙල්ලව මැරි කරනවා ද
තුෂාන් ඇහැවෙ මේ වෙනකොට කාගෙ කාගෙත් හිත් වල තිබ්බ බරපතලම ගැටලුව
නෑ
යාළුවො තුන්දෙනාගෙ ඇස් උඩ ගියා.
එහෙනම් මොකක්ද යකෝ මේ නටන නාඩගම. එක්කෝ ඒ කෙල්ලට කොල්ලෙක් එක්ක යාලුවෙන්න දෙන්න ඕනේ. නැත්නම් මගුලක් හොයාගන්න ඉඩ දෙන්න ඕනේ.
තුෂාන් උඹ මගෙන් කන්න හදන්නෙ ඔය.
උඹම නේද එදා කිව්වෙ උඹෙ ලයිෆ් ස්ටයිල් එකට ඒකි වගේ ගොඩේ එකියක් ගැලපෙන්නෙ නෑ කියලා
සශේන් කොළඹ ගිහින් ඇවිත් විහංග පහුවදා කියපු කතාව මතක් කරගෙන කිව්වා.
ඔව්..ලයිෆ් ස්ටයිල් එකට නොගැලපුණාට අනිත් ඒවට ගැලපෙනවනෙ බං..
විහංගගෙ මූණට ආවේ කලාතුරකින් එන මනමාල හිනාව
කොහොමද බං ඒ අජූත හිනාවෙ ලස්සන..මූ කොළඹ ගිහින් යස නාඩගමක් නටලා වගේ
තුෂාන් ඇස් හීනි කරලා විහංග දිහා බැලුවා
ඕ.. සාකී සාකී රේ….සාකී සාකී රේ..
විහංග තුෂාන්ගෙ බඩට පාරක් ගහගෙන හිනා වෙවීම පල්ලෙහාට බැහැලා ගිහින් බයික් එක ස්ටාට් කරගත්තා .
*******************
යෙහංසා ඇදේ පෙරළි පෙරළි හිටියෙ නින්දක් අහලකටවත් එන්නේ නැති නිසා. දැන් දවස් දෙකක් තිස්සෙ යෙහහංසාගෙ ඔළුව රිදෙනවා .විහංග වගේම නිමේෂ් සැරින් සැරේ එබිකම් කර කර මේ හිතට කරදර කරනවා
නිමේශ් අද හෙටම ඒවි. අනේ මං මොනවද එයාට කියන්නේ .ඇත්තටම මං එයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ.පවුලේ විස්තර වත්. මටත් ඒවා අහන්න කල්පනාවක් තිබ්බෙ නෑනෙ. එයා වගේ කෙනෙක්ට මං වගේ දුප්පත් කෙල්ලෙක් ගැලපෙයිද? ඒත් නිමේශ්ගෙ තියෙන්නෙ හරි වැදගත්කමක්. අනේ විහංග එයාට කරදරයක් කරයිද ?අර පිස්තෝලෙ මගේ ඔළුවට තිබ්බා වගේ. අනේ දෙයියනේ මං නිසා කරදරයක් වෙයි?ද බෑ බෑ කීයටවත් එහෙම වෙන්න දෙන්න බැහැ
************************
විහංග තමුන් මොකක්ද අර කෙල්ලෙක් එක්ක නටලා තියෙන නාඩගම.
විහංග කවිච්චියේ හාන්සි වෙලා ටීවී බල බල හිටියේ. කොල්ලගෙ කටේ චුයිංගම් එකක්..ප්‍රියංගා සාරදා එක්ක ජනෙල් රෙදි වල කොකු අමුණනවා .සාරදා ඒවා කාලෙකින් හේදුවෙ අවුරුද්ද ළඟ ළඟ එන නිසා.විහංග ගජවීර් දිහා බැලුවේ උඩක් බිමක් හිතාගන්න බැරුව.
මොකක්ද ඔයා කියන්නේ ?මොන කෙල්ලෙක්ද?
ප්‍රියංගා වැඩේ නතර කරලා කරලා ගජවීර් ළඟට ආවා.
ඒක අහ ගන්න ඕනේ තමුන්ගේ පුතන්ඩියාගෙන්
ගජවීර අත් දෙක පිටිපස්සට බැඳගෙන ගෝරනාඩු කරනවා
පුතා මොකක්ද මේ
මං දන්නෑ අම්මා
හරි බබෙක්නෙ ප්‍රියා ඉන්නෙ ඔයාට. ඔයා දන්නවද මේ කොල්ලා එදා කොළඹ කොන්ෆරන්ස් එකට ගිහින් අපේ කොළඹ අපාර්ට්මන්ට් එකේ ඉදලා තියෙන්නේ කෙල්ලෙක් එක්ක
ප්‍රියංගගේ ඇස් උඩ ගියා.මේ මොන අලකලංචියක් ද .
අහ් ඒකද ?සිම්පල්නේ අප්පච්චි මට හිතුනා මං අරන් ගියා .එච්චරයි
තත්පර දෙක තුනක් ඇතුලත ගජවීර්ගෙ දකුණු අත විහංගගෙ කන හරහා ගියා.
උඹ අපේ පරම්පරාවේ දැලි ගාවන්න ද හදන්නේ? ලැජ්ජා නැද්ද උඹට කසාද බඳින්න කලින් කෙල්ලො එක්ක ගෙවල් ගානේ ගිහින් ඉන්න.
විහංග කවිච්චියෙන් නැගිට්ටේ යකා වෙලා
ගජේ ඉවසන්න. අපි දන්නෑනෙ වෙච්චි දේ
ප්‍රියා.. තමුන්ගේ හුරතලේ නිසා තමා මේ සේරම. හිතන්න ඇති මට ආරංචි වෙන්නැති වෙයි කියලා. ඊළඟට ඔය කොහෙවත් යන ගෑනු බඩදරු වෙලා ළමයි එල්ලගෙන වලව්වට එද්දි මං කියන ඒවා ඇත්ත කියලා ඔයාට තේරෙයි
ගජවීර් කේන්තියෙන් කාමරයට යන හැටි ප්‍රියංගා බලන් හිටියේ කළුවුණු මූණෙන්.
විහංග කන අතගානවා තාම.
පුතා
ඔව් මං කෙල්ලෙක් ඇරන් ගියා තමා. හිතුනොත් ආයෙත් අරන් යනවා. මහා ලොකු වලව් පෙළපත. මං බඳින්නේ සුද්දියක්ව. බලමුකෝ වලව් පෙළපත නටන හැටි එතකොට
ප්‍රියංගා කොල්ලගෙ ඇඟේ එල්ලුනා
ඒ උනාට කොල්ලා ගජවීර්ට ඇහෙන්න වලව්ව දෙදරන්න කෑ ගැහවා .
අනේ පුතේ එපා පුතේ. අප්පච්චි දැන් තරහින් ඉන්නේ.
ප්‍රියංගා කියන ඒවා විහංගට ඇහුනෙ නෑ .ගජවීර් කාමරේ දොර රෙද්ද ගසාගෙන එළියට ආවා
විහංග උඹ බඳින්නෙ අපි කියන කෙල්ලෙක්ව. මතක තියාගන්නවා ඒක. අම්මා උඹට බය උනාට මං බය නෑ. උඹ අපි කියන කසාදෙට අකමැති වුණොත් අන්න තියෙනවා වලව්වෙ දොර.. යනු පමණයි නැවත එනු බෑ ..කිසිම දේපලක් උඹට නෑ.. ෆැක්ටරි එකත් නෑ. පාරේ හිඟා කෑවත් වලව්වට ගන්නෑ.
විහංග දත්මිටි කකා වලව්වෙන් එළියට බැහැලා බයික් එක ස්ටාට් කරගත්තා.
ගජේ ඇයි තරහින් ඉන්නේ ? පුතාට අපල කියලා දන්නවනේ
ඕකව හදන්න බෑ ප්‍රියා නැත්නම්. එක එක නාඩගම් නටන්න කලින් දැන්ම කටයුත්තක් කරලා දෙන්න ඕනේ .ලොකු පුතා ට කලින් විහංගව බන්දන්න ඕනේ
පිස්සුද ගජේ පුතාට තාම විසි තුනයි.. ලොකු පුතාට විසි නවයයි…එයා ඉද්දි විහංගව බන්දන්නෙ කොහොමද
එහෙනම් තමුන් කැමති දෙයක් කරගන්න. මට කියන්න එපා කොහේ හරි යන සක්කරවට්ටමක් එක්කගෙන ආවම
ගජවීර් කාමරේට ගියා. ප්‍රියංගා පුටුවකට බර උනේ මහා විශාල බරක් ඔළුවේ තියාගෙන
*********
යෙහංසා.. ඔයා මට අකමැති කියලා කටින් කීවට ඔයාගේ ඇස්දෙක එහෙම කියන්නේ නෑ.
නිමේෂ් යෙහංසාගෙ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන යෙහංසා හදලා දුන්නු තේ කෝප්පෙ බිව්වා.
ඩොක්ටර් අපි අහසයි පොළවයි වගේ..
අහසයි පොලවයි එකතු වෙන තැනක් තියෙනවා යෙහංසා සිතිජය
ඒක මිරිඟුවක්
යෙහංසා මාව විශ්වාස කරන්න
ප්ලීස් ඩොක්ටර්. මගෙන් ඈත් වෙන්න. ආයේ මාව බලන්න එන්න එපා. ඔයාගේ හොඳටයි කියන්නේ
යෙහංසා හිතක් පපුවක් නැති ගානට කියල දැම්මා .
යෙහංසා ඔයා අහිංසකයි. මං දන්නවා ඔහොම කියන්නේ ඇයි කියලා.
මට කරදර ගොඩක් තියෙනවා ඩොක්ටර්.. ඒවට කොහෙවත් ඉන්න ඩොක්ටර්ට විඳවන්න දෙන්න බෑ .ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් එකට කැමති වෙන්න.
නිමේශ් නැගිටලා තේ කෝප්පෙ අතට දුන්නා.
ගෙදර කවුරුත් නැති වේලේ මං මෙහෙම ආපු එක හොඳ නෑ යෙහංසා .මං අම්මලා ඉන්න වෙලාවක ඇවිත් කතා කරන්නම්. ඔයාගෙ කැමැත්ත කියන්න .මං අපේ ගෙදරත් එක්ක කතා කරන්නම්.
මං ඩොක්ටර් තරම් ඉගෙන ගෙන නෑ. මට හොඳ රස්සාවකුත් නෑ. සල්ලිත් නෑ.දෑවැදිත් නෑ.
මට ඒ ඔක්කොම තියෙනවනේ කෙල්ලෙ. ඒ මදිද? එහෙනම් කැමතිනේ.
ඩොක්ටර්
නිමේශ් යෙහංසාගෙ අතක් මෘදු විදිහට අල්ල ගත්තා. යෙහංසාගෙ හිතේ කලබලේ උපරිමේටම ඇවිත්.විහංග සැරින් සැරේ හිත යට ඉඳන් එබිකම් කරනවා.
කැමතියි නේද?
ඒ ඇස් දිහා බලාගෙන යෙහංසාට බෑ කියන්න බැරි වුණා. කෙල්ල ගොළු වුණා. ඒ ආදරණීය විලාසයට මොන කෙල්ල ද අකමැති වෙන්නේ
තෑන්ක්ස්
නිමේශ් ගෙදරින් පිට උනා.
දෙයියනේ දැන් මොකද කරන්නේ .. ඇයි මං ඔළුව වැනුවේ.. එයා හිතුවෙ හා කියලා .විහංග දැනගත්තොත්
යෙහංසාට කල්පනා කරලම ඔලුව රිදෙන්න ගත්තා.
**************
අම්මා අප්පච්චි මට දෙයක් කියන්න තියෙනවා.
රෑ කෑම මේසේ ඉඳගෙන නිමේෂ් කිව්වෙ තීරණාත්මක බැල්මකින්. විහංග නම් කෑම මේස ඉඳගත්තේ නෑ. කොල්ලා කවිච්චියේ දිග ඇදිලා ෆෝන් එක ඔබනවා . ගජවීර් කොල්ලට රව රව කෑම කනවා
මොකක්ද පුතා
අම්මා මං ආදරේ කරන ගෑනු ළමයෙක් ඉන්නවා. මට දිනිතිව බඳින්න බෑ.
ගජවීර් ප්‍රියංගගේ මූණ බැලුවා.
පුතා මොනවද මේ කියන්නෙ? ඔයා දිනිතිව බලන්නත් ගියා නේද?
ඔව්.ඒත් අම්මා මට දිනිතිව දැනෙන්නෙ නෑ .මට දිනිති ගැන එක හිතින් තීරණයක් ගන්න බෑ
පුතාලා දෙන්නම මෙහෙම හිතුවක්කාර වෙයි කියලා ගජවීර් හිතුවේ නෑ.
ලොකු පුතා ඒත්
ප්‍රියංගා
ගජවීර් අත උස්සලා ප්රියංගව නිහඩ කළා
ඒ ගෑනු ළමයා අපේ වලව් පෙළපතට ගැලපෙනවද ?
අප්පච්චි එයා ගොඩක් හොඳයි. අහිංසකයි. හැබැයි දුප්පත්
හ්ම්.. කේන්දර කොපියක් ගේන්න. කේන්දර නොගැලපුනොත් ඒ ගැන කතා කරන්න බෑ හරිද
ගජවීර් කිව්වෙ එච්චරයි.
පුහ්
විහංග කට කොනින් හිනාවුණා.ඒත් මුකුත් කිව්වේ නෑ
********
නිමේශ් ආයෙත් යෙහංසාගෙ ගෙදර ආවේ කේන්දර කොපියක් අරන් යන්න.නාලිනී යෙහංසාගෙ කේන්දර කොපිය දුන්නෙ හරි කැමැත්තෙන්. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දීලා. යෙහංසා නම් හිටියේ වෙවුල වෙවුලා.
යෙහංසා. එන්නකො ළඟට
නාලිනී ගේ ඇතුළට ගියාම නිමේශ් කෙල්ලට අඬගැහුවා .
අනේ බැහැ ඩොක්ටර්….
ඔයා කොහෙද වැඩට යනවා කීවේ. මට ඒ ගැන අහන්නත් බැරි වුනා
ෆැක්ටරි එකේ ඩොක්ටර්.. මැදගෙදර ෆැක්ටරි එක..
මොනවා ඔයා වැඩ කරන්නේ අපේ ෆැක්ටරි එකේ ද?
ඒ පාර පුදුම වුණේ යෙහංසා
අපේ ෆැක්ටරි එක..ඒ කිව්වෙ
යෙහංසා ..ඒ ෆැක්ටරි එක අපේ.. මගේ මල්ලි තමා ඒකෙ දැන් වැඩ බලන්නෙ..විහංග
යෙහංසාට උතුර දකුණ මාරු උනා..හීනෙකින්වත් මෙහෙම දෙයක් කෙල්ල හිතුවේ නෑ
නිමේශ් විහංගගෙ අයියා ද ?දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නේ
යෙහංසා ඒයි..කොයි ලෝකෙද ඉන්නෙ
ආහ්..
විහංග ඔයාගේ බොස්… මගේ මල්ලි. මිනිහා අමුතු චරිතයක්. ඔයා ඒකද බය වුනේ
ආ..නෑ මේ… මට පුදුම හිතුනා
මං දැන් යන්නද ? කේන්දරේ මැච් උනොත් අවුලක් නෑ .
මැච් නොවුනොත්
මට ඔයාව අමතක කරන්න බෑ යෙහංසා. අපි හොරෙන් හරි බඳිමු
නිමේෂ් කීවෙ හැඟීම්බරව. නිමේෂ්ගේ කාර් එක යන හැටි කෙල්ල බලන් හිටියා. විහංගගෙ රළු සිපගැනීම්.. තර්ජන ගර්ජන මැද්දේ… මේ මොන සන්ධිස්ථානයක් ද ? එයාගෙම අයියා. දෙන්නා අහසයි පොළවයි වගේ. යෙහංසා මැදිවුනේ උභතෝකෝටික ගැටලුවකට
****************
යෙහංසා මිසී..යෙහංසා මිසී
චමූ හතිදාගෙන ඔෆිස් රූම් එකට එබුණා .
ඇයි චමූ මොකද ?
යෙහංසා කම්පියුටරෙන් දෑස එලියට අරන් ඇහැවා.
ලෝක යුද්දෙ.. හතර වෙනි ලෝක යුද්දේ
මොකක්
අන්න පුංචි සර් අර බණ්ඩි කොලුවාට පෙරලගෙන ගහනවා. මහීපාල සර් පොර කෑවට බේරෙන්නම බෑ
මොනවා එ් මොකටද?
පුංචි සර් එද්දි නැගිට්ටේ නෑ කියලා
යෙහංසාට මතක් වුනේ අද උදේ විහංග ආවට තමන් පුටුවෙන් නැගිට්ටෙ නෑ කියලා. විහංග ඔෆිස් ආවෙ කාලෙකින්.
යෙහංසා විහංග ආවට සද්ද නොකර කොල්ලව දැක්කේ නෑ වගේ වැඩ කළා. මහීපාල එවෙලෙම රූම් එකට ආවා .ඒ නිසා විහංගට මොනවත් කතා කරන්න බැරි වුණා. පැයක් විතර ෆයිල් චෙක් කරලා කොල්ලා මහීපාල එක්ක ෆැක්ටරි එක ඇතුලට ගියා
මහීපාල අංකල් යමු ෆැක්ටරි එකට විසිට් එකක්.. කාලෙකින් බැලුවේ නෑ. අලුත් මැෂින් අවුලක් නෑනේ
නෑ සර් පරණ මැෂින් දෙකක් රෙපෙයාර් කළා
හ්ම්
කෙල්ලට ඒ දෙබස මතක් උනා
මිසී
ආ
යෙහංසා පියවි සිහියට ආවේ චමූගෙ කටහඬට.
යමු යමු
යෙහංසා සාරියත් උස්සගෙන ෆැක්ටරි එක දිහාට දුවන්න පටන් ගත්තා.චමූත් යෙහංසා පස්සෙන් දුවගෙන ගියා.
සර් ඕක නවත්තන්න
යෙහංසා යනකොටම දැක්කෙ විහංග බණ්ඩියාගෙ කොලර් එකෙන් ඇදගෙන දකුණු අත මිටමොලවලා ගහන්න හදනවා.කොල්ලගෙ කේන්තිය උපරිමයි .
යෙහංසාගෙ සුදු මූණ දකිද්දී විහංග කෙල්ලට රැව්වා
සර් මේ මනුස්සයා ඔය පාර වැදුනොත් මැරිල වැටෙයි ..
මහීපාල මේ පොරේ බේරන්න බැරුව පැත්තකට වෙලා හති අරිනවා විහංග අත පහතට දැම්මා .
යමු සර්
යෙහංසා කොල්ලවත් ඇදගෙන ෆැක්ටරි එකෙන් එලියට ආවා .විහංග ගරාජ් එක ලඟදි කෙල්ලගේ අත ගසා දැම්මා .යෙහංසාගෙ පපුවත් ගැහෙනවා ..මොන යක්ෂයෙක් ද මේ..
මොකද තමුසේ මගේ අත ඇල්ලුවේ ආසයිද
විහංග ඇස් වලට එබුණා
පිස්සුද? අර බණ්ඩියාගෙ පවුල අනාථ වෙනවා නැත්නම්..
මං ඌව මරලා හිරේ ගියාම තමුසෙත් අනාථ වෙනවනේ
දොඩවන්න එපා
එනවකෝ ටිකක්… ගොඩ දවසකින් බැරිවුනානේ
විහංග තත්පරේට කෙල්ලගේ කම්මුලක් සිප ගත්තා
යෙහංසා කොල්ලව තල්ලු කළාත
සර් ප්ලීස්… ඔය නරක පුරුද්ද නතර කරගන්න
තමුසෙ කවුද මට අණ දෙන්න.
මං කවුරුවත් නෙවෙයි. සේවිකාවක් විතරයි
එහෙනම් තමුසෙ දන්නෙ නැද්ද බොස් එනකොට නැගිටින්න
මගෙත් එක්ක තියෙන තරහට අහිංසක මිනිස්සු පලි නෑ.
එවුනුත් ගරු කරන්න ඕනේ හාම්පුතාට
ගරු කරන්න ඕනෙ ගරු කළ යුතු අයට. තමුන් වගේ නැහැදිච් හාම්පුතුන්ට නෙවෙයි
කට වැඩිය තමුන්ගේ
විහංග දත්මිටි කනවා
ඇත්ත අහගෙන ඉන්න බෑ නේද? තමුන් උඩ පැන පැන නටන්නෙ පරම්පරාවේ සල්ලි නිසා. පරම්පරාවෙන් හම්බ නොවුණා නම් තමුන්ට මේ වගේ ෆැක්ටරි එකක් ලැබෙන්නෙ නෑ .පිනට ලැබුණු තැනවත් රැකගන්න දන්නේ නෑ..දන්නවද ඒක පව්කාරකම. තමුන්ට තනියම නැගී හිටින්න කවදාවත් බෑ. ඇත්තම කියනවනං තමුන් වගේ නාස්තිකාර කොල්ලෙක්ගෙන් ගෙදරට වැඩකුත් නෑ …පවුලට වැඩකුත් නෑ… ගමට වැඩකුත් නෑ… රටට වැඩකුත් නෑ… ජාතියට වැඩකුත් නෑ.. අඩුම තරමේ බදින කෙල්ලටවත් වැඩක් නැති වෙයි.කිසිම වැදගම්මකට නැති වගකීමක් නැති මනුස්සයෙක්… මහ ලොකුවට පිස්තෝලෙ දික්කරන් හිටියට හරි චණ්ඩියෙක් කියලද හිතන්නේ . අහිංසක මිනිස්සු තමුන්ගේ අත පල්ලෙන් වැටිලා කියලද හිතන්නේ.
ඔක්කොම තමුන්ට යටත් වෙලා ඉන්න ඕනෙද? තමුන් වගේ මනුස්සයෙක් මේ රටටත් බරක්.. එලොවටත් නැති මෙලොවටත් වැඩක් නැති මහලොකු වලව් පුතා… තමුන්ගෙන් අඩුම තරමේ තමන්ටවත් වැඩක් තියෙනවද කියලා කල්පනා කරලා බලනවා..
යෙහංසා ගස්සගෙන ඉවතට ඇදෙන හැටි විහංග විශ්මයෙන් බලන් හිටියා. ඒ වගේ වාග් ප්‍රහාරයක් අප්පච්චිගෙන් වත් ලැබිලා නෑ. ඇත්තටම විහංග හිටියේ ෂොක් වෙලා. ඒ කියපු ඔක්කොම ඇත්ත නෙවෙයිද?
විහංග එහෙමම බයික් එකට නැගලා ඉගිළුණේ කොල්ලට තනිවෙලා කල්පනා කරන්න ඕනේ වුණු නිසා.විහංගගෙ හිතේ කවදාවත් නොවුණු පෙරළියක් යෙහංස ගෙ වචනත් එක්ක සිද්ධ වෙමින් පැවතුණා
************
අම්මා මේක යෙහංසාගෙ හොරස්කෝප් එක.
විහංග වගේම ප්රියංගාත් ගැස්සුණේ නිමේෂ්ගේ වචනෙට.
මොකක්ද ලොකු පුතා කිව්වේ?යෙහංසා
සිහි එලවා ගන්න පුළුවන් වුණු පළවෙනි මොහොතෙම ප්‍රියංගා ඇහැවා.විහංගට ඒත් අදහන්න බෑ.
අම්මා… මං කීව ගර්ල් යෙහංසා. අපෙ ෆැක්ටරි එකේ එකවුන්ට් වැඩ කරන්නේ .මල්ලි නම් හොඳට දන්නවා ඇති .
විහංග අහක බැලුවේ කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව
මොකද නොදන්නෙ පුතා . මාත් කෙල්ලව දන්නවා .යෙහංසා හොඳ කෙල්ල. ඒත් අපේ පවුලට ගැළපෙන්නෙ නෑ එයාලා
අම්මා අප්පච්චි කීවෙ හදමන් බලන්න කියලානෙ. ප්ලීස් අම්මා
ප්‍රියංගා හදහන අතට ගත්තේ අවුල් වෙච්ච මූණෙන්. විහංග කාමරේට ගිහින් දොර වහගත්තා. කොල්ලට ඉස්පාසුවක් නෑ.විහංගට බඩු මුට්ටු ඔක්කොම උස්සලා පොලේ ගහන්න හිතෙනවා.කොල්ලා කාමරේ පුරා වේගයෙන් ඇවිදිනවා.
යෙහංසා යෙහංසා ..උඹ ලස්සනට මාව රැවැට්ටුවා. උඹේ බෝයි ෆ්‍රෙන්ඩ් අපේ අයියා.. උඹ ඒක දැනගෙනම අපි දෙන්නා එක්කම සෙල්ලම් කළා. අයියා අහිංසකයා. මං දන්නවා.ඌ උඹ ගැනයි මං ගැනයි දන්නෑ .අපේ අර මෝඩ යක්කුන්ට යෙහංසාගෙ බෝයිෆ්‍රෙන්ඩ් හොයාගන්න බැරි වුණා.ෂිට්.. මටත් හොයාගන්න බැරි වුණා. බලමු යෙහංසා උඹ මාව ඇන්දුවට උඹට අමතක නොවෙන පාඩමක් මං උගන්වනවා .මේ වලව් පුතා ගැන උඹ දන්නේ නෑ තාම.
විහංග හිතුවේ කුරිරු හිනාවක් මූනට ඇරගෙන
*************
අම්මා කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නෙ
විහංග පහුවදා උදේ දැන දැනම ප්රියංගාගෙන් ඇහැවෙ හිතේ තියෙන සැලැස්ම හින්දා.
පුතේ මං අයියගේ හොරස්කෝප් බලන්න යනවා
යමු අම්මා .මං යන ගමන් අම්මව ඇරලවන්නම්
පුතා බයික් එකේනෙ යන්නේ
නෑ අද අපි ජීප් එකේ යමු .
විහංග කවදාවත් නැතිව උදව්වට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුණු එක ගැන ප්රියංගාට පුදුමයි. ඒත් පොඩි පුතා එක්ක ගමනක් යන්න ලැබුණු එකට නම් ප්‍රියංගා හරි කැමැතියි.ප්රියංගාව හදහන් බලන තැන බැස්සුව විහංග හැරිලා යන ප්රියංගාට කතා කළා.
අම්මි ඕක දීලා එන්න. හවසට බලලා තියන්න කියන්න. මං එන ගමන් අරන් එන්නම්. අම්මිත් ගෙදර ඇරලවගෙනම මං ඔෆිස් යන්නම්.. නැත්නම් මේ හරියෙ වෙන වාහනත් නෑ. මට මීටින් එකකුත් තියෙනවා
ප්‍රියංගා ටිකක් කල්පනා කළා
හරි පුතා මං දීලා එන්නම්
විහංග අහක බලාගෙන හිනා උනා. ප්‍රියංගා දැන් හඳහන් ගැන විස්තර අහගත්තොත් වැඩේ දෙල් වෙනවා .ඒකයි කොල්ලා අර විදිහට කිව්වේ. ප්‍රියංගා ආපහු වලව්වට ඇරලපු විහංග කෙලින්ම ආවේ හඳහන් බලන මහත්තයා ළඟට
අන්කල්
මේ මහත්තයා මන් දැකල නම් නෑ වාඩි වෙමුකො
අන්කල් මාව දකින්න කැමැති වෙන එකකුත් නෑ .අඳුර ගන්න කැමති වෙන එකකුත් නෑ
විහංග කට ඇද කළා.
මොකක්ද? මට පැහැදිලි නෑ
මං පැහැදිලි කරන්නම්. මීට ටිකකට කලින් කේන්දර මැච් කරන්න මැදගෙදර නෝනා හදහන් කොපි දෙකක් දුන්න නේද?
ඔව්
ඒ කේන්දර දෙක මැච් වෙන්න බෑ. කෙල්ල වඳ කෙල්ලෙක්. ඒ කසාදෙ කවදාවත් හරියන්නෑ. ඒකයි කතන්දරේ
මොනවද තමුන් කියවන්නෙ
විහංග ඉනේ ගහගෙන හිටපු පිස්තෝලෙ හඳහන් බලන කෙනාගේ කටට එබුවා. ඒ මනුස්සයා හොඳටම බය වෙලා
අන්කල් ගොක් කොළ බලන්න ආසද හීනෙන්. මං හවස එද්දි හදහනේ විස්තරේ ඒ විදිහට නොතිබුණොත් එහෙම හීනෙ පෙනෙයි.මිසිස් මැදගෙදර ඒක කියවලා කෝල් කරද්දිත් ඒ විස්තරේ කිව්වේ නැත්නම් බලාගමු.මළගේ ගන්න හම්බ කරපුවා ඉතුරු කරල ඇතිනේ. ඒක නෙවෙයි මෙහෙ මරණාධාර සමිතියෙන් පෙට්ටිය ගන්න කීයක් දෙනවද ?
විහංග පිස්තෝලෙ ආයෙත් ඉනේ ගහගත්තා .අර මනුස්සයා දාඩියෙන් නෑවිලා.
මහත්තයා අපිට කරදර කරන්න එපා. අපි ජීවත් වෙන්න මේ රස්සාව කරන්නේ. අපි බොරුවක් කරන්නේ නෑ
මේ අංකල්. ඔය ඉපදුන වෙලාව කියලා දෙන එක ඇත්තද බොරුද කවුද දන්නේ. නර්ස්ලා ලියන වෙලාව කොයි වෙලේ ලියනවද කවුද දන්නේ? ඒ නිසා ඔය විකාර කතා මට කියන්න එපා. තමුන් රස්සාව කරගෙන ජීවත් වුණාට මට කමක් නෑ. හැබැයි
විහංග දබර ඇඟිල්ල එසෙව්වා.
හරි මහත්තයා කැමැති විදිහට වෙයි
විහංග කට කොනින් හිනාවත් එක්කම එලියට බැස්සා
*****************
රන්දු උඹ සීරියස් ද මේ කියන්නේ ?
තුෂාන් ඇහැවෙ රන්දු බල බල හිටිය දැන්වීම අරගෙන බලන ගමන්
ඔව් බං. ගෙදරින් බර බරේ රස්සාවකට යන්න කියලා. මං කොහොමත් ආමි එකට යන්න ආසාවෙන් හිටියේ
ඒත් බං මේ විශේෂ බලකාය. මං දන්න විදිහට මේකට බැඳෙන එක ලේසි නෑ ට්‍රේනිං එකත් අමාරුයි.
සශේන් දන්න දේ කිව්වා.
මචං එක අතකට ඔහෙ රස්තියාදු ගගහ ඉන්න එකේ නරකද ?අඩුම තරමින් රටටවත් වැඩක් කරන එක. බලපං අපේ වලව් පුතා ගැන.ඌ කොච්චර වැදගතෙක් වෙලාද දැන්
ටයි එකත් බුරුල් කරං බාගයක් ෂර්ට් එකේ සාක්කුවට දාගෙන ඔහේ කල්පනා කර කර බිම ඉඳගෙන ඉන්න විහංග දිහා බල බල රන්දු කිව්වා.
ඌට නම් ඉතින් පරම්පරාවෙන් ලැබුනනේ ඔක්කොම. පින තමා
සශේන් ඉඟි කළා. විහංග නැගිටලා ළඟට ඇවිත් රන්දුගෙ අතේ තිබ්බ කොලේ උදුර ගත්තා. කොලේ තිබ්බ දැන්වීම් අකුරු අතර රැදවුණු කොල්ලගෙ කට කොනට ආපු අමුතු හිනාව යාලුවෝ තුන්දෙනාට නම් ඇල්ලුවේ ම නෑ
****************
ලොකු පුතා දැන් පැහැදිලියි නේද හඳහන් වල තියෙන ඒවා. අම්මා කිව්ව දේ ඇහුණා නේ
ගජවීර් නිමේශ්ගෙන් ඇහැවෙ ප්‍රියංගා කියපු විස්තර අහගෙන ඉඳලා. විහංග සුපුරුදු විදිහට කවිච්චියේ දිගෑදිලා චුවින්ගම් එකක් හප හපා ෆෝන් එක ඔබනවා .ඒත් කොල්ලගෙ අවධානය සම්පූර්ණයෙන් තිබ්බේ සාලේ සැටියේ ඉඳගෙන පිරිස කරන කතාබහ දිහා.
ඔව් අප්පච්චි ඒත්
ඔය ගැන කතා කරන්න බෑ ආයෙ. දරුපල නැති කෙල්ලෙක් ගෙනත් වැඩක් තියෙනවද?
අප්පච්චි දැන් වෛද්‍ය තාක්ෂණය දියුණුයි. ඒව ප්‍රශ්න නෙවෙයි
ලොකු පුතා ඔයා දොස්තර වුණාට මේ හදහන් බොරු වෙන්නෑ. ඔය කාටත් වඩා මං ඒක හොඳින් දන්නවා. අපි යෙහංසාව ලේලි විදිහට පිළිගන් නෑ. ඒක ස්ථිරයි .
ප්‍රියංගා දැඩි ප්රතිපත්තියක හිටියා.
ලොකු පුතා අපි දිනිතිගෙ කේන්දරේ බැලුවා .එයාට දරුපල තියෙනවා. අනික අපේ පෙළපතට ගැලපෙන නම්බුකාර මිනිස්සු.පුතාට යෙහංසා මත්තෙ නැහෙන්න තරම් ඔය සම්බන්ධෙ දුරදිග ගිහින් කියලා මං හිතන්නේ නෑ .පුතා බුද්ධිමත් දරුවෙක්
ඔව් අප්පච්චි .ඒක ඇත්ත. මට දුක මං ඒ කෙල්ලට බලාපොරොත්තු දුන්න එකට
ඕවා සාමාන්‍ය දේවල් පුතා .පුතා ගෙන් යෙහංසාට වරදක් වෙලා නෑනේ.
නෑ අප්පච්චි
එහෙනම් කතාව ඉවරයි .අපි දිනිති එක්ක මඟුල තීන්දු කරමු හරිද ?
හා අප්පච්චි
නිමේශ් පුටුවෙන් නැගිට්ටා. හිතට දුකයි. ඒත් මොනවා කරන්නද?නිමේශ් හිත හදා ගත්තේ මේ යථාර්ථෙට පිටුපාන්න තමන්ට බැරි නිසා. විහංග බොහොම සන්තෝසෙන් ෆෝන් එකේ තිබ්බ යෙහංසාගෙ පින්තූරයක් අතගෑවා.
***************
විහංග කාලෙකින් ආයෙත් ඔෆිස් ඇවිල්ලා. කොල්ලා දැන් ෆුල් බිසී. ෆයිල් චෙක් කරනවා චෙක් අත්සන් කරනවා .යෙහංසා පාඩුවේ වැඩ. මහීපාල මොකද්දෝ වාර්තාවක් හදනවා .චමූ දහයයි තිහට තේ ගෙනත් තුන්දෙනාටම සංග්‍රහ කළා. තේ කෝප්පෙ බොන ගමන් කොල්ලා මහීපාල දිහාට හැරුණා.
මහීපාල අංකල් දන්නවා නේද අපේ අයියා ගැන.
යෙහංසා ගැස්සුනා .ඒත් කෙල්ල කම්පියුටරේ දිහාම බලාගෙන හිටියා
මොකද මං නොදන්නෙ
නිමේශ් මැදගෙදර. දැන් ඩොක්ටර් කෙනෙක්
ප්‍රියංගා නෝනා කීවා මට. අපිට හරි සන්තෝසයි
අපි කිව්වේ. මහීපාල අන්කල් වගේම මිස් යෙහංසාත් අපේ අයියව දන්නවද?
විහංග කුතුහලෙන් වගේ මූණක් හදාගෙන කෙල්ල දිහා බැලුවා .යෙහංසාගෙ බය වෙච්ච වෙව්ලන ඇස් දැක්ක පාර විහංගගෙ කට කොනේ හිනාවක් මැවුනා.
මිස් යෙහංසා..මං අහපු ප්‍රශ්නෙ ට උත්තරේ තියෙන්නෙ මගේ මූනේ නෙවෙයි.
සර්
අපේ අයියව දන්නවද?
ආ.. මේ ..
දන්නවද
න්… නැහැ
බොරු කියන ලස්සන.. ඔහොම යමුකෝ ළමාතැනී.
විහංග හිතින් බනිනවා
ඉතින් මහීපාල අංකල්
කොල්ලා ආයෙත් මහීපාල දිහාට හැරුණා .
අපේ අයියා කෙල්ලෙක් එක්ක යාලු වෙලා
හැබෑට
දැන් යෙහංසාගෙ ඇඟිලි වෙව්ලනවා.දාඩියකුත් දාලා..කී බෝඩ් එකේ බට්න් පේන්නෙත් නෑ. අකුරු පැටලෙනවා
ඔව්..අපේ වලව් පෙළපතේ අහලකටවත් තියන්න බැරි දුප්පත් වැඩකට නැති එකියක්
අපොයි
ඒත් අප්පච්චි පව් කියලා කේන්දරේ බැලුවා .
යෙහංසා කීබෝඩ් එක දිහා බලාගෙන වෙව්ලනවා. විහංග තේ බොන ගමන් යෙහංසා දිහා වියරු ඇස්වලින් බලනවා.
ඒත් කරුමෙ කියන්නෙ අංකල් කෙල්ල වඳයි.
හත්දෙයියනේ
මහීපාල බෝතල් අඩි කන්නාඩි කුට්ටම ගැලෙව්වා.යෙහංසාගෙ ඇස් වල කඳුළු පිරෙනවා කොල්ලට පෙනුනා .විහගංට දැනුනේ කුරිරු සතුටක්.
ඉතින් අංකල් අපේ වලව් පෙළපත ඉස්සරහට අරන් යන්න පුතෙක් දෙන්න බැරි එකියක්ගෙන් වැඩක් ද අපිට .අපේ අයියට කලින් දිනිතිව ප්‍රපෝස් කරලා තිබ්බේ. සමරෙ අන්කල්ගේ දුව.ඉතින් අප්පච්චි ඊයේ ඒ මඟුල තීන්දු කළා. අයියා කැමති වුණා .මොකද දිනිතිට දරුපල තියෙනවා.
යෙහංසාගෙ ගේ හුස්ම හිරවෙනවා වගේ .මොකක්ද මේ උනේ.
පුංචි සර්. කොහොමත් හාමු මහත්තයා දෙන්නටම කටයුතු ලෑස්ති කරන්නේ ගැලපෙන තැන් වලින් තමයි.
මහීපාල කිව්වේ කල්පනාකාරීව.
ඔව්.මාත් මැරි කරන්නේ එහෙම තැනකින් තමා. කොච්චර ලස්සන උනත් වඳ කෙල්ලෙක්ගෙන් වැඩක් තියෙනවද? අපේ වලව් පෙළපතට ගැලපෙන වතුපිටි දේපළ හොඳට තියෙන කෙල්ලෙක් වෙන්න ඕනේ.
විහංගගෙ වියරු ඇස් නිතරම යොමුවුණේ යෙහංසා දිහාට.
සර් මං ෆැක්ටරි එක දිහාට ගිහින් එන්නම් .ඊයේ බඩු වගයක් ගෙනාවා. ඒ ටික චෙක් කරන්න ඕනේ
හරි අන්කල්
මහීපාල එළියට ගියාම කාමරේ දෙන්නා තනි උනා . කොල්ලා නැගිටලා යෙහංසා ළඟට ආවා.යෙහංසා කම්පියුටරේ දිහා බලාගෙන හිටියා මිසක් ඔළුව ඉස්සුවේ නෑ
විහංග කෙල්ලගේ උරහිසක් සිප ගත්තා .
දුකද පැටියෝ
යෙහංසා නිහඬවම හිටියා.
මගේ දිහා බලනවා. කිව්වම බලනවා
කොල්ලා ගෝරනාඩු කළා
යෙහංසා ඇස් ඉස්සුවා. විහංගගෙ මූණෙ තිබ්බ සරදම් හිනාවක්.යෙහංසා හැඟීම් පිටට නොපෙන්වන්න අසාර්ථක උත්සාහයක් දැරුවා. විහංග කෙල්ලගේ අත අල්ලගෙන තවත් ළං වුණා. කොල්ලා හැමදේම දන්න බව කෙල්ලට වැටහුණා . විහංග පිස්සුවෙන් වගේ කෙල්ලව සිපගන්න පටං ගත්තා..
මාව අතාරින්න විහංග. අනේ මට කරදර කරන්න එපා. මං ඔයාගෙ නෑනා වෙන්න ඉන්නේ
විහංග ඒ වියරු ඇස් යෙහංසා දිහාට යොමු කළා. ඒ ඇස් වල තනිකරම තිබුණෙ වියරුවක්.බාගෙට කපපු රැවුල් කොට වලට හීරිලා කෙල්ලගෙ මුලු මූනම දනවා. තවත් ඒ ඇස්වල දිස්නෙ දරා ගන්න බැරුව යෙහංසා බිම බැලුවා.
නෑනා වෙන්න හිටියා.. හිටියා …ඒක අතීත කාලෙට අයිති. යෙහංසා තමුන් දැන් කාගෙවත් නෑනෙක් වෙන්නෑ .වඳ කෙල්ලෙක් බැඳගෙන ජීවිත කාලෙම කරුම ගෙවන්න අපේ අයියා වගේම කවුරුවත් කැමති නෑ
විහංග ඔළුව උස්සලා හිනා උනේ උමතුවෙන්.
යෙහංසා ගැහි ගැහී ඒ හිනාව දිහා බලාගෙන හිටියා .කෙල්ල හිටියෙ ගොඩක් අසරණ වෙලා.
නෑ නෑ ඕවා සේරම බොරු
බොරු වෙන්නේ කොහොමද යෙහංසා තමුසෙගෙ කේන්දරේ තියෙන ඒවා
නිමේශ් මට ආදරෙයි. එයා ඕවා විශ්වාස කරන්නේ නෑ ..එයා ඩොක්ටර් කෙනෙක්.
එයා විශ්වාස නොකළට අපෙ පරම්පරාවම ඕවා විශ්වාස කරනවා.තමුසෙට මැදගෙදර පරම්පරාවේ ලේලි වෙන්න බෑ යෙහංසා. කවදාවත් බෑ. තමුසෙ වගේ තුට්ටු දෙකේ කෙල්ලෙක් අපේ වලව්වට ගෙනියන්නේ නෑ.
කොල්ලා ආයෙත් යෙහංසාගෙ ගෙල දිහාට වියරු සුසුම් ගෙන ගියා. කිටි කිටියෙ ඒ රළු අත්වල පහස පිට පුරා ඉන පුරා දිවයද්දි යෙහංසාට ඒ පහසින් දැනුණේ වේදනාවක් විතරයි. ඒත් විහංග ඒ පහස සන්තෝසෙන් විදින්නෙ මුළු හිතින්මයි.
තමුසෙ අපරාධකාරයෙක් විහංග. අතාරිනවා මාව. තමුසෙ පිස්සෙක්
කොල්ලා ආයෙත් ඈත් වුණා.යෙහංසාගෙ දම් පාට සාරි පොට කොල්ලා උඩට උස්සලා ආපහු අත ඇරියා.යෙහංසා ගැහෙනවා හොඳටම.
ඔව් මං පිස්සෙක්.. පිස්සෙක් තමයි. මාව පිස්සෙක් කළේ තමුසෙම නෙවෙයිද? ආ… මං පිස්සෙක් වගේ උඹේ පස්සෙන් එද්දි මගේ ඇස් ඉස්සරහ මගෙම අයියත් එක්ක යාලු වුනේ තමුන්ම නෙමෙයිද?
මං ඔයාට කවදාවත් ආදරේ කලේ නෑ විහංග.මං ආදරේ නිමේශ්ට
ඔය කටින් වෙන එකෙක්ගෙ නමක් කියෙව්වොත් මීට පස්සෙ මං පිං පව් අමතක කරනවා..තේරුණාද?
කොල්ලා යෙහංසාගෙ කට සුරතින් මිරිකුවේ කෝපයෙන්.
මමයි තමුසෙව මුලින්ම දැක්කේ .මමයි මුලින්ම ආදරේ කලේ .මටයි අයිති.
මට පාඩුවේ ඉන්න දෙන්න.
තමුන්ව දැන් කවුරුවත් පිළිගන්නෙ නෑ..තමුසෙගෙන් කාටවත් වැඩක් නෑ .මල් ලස්සන වුණාට පල නැති ගහකින් මිනිස්සුන්ට වැඩක් නෑ
විහංග කිව්වේ කට කොනින් හිනාවෙවී
නිමේශ් මට ආදරෙයි .අපි හොරෙන් කසාද බඳිනවා .
යෙහංසා කෑ ගැහුවේ සුන් වූ බලාපොරොත්තු ගැන දැනුනු කලකිරීමෙන් හිස් වුණු හිත හදාගන්න
හා හා හා හා..
කොල්ලා ආයෙමත් වියරුවෙන් හිනාවුණා.විහංග එයාගෙ පුටුවට ගිහින් ඉඳගත්තා .
ඔව් අපේ අයියා කසාද බඳිනවා.ඒත් උඹව නෙවෙයි දිනිතිව. දිනිතිගේ කේන්දරේ දරුඵල තියෙනවා තුනක්.. ඊයේ අප්පච්චි මඟුල තීන්දු කළා. අයියත් කැමති වුනා
යෙහංසා පුටුවට කඩන් වැටුනා. ඒක කොහොමද විශ්වාස කරන්නේ. විහංග කකුල් දෙක මේසෙ උඩ තියාගෙන අත් දෙක ඔලුව පිටිපස්සට බැඳගෙන හොඳට හරි බරි ගැහිලා කැරකෙන විධායක පුටුවෙ වාඩිවෙලා හේත්තු වුණා. කොල්ලා සැනසීමෙන් ඇස් දෙක පියා ගත්තා
***************
යෙහංසා හිටියේ දැවි දැවී. මේ වගේ වේදනාවක් දරාගන්න තරම් කෙල්ලගේ හිත හයිය නෑ. මේ දුක බෙදාගන්න කිසිම හිතවතෙක් හිතවතියක් නෑ.
මං කොච්චර අවාසනාවන්තද? මාත් කොච්චර ආසයිද කසාද බැඳලා ලස්සන බබෙක් හදන්න. මට ඒ පින නෑ කියලා මං කොහොමද විශ්වාස කරන්නේ නිමේෂ් ඇයි මෙහෙම කළේ මට.
කෙල්ල වෙනදා පුරුද්දට ස්කූටරේ පදවගෙන ගෙදර ආවා. කෙල්ලගෙ මූණ හොඳටම සවුත්තුයි.
දෝණි මොකෝ මේ
නාලිනී යෙහංසාව ඉස්තෝප්පුවේ නවත්ත ගත්තා
ආ..අම්මා .අද කලින් ගෙදර ආවා ද ?
ඔව් දැන් ඉස්සර වගේ වැඩ කරන්න අමාරුයි පුතේ.. පපුවට මහන්සි. ඒ නිසා කලින් ආවා.
අම්මා ආයෙ කිරි කපන්න යන්න එපා. මං එදත් කිව්වනේ
එහෙම කියල බෑනේ දෝණි.මේ ණයතුරුස් ගෙවාගෙන කොල්ලට උගන්නන්න එපැයි. උඹට යන කලදසාවක් තියෙන්නත් එපැයි.
අම්මලා මං ගැන වදවෙන්න එපා.
හොඳට හිටී. ඒක නෙමේ මේ ලියුමක් ඇවිත්
නාලිනී දිග් කරපු ලියුම කෙල්ල අරගත්තේ කුතුහලෙන්. ලියුම් කවරෙ ආපසු කියලා සීල් එකක් ගහලා තිබ්බා .
රුහිරූ පුවත්පත
යෙහංසාට එකපාරටම එදා පත්තරේ තිබුණු දැන්වීමට දාපු ඇප්ලිකේශන් එක මතක් උනා. කෙල්ල ලියුම් කවරෙ කඩලා ලියුම කියෙව්වා ..දාපු කිසිම ජොබ් එකකින් ඉන්ටවිව් කැඳවලා නෑ .ඒත් දැන්..
අම්මේ… මේ අර රුහිරූ පත්තරේ. මං ඇප්ලිකේශන් එකක් දැම්මේ. එකේ ඉන්ටවිව් එකට. මේක නම් පුදුමයක් .අම්මේ මං නිකමට දැම්මේ
යෙහංසාගෙ දුකෙන් බාගයක්ම අඩු උනා වගේ. හැම අන්ධකාර වලාකුලක් ළඟම රිදී ඉරක් තියෙනවලු.. එහෙම කියමනක් කෙල්ල අහලා තිබ්බා.. කෙල්ලට දැනුනේ පුදුම සතුටක් .
පත්තර රස්සාව ද ? අනේ පුතේ ඕවා පුළුවන්ද ඔයා..ට අනික මෙහෙත් නෙමෙයි වෙන්න ඇති
බලමුකෝ අම්මේ ..මං ඉන්ටවිව් යන්නම්කෝ මුලින්.
කවද්ද ඕක තියෙන්නේ
ලබන සතියේ
ඒත් පුතේ ඔයා කොළඹ රටේ තනියම ඕවා හොයන්න යන්නේ කොහොමද? අපි දන්නෙත් නෑ
ඒක තමා ප්‍රශ්නෙ.
ඔය මොන දේටත් දොස්තර මහත්තයාගෙන් අවසර ගන්න එපැයි
නාලිනී කිවුවම කෙල්ල ගැස්සුණා. අම්මට මේ ඇත්ත කියලා ඒ අහිංසක හිත තලන්න කෙල්ල කැමති වුණේ නෑ
අම්මේ කේන්දරේ අරන් ගියාට ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. එයා සල්ලිකාරයෙක් අම්මේ. අපි අපේ තත්ත්වයට ගැළපෙන කෙනෙක්ව ළං කරගමු .
ඒකත් එහෙමද
මං තනියම කොළඹ යන්නම්. මට පුළුවන් හොයාගෙන යන්න .මහීපාල අංකල්ගෙන් පාර අහගන්නම් . එයා කොළඹ ගැන දන්නවා ඇති
ඉතින් පුතේ පුංචි මහත්තයත් දන්නව නේද?
හ්ම්
යෙහංසා ඉක්මණට කාමරයට ආවේ විහංගව මතක් උන සැනින් මූනේ ඇති වෙච්ච වෙනස අම්මට නොපෙනෙන්න.
මහත්තයා ..හරි මහත්තයා… අම්මා දන්නවා නම් මට කරන හතුරුකම්. මගේ මූණ දනවා.ෂික් මට මෙහෙම කරන්නේ මොන හිතකින්ද ?නපුරු වලව් පුතා
යෙහංසා කන්නාඩියෙන් බල බල හිතින් විහංගට නොසෑහෙන්න බැන්නා
. විහංග මගේ ජීවිතෙත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ඇයි? එයාට මොනවද ඕනේ? එයා වගේ ඉහල පැලැන්තියේ වලව් කාරයෙක් ඇයි මං වගේ දුප්පත් කෙල්ලෙක්ව ළං කරගන්නේ වෙලාවකට ආදරේ කියනවා ඒත්.
විහංග කිව්ව දේ ඇත්ත වුණා.නිමේශ් යෙහංසාගෙ ගෙදරට ආවේ ඒ ගැන කියලා යන්න.
මට සමාවෙන්න යෙහංසා. මං ඔයාට බලාපොරොත්තුවක් දුන්නා. ඒත් මගේ පවුල ඉදිරියේ මං අසරණයි
යෙහංසා නිහඬව අහන් හිටියා.නාලිනී පැත්තක බලන් හිටියේ බොහොම වේදනාවෙන් .
අපේ කේන්දර ගැලපෙන්නේ නෑ.
කමක් නෑ ඩොක්ටර්. මට අවුලක් නෑ .දැන් ඩොක්ටර් ගියොත් හොඳයි නේද ?
මාව එලවනවද
යෙහංසා බය වුණේ වඳ කතාව නිමේශ් කියයි කියලා. නාලනීට ඒක ඇහුනොත් කොච්චර දුක් වෙයිද? යෙහංසා කැමති වුණේ නෑ අම්මට එහෙම දුකක් දෙන්න.
ඩොක්ටර් එක්ක මගේ තරහක් නෑ .අනික එහෙම ලොකු බැඳීමක් තියාගන්න තරම් අපි අතර කිසිම දෙයක් සිද්ධ වුණෙත් නෑ. ඒ නිසා ඩොක්ටර් මේ සිද්ධිය අමතක කරන්න
තෑන්ක්ස් යෙහංසා ඔයා මාව තේරුම් ගත්තට
නිමේශ් පුටුවෙන් නැගිට්ටේ හිතේ බර සැහැල්ලු වුණු නිසා.
ඔයාට හොද කොල්ලෙක් හම්බවෙයි . ඔයා හොද ගෑනු ළමයෙක්
යෙහංසා බිම බලා ගත්තා