වලව් පුතා- 04 කොටස

මිස් යෙහංසා සැලරි ශීට් එකේ පොඩි අවුලක් තියෙනවා…මෙහෙ එන්න

විහංග කතා කරපු පාර යෙහංසා බොස්ගෙ මේසෙ ළඟට ගියා.

කොල්ලා වාඩිවෙන්න කියලා ඇහෙන් ඉස්සරහා තිබ්බ පුටුව පෙන්නුවා.විහංග දිග් කරපු ෆයිල් එක යෙංහසා බලන්න පටංගත්තා.කෙල්ලගෙ බෙල්ලෙ තිබුණු මාලෙ දිහයි…කනේ කරාඹු දිහයි කොල්ලා හොදට බැලුවා. කලින් ඒවම තමයි.යෙහංසා ඇස් උස්සද්දි විහංග බලං හිටියෙ  බෙල්ල දිහා.යෙහංසා මාලෙ අත ගෑවා..විහංග කට කොනින් හිනා වුණා.

ඊළඟ සැලරි එකෙන් සාරි දෙකක් ගන්නවා.ලොකුකමට මං අරං දුන්නට ගන්නෙ නැහැනෙ.දාඩිය මහන්සියෙන් හම්බ කරන එකෙන් ගත්තම හරි.හැබැයි ගත්තෙ නැත්නම් ඔය තියෙන දෙක තුන මං ඉරනවා.

මහීපාල ළඟ ඉන්න නිසා ඇහෙන්න කියන්න බැහැ.ඒ නිසා විහංග චිට් එකක් ලියලා කෙල්ලට දුන්නා.යෙහංසා ඔරවන්න පටං ගත්තා.විහංග මහීපාල දිහා බලද්දි මහීපාල ලොකු පොතක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා.කොල්ලා යෙහංසාට කට උල් කරලා කිස් එක්ක පෙන්නලා ඇහැක් ගැහැවා.යෙහංසා රවලා ආයෙත් ෆයිල් එක බැලුවා.ඒත් යෙහංසාට ඒ සැලරි හැදුව එකේ අවුලක් පේන්න තිබුනෙ නෑ.

සර් මේකෙ මොකද්ද වැරැද්ද

ඊටීඑෆ් පර්සන්ටේජ් එක වැරදි.සත ගාණක් වෙනස්

මේක වටයලා දැම්මෙ..

හරි ගාණ දානවා ආගියු නොකර.

යෙහංසාට තේරුණා වැරැද්දක් නැතිකමට වැරදි හොයන බව.

මාව මෙහෙන් පන්නන්නමයි හිතේ ඇත්තෙ.නපුරු බොසා

යෙහංසා වැරදි හදලා ෆයිල් එක ගෙනත් දුන්නා.

***************************

දෝණි මේවා කියලත් බෑ නොකියත් බෑ.

නාලිනී සෑහෙන්න කල්පනා කරලා යෙංහසාට තේ කෝප්පෙ දෙන ගමන් කතා කළා.

ඇයි අම්මෙ මොකද්ද ප්‍රශ්නෙ

නාලිනී පැකිලෙන බව දැකපු නිසා යෙහංසා අම්මගෙ අතක් අල්ලගත්තා.

දෝණි මල්ලිට ඉස්කෝලෙ බෑන්ඩ් එකට යන්න ඕනෙලු.මෙලෝඩිකාවක් අරං දෙන්නලු.මේ මාසෙ සෙනසුරාදා ඉරිදා වැඩ නොතිබ්බ නිසා අමතර ගාණක් හම්බුණෙත් නෑ..තාත්තත් හරි හිතේ කරදරෙන් ඉන්නෙ.

ඉතිං අම්මා මට කියන්න එපැයි.මං පඩි ගත්තම අරං දෙන්නම්.කොහොමත් අනිද්දා පඩි ලැබෙනවා.කලින් කිව්වා නම් මං  ලෝන් එකෙන් ඒ ගාණ ඇරගෙන  මෙලෝඩිකාව අරං දෙනවනෙ.මං ගත්ත‍ෙ ඕනෙ  කරපු ගාණ විතරයි..යුනිෆෝම් එකකුත් ඇතිනෙ ඒකත් මස්සවලා දෙමු.

යෙහංසා කීවෙ කල්පනාකාරීව

මන්දා දුවේ උඹේ අනාගතේට ඉතුරු කර ගන්න තියෙන ඒවා අපේ දුප්පත්කමට වියදම් කරලා හරි යනවද?

නාලීනීට දැනුනෙ ලොකු අපේක්ෂාභංගත්වයක්.එදා ආපු දොස්තර මහත්තයා දුව ගැන බලාපොරොත්තුවෙන් ආවද කියලත් නාලිනීගෙ හිත කියනවා. දුවට කිරි උතුරන්න ඒ වගේ වැදගත් මහත්තයෙක් ලැබුණොත් දුව හරි මේ නරා වලෙන් ගොඩ යයි.

නාලිනී හැම වෙලේම හිතුවෙ එහෙම.

අම්මා මොනවද කියවන්නේ .මං අරං දෙන්නම්.මල්ලි පව් පොඩි එකා.මං ටවුමෙ ඉංග්‍රීසි ක්ලාස් එකකුත් බැලුවා අම්මෙ. ලබන මාසෙ ඉදලා යවමු.අපිට වුණු දේ එයාට වෙන්න දෙන්න බෑ.

යෙහංසාගෙන් ගිලිහුණු වදන් එක්ක නාලිනීගෙ ඇස්  කදුලින් බරවුණා.යෙහංසාට කියැවුණු වදන් වල බරපතලකම වැටහුණේ එතකොට.

අම්මා..මං හිතලා නෙවේ කිව්වෙ.

නෑ ඒක ඇත්ත පුතේ. උඹව ඉංග්‍රීසි ක්ලාස් එකකට දාන්න අපිට සල්ලි තිබෙුණෙ නෑ.උඹ දන්නවා ඒක

මං ඒවා ගැන දුක් වෙන් නෑ අම්මෙ..මං කීවෙ මල්ලිව යවන්න ඕනෙ කියලා.

යෙහංසා එහෙම කිව්වට කෙල්ල දන්නවා දැන් ඉංග්‍රීසි හරියට බැරුව මොන ජොබ් එකකටවත් යන්න බැරි බව.මූලික සුදුසුකම ඉංග්‍රීසි දැනුම.කෙල්ල හිටියෙ හෙමීට ඉංග්‍රීසි කෝස් එකක් කරගන්න.ඒත් තාම ඒකට ගාණක් වියදම් කරන්න තරම් ආර්ථිකේ ශක්තිමත් කරගන්න බැරිවුණා.ඒත් ලබන මාසෙ ඉදලාවත් ඒ වැඩෙත් කොහොම හරි කරගන්න යෙහංසා හිතා ගත්තා.

උදේ කහපාට සාරි ඇද ඇද යෙහංසා කණ්ණාඩියෙන් හැඩ බැලුවා.යෙංහසාට ඒ එක්කම මතක් වුණේ විහංගගෙ චිට් එක.

ඊළඟ සැලරි එකෙන් සාරි දෙකක් ගන්නවා

යෙංහසා හිතුවෙ සාරි දෙකක් තියා එක සාරියක්වත් ගන්නෙ කොහොමද කියලා. මල්ලි භානුකගෙ මෙලෝඩිකාව අරං දුන්නම වෙන දෙයක් කරන්න වෙන් නෑ..පවතින ආර්ථිකෙත් එක්ක ජීවත් වෙන්න රස්සා දෙක තුනක් කරන්න වෙනවා.

එදා දවසෙ හවස් වෙනකල්ම විහංග ඔෆිස් එකට ගොඩ වුණේ නැහැ.කොහෙ ගියාද කියලා දෙයියො තමා දන්නෙ.යෙහංසා හිස් පුටුව දිහා බල බල හිතුවා.

හවස යෙහංසා පිටත් වෙන්න යද්දිම විහංග ඔෆිස් රූම් එකට ආවෙ ෆෝන් එකත් කනේ ගහගෙන.කොල්ලා යෙහංසාට නවතින්න කියලා ඉඟි කළේ ෆෝන් එකට උත්තර දිදීම.

අද මොන මරාලයක්ද දන්නෙ නෑ.ආවදෙන්කො ඉඹින්න අද නම් සර් කියලා බලන්නෙ නෑ දෙනවා සෙරෙප්පුව ගලවලා.

යෙංහසා අහක බලාගෙන කල්පනා කළා.

යෙහංසා වැස්සක් එන්න යන්නෙ. එදත් බාගෙට තෙමි තෙමී නේද ගියෙ. මං ආවෙ ජීප් එකේ… යනවා ජීප් එකට නගිනවා.මං මේ ෆයිල් ටික සයින් කරලා එන්නම්.

කොල්ලා  කියද්දි යෙහංසා බිම බලාගත්තා.

හිතේ ඇති මාව ජීප් එකේ දාගෙන කොහේ හරි අරං යන්න..ඒවා කොහෙද

යෙහංසා හිත හිතම ඔෆිස් රූම් එකෙන් එළියට ගියා.යෙංහසා කීකරු වෙලා එළියට ගියපු හැටියට කොල්ලගෙ හිතේ සැකයක් ඇති නොවුණම නෙවෙයි.ඒත් විහංග ෆයිල් එක දිග ඇර ගත්තා

ෆයිල් එක ඉවර කරලා විහංග ජිප් එකේ යතුරත් ඇරගෙන පහළට බැස්සා.කොල්ලගෙ හිතට දැනුනු සැකය හරි  ගියා.යෙහංසා නෑ ..ස්කූටරෙත් නෑ..

මේකිගෙ පුදුම ලොකුකමක්නෙ.

ඒ එක්කම අහස ගුගුරවාගෙන මහ වැස්සක් කඩං වැටෙන්න පටං ගත්තා..අකුණු සැර පොළව එළිය කරනවා.යෙහංසා
ෆුල් ස්පීඩ් ආවට මොකද නිරිත දිග මෝසමින් සන්නද්ද වුණු ආකාසෙට යෙහංසාගෙ ගමන වැඩක් වුණේ නෑ.මූණටම හරහට වැටෙන වැහි බිංදු වලින් බේරෙන්න හෙල්මට් එකේ පොඩි ආවරණය ප්‍රමාණවත් වුණේ නැහැ.

රබර් වත්ත අවසන් වන හංදියේදි යෙහංසා ස්කූටරේ නතර කලේ එතන තිබුණූ අම්බලම ළඟ.කෙල්ලට තවදුරටත් සීතල වැස්ස දරාගෙන ස්කූටරේ පැදගෙන යන්න බැරිවුණා.

 

නා කපන වැස්සක් ..ගොඩ කාලෙකින් මෙච්චර දරුණු වර්ෂාවක් ඇද හැලෙන්නෙ.හරියට පාරවත් පේන්නෙ නෑ.යෙහංසා ස්කූටරේ පාරෙ නවත්තලා අම්බලම ඇතුලට දුවගෙන ගියා.කෙල්ල සීතලේ ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.දත්ටික කට කට ගානවා.හොදටම තෙත බරිත වෙලා

විහංග ජීප් එකට නැග්ගෙ යෙහංසාගෙ හත්මුතු පරම්පරාවටම බනින ගමන්. වැස්ස එන්න එන්නම වැඩි වෙද්දි විහංග වේගෙන් ජීප් එක අරං ආවෙ යෙහංසා ගැන හිත හිත..හංදියේදි යෙහංසාගෙ ස්කූටරේ පාරෙ අයිනෙ තියෙනවා දැක්කෙත් කොල්ලා අහම්බෙන් වගේ.වැස්ස නිසා හරියට මොකුත් පේන්නෙ නෑ.කොල්ලා ජීප් එක නතර කරලා බැස්සෙ යෙහංසා නැතිව ස්කූටරේ විතරක් තියෙන්නෙ මොකද කියලා හිතා ගන්න බැරුව.

ඒ එක්කම මතක් වුණේ අම්බලම.

ජීප් එක නතර කරලා වැස්සෙම අම්බලමට දුවගෙන ආපු විහංග දිහා යෙහංසා බැලුවෙ පුදුමෙන්.කොල්ලා ඇදලා හිටපු නිල් ඩෙනිමයි සුදු ටීෂර්ට් එකයි ඔය ඩිංගට  තෙත බරිත වෙලා.විහංග කොණ්ඩෙ බේරෙන වතුර බිංදු අතරින් සුරතේ අතැඟිලි ගෙන ගියේ යෙහංසා දිහා බල බලම.

පාළු අම්බලමෙ කහ කිරිල්ලියක් වහලා.

කොල්ලට හිතුණෙ තමන්ගෙ ඇස් තමන්ටම අකීකරුව කහපාට ඇඟටම ඇළුණු සාරිය එක්ක යෙහංසාගෙ ගත පුරා දුවද්දි.යෙහංසාට හිතුණෙ නැවතුණ මෝඩකම කියලා.විහංග කෙල්ල ළඟටම ආවා.වැහි අදුර එක්ක රෑ අදුර අම්බලම ඇතුලට ගලනවා

තමුසෙට සිංහල තේරෙන් නැද්ද?

අහසෙ ගිගිරුම් හඩ පරාද කරගෙන විහංග ගිගුරුම් දුන්නා.

තෙමිලා ලෙඩක් හදා ගන්නවකො.ඉස්සෙල්ලම ඔය ලොකුකම බස්සගන්නවා.මං මනුස්සකමට ඇරලන්නම් කිව්වෙ.නැතුව තමුසෙගෙ වෙන මඟුලකට නෙවෙයි.

ඒත් යෙහංසාට විහංග කිව්ව ඒවා හරියට ඇහුණෙ නෑ.සීතලට ගැහෙන යෙහංසාගෙ මොළෙත් සීතල වෙලා වගේ.තමන් කියන ඒවා ගැන වගක් නැතිව ඇස් බාගෙට පියවෙන යෙහංසා දිහා විහංග බැලුවෙ කුහුලින්.කෙල්ල සීතලේ ගැහෙනවා. යෙහංසාගෙ ඇස් පියවීගෙන වැටෙන්න යද්දි  කොල්ලා තත්පරේට බද වටේ අත දාලා අල්ලගත්තා.

යෙහංසා යෙහංසා කතා කරන්න මොකද වුණේ.

විහංග කලබල වුණේ යෙහංසාට සිහි නැතිවුණු බව දැනුනු නිසා.විහංග අම්බලමෙ තිබ්බ සිමෙන්ති බංකුවේ යෙහංසා වාඩි කරවගෙන තුරුළු කරගත්තා

යෙහංසා ඇස් අරින්න.

සීතල වැඩි නිසයි කෙල්ලට සිහි නැතිවුණේ..වැස්ස හුලඟ එක්ක අධික ශීතල යෙහංසාගෙ මොළෙත් ගල් කරලා වගේ.කෙල්ලට කොහොමත් අධික සීතල දරන්න බෑ. සිහිය ගන්න උණුසුම දෙන්න ඕනෙ.විහංග බොහොම කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වුණා.

යෙහංසාගෙ දෙතොල් වලට වැටිලා තිබ්බ සීතල වැහි බිංදු අතින් පිහ දාලා උරහිසට ළං කරගෙන ඒ රෝස දෙතොල් වලට කොල්ලා තමන්ගෙ දෙතොල තිබ්බා. ටිකෙන් ටික විහංගගෙන් ලැබුණු පහසෙ උණුසුම එක්ක යෙහංසා ඇස් ඇරියා.

අහ්..

යෙහංසා විහංගගෙන් මිදුණෙ අප්‍රසන්න හැඟීමෙන්.

මහ නරකයි තමුසෙ මොනවද ඒ කළේ..

විහංග ඇහි බැමි ඉස්සුවා.

ඒයි මැඩම්..ඔච්චර වෙලා සිහි නෑ වගේ රඟපාලා දැන් එනවද බබා වෙන්න.දැන් මං කීයෙ ඉදලද කිස් කරන්නෙ.කෙදිරි ගගා මට සපෝර්ට් කරලා දැන් මංද වැරදි.

විහංග කට කොනින් හිනාවෙවී යෙහංසාව ආයෙත් තුරුළු කරගත්තා.

ඇයි එහෙම කළේ..මං කොහොමද මෙතන ඉදගත්තෙ

මං නාවා නම් මෙතන ඉදගන් නෑ..බිමට පතබෑවෙනවා කලන්තෙ දාලා.

යෙහංසා බිම බලාගත්තා.තමන්ට සීතල තමා දරන්නම බැරි..එහෙම වෙන්න ඇති.කෙල්ල තවම ගැහෙනවා.

සීතලයි නේද? මේක විතරයි උණූසුම් වෙන්න කරන්න තියෙන්නෙ.

කොල්ලා කීවෙ ආයෙත් යෙහංසාගෙ දෙතොල් පිරි මදින ගමන්.යෙහංසා රැව්වා.

පිස්සු වගේ කහ කිරිල්ලි..මාර හැඩයි ඔහොම ඉද්දි.දැන්මම යමුද මගෙ එක්ක. වෙඩිං ඕනෙ නෑ.

විහංග කෙල්ලගෙ ගෙලට දෙතොල් තිබ්බෙ සුරතින් සාරියෙ වැහුණෙ නැති බද කොටස පිරිමදින ගමන්.

ගන්නවා අත අහකට.අසරණ කෙල්ලෙක්ගෙන් ප්‍රයෝජන ගන්න හදන වලව් පුතා..මට නම් තමුසෙව පේන්න බෑ..තමුසෙ වගේ ජරා මිනිහෙක් කසාද බදින්න කිසිම කෙල්ලෙක් අවාසනාවන්ත වෙන්න එපා.දකින දකින ගෑණු කිස් කරනවා..ෂික්… ඊයා

විහංග කෙල්ලගෙ බාහු වලින් අල්ලගෙන ඇස් වලට එබුණෙ දත්මිටි කාගෙන..

උඹ දැක්කද මං වෙන ගෑණු කිස් කරනවා.කියනවා යෙහංසා මේ වලව් පුතා කොයි ගෑණිද කිස් කළේ.

මාව කිස් කලේ

ඒ තමුසෙ මගෙ නිසානෙ.

වෙන කෙල්ලොත් කිස් කරනවනෙ.

ඔව් වෙන කෙල්ලො කිස් කරනවා විතරක් නෙවෙයි.එතනින් නවත්තන් නෑ  දැන් හරිනෙ..

මොනවද හරි

කටු අත්ත වගේ එල්ලි එල්ලි එන්න එපා මා එක්ක.

අපෝ මං නං වැරදිලාවත් එල්ලිලා එන්නෑ.

වෙලාවක බත් කන්න ඔය දත්ටික නැතිවෙයි.

ඒක හොදයි.. ලස්සන නිසානෙ මේ ඔක්කොම කරදර.කැත වුණාම කවුරුවත් බලන්නෙ නෑනෙ.

කට කට මං බොස්..

මං නවත්තන් නෑ..ඇත්ත තිත්තයි නේද? තමුසෙලා වගේ නැහැදිච්ච වලව් පුත්තු හිතා ගෙන ඉන්නෙ..

ඉතුරු ටික කියන්න ලැබුණෙ නෑ.. විහංග කෙල්ලගෙ කොණ්ඩෙන් බෙල්ලෙ මුලින් අල්ලගෙන ඒ දෙතොල් සිපගත්තෙ යෙහංසාගෙ  ඇස් වලින් කදුලු පනින තරම් රිදෙන්න.

දැක්කනෙ ක්‍රමේ . ආයෙ එකට එක කිව්වොත් කොතන හිටියත් ඔය ටික තමා.

විහංග යෙහංසාගෙ කදුලු ඇස් දිහා බලාගෙන කිව්වෙ  සෑහෙන වෙලාවකට පස්සෙ කෙල්ලව අත ඇරලා.

ඉදිමිලා මගෙ තොල..තමුසෙ නරුමයෙක්

ඔව් අපේ මැරේජ් සර්ටිෆිකේට් එකේ  හස්බන්ඩ්ගෙ නම වෙන්නෙ නරුමයෙක් තමයි.

ඇයි විහංග මට මෙහෙම කරන්නෙ

ඒ පාර යෙහංසා මූණ දෝතින් වහගෙන අඩන්න පටං ගත්තා..ඒත් විහංගට ඒ කදුලු ගැන වගක් තිබ්බෙ නෑ.කොල්ලා යෙහංසාගෙ කොණ්ඩෙන් බේරිලා කම්මුල් දිගේ ගලන වැහි බිදුවක් දෙතොලට ගත්තා

මේක පිස්සුවක්

යෙහංසා හෙමීට මිමණුවා

ඔව් කවදාවත් හොදවෙන් නැති පිස්සුවක් කෙල්ලෙ..

මං යනවා

මෙහෙ එනවා.

විහංග බලෙන්ම කෙල්ලව ඇදගෙන ඇවිත්  ජීප් එකට දැම්මා.යෙහංසා කෑ ගැහැවා.

මොකද කරන්නෙ..පිස්සුද හැටිද? මගෙ ස්කූටරේ..අයියෝ..තමුසෙට මං

මේ යෙහංසා තමුසෙ කට වහ ගන්නවද නැද්ද? මං කට වහන්නද?

විහංග තර්ජනේ කරලා දොර වැහැවෙ වැස්සෙන් බේරෙන්න බැරුව.යෙහංසා කට වහගත්තෙ ඉස්සෙල්ලා කරපු දේ ආයෙත් කරයි කියලා බයේ.විහංග ස්කූටරේ යතුරත් ඇරගෙන ජීප් එකට නගින හැටි යෙහංසා බලාගෙන හිටියා.

මහලොකු ස්කූටරේ හෙට ගමු.. මං එනකල් ඉන්නවා.

යෙහංසා ඔරවගෙන අහක බලාගත්තා.

දැන් සීතල නෑ නේද?

විහංග ඇහැවෙ ටික දුරක් ආවට පස්සෙ.

කෙල්ල සද්ද නෑ.

ඒයි තමුසෙ හිතුවෙ මට පිස්සු කියලද  තනියෙම කතා කරන්න.

යෙහංසා කොල්ලා දිහා බලලා ආයෙත් අහක බලාගත්තා.වින්ඩ්ස්ක්‍රීන් එකේ වතුර බේරෙනවා.වයිපර් ඒ වතුර ඉවත් කරන්න නිශ්පල සටනක යෙදෙනවා.

හචිං…හචිං

ඒ පාර යෙහංසා නන්ස්ටොප් කිබුහුම් අරිනවා.ලේන්සුවක් නැති නිසා සාරි පොටින් කෙල්ල මූණ වහ ගත්තා.

ආ..මේක ගන්නවා

විහංග බාගෙට තෙමුණු ලේන්සුවක් සාක්කුවෙන් අරං දිග් කළා.යෙහංසා ඒක දක්කෙ නෑ වගේ අහක බලාගෙන හිටියා.කොල්ලා ඩ්‍රයිව් කරන ගමන් යෙහංසාට ඔරවනවා.

තමුසෙ මට ආඩම්බරකම් පෙන්නලා මගේ රතු කට්ට පන්නගන්න හදන්නෙ ඔය.හොටු බේර බේර ඉන්නෙ..මේකෙන් පිහ ගන්නවා.පණ්ඩිතකමට වැස්සෙ ඇවිත් හදාගන්නවකො ලෙඩක්.

හචිං

ඒ පාර කිබුහුම ගියේ කොල්ලගෙ මූණටම.

මටත් බෝ කරනවකො.. කොහොමත් ඉතිං ඉස්සරහට තමුසෙට හැදෙන ලෙඩ මටත් බෝ වෙනවනෙ..

මොනවද කියවන විකාර

ඔය ඇරුණෙ කට

ඔයාමනෙ මට කට වහගෙන ඉන්න කීවෙ.

මං කීවෙ එකට එක කියන් නැතිව ඉන්න කියලා.

මං කළේ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නු එකනෙ.

ආයෙත් එකට එක කියවනවා

අහ්..

එක පාරටම ඇස් ඉස්සරහා අකුණක් ගහලා හෙණයක් පුපුරද්දි යෙහංසා බයටම ඇස් පියාගෙන කොල්ලාගෙ අත තදින් අල්ල ගත්තා

ඔහ් ගෝඩ්..තව අකුණක් පුපුරන්නකො…ඊළඟට වෙන තැනක් අල්ල ගනී..

විහංග චාටර්  හිනාවක් මූණට නංවගෙන කියද්දි යෙහංසා අත අත් ඇරලා කන්දෙක වහගත්තා.

හහහ්හා..

විහංග උස් හඩින් හිනාවුණේ යෙහංසාගෙ මොන්ටිසෝරි වැඩ දැකලා.

 

වැස්සෙම ගෙට දුවන යෙහංසා දිහා විහංග ඇසිපිය නොහෙලා බලං හිටියා.මේ සෙල්ලමට දැන් කොල්ලා කැමැතියි.යෙහංසාව ඇවිස්සුවාම කොල්ලට හෙන ජොලි. තරහින් බනින හැටි

වලව් පුතා

යෙහංසා හදපු නම මතක් වෙද්දිත් කොල්ලට හිනා.

විහංග යෙහංසාගෙ ලස්සනට වශී වෙලා ළං කරගත්තට කොල්ලට යෙහංසාව කසාද බදින අදහසක් ගෑවිලාවත් තිබුණෙ නෑ..ඔහේ විකාර කියෙව්වට කොල්ලට ඕනෙ යෙහංසාගෙ ආඩම්බර කම බස්සන්න විතරයි.

ඒත් විහංගටම තේරුණේ නෑ. යාළුවො ලවා යෙහංසාගෙ තොරතුරු හෙව්වෙ පොලී සල්ලි ගෙව්වෙ, යෙහංසාව රැකගන්න හැදුවෙ ඇයි කියලා.

********

තෙමුණෙ ඇයි පුතේ දැන් හෙම්බිරිසාවක් හදාගන්නවා.

ප්‍රියංගා  වලව්වට ගොඩ වෙලා ටිෂර්ට් එක ගලවලා පැත්තකට විසි කරපු කොල්ලා දිහා බලලා කිව්වා.විහංග කවිච්චියේ ඉදගෙන සඟරාවක් බලන  නිමේශ් ළඟින් ඉදගත්තා.

ආ..දොස්තර අයියණ්ඩි…අද මොකද කලින්ම ..ඉස්පිරිතාලෙ තෙමෙනවාද?

නිමේශ් විහංග දිහා බලලා ආයෙත් අවධානෙ සඟරාව දිහාට යොමු කළා.

ලොකු පුතා.ඔය මල්ලිට බෙහෙත් පෙති ටිකක් දෙන්න.. නැත්නම් හෙම්බිරිසාව හදාගනී

ප්‍රියංගා කීවෙ තුවායක් ගෙනත් විහංගගෙ කොණ්ඩෙ පිහින ගමන්

අම්මි තමයි හුරතල් කරන්නෙ. ආව ගමන් ඔක්කොම තේවාව කරනවනෙ..ඩිසිප්ලීන් ගෑවිලාවත් නෑ..ෂර්ට් එක කොහේවත්..සපත්තු කොහේවත්.තව ටිකකින් කලිසම කොහේවත් යට ඇදුම් කොහේවත්.

නිමේශ් කිව්වෙ කළකිරුණු හඩින්

මේ ඕයි..තමුසෙ බෙහෙත් තව එක්කෙනෙක්ටත් එක්ක දෙනවා.

නිමේශ්ගෙ චෝදනා ඇහුණෙ නැති ගාණට විහංග කීවෙ ප්‍රියංගාගෙ පිටි අත්ල ඉඹලා.

ඒ මොකටද

මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අපි දෙන්නම තෙමුණනෙ..

ප්‍රියංගා විහංගගෙ කනක් මිරිකුවා

හිතේ ඇති ඕවා කියලා අපිව අන්දවන්න

මං බැන්දා කිව්වත් අම්මි විශ්වාස කරන එකක් නෑ..ඒත් ලොකු පුතා බැන්දා කිව්වොත් වලව්ව පෙරළයි.

විහංග හිටගත්තෙ රූම් එකට යන්න..

ගැලපෙන තැනකින් ගැලපෙන කටයුත්තක් කරගත්තා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනෙ.වලව් පෙළපතට නොගැලපුණොත්, දන්නවනෙ අප්පච්චිගෙ හැටි.කෙලින්ම වලව්වෙන් එළියට මොනවත් ලැබෙන් නෑ..දෙන්නටම කියන්නෙ මේ..

ආහා..අම්මි..ඒක නම් කිව්වෙ ලොකු පුතාට නම් නෙවෙයි.මොකද මෙයා සුවච කීකරු ලොකු පුතානෙ..අම්මි බලං හිටියෙ මෙයා එනකල්නෙ..ඕං දැන්මම කිව්වා. මං නම් බදින්නෙ සුද්දියක්..සෙලීනා..වාව්..

ප්‍රියංගා ඔරවද්දි විහංග කාමරේට පැන්නා.

බලන්න ලොකු පුතා..මට නම් තේරෙන් නෑ..

අම්මි ගණං ගන්න එපා.. ඔය අම්මිව අවුස්සන්න කියන්නෙ.දන්නවනෙ මල්ලිගෙ හැටි. කියන්නෙ එකක් කරන්නෙ එකක්..

නිමේශ් පුරුදු සන්සුන්කමින්ම කිව්වා.

 

**************************

ඔබ හා  වින්ද මොහොතක සුවය හන්තානෙට වැඩී

හචිං

යෙහංසා කිබුහුමක් ඇර ඇරම ෆෝන් එකේ නාද වුණූ මැසේජ් එක කියෙව්වා.එදා එවපු සිංදු කෑල්ලම අදත් එවලා..කවුද මේ..ඒත් කෙල්ලට ඒ ගැන වැඩිපුර කල්පනා කරන්න බැරිවුණේ යෙහංසාට හොදටම අමාරු වුණු නිසා.මුළු රෑම කෙදිරි ගගා හිටපු යෙහංසා දිහා නාලිනී ජගත් එක්ක බලං හිටියෙ කරගන්න දෙයක් නැතිව. නා කපන වැස්සෙ ඉස්පිරිතාලෙට අරං යන්නෙ කොහොමද?

යෙහංසා කිව්වෙ රෑ ඇරලුවෙ ඔෆිස් එකෙන් කියලා. ඒ ගැන වැඩි විස්තරයක් කියන්නවත් බැරිවුණේ කෙල්ල නන්ස්ටොප් හචිං අරින නිසා. යෙහංසාට හොදටම උණ හැදිලා.කෙල්ල හුස්ම ගන්නෙත් අමාරුවෙන්.ජගත් පාන්දරම වීල් එකක් කතා කරගෙන  පොඩි එකාවයි නාලිනීවයි දාගෙන යෙහංසාව ඉස්පිරිතාලෙට අරං ගියා.ඒ වෙනකොට වැස්ස තුරල් වෙලා.

****************

අරෙරෙ අරෙරේ ක්‍යා හුවා…

කොයි නහී ජානා

අරෙරෙ අරෙ කුච් හෝ ගයා..

බන්සයෙ අප්සානා

 

විහංග පරණ හින්දි  ගී තනුවක් තාලෙට විසිල් එකක් විදිහට ගාන ගමන් කොණ්ඩෙ පීරුවා. ප්‍රියංගා තේ කෝප්පෙත් අරගෙන කාමරේට එබුණෙ ඒ වෙලාවෙ.විහංග ප්‍රියංගාගෙ කොපුලක් සිපගත්තා.

මේ දඟකාරකම් නම් තවම අඩුවක් නෑ. ප්‍රියංගාගෙ මූණට හිනාවක් ආවා. ලොකු පුතාගෙන් මෙහෙම හැසිරීමක් හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න බෑ.

මොකද අම්මි අමුතු හිනාවක් දාන්නෙ. මට කෙල්ලො කී දෙනෙක් වගේ වැටෙයිද අද? නයිල් ලුකින් නෝව්..?

ප්‍රියංගා හිනාව තද කරගත්තා. ක්‍රීම් පාටට්‍රවුසර් එකකට මෙරුන් පාට  ෂර්ට් එකක් ඇදගෙන ඉන්න කොල්ලා පුදුම තරම් කඩවසම්.නිමේශ්ට වැඩිය කෙල්ලො පිස්සු වට්ටන පෙනුමක් විහංගට තිබුණා.

කෙල්ලො කොහෙටද වැටෙන්නෙ..පුතා ඉරිදට වැඩක් දාගන්න එපා.

ප්‍රියංගා ඇදේ ඉද ගත්තා.

ඒ මොකෝ මං ඉරිදාට මැච් එකක් දාගත්තා.

අයියට මනමාලියක් බලන්න යනවා

එහෙනම් මං එන් නෑ.

ඇයි පුතා.

අයියෝ සිම්පල් මමී.ඒ කෙල්ල මට වැටෙනවා..ඕ යස්

කොහෙට වැටෙනවද මන්දා?

ප්‍රියංගා හිනාව වළක්වගත්තෙ බොහොම අමාරුවෙන්..

අම්මි.. අපෙ අයියව සදාකාලිකව අවිවාහකව තියන්න ඕනෙ නම් මනමාලියෝ බලන්න යද්දි මාව එක්ක යන්න.

කට නම් පුතා

ඒත් අම්මි.දොස්තර වෙලත් මේකාට ඔය නර්ස් නෝනෙක්වත් සෙට් කර ගන්න බැරිවුණාද? වැඩක් නෑ..මං කනාවට හරි දොස්තර කෙනෙක් වුණා නම් බලාගන්න තිබ්බා..

ඔයා වගේ නෙවේ ඒ දරුවා

ප්‍රියංගා කිව්වෙ දුර දිග නොහිතා.ෆුල් හැපි මූඩ් එකේ හිටපු කොල්ලා එක පාරටම වෙනස් වුණා.

ඔව් මං වගේ නෙවෙයි. මං රට ගියේ මගෙ උවමනාවටනෙ.

කෝපයෙන් පනාව විසි කරලා කාමරෙන් එළියට යන විහංග දිහා ප්‍රියංගා බැලුවෙ වේදනාවෙන්..

තවම පළිගන්නවා එයාව රට යැව්වට.මං වෙන මොනවා කරන්නද පුතේ.

************

විහංග ආවෙ බයික් එකේ ..මිදුලෙ බයික් එක නැවැත්තුවාට දොර ජනෙල් වහලා තියෙනවා දකිද්දි කොල්ලගෙ හිතට ආවෙ සැකයක්.

යෙහංසා..යෙහංසා..

විහංග බයික් එකේ හෝන් එක කඩන්න හදලා බැරිම තැන  ගෙදර දොරට තඩිබාන්න පටං ගත්තා.ඒත් සද්දයක් නෑ.විහංග ආපහු බයික් එකට නැග්ගා.කොල්ලා ෆුල් ස්පීඩ් එකෙන්ම වත්ත දිහාට බයික් එක රේස් කළා.අම්බලම ලඟ ඊයෙ නවත්තපු ස්කූටරේ එහෙමම තියෙනවා.යෙහංසාට මොකක් වුණාද? විහංගට හිතාගන්න බැරිවුණා.කොල්ලා ෆැක්ටරි එකට ආවෙ යෙහංසා උදෙන්ම තමන්ව මඟ අරින්න ඕනෙ නිසා ඇවිත්ද බලන්න.ඒත් යෙහංසාගෙ මේසෙ හිස් බව දැක්කම විහංග අප්සෙට් ගියා.

කොයි වෙලේ හරි ඔෆිස් එන්න එපැයි..බලමුකො.

විහංග ෆැක්ටරි එකේ ඇවිදින ගමන් රන්දුගෙ ෆෝන් එකට ගත්තට ඒක වැඩ කළෙත් නෑ.

මොකද පුංචි මහත්තයා එක විදිහක්.බර කල්පනාවක

චමූ හවස තේ කෝප්පෙ විහංගගෙ මේසෙ උඩින් තිබ්බා.විහංගට එක විදිහකට ඉන්නම බෑ.ඔෆිස් රූම් එකේ එහෙට යනවා..මෙහෙට යනවා. ආයෙත් ඉදගන්නවා.ටිකකින් නැගිටලා ඇවිදිනවා.වෙලාවකට යෙහංසාගෙ පුටුව දිහාට රවනවා.ඒ අස්සෙ චමූ අනවශ්‍ය ප්‍රශ්න අහනවා.

පාළුයිනේ..

චමූ ඇහෙන් ඉඟි කර කර යෙහංසාගෙ හිස් මේසේ දිහා පෙන්නනවා.

උඹට මාව පේන්නෙ බහුබූත කෝලමා වගේද?

විහංග කඩං පැන්නා.

ඔ..ඔව් සර්..න් නෑ..සර්

එහෙනම් වැඩක් බලා ගන්නවා.

හා සර්

චමූ මොනවද කුටු තුටු ගගා දොර දිහාට යනවා.

ඕයි..ඔහොම ඔහොම නවතිනවා.තමුසෙ මොනවද කුටු කුටු ගෑවෙ.

න්..නෑ.. සර්..

ඇත්ත කියනවා.

යෙහංසා මිසී නැතුවටනෙ ඔය මට කෑ ගහන්නෙ..

ඔව් ..ඒ මිසී ආයෙ නාවොත් උඹවත් රස්සාවෙන් අස් කරනවා

අනේ සර්

එතකොටම කාමරේට  ආව මහීපාල හිටියෙ බොහොම කලබලෙන්.

සර්…යෙංහසා මිසීට කරදරයක්.

විහංග රැව්වා.

ඇයි

මිසී ඉස්පිරිතාලෙ..මං ඒත් බැලුවා අද ඇයි නොකියම ආවෙ කියලා.

ඉස්පිරිතාලෙ මොකද කරන්නෙ..

උණ වැඩිවෙලා.

අනේ අපෙ සුදු නෝනා..ඉහි ඉහි..අයියෝ කාටවත් කරදරයක් නැති අහිංසක සුදු නෝනා.

ඉහි ඉහි සීදේවි සුදු නෝනා. මට කට පුරා චමූ කියනවා.අයි අයියෝ..

චමූ පොළොවෙ හැපි හැපී අඩන දිහා විහංග බලං හිටියෙ පුදුමෙන්.

යකෝ මූ අඩන්නෙ හරියට යෙහංසා මැරුණා වගේනේ. මේ..චමූ ඔය අදෝනාව නවත්තපං.නැත්නම් මං ඊළඟට ගන්නෙ උඹේ මළගම

මට වාවන් නෑ පුංචි මහත්තයා.අහිංසක සුදු නෝනා. දැක්කත් ඇති සිරියාව උතුරනවා.

බුරුවා

විහංග චමූට ටොක්කක් ඇනගෙන එළියට ආවා.මහීපාල වදෙන් පොරෙන් චමූව නැගිට්ටුවාගෙන ඇඩිල්ල නතර කෙරෙව්වා.

 

******************

මොකද බං උඹට මේ වෙලා තියෙන්න‍ෙ.

තුෂාන් විහංගගෙ පිටට පාරක් ගහලා ටේබල් එක ළඟ වාඩි වුණා.විහංග කටට ගත්ත බියර් උගුර එළියට පැනලා විසිරිලා ගියා

මොන මගුලක්ද යකෝ නිදහසේ බොන්නවත් නෑ උඹලා එක්කත

මොකක් නිදහසේ කළත් ඒක තනියම කරන්න දෙන්න බෑ

රන්දුත් වාඩි වුණේ තුෂාන්ට ඉඟි කර කර…

මොකද විහංග උඹ කවදාවත් නැතිව අපිට නොකියා රෙස්ටුරන්ට් එතකට ආවෙ..

මට ඕනෙ නිසා

හරි උඹ මොකද ඔය හැටි බොන්නෙ? ඔය කීවෙනි එකද?

උඹලා කවුද යකෝ මේ වලව් පුතාගෙන් ප්‍රශ්න අහන්න.

විහංග තුෂාන්ගෙ කොලර් එකෙන් ඇද්දා.යාළුවො දෙන්නා මූණින් මූණ බලාගෙන වටපිට බැලුවා.වට පිටේ හිටපු අයත් විහංගගෙ සද්දෙට ඒ දිහා බලනවා.

හරි හරි අපි ප්‍රශ්න අහන්නෙ නෑ.උඹ බොන්න බැරි නම් නාපං

මට ඒකිව බලන්න ඕනෙ.

තුෂාන් ඇස් හීනි කළා.

කාවද?

අර හිතුවක්කාර අතිපණ්ඩිත ආර්යාව

මොකද්ද ? කවුද ඒ පාර උඹ හොයාගත්ත ලලනාව

ඔව් බං ලලනාවක් තමයි.සුකොමල කෝමල..ශෝබමාන..පිස්සු වගේ බං.මං උස්සං යනවා අද නම්

කොහෙටද?

වෙන කොහෙටද බං මගෙ වලව්වට

උඹෙ වලව්වට ලලනාවක් උස්සං යන්න අවසර නෑ. කැන්දං යන්න විතරයි පුළුවන්.උඹ දන්නෙ නැද්ද ඒක

රන්දු බොහොම සන්සුන්ව පැහැදිලි කළා.

හරි දැන් උස්සන ගෑණු පරාණෙ කවුද?

මගෙ අකවුන්ටන් නෝනා

අපොයි යෙංහසාද?

ඔව් මගේ කැළෑ මල

 

මචං විහංග යමං දැන්…මං උඹව ඩ්‍රොප් කරන්නම්…

රන්දු දුර දිග හිතලා කිව්වා.

මං ඕකිට හොද පාඩමක් උගන්නනවා…ආයෙත් හිතුවක්කාර වැඩ නොකරන්න.මං අච්චර එපා කිව්වා.

විහංග කියන එකකට එකක් නොගැලපෙන කතන්දර රන්දුට වගේම තුෂාන්ටත් පැහැදිලි වුණේ නැහැ.මොකක් වුණත් විහංග යෙහංසා එක්ක ප්‍රශ්නයක් දාගෙන බව නම් පැහැදිලියි.

විහංගයා නැගිටපං බං..යමු දැන් ගෙදර

තුෂාන් විහංගව නැගිට්ටුවන්න හැදුවා.

ගෙදර? මොන ගෙදරද බං මට ඉස්පිරිතාලෙට යන්න ඕනෙ.

ඉස්පිරිතාලෙ..ඒ මොකටද?

කහ කිරිල්ලි ඒකෙ..බෑ බෑ..මට බෑ…මට බෑ බලන්න යන්න බෑ..ඕකිට ඉන්ජෙක්ෂන් ගහනවද දන් නෑ දොස්තරලා.මං ඕකුන්ට හොද පාඩමක් උගන්නනවා.

තුෂාන් රන්දු දෙන්නා මූණෙන් මූණ බලාගෙන ඉඟි කරගත්තා.විහංගට හිටගෙන ඉන්නවත් බෑ.වැනෙනවා.

හරි හරි යමුකො කියන තැනකට.

යාළුවො දෙන්නා වදෙන් පොරෙන් විහංගව  ජීප් එකට දාගෙන වලව්වට අරං ආවා.

යකෝ ඉස්පිරිතාලෙ කොහොමද වලව්වට ආවෙ.උඹලා කෙහෙද මේ මාව අරං ආවෙ.

මෙහෙ වරෙං බූරුවො.බැරි වැඩ නොකර ඉන්න ඕනෙ. අපි බිව්වට මූ ලේසියෙන් බොන එකෙක්ද? මේ යකාම නේද අමද්‍යප ව්‍යාපාරෙ ගැන අපිට දේශන පවත්වන්නෙ.

රන්දු තුෂාන් එක්ක විහංගට බැන බැන කොල්ලව ජීප් එකෙන් බස්ස ගත්තා

අනේ පුතේ මොකද මේ..

මිදුලෙ මල් පැල වලට වතුර දදා හිටපු ප්‍රියංගා වතුර බටේ විසි කරලා දුවගෙන ආවා.

ආන්ටි කලබල වෙන්න එපා.අපි කාමරේට දාන්නම්..ආන්ටි මෙහෙන් ඉන්න.

රන්දු ෂේප් එකේ ඉක්මණට විහංගව ඇතුලට එක්කගෙන ගියේ නැත්නම් කොල්ලා මොන විකාරයක් කියවයිද කියලා දන්නෙ නැති නිසා.ප්‍රියංගා කම්මුලේ අතක් තියා ගත්තා.

විහංග ඇස් ඇරියෙ පහුවදා දවාලෙ… ඒකත් නන්ස්ටොප් වදින වලව්වෙ බෙල් එක නිසා.

ෂිට් මොන බූරුවෙක්ද දන්නෙ නෑ.

විහංග බැන බැනම ඇස් පිහිද පිහිද දොර ඇරියා.

රන්දු තුෂාන් සශේන් වලව්වට ගොඩ වුණේ කඩාගෙන බිදගෙන වගේ.සෙට් එකම තිබ්බ තිබ්බ තැන් වලින් වාඩි වුණා.විහංග ඔලුව කහ කහ වටපිට බැලුවා.අම්මා පේන්නත් නෑ..වලව් ඈයෝ කවුරුවත් පේන්න නෑ.

වලව් පුතා උඹ දැන්ද නැගිට්ටෙ.

රන්දු කට කොනක් ඇද කළා.

ෂිට් ඔව් බං. මොකද උඹලා උදේ පාන්දර වාත වෙන්න ආවෙ.අම්මි කොහෙ ගිහින්ද දන් නෑ.

විහංග පුටුවකට බරවුණා

උදේ පාන්දර. හොදට ඇරස් ඇරලා බලහං වෙලාව.. මධ්‍යහ්න දොළහට තව විනාඩි කිහිපයයි තියෙන්නෙ.

සශේන් කට ඇද කළා.

මොකක්? පිස්සුද? ඔහ් ෂිට්.ෆැක්ටරි එකට යන්න ඕනෙ.

විහංග කලබලෙන් නැගිට්ටා.

යෙහංසා හොස්පිට්ල්.

රන්දු කිව්ව පාර කොල්ලා රන්දුට රැව්වා.එතකොටයි ඊයෙ ගැන විහංගට මකත් වුණේ..

ඔහ් නෝ….

විහංග නළල් තලේ තදින් මිරික ගත්තා

මචං ඊයෙ..

ඊයෙ තමා..

උඹ පිස්සෙක් වෙලා හිටියෙ ඇයි කියලා  මං දැන ගත්තෙ අද උදේ.

රන්දු කීවෙ විහංගගෙ උරහිසට අතක් තියලා.

උඹ ගමේ හිටියට වැඩක් නෑ රන්දු. මං ඒක දැනගත්තෙ ඊයෙ හවස

ඉතිං උඹ ඉස්පිරිතාලෙට ගියා.

පිස්සුද බං මං මොකටද යන්නෙ.

යාළුවො තුන්දෙනාම විහංග දිහා බැලුවෙ පුදුමෙන්..යෙහංසාව ඕනෙ කියලා මැරෙන්න හැදුව කොල්ලා මේ මොනවද කියවන විකාර.

හිතුවක්කාර එවුන් මැරිලා ගියාවයි.මගෙ බල්ලවත් බලන්න යන්නෙ නෑ ඕකිව.

විහංග ළඟ තිබුණු පුටුවකටත් පයින් ගහගෙන වොශ්රූම් එක පැත්තට යන හැටි යාළුවො තුන්දෙනාම බලං හිටියේ කටවලුත් ඇරගෙන

*******************

අද ළමයට සෑහෙන්න සනීපයි වගේ

නිමේශ් යෙහංසාගෙ නළලට අත තියලා චෙක් කරන ගමන් කීවා.

ඔව් ඩොක්ටර් මං හිතුවෙ ඊයෙ මං මැරෙයි කියාල.

යෙහංසා නිමේශ්ගෙ ඇස් එක්ක හිනාවුණා.නිමේශ් ඊයේ උදේ වෝඩ් රවුන්ඩ් යනකොට වෝඩ් එකේ හිටියෙ දැකලා පුරුදු ලෙඩෙක්.ඒ යෙහංසා..නිමේශ් එවෙලේ ඉදලා යෙංහසාව සනීප කරන්න උදව් කළා.හොදටම උණ වැඩිවෙලා තිබ්බ කෙල්ලට ඉන්ජෙක්ෂන් ගහලා බෙහෙත් දීලා සනීප කරගන්න වෙහෙසුණා. නිමේශ් ඊයේ දවස පුරාවටම කොච්චරවත් මේ වෝඩ් එකේ හිටපු නිසා නර්ස් නෝනලත් මේ හුරුබුහුටි දොස්තර මහත්තයාට විහිළු කළා. රෝස මලක් වගේ ඉන්න ලෙඩා ගැන දොස්තර මහත්තයා හරි උනන්දුයි කියලා තැන තැන කුටු කුටු ගෑවා.

අම්මලා උදේ ආවො නේද?

හ්ම්

බෝයි ෆ්‍රෙන්ඩ් ආවෙ නැද්ද?

නිමේශ් ඇහැවෙ වටපිට බලලා කවුරුවත් අහගෙන නොඉන්න බව සැක හැර දැනගෙන.

යෙහංසාගෙ මූණ අදුරු වෙලා ගියේ විහංග මතක් වෙලා.බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වම විහංගව මතක් වුණේ ඇයි.

නපුරු කමකට නැති වලව් පුතා.මාව බදිනවා කිව්වා. තව ළමයි හදනවා කියලත් කිව්වා. ආදරෙයි කියලත් කිව්වා. ඒ මදිවට මාව අල්ලගෙන බලෙන් මට කරදර කරනවා.කොයි නිකමට ආවද මාව බලන්න.ඊයෙ දවසටම මතක් වුණේ නැද්ද මාව.බොරුකාරයා වංචා කරයා..මං මොකටද? තව කෙල්ලො කී දනෙකේ ඇත්ද? ඊයා ජරා සත්තු

ඒයි සුද්දි කොයි ලෝකද ඉන්නෙ..ගහනවා ඉන්ජෙක්සන් එකක් හරිද?

නිමේශ් දකුණු අතේ ඇඟිලි දෙකත් එකතු කරලා සද්දයක් දාලා ඇහැවා.

ආ..නෑ..මේ…

මොකද බෝයි ෆ්‍රෙන්ඩ් ගැන ඇහැවම ගොළු වුණේ..

මට  එහෙම කෙනෙක් නැහැ ඩොක්ටර්

අන්න බොරුවක්

දුප්පත් මං ඩොක්ටර්ට බොරු කියලා වැඩක්ද?මට හෙට ගෙදර යන්න පුළුවන් වෙයිද?

ම්..ඒත් දැන්නම් මට හිතෙනවා ඉක්මණට සනීප කළේ අපරාදෙ කියලා.

නිමේශ් කිව්වෙ යෙහංසා දිහා අමුතු විදිහට බලලා.

ඇයි..

නිකම් වෙන වෙලාවක කියන්නම්.. මේ තැනයි වෙලාවයි සුදුසු නෑ.

නිමේශ් යන දිහා යෙහංසා බලාගෙන හිටියා. නිමේශ් ගැන තියෙන ලෙංගතු හැඟීම කෙල්ලට දැනෙනවා. ඒත් නිමේශ් අහසෙ ඉන්න තරුවක් බව යෙහංසා දන්නවා.

************

විහංග යෙහංසාගෙ ස්කූටරේ ගෙනත් වලව්වෙ මිදුලෙ නතර කළා.හවස් වරුවෙ රස්තියාදු ගගහා හිටපු කොල්ලා රෑ වෙලා කලේ ඒ වැඩේ.

පුංචි මහතත්යා මොකද මේ ගෑණු ළමයි පදින බයික් එකක් ගෙනල්ලා.

සාරදා ඇහැවෙ විහංග ස්කූටරේ  අත ගගා කට කොනින් හිනාවෙවී ඉන්නවා දැක්ක නිසා.විහංග රැව්වා

උඹට වැඩක් නෑනෙ සාරදා මගේ නිව්ස් හොයන්න..උඹට මේ වලව්වෙ වෙන වැඩ නැද්ද?

ඇයි පුංචි මහත්තයා මට  ඔහොම කතා කරන්නෙ. පුංචි මහත්තයා පුංචි කාලෙ ඇහේ මූණෙ තියාගෙන  ඇහැක් වගේ පරෙස්සම් කළේ මං.

සාරදා විහංගගෙ  ළමා කාලෙ  මතක් කර කර කදුලු පිහ දැම්මා.

මං උඹට කිව්වද මාව පරෙස්සම් කරන්න කියලා.

මට වාවන් නෑ..ඉහි ඉහි

සාරදා පපුව අල්ලගෙන  කෑ ගහන්න පටං ගත්තා.

ෂිට් තමුසෙත් අපෙ අම්මට හපන්නෙ ඕයි.මං ආපහු ඉන්ඩියා යනවා. ආයෙ මැරෙනකල් එන් නෑ..

අනේ එපා පුංචි මහත්තයා… ඔහොම බැන බැන හරි අපිත් එක්ක ඉන්න. ඒක සැපයි අපිට..

අඩේ උඹලාටද පිස්සු මටද පිස්සු..

විහංග ඔළුව දෙපැත්තට වනලා එතනින් මාරු වුණේ සාරදාට හිතින් බනින ගමන්.

*****************

පොඩි පුතා ලෑස්ති නැද්ද තවම…

විහංග කට කපලා නිදි..ප්‍රියංගා කොල්ලගෙ කාමරේට එබුණා.ශීට් එක ඇදෙන් බිම.කොට කලිසම විතරයි ඇදගෙන ඉන්නෙ.මුණින් තලා වෙලා මුළු ඇද පුරාම නිදි.

අනේ මන් දන් නෑ මේ කොල්ලා නම්

ඇයි අම්මා

නිමේශ් ප්‍රියංගාගෙ පිටිපස්සෙන්  හිටගෙන කාමරේට ඔළුව දැම්මා.

හපෝ..ඊයෙත් බීලද හිටියෙ අම්මා

කවද්ද නොබී හිටියෙ… මේ ටිකේම පුදුම බීමනක්..අනේ මන්දා ලොකූ… අප්පච්චි නැති ටිකට මේ කොල්ලා පුදුම පිස්සුවක් නටන්නෙ. එදා ආවෙ රන්දුලාගෙ කරේ..මේවා දැන ගත්තොත් මටයි දෝසේ..මංලු හුරතල් කරන්නෙ..

අම්මා මොනවා කරන්නද? මේකා ඉන්ඩියා ගියාට හැදිලා නෑ..තවත් විනාස වෙලා.

පුතා ලෑස්තියි නේද අප්පච්චි ෆැක්ටරි එක ළග ඇති දැන්.

ඊයෙ රෑ වෙලා වලව්වට ගොඩ වුණු ගජවීර් උදේම ෆැක්ටරි එකට ගියා.මේ ටිකේම ගජවීර් හිටියෙ කොළඹ.විහංගගෙ හැසිරීම ගැන දැනගන්න ගජවීර්ට නොලැබුණේ ඒ නිසයි.ප්‍රියංගා මේවා හැංගුවේ ගජවීර්ගෙ කෝපය ගැන දන්න නිසා.

මල්ලිට ඇහැරවමු අම්මා..

ඕනෙ නෑ ලොකූ ..කොහොමත් එයා එන එකක් නෑ..අනික මනමාලි බලන්න යන්නෙ ඔයාටනෙ.මං එදා ඒ ගැන කියද්දිත් මට එක එක ඒවා කිව්වා.

අම්මිලාට ඕනෙ නිසා යනවා මිසක් මට නම් උවමනාවක් නෑ.

එහෙම කියලා කොහොමද පුතා.අප්පච්චිගෙ හොදම යාළුවගෙ දුවනෙ.අනික දිනිති අපි නොදන්න ළමයෙක්යැ.මේ මංගල්ලෙ ස්ථිරව වෙන එකක්නෙ.

නිමේශ් දොර රෙද්ද අත ඇරලා සාලෙට ආවා.නිමේශ්ගෙ හිතට ආවෙ ඒ අහිංසක මූණ.යෙහංසා…කීයටවත් මේ වලව්වට යෙහංසා වගේ කෙල්ලෙක්ට පය තියන්න බැරි බව නිමේශ් දන්නවා.ඒත් නිමේශ්ට යෙහංසාව අමතක කරන්නත් ලේසි වුණේ නැහැ.දෙමව්පියන්ට විරුද්ධ වෙන්නත් කොල්ලට හයියක් නෑ.මල්ලි කිව්වත් වගේ සුද්දියක් අරං ආවත් තමන්ට එච්චර ආත්ම ශක්තියක්  නැති බව නිමේශ් දන්නවා.

****************

කැම්පස් එකේ ඔයාට ගර්ල් කෙනෙක් හිටියෙම නැද්ද නිමේශ්.

දිනිති ඇහැවෙ වැඩිහිටියො එහෙ මෙහෙ වුණාට පස්සෙ.

නැත්තෙමත් නෑ ඉතිං..නිමේශ් නිකට කහ කහ උත්තර දුන්නා

බොරු කියන්න එපා..මං දන්නවා ඔයා එහෙම නෑ කියලා.

දන්නෙ නැද්ද උපාසක බළල්ලු තමා මීයො දෙන්නා තුන්දෙනා ගාණෙ අල්ලන්නෙ කියලා.

ඕහෝ ඒ කියන්නෙ මෙයා උපාසක බළලෙක්

වෙන්න පුළුවන්

හලෝ මේ.. විහංග ගැන ඔය කතා කිව්වා නම් මං විශ්වාස කරයි. ඒක නෙවෙයි කෝ විහංග ඇයි එයා නාවෙ.

අනාගත නෑනා දැන්මම එපා වෙලා.

නිමේශ් කීවෙ හිනා වෙවී.

යන්න අනේ ඔයා හරි නරකයි

එයා නිදි අපි එද්දි

හ්ම්..

ඒත් දිනිති මං තාම මේ මැරේජ් එක ගැන තීරණයක් අරං නෑ.

නිමේශ් කීවෙ කල්පනාකාරීව..

අපිට තීරණ ගන්න ඉඩක් නෑනෙ නිමේශ් .වැඩිහිටියො තීරණේ කරලා ඉවරයි.

දිනිතිටත් ඒ යථාර්තෙ පොදුයි කියලා නිමේශ්ට තේරුණා.

ඒත් ඔයාට අවුලක් නැද්ද?

නෑ මං ඔයාට කැමතියි.

නිමේශ් මද සිනාවක් පෑවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!