ඒයි චමූ මෙහෙ එනවා
විහංග චමූට ළගට අඩ ගැහැවා.ඔෆිස් එකේ වෙන කවුරුවත් නෑ. යෙහංසාත් එළියට ගිහින්
පුංචි සර්
කොයි උඹෙ කෑල්ල
චමූගෙ ඇස් උඩ ගියා
මොන කෑල්ලද සර්
අර උඹ කොච්චරවත් පස්සෙන් යන්නෙ සුදුනෝනා සුදු නෝනා කිය කියා
ආ..යෙහංසා මිස්ද සර්
ඔව් ඔව් ඒ මිස් තමා
ඒ මිස් මගෙ නෙවෙයිනෙ සර්.
උඹෙ නෙවෙයි තමයි බං. උඹ වගේ ගොයම් මැස්සෙක් ළගින්වත් තියන්න පුුළුවන්ද? මං කිව්වෙ ඉතින් උඹ කොච්චරවත් සුදු නෝනා ගාගෙන වැදවැටීගෙන ඉන්න නිසා.
අනේ සීදේවි මිසී කලින් හිටපු මහත්තයා වගේ නෙවෙයි. හරි කරුණාවන්තයි. මට කටපුරා චමූ කියනවා
මාත් උඹට කටපුරා චමූ කියනවනෙ..මාත් සීදේවිනෙ
විහංග සීට් එකේ හොදට දිගාවෙලා කකුල් දෙක මේසෙ උඩින් තිබ්බා.
අපොයි පුංචි සර් ..දැන් යෙහංසා මිසී ආවොත් කෑගහයි.ඔය කකුල් දෙක පහලට දාන්න..මේං සපත්තු පාරත් මේසෙ හිටලා
ඒ මොකටද ..මේ මගෙ ඔෆිස් එක.මගෙ මේසේ
ඒ වුණාට අපි වැදගත් විදිහට හැසිරෙන්න ඕනෙ
කොල්ලා චමූ ළගට ඇවිත් ෂර්ට් එකෙන් ඇද්දා.
උඹ එනවද මට හැසිරෙන හැටි උගන්නන්න.
චමූ බයේ වෙව්ලනවා
නෑ මහත්තයා අනේ සමාවෙන්න
කොල්ලා චමූව අත ඇරියා.
චමූ උඹ වැඩක් කරන්න ඕනෙ..ඊට කලින් කියනවා බලන්න උඹෙ බොස් මමද යෙහංසාද
සර්නෙ
හරි එහෙනම් මං කියන වැඩේ කරන්න ඕනෙ..මේක කවුරුවත් දැනගන්න බෑ
චමූ ඇස් ලොකු කරලා බලනවා ඒ පාර
සර් මට මිනී මරන්න නම් බෑ..මගෙ පවුලෙ අය අනාථ වෙයි
පිස්සුද ඕයි තමුසෙ වගේ ගොයම් මැස්සෙකුට පුළුවන්ද එච්චර දෙයක්.මේක පොඩි වැඩක්
කොල්ලා චමූට ළං වෙලා වැඩේ මොකද්ද කියලා මිමිණූවා
*******************
යෙංහසා ස්කූටරේට ගොඩ වුණා
නැගලා ඉදගද්දි දැනුනෙ අමුත්තක්. කෙල්ල රෝද දිහා බැලුවා
ආ…..මොකද මේ අයියෝ
යෙහංසා චමූට කතා කළා.
චමූ..චමූ
චමූ කොහේදෝ ඉදලා දුවගෙන ආවා
චමූ බලන්නකො මේ රෝද දෙකේම හුළං නැහැනෙ
චමූ ඇවිත් රෝද දිහා පුදුමෙන් බැලුවා
සුදු නෝනා රෝද වලට හුළං ගැහැවෙ නැද්ද ළගදි
පෙරේදත් ගැහැවනේ
අනේ චමූ රෑ වෙනවනෙ. මට අද වෙලත් ගියා මහීපාල අන්කල් ගියාද
ගියානෙ නෝනෙ මාත් අද පයින් ආවෙත නැත්නම් මගේ පුස් බයිසිකලේවත් දෙන්න තිබ්බා
පුස් බයිසික්ලේ? චමූට පිස්සුද
එහෙනම් මොකද කරන්නෙ.
මොනවා කරන්නද මං පයින් යනවා.
එච්චර දුර
මං ඉස්සරත් පයින් ගියේ ඕක මොකද්ද
පුංචි මහත්තයා නම් ඉන්නවා මං අහන්නද ගිහින්
අපෝ එපා චමූ මං යනවා.අනේ හොද චමූ වගේ හෙට බයික් එකට හුලං ගහලා දෙන්න ගරාජ් එකට තල්ලු කරං ගිහිල්ලා
හා මිස්
විහංග නොසිතුව විදිහට ප්ලෑන් එක අබ්ලික් වුණා. චමූ ඉක්මණට විහංග හොයාගෙන ගිහින් විස්තරේ කිව්වා. විහංග හිතින් බැන බැනම එළියට බැස්සා
තියෙන ලොකුකම මගෙන් උදව් ගන්න කැමති නෑ. බස්සන්නම්කො මං ලොකුකම
යෙහංසා ෆැක්ටරි එකෙන් එළියට බැහැලා මගක් දුර එනකොටම බයික් එකේ සද්දෙ ඇහුණා. විහංග මග හරස් කළා
නගිනවා
යෙහංසා කොල්ලා දිහා බලාගෙන හිටියා. ඒත් බයික් එකට නැග්ගෙ නෑ.
මේ හලෝ..අර චමූ වැද වැටුණු නිසා ආවෙ මං..නැත්නම් මට බයික් එකේ නග්ගගන්න කෙල්ලො නැතිව නෙවෙයි.
යෙහංසා වටපිට බැලුවා. ඈ. රබර් කිරි කපන අය දෙතුන් දෙනෙක් ඉන්නවා. දැන් බයික් එකට නැගලත් බෑ නගින් නැතුවත් බෑ..කොල්ලා තරහින් පුපුර පුපුර ඉස්සරහා බලාගෙන බයික් එක රේස් කරනවා.කළුවර වැටීගෙනත් එන නිසා කෙල්ල ඇඹරි ඇඹරි ඉදලා ගස්සගෙන ඉස්සරහට යන හැටි විහංග බලාගෙන හිටියෙ දත්මිටි කකා
යකෝ මේකිගෙ පුදුම ලොකුකමක්නෙ..මෙච්චර ගණන් උස්සන්න මොකද්ද දන් නෑ තියෙන විශේෂාංගෙ
විහංග බයික් එක රේස් කරගෙන යෙහංසාවෙ පහු කරගෙන ඉස්සරහට ගියේ දූවිලි වලාවක් නංවගෙන.යෙහංසා නැවතිලා දූවිලි පිහිදගත්තෙ කොල්ලගෙ වලව් පරම්පරාවටම හිතින් බැන බැන.
සශේන් උඹලා කොහෙද ඉන්නෙ
විහංග සශේන්ට කෝල් එකක් ගත්තෙ ප්ලෑන් එක ක්රියාත්මක කරන්න
වෙන කොහෙද බං වෙනදා ප්ලේස් එකේමයි
ඔතන කවුද ඉන්නෙ
තුෂාන් මම හිරාන්
රන්දු කොයි
රන්දු ආවෙ නෑ අද උගෙ අම්මට සනීප නැතිලු
රන්දු නැති එක හොදයි.උඹලා වැඩක් කරන්න ඔනේ. ප්රශ්න එපා දැන්ම පටං ගන්න ඕනෙ
විහංග උපදෙස් දුන්නා. සශේන් ඒ සැනින් ක්රියාත්මක වුණා
යෙහංසා අද වෙදට වඩා ගොඩක් පරක්කුයි.ස්කූටරේ නැතිව දැන් පයින් ගාටන එක ලේසි නෑ.දැන් හොදටම කළුවර වැටිලා. කෙල්ල රබර් වත්තෙන් පිටවුණා විතරයි කළු පාට ජීප් එකක් පාර හරස් කලේ ප්රධාන පාරෙදි.යෙහංසා වටපිට බැලුවට කවුරුවත් පේන්න නෑ. ජීප් එකෙන් බැස්ස කොල්ලො තුන්දෙනාව අදුර නිසා යෙහංසාට අදුනගන්න බැරිවුණා.කොහොමත් තමන්ගෙ ගමේ ඉන්න රන්දු එතන නොහිටිය නිසා යෙහංසාට අනිත් අය ගැන වගක් නෑ
ආ.. නංගී..මොකද තනිපංගලමේ.
යෙහංසා හොදටම බයුවුණා..කොල්ලො වැනෙනවා
නංගි හොද හිතින් නගිමු ජීප් එකට
ඒ මොකටද
යෙහංසා බය පැත්තකින් තියලා ඇහැවා.
වෙන මොකටද නංගිගෙ ගෙදර යන්න
ගෙදර
ඔව් නංගි මේ යන්නෙ ගෙදරනේ
යෙහංසා ගැහෙනවා හොදටම
එනපොට හොදම නෑ
එතකොටම එතනට ඈත වංගුවෙන් මතු වෙලා එන බයික් එකක් පෙනුනා. බයික් එකේ සද්දෙන්ම කෙල්ල අදුනගත්තා ඒ විහංග කියලා.කෙල්ලට දැනුනෙ පුදුම සතුටක්. විහංග බයික් එක නතර කළා විතරයි යෙහංසා දුවගෙන ගිහින් කොල්ලගෙ උරහිසේ එල්ලිලා බයික් එකට නැග්ගා.
ඉංග්රීසියේ කියමනක් තියෙනවා නොදන්න දෙවියන්ට වඩා දන්න රාස්සයා හොදයි කියලා.යෙහංසාට ඒ කියමන ඒ ඩිංගට මතක් වුණා. විහංගගෙ කට කොනක් ඇද වුණා. ඉස්සෙල්ලා ගස්සගෙන ගියපු කෙල්ල දැන් පැනලා ඇවිත් උරහිසේ එල්ලිලා නැග්ගා.විහංග ඒ සැනින් එතැනින් මාරු වුණේ වැඩේ නෝට් වෙන්න කලින්. කොල්ලා බයික් එකේ ස්පීඩ් එක පුළුවන් තරම් අඩු කලේ ඈතට ආවට පස්සෙ.කෙල්ල ජැකට් එකේ එල්ලීගෙන හිටියා.විහංග වෙනදා මෙහෙම ඉබි ගමනින් යන්නෙ නෑ.යෙහංසා දන්නවා මේ හිතලම හෙමීට යන්නෙ කියලා
මේකෙ පෙට්රල් ඉවර වෙලාද
යෙහංසා ඉස්සරහට නැමිලා ඇහැවා.කොල්ලා කණ්ණාඩිය හදාගෙන ඒකෙන් කෙල්ලගෙ මූණ බලන්න උත්සහා කළා.ඒත් අදුර නිසා හරියට පේන්නෙ නෑ..
මොකද්ද ඇහැවෙ.
මේකෙ පෙට්රල් ඉවර වෙලාද
ඇයි තමුසෙ ගහලා දෙන්නද?
මේක නවත්වනවද
මොකටද
මට බහින්න
ඇයි
මේකෙ යනවට වඩා පයින් යන එක ස්පීඩ්..හැටේ දශකයේ බර කරත්තත්හොදයි මීට වඩා
මේ මිස් ..මේක මගෙ බයික් එක.මට ඕනෙ ස්පීඩ් එකෙන් තමා මම යන්නෙ.
මාව බස්සලා යන්න
කොල්ලා බයික් එක නතර කළා.
බහිනවා
මට බෑ.
ඒ පාර මොකද
නග්ග ගත්තා නම් ගෙදරට ඇරලන එකයි තියෙන්නෙ.
ලොකුකම මොකද ඔය හැටි.අර හිටපු එවුන්ට බයිට් එකට තියලා එන්න තිබ්බෙ..
සර් ප්ලීස් මාව ඇරලවන්න.
ඔහ් ..දැන්ද තමුසෙට මතක් වුණේ. මං බොස් කියලා
තෑන්ක්ස් මාව එතනින් අරං ආවට.
කොල්ලා යෙහංසාව ගේ ළගට ඇරලුවා.යෙහංසා බැහැලා කොල්ලා දිහා බැලුවා.
ගෙට අඩගහන් නැදද්? සිංහල සිරිත් විරිත් දන්නෙ නැද්ද? උදව්වක් කරපු මිනිහෙක්ට කළගුණ සළකන්න දන්නෙ නැද්ද?ඇයි මං බින්න බහියි කියලා බයයිද?
යෙහංසා බිම බලාගෙන හිටියා.
තමුසෙ අර ලොකුවට අරං ඉරුවෙ ලෝන් ෆයිල් එක. ඒකට අදාල ණය පොලිය මං ගෙවලා තියෙන්නෙ.දැන් කාටවත් හෑල්ලු වෙන්න ඕනෙ නෑ.. යනවා ගෙට
යෙහංසා ඇස් ලොකු කරගෙන බලං ඉද්දි කොල්ලා බයික් එක හරව ගත්තා.
*****************************
ආ. ඉලන්දාරියා. මොකද අද අමුතු සතුටකින්
විසිල් එකකුත් තාලෙට ගහගෙනම ඉස්සරහා දොරින් වලව්වට ඇතුල් වුණු පොඩි පුතා දිහා හොදට බලන ගමන් ගජවීර් මැදගෙදර ඇහැවා.කොල්ලා එහෙමම බ්රේක් පාරක් ගහලා ඔලුව කහන ගමන් ගජවීර් දිහා බැලුවා.
අප්පච්චි මේ…
බෝම හොදයි.කවුද දැන් කෙල්ල?අපෙ පවුලට ගැලපෙන කෙනෙක්ද ? හැබැයි පුතේ වලව් පෙළපතේ වෙන්න ඕනෙ.
විහංගගෙ කට ඇද වුණා.
බෝ පැළේ වගේ ඉන්න අහිංසක මට මේ අප්පච්චි කියන කතා බලන්නකො අම්මා.
සාලෙට ඇවිත් කවිච්චියේ ඉදගත්තු ප්රියංගාගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන කවිච්චියේ හාන්සි වෙන ගමන් විහංග බොහොම සෝකෙන් කීවා.
ප්රියංගා තමන්ගෙ කඩවසම් පුතාගෙ ඔලුව අතගාන්න පටං ගත්තා.
ඇයි අප්පච්චි මොකද කියන්නෙ
ප්රියංගා ඔයා තමා මේ කොල්ලව හුරතල් කරලා නරක් කරන්නෙ.
ඇයි අනේ.දැන් මේ දරුවා ෆැක්ටරි එකත් යස අපූරුවට කරන්නෙ.ගජේ ඔයාම නේද උදේ කීවෙ මහීපාල පුතාගෙ වැඩ ගැන හොද කීවා කියලා
ගජවීර් අසුනෙන් නැගිටලා කාමරේ ඇතුලට ගියේ උත්තර නොදී
පුතා අයියත් එනවලු ළගදි
අය්යා ආවම මාව ආයෙත් කුණු කූඩෙට දායි
ඇයි මගෙ පුතේ එහෙම කියන්නේ.
අම්මලාට කොහොමත් ලොකු ඒ පුතානෙ.
ප්රියංගාගෙ ඇස් වල කදුලු පිරුණා.
ඔයාලා දෙන්නා මගෙ ඇස් දෙක වගේ
ඒ වුණාට මාව පොඩි කාලෙම ඈත් කලේ මාව එපා නිසානෙ
විහංග එක පාරටම නැගිටලා යකා වගේ කාමරේට යන හැටි ප්රියාංගා බලං හිටියෙ වේදනාවෙන්. උපරිම හිතුවක්කාරයි.විහංග හිතන් හිටියෙ ප්රියංගා කොල්ලව රට යැව්වෙ එයාට ආදරේ අඩු නිසා කියලා.විහංග කොයි වෙලාවකවත් ප්රියංගා නිදහසට කියන කරුණු අහන්න ලෑස්ති වුණේ නෑ.
මට වැඩිය අයියට ආදරෙයි
පොඩි කාලෙ ඉදලම විහංගගෙ හිතේ පැලපදියම් වුණු එකම අදහස ඒක.මොකද පොඩි කාලෙදිත් කරපු දග වැඩ වලට හැම වෙලේම බැනුම් ඇහැවෙ ගුටිකෑවෙ විහංග විතරයි.නිමේශ් හැමදාව හොද වුණා..ගුණයහපත් කීකරු.ඉතිං විහංග අයියා වුණත් නිමේශ් ගැන පැහැදීමෙන් හිටියෙ නෑ.
යෙහංසා පිස්සු වගේ කෙල්ලෙ…මීට කලින් කොච්චර කෙල්ලො ආශ්රය කරලා තිබ්බත් කවදාවත් ඔයා වගේ ගණං උස්සලා නෑ. බලමුකො ඉස්සරහට
විහංග ඇදට වැටුණෙ යෙහංසාගෙ සුදු මූණ හිතින් මවා ගෙන
********************
යෙහංසා මිදුලෙ බංකුවේ ඉදගෙන අහසෙ තියෙන තරු ගණං කරන්න පටං ගත්තා.කොච්චර ගනං කළත් ඉවර කරන්න බෑ.දැන දැනත් ගණං කරනවා. පුරුද්දට.ඒක තමා යෙහංසාගෙ විනෝදාංසෙ.ඒත් අද යෙහංසාට ඒක විනෝදයක් ගෙන දුන්නෙ නෑ.තරු රටා අතරින් මැවි මැවී පේන විහංගගෙ රූපෙ මකා දාන්න යෙහංසා නිරර්ථක උත්සාහයක යෙදුණා.ඒ වියරු ඇස් වියරු බැල්ම.
දෙවියනේ මං ඇයි එයාට මෙච්චර බය.නොපෙන්වා හිටියට එයා දකිද්දි මාව ගැහෙනවා.ඒක පුදුමාකාර බයක්.ඒ ඇස් වල බැල්ම එයා මාව ඇස් වලින් ගිලිනවා.එදා මාව බලෙන්ම අල්ලගෙන ඉඹපු හැටි.කොච්චර නරකද?දුප්පත්කමට ඇයි මේ තරම් දඩුවමක්. මට කියන ජාති. ඇයි මගෙ අහිංසක හිතත් එක්ක සෙල්ලම් කරන්නෙ.එයා අහසෙ ඉන්න තරුවක් වගේ මං පොළෙවේ ඉන්න පොඩි කූඹියෙක් වගේ.එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
මොනවද? වෙන මොනවද? කියන ඒවායින් කරන ඒවායින් හිතාගන්න පුළුවන්.රස්සාවද ජීවිතේද? මං රස්සාව නැති කර ගත්තොත් මගෙ පවුල. එයා කිව්වා මාව අස් කරලා දානවා කියලා. මං කොහොම හරි වෙන රස්සාවක් හොයා ගන්න ඕනෙ.එතකල් මට යන්න වෙනවා.අද එයා නාවා නම්.මොකක් වුණත් මාව බේරගත්තා ඒකට ස්තුති කරනන් ඕනෙ. මොකද්ද අර වෙලේ කිව්වෙ ණය පොලිය ගෙවලා තියෙන්නෙ කියලා කිව්වා නේද ?එයා මං ස්කූටරේ ගන්න පොලී මුදලාලිගෙන් අරගත්ත ණය මුදලාලිට ගෙවලද
ඒත් ඇයි මාව රවට්ටගන්නද?ඇත්තටම ගෙවලා නම් මං… මං කොහොමද එයාට ණය ගෙවන්නෙ එයා හදන්නෙ සල්ලි ගැන කියලා මාව නම්මගන්නද?
යෙහංසා රිදෙන නළල් තලේ තද කර ගත්තා
***************************
යෙහංසා පොලී මුදලාලිගෙ ගේ ඉස්සරහා ස්කූටරේ නතර කළා. කෙල්ල හෙල්මට් එක ගලවලා ඉස්සරහට එනකොට ම පොලී මුදලාලි ඉස්තෝප්පුවෙන් එළියට බැස්සා
ආ..මේ යෙහංසා දුවනෙ
යෙංහසා ඇස් පිහිදලා ආයෙත් මුදලාලි දිහා බැලුංවා.
දුව
එහෙම වචනයක් පොලී මුදලාලිගෙ කටින් ඇහැවාමයි
මුදලාලි මාමෙ
දුව යමු ඇතුලට වාඩිවෙමු.
යෙහංසාට වෙනස අදහන්න භෑ
ඕනෙ නෑ මාමෙ.. මං ආවෙ පොලී සල්ලි
ආ සල්ලි නම් මොනවද?යමු තේ එකක් බොන්න.. හාමිනේ
පොලී සල්ලි ටික මාමෙ
හරි හරි.. ඒවා හරි.. දුව බදින්න ඉන්න මහත්තයා මට වැඩියෙනුත් ගෙවලා දැම්මා
යෙහංසා කෙළ පිඩක් ගිල්ලා.ඒ කියන්නෙ විහංග ඒක ගෙවලා
මං යන්නම් මාමෙ
ආයෙ උවමනාවක් වුණෙෘත් දුව බය නැතිව එන්න.
එදා පොලියට සල්ලි ඉල්ල ගත්තෙ බොහොම අමාරුවෙන් ඒත් අද
උඹලා වගේ එවුන් මට හරියට කලට වෙලාවට සල්ලි ගෙවයි කියපා විශ්වාස කරන්නෙ කොහොමද? හැබැයි නොගෙව්වොත් මේ පොලී මුදලාලිගෙ හැටිත් දැනගන්න පුළුවන් වෙයි
ඒ වචන ටික දැන් දැන් ඇහෙනවා වගේ.. යෙහංසා ස්කූටරේ ඇරගෙන කෙලින්ම ගියේ බැංකුවට.කෙල්ල බැංකුවට ඇතුල් වෙන්න කලින් කනේ තිබ්බ කරාඹු දෙකයි බෙල්ලෙ තිබ්බ මාලෙයි ගලවගත්තා. ඒ කරාඹු දෙකයි මාලෙයි යෙහංසා ලොකු ළමයෙක් වුණූ දවසෙ අප්පච්චි දාපු රත්තරං බඩු.යෙහංසා දන්නවා ඒවා ගන්න අප්පච්චි යෙහංසා ඉපදුණු දවසෙ ඉදලා සල්ලි එකතු කළා කියලා.දුකෙන් වුණත් කවදාවත් කරන්න හිතපු නැති දෙයක් කරන්න කෙල්ල හිත හදාගත්තා. රත්තරං බඩු වලට වඩා ආත්ම ගෞරවේ වටිනවා
*********************