රත් දෙකොපුල්- 09 කොටස

සියදෝරිස් එක හැන්දෑ වරුවක වලව්වේ ඉඳලා හංස‍කගෙ ගෙදරට ආවේ තැපෑලෙන් ලැබුණු ලොකු පාර්සලයක් අරගෙන. ඒක ගෙනත් දීලා තිබ්බේ උසාවියෙන්. ගිහාරාගේ නමට තිබ්බ මේ පාර්සලේ ගිහාරා විවෘත කළේ ගැහෙන ඇගිලි තුඩුවලින්.

 

‘‘ අනේ නැනී අම්මේ ”

 

ඒක බලපු ගිහාරා වැලහින්නක් වගේ අඩන්න පටන් ගත්තා. නැනී අම්මට ඒකෙ තිබ්බ කිසිම දෙයක් තේරුණ් නැහැ.

 

‘‘ සුදු නෝනේ මොකක්ද වෙලා තියෙන්නේ?  මොනවද මේ ලියැවිල්ලේ තියෙන්නේ. ”

 

‘‘ නැනී  අම්මේ ”

 

ගිහාරා උත්තර දෙන්නෙ නැතිව අඩනවා.

 

‘‘ ඔහොම ඉන්න සුදු නෝනෙ. මං වර්ෂ මහත්තයට කතා කරන්නම් ”

 

නැනී අම්මා  කතා කරපු ගමන් වර්ෂ ආවේ කලබලෙන්. ගිහාරාගෙ අතේ තිබ්බ සිතාසි දැක්කහම වර්ෂට හොඳටම තරහ ගියා.

 

‘‘ මූ අමු පිස්සෙක්නෙ. මොකක්ද මේ නටන මේ නාඩගම. ඩිවෝස් වෙන්න තරම් දෙයක් මෙතන තියෙනව ද? තාරිකා අර වගේ දෙයක් කිව්වට පස්සේ මට හිතුනා අනිවාර්යෙන් කේස් එකක් ෆයිල් කරයි කියලා ”

 

‘‘ අනේ වර්ෂ අයියේ. මං කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ. එයා ඇයි මට එහෙම කරන්නෙ. මගෙ දරුවට තාත්තෙක් කෝ එතකොට. මේකේ තියෙන්නේ මම හොඳ නෑ කියලා ”

 

‘‘නංගා… ඔයා දුක් වෙන්න එපා. හංසක කවදාහරි ඇත්ත තේරුම් ගත්තහම වැලලෙන්න තැනක් හොයයි. යශේනුයි මායි පුළුවන් තරම් හෙව්වා. ඇත්තටම හංසක රට ගිහිල්ලා. කාටවත් නොකියා තමයි ගිහින් තියෙන්නේ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ ඔක්කොම මැනේජර්ට භාර දීලා ”

 

‘‘ වර්ෂ අයියේ. මට උසාවි යන්න බැහැ. මං මොකද කරන්නේ. ”

 

‘‘ ඔයා බයවෙන්න එපා මං ලෝයර් මුණ ගැහෙන්නම්. උසාවියට නංගි යන්න ඕනෙ නැහැ. මමයි යශේනුයි හැමදේම බලා ගන්නම්. ”

 

‘‘ අනේ!  ඔයාලට පින් සිද්ධ වෙනවා වර්ෂ අයියේ. මං මේ බඩත් උස්සගෙන කොහොමද එන්නෙ  ”

 

‘‘ හංසකයා අහුවුනොත් මට මරාගෙන මැරෙන්න තරම් තරහක් එනවා.. ”

 

‘‘මොනව උනත් එයා මේ දරුවාගේ තාත්තා අයියේ ”

 

‘‘මොන තාත්තා ද? තාත්තා කෝ? දරුවා වෙනුවෙන් හැම යුතුකමක්ම කරන්නේ යශේන්… ගිහාරා මං මේ කියන දේ හොඳට අහ ගන්න. තවදුරටත් ඔයා හංසක ගැන හිතන එක කිසිම තේරුමක් නැහැ. ඔයාට තේරෙනවා නේද යශේන් ඔයා ගැන තියෙන ආදරේ  ”

 

‘‘ එහෙම කියන්න එපා වර්ෂ අයියේ. ඔයා ගැන විදිහටම තමයි මං යශේන් ගැනත් හිතන්නේ. ”

 

‘‘ මං ඒක දන්නවා නංගී. ඒ ඔයාගේ හොඳ ගතිගුණ.  යශේන් මදාවියෙක් උනාට නරක කොල්ලෙක් නෙමෙයි. ඩිවෝස් එක ගත්තට පස්සේ ඔයා තීරණයක් ගන්න. දරුවාට තාත්තා කෙනෙක්ගෙ ආදරේ ඕනෙ. ”

 

වර්ෂ කියන්නේ මොනවද කියලා ගිහාරාට තේරෙනවා . ඒත් එහෙම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්න ගිහාරාට බෑ. එයාගේ මුළු ලෝකෙම හැදිලා තිබ්බේ හංසකගෙන්. හංසකගෙ සුවඳ.. හැම වෙලේම තමන් වටේ කැරකෙන බව ගිහාරාට දැනෙනවා. හංසකගෙ මුරණ්ඩුකම… දඟ වැඩ..නොසන්සුන්බව … ඒ මතකයන් අතරේ ගිහාරා තාමත් ජීවත්වෙනවා.

 

‘‘වර්ෂ අයියේ… මං හෙට මේ ගෙදරින් යනවා. හංසක මාව එච්චර ප්‍රතික්ෂේප කරනවා නම් එයාගේ ගෙදර මට බලෙන් ඉන්න උවමනාවක් නැහැ. මං ආපහු වලව්වට යනවා ”

 

‘‘ ඒ ගැන මට මොකුත් කියන්න බෑ නංගී. ඒක ඔයාගේ කැමැත්තක්. මාත් හිතනවා මේ වෙලාවේ ඔයා යන එක හොඳයි කියලා. හැබැයි හිත හදාගෙන සන්තෝසෙන් ඉන්න දරුවා ගැන හිතලා  ”

 

——————————

 

‘‘ යශේන්. ඔයාට  ඔය ජීවිතෙන් මිදෙන්න බැරිද ? ”

ගිහාරා ඇහැවෙ එක හැන්දෑවක යශේන් ගිහාරාව බලන්න ආවට පස්සෙ. ඒ එනකොටත් යශේන් පලතුරු මල්ලක් අරගෙන ආවා.

‘‘ මේක මගේ ලැබීම ගිහාරා ”

‘‘ ඔහොම හිටියට ඔයා නරක කෙනෙක් නෙවෙයි යශේන්.  ඒක මට දැනෙනවා. ඇයි අපි මේ කෙටි කාලීන ජීවිතේ දි ආත්ම ගාණකට පව් රැස් කර ගන්නේ. ”

‘‘ මට ගැලවෙන්න ඕන වුණත් ගැළවෙන්න බැහැ. ”

‘‘ අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ යශේන්. මට පුළුවන් ඔයාට උදව් කරන්න”

‘‘ මට හරි පාර පෙන්නන්න කවුරුවත් හිටියෙ නෑ ගිහාරා. සමහර විට කලින් මට ඔයාව මීට් වුනා නම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඒ මොනවා වුණත් මං ජීවිතේ දි  එක හොඳ දෙයක් හරි කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. ”

‘‘ මොකක්ද? ”

‘‘ ඔයා දන්නවද ගිහාරා?  ඔයාව බේර ගත්ත එක මට ජීවිත කාලෙටම සතුටු වෙන්න පුළුවන් කාරණයක්”

‘‘ ඒක ලොකු පිනක් යශේන් ”

‘‘ කොහොමද පැටියා දඟලනව ද දැන්? ”

‘‘ හ්ම්. හොඳට දැනෙනවා”

‘‘ අපි හිතන දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ ගිහාරා.  හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල් තමයි සිද්ධවෙන්නේ. ”

‘‘ ඒක ඇත්ත යශේන්. හංසකයි මමයි වෙන් වෙයි කියලා  මම කවදාවත් හිතුවේ නෑ. අපි දෙන්න කසාද බැන්දේ දෙන්නගෙම කැමැත්තෙන් නෙවෙයි. ඒ වුණත් අපි දෙන්නා බොහොම සන්තෝසෙන් හිටියා. මෙච්චර  ඉක්මනට  වෙන් වෙන්න උනේ අපේ ඉරණම නිසා. අපි පහු ගිය ආත්මෙක මොකක් හරි ලොකු පාපකර්මයක් කරලා තියෙනවා. කුරුලු කූඩුවකට හරි ගල් ගහලා තියෙනවා. ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ. ”

‘‘ ඕවා ගැන හිතලා දුක් වෙන්න එපා ගිහාරා. මේ  පැටියාත් දුක වෙයි. ඒ නිසා සතුටින් ඉන්න”

 

————————————

 

කසාද  සහතිකයේ අත්සන් කරලා කසාද බඳින්න හරි ලේසි උනාට දික්කසාද වෙනවා කියන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. දික්කසාද නඩු ගොඩක් කාලයක් ඇදෙනවා. නඩු වාර තුනක්ම තිබිලා අන්තිමේදී හතරවෙනි නඩු වාරයට ගිහාරාට අනිවාර්යෙන්ම යන්න සිද්ධ වුණා. ගිහාරට ඒ වෙනකොට නව මාසයක් සම්පූර්ණ වෙලා තිබුණේ.

 

හංසක රට ඉඳලා නඩු වාරයට අනිවාර්යෙන් එන බව ආරංචි වුණාම ගිහාරා හිටියේ හරි වේදනාවෙන්. හංසකව දකින්න තියෙන ආසාව නිසාම එදාට උසාවි යන්න ගිහාරා හිත හදා ගත්තා.

හංසකගේ කේන්තිය අඩු වෙන්නේ නැහැ. හංසක මේ තරම් නපුරු වේවි කියලා ගිහාරා කවදාවත් හිතුවේ නැහැ. තීන්දුව අනිවාර්යෙන් ලැබෙන්නේ දික්කසාදය ස්ථිර වෙලා.  ගිහාරා ඒක දන්නවා. නව මාසයක් සම්පූර්ණ වුණු කුසත් උහුලගෙන ගිහාරා උසාවි භූමියට පය තිබ්බා.

සුදු පාට දිග ගවුමක් ඇඳල හිටපු ගිහාරා අද ගොඩක් පිංවන්ත පාටයි. මාස නවයක් තිස්සේ හිතේ  උහුලපු ගින්නත් එක්කම නිරෝගී දරුවෙක් ලෝකෙට බිහි කරන්න ගිහාරා හීන දැක්කා. ගැබිණි කාලේ ඇති ඇතිවෙන වේදනාවන් ගිහාරා තනියම උහුල ගත්තා. හංසක නැති අඩුව ගිහාරට ගොඩක් දැනුනා.

පෙර ආත්මෙක කරපු මොකක් හරි පාප පාපකර්මයක් මේ විදිහට ගෙවන්න වෙලා තියනවා කියලයි ගිහාරා හැමවෙලේම විශ්වාස කළේ. උසාවියට ගිහාරා ඇතුළු වුණේ  නැනී අම්මයි වර්ෂයි එක්ක. යශේන්ට උසාවි භූමියට එන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ . පැහැසර ඊයෙ කතා කරලා ගිහාරාගේ හිත ගොඩක් හැදුවා. පැහැසර තවමත් ඉන්නේ රට. ඒත් එක පාරක් ගිහාරාව  බලන්න පැහැසර ආවා.

‘‘ සුදු නංගි. මේ සිද්ධ වෙච්ච දේවල් මීට මාසෙකට කලින් මම දැනගෙන හිටියා නම් මං ගන්න තීරණය ගොඩක් වෙනස් වෙනවා. නංගි මගෙත් එක්ක වැඩ කරන girl කෙනෙක්ට මං වචනයක් දුන්නා. දැන් මට ඒක ආපහු වෙනස් කරන්න බැහැ ”

ගිහාරාව බලන්න ආව දවසේ පැහැසර එහෙම කිව්වා .

‘‘ඔයා මොනවද කියන්නෙ පැහැසර අයියේ. ඔයා මගේ අයියා. හැමදාටමත් අයියා. ”

‘‘ඔයා ඔහොම  දුක් විදිනවා මට බලන්න බැහැ නංගා. ඒත් මං අසරණයි. ”

‘‘ මට තේරෙනවා. ඒත් මට මේවා උහුලාගෙන ඉන්න පුළුවන්. ඔයා දන්නවනේ මගේ හිත හයියයි කියලා ”

‘‘ නංගා.. යශේන් ගැන මොකද කියන්නේ? ”

‘‘ යශේන් ගැන මට තියෙන්නෙ ඔයයි වර්ෂ අයියයි ගැන තියෙන හැඟීමම තමයි අයියේ. හංසකට තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. හංසක නැති අඩුව මෙයා පුරවයි. ”

ගිහාරා තමන්ගේ කුසට අත තිබ්බා.

‘‘ සුදු නෝනා. මහත්තයා ඉන්නවා. ”

ගිහාරාගෙ කල්පනාව බිඳුනෙ නැනී අම්මාගෙ කටහඬට. උසාවිය ඇතුළේ හංසක අසුන් ගෙන හිටියා. ගිහාරා වටපිට බයෙන් බල බල ඇවිත් වාඩි වුණා. නුහුරු නුපුරුදු පරිසරේක ගිහාරා හිටියේ හරිම අපහසුතාවයෙන්. ගැබිණි බව එක්කම තිබුණු හිතේ පීඩනය නිසා ගිහාරාට  දැනුනෙ ලොකු අපහසුතාවයක්. ඒ එක්කම උසාවියේ වැඩකටයුතු ආරම්භ කළා.  ගිහාරාට ඒ කතා කරපු කිසිම දෙයක් ඇහුණෙ නැහැ. එයා බලාගෙන හිටියේ පැමිණිලි පාර්ශවේ  පැත්තෙ ඉන්න හංසක දිහා.  කළු පාට ට්‍රවුසර්  එකට සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇඳලා ඉන්න හංසක ගෙන් දිස්වුනේ බොහොම වැදගත් පෙනුමක්. හංසක සැරෙන් සැරේ ගිහාරා දිහා බැලුවා. ගිහාරාගෙ ඇස් තමන් දිහාටම එල්ල වෙලා කියලා දැනෙද්දි කොල්ලට දැනුනෙ අපහසුතාවයක්.

වර්ෂ හිටියෙත් ගිහාරාගෙ පැත්තෙ. වර්ෂ හංසක එක්ක පුදුම තරහකින් හිටියේ. උසාවිය කියලා බලන් නැතුව හංසකට  කනේ පාරක් ගහන්න දඟලන හිත  වර්ෂ ඉවසගෙන හිටියෙ අසීරුවෙන්.

‘‘ නංගා… ඔයාට කූඩුවට කතා කරනවා. ”

වර්ෂ කියනකොට ගිහාරා ඇස් ලොකු කරලා වර්ෂ දිහා බැලුවා. හංසක දිහා බලාගෙන හිටපු නිසා ගිහාරාට නීතීඥ මහත්තයා කියපු දේ ඇහුණෙ නෑ .ගිහාරා  අපහසුවෙන් ඉදිමිච්ච කකුල් තිය තියා සාක්ෂි දෙන්න කූඩුවට නැග්ගා.

හංසකගෙ වෛරය පිරුණු ඇස් යොමු වෙලා තිබ්බෙ ගිහාරා දිහාවට. කූඩුවට නැගලත් ගිහාරා හංසක දිහා බලාගෙන හිටියේ පුදුම සතුටකින්. මෙහෙම හරි හංසක දැක ගන්න ලැබීම ගැන ගිහාරාට දැනුනේ කියාගන්න බැරි සැනසීමක්. ගිහාරාගෙ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා. හංසක ඉවත බලාගත්තා.  ඒත් හංසකත් නොදැනීම ආපහු ඒ ඇස් ගිහාරා දිහාට යොමු වුණා.

පැමිණිල්ලේ නීතිඥයා මොනවදෝ කියවනවා. ඒවට ගිහාරාගෙ නීතීඥ මහත්මයාත්  උත්තර දෙනවා. ඒත් ගිහාරාට  කිසි දෙයක් වැඩක් වුණේ නැහැ. දිව්රුම දුන්නෙත් හීනෙන් වගේ. විත්තියේ නීතිඥ මහත්මයා ගිහාරාගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ගිහාරා පුදුමවෙලා නීතිඥ මහත්තයා දිහා බැලුවා. ගිහාරාට ඒ ප්‍රශ්න ගැන වගක් තිබ්බෙ නෑ. හංසක පුදුම කරවමින් ගිහාරා කතා කරන්න පටන් ගත්තා.

‘‘ මං දික්කසාද වෙන්න කැමති නැහැ ගරු ස්වාමිණි. මං හංසකට ආදරෙයි. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ ”

ගිහාරා කිව්වෙ ප්‍රශ්නෙට අදාල පිළිතුර නෙවෙයි.

‘‘ මං විරුද්ධ වෙනවා ස්වාමිණී. දැන් හැමදේම සාක්ෂි ඇතිව ඔප්පු කරලා ඉවරයි. තවත් මේ ගැන අහන්න දෙයක් නැහැ ”

පැමිණිල්ලේ නීතිඥ මහත්මයා වහාම නැගී හිටියා. ඊළඟට ගිහාරාට විරුද්ධව ආයෙත් මුල ඉඳලා කතන්දර ඔක්කොම කියන්න පටන් ගත්තා. ගිහාරා ඒවා අහගෙන ඉද්දි ගිහාරාට දැනුනේ මුළු ඇඟම වෙව්ලනවා වගේ. ඒවා  ගිහාරාට දරාගන්න බැරිවුණා. හංසක ඇයි මෙහෙම ලෝකෙ ඉස්සරහා ලැජ්ජා කරන්නෙ.

පිටකොන්දේ ඉඳලා කැක්කුමක් ගලාගෙන එද්දි ගිහාරා සාක්ෂි කූඩුව තදින් අල්ල ගත්තා. හැමෝගෙම ඇස් යොමු වෙලා තිබ්බේ නොනවත්වා කතා කරන පැමිණිල්ලේ නීතිඥ මහත්තයා දිහාවට.

ඒත් හංසක ගෙ ඇස් එකඑල්ලේ යොමු වෙලා තිබ්බේ ගිහාරා දිහාවට. ගිහාරාගෙ මූණෙන් දාඩිය බේරෙනවා. ගිහාරා හිටියේ පුදුම වේදනාවකින්. ගිහාරාගේ ඇස් පියවීගෙන යනවා  හංසක දැක්කා. කොල්ලා එකපාරටම නැගිටලා එක තත්පරේට සාක්ෂි කූඩුවට ගොඩ වෙලා වැටෙන්න ගියපු ගිහාරාව අල්ලගත්තා. මුළු උසාවියම කලබල වුණේ සිදුවීම හිතාගන්න බැරුව.

‘‘ ගිහාරා ”

හංසක කෑ ගැහුවා. ගිහාරාගෙ ඇස් පියවිලා. විනිසුරුවරිතුමියත්  නැගිට්ටෙ කලබලයෙන්.

‘‘ ඉක්මණට හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න. ”

විනිසුරුතුමියත් කෑගැහුවා. මවක් විදිහට මේ වගේ මොහොතක දැනෙන දේ විනිසුරුතුමිය දන්නවා. හංස වර්ෂගෙ උදව්ව ඇතිව ගිහාරාව එලියට අරගෙන ආවා. මේ දික්කසාද නඩුව මෙතනින් ඉවර වෙනවා කියලා විනිසුරුතුමියට නිකමට වගේ හිතුණා. මොකද අච්චර චෝදනා කරපු පැමිණිලිකාරයා ඒ විදිහට කලබල වෙන්න හේතුව එයාටත් තමන්ගේ බිරිඳව අමතක කරන්න බැරි නිසා කියලයි විනිසුරුතුමිය හිතුවේ.

‘‘ වර්ෂයා. ඉක්මන් කරපන්  ”

හංසක  කෑගැහැවෙ කාර් එකෙ පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන ගිහාරාගේ ඔලුව අත ගාන ගමන්. තමන්ගෙ හිතේ සිද්ද වුණු විපර්යාසෙ හංසකටත් හිතා ගන්න බෑ. වර්ෂ තරහ හින්දම කට පියාගෙන හිටියා. ඒත් වෙච්ච දේ ගැන වර්ෂකගෙ හිතේ හීනි සතුටක් තිබුණා. ගිහාරා ඇස් ඇරියා. කොන්දේ වේදනාව දරන්න බැහැ.

‘‘ අහ්.. ”

ගිහාරා කෙඳිරි ගෑවා.

‘‘ගිහාරා… ඔයාට අමාරුද ? ”

හංසක ඇහැවෙ  බොහොම කලබලෙන්. තමන්ව තුරුළු කරගෙන ඉන්න හංසකව දැක්කම ගිහාරාට දැනුනේ පුදුම තරම් සතුටක්. හංසක ගිහාරාට වෛර කළාට ගිහාරා කවදාවත් හංසක  එක්ක තරහා වුණේ නෑ.

 

‘‘හංසක… ඔ…ඔයා  ඇ..ත්තටම  ඔතන ඉන්නවද ? ”

 

ගිහාරා අමාරුවෙන් කෙඳිරි ගගා අහනවා.

 

‘‘ ඉන්නවා රත්තරන් ඉන්නවා  ”

 

‘‘ හංසක ඔයා මට ආදරෙයි නේද”

‘‘ ඔව් පැටියෝ. ආදරෙයි ගොඩක් ආදරෙයි”

‘‘ හංස…ක… මගේ කොන්ද රිදෙනවා ”

‘‘ අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු. බයවෙන්න එපා.  මං ඉන්නවනේ ”

‘‘ඔයා.. ඔයා.. ඇයි මට එහෙම කලේ.. මට ලැජ්ජා කළේ… මං ඔයාගෙ විතරයි හංසක ”

ගිහාරාගෙ ඇස්වලින් කඳුළු බේරෙනවා. කොල්ලට ඒවට දෙන්න උත්තර නෑ.

‘‘මේ ඔයාගෙ ලේ හංසක. ඔයාගෙ පුතා ”

ගිහාරා ඇස් පියාගෙන මහන්සි ඇරියා.

‘‘ මැණික. ඇස් අරින්න”

ගිහාරා ඇස් ඇරියා.

‘‘හංසක.. මට මොනවා හරි උනොත් අපෙ බබාව ”

හංසක ගිහාරාගේ කට අතින් වැහැවා.

‘‘ ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ඔයාට කිසි දෙයක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ ”

ගිහාරා ඒ අත ඈත් කළා.

‘‘හංසක ඔයාට විශ්වාස නෑ අපේ බබා ගැන. ඔයා ඩීඑන්ඒ චෙක් කරන්න.. අපෙ බබා පව්”

‘‘රත්තරන්..  ඒ අපේ බබා. මට විශ්වාසයි”

‘‘ඔයා මාව දාලා ගියා හංසක  ”

ගිහාරා හංසකගෙ ගෙලේ එල්ලුනා. හංසක ඒ නළල් තලය තදින් සිප ගත්තා.

‘‘ හංසක. මගේ වෝටර් බෑග් එක කැඩිලා. මට දැ…නෙනවා ඒක.  ”

‘‘ ඒ …මොකක්ද ? ”

පිටිපස්සේ ඉන්න දෙන්නගෙ දෙබස වර්ෂට ඇහෙනවා .

‘‘ ගොන් බූරුවා.. උඹ කසාද බැන්දට දන්නේ නැද්ද වෝටර් බෑග් එක කියන්නේ මොකක්ද කියලා. ”

වර්ෂට නිකම්ම කෑගැහුණා.

‘‘වර්ෂයා.. ඉක්මන් කරපන් බං”

වර්ෂ ඒ අස්සෙ ගූගල් මැප් එකේ බලනවා ට්‍රැෆික් තියෙන තැන. වර්ෂ කලබලෙන්ම යශේන්ට  කෝල් එකක් ගත්තා.

‘‘ යශේන්…උඹ ඉන්නෙ කොහෙද? ”

‘‘…….”

‘‘ ගිහාරාට අමාරු වුණා. හොඳටම අමාරුයි. මේ හෝසපිට්ල් ඇඩ්මිට් කරන්න යන ගමන්. ළගම තියෙන්නෙ ජෙනරල් හොස්පිට්ල් එක ”

‘‘…”

‘‘ මචං…හොස්පිට්ල් එකට යන අතුරු පාරේ full traffic. උඹෙ මැර බලය යොදවලා මොකක් හරි කරපන්.. මං  දැන් ලොකේෂන් එක උඹෙ ෆෝන් එකට send කරන්නම්. දැන් අපි ට්‍රැෆික් එකේ  ”

‘‘ …. ”

ට්‍රැෆික් එකේ ඉන්න අතරේ වර්ෂ ලොකේෂන් එක යශේන්ට යැව්වා. යශේන් ඒ එක්කම ක්‍රියාත්මක  වුණා. හොස්පිට්ල්  එකට යන අතුරු පාරට කට්ටිය එක්ක ගිය යශේන් ඒකට වාහන ඇතුලු  වෙන එක විනාඩි පහකට නැවැත්තුවා.

‘‘ හංසක මට පොරොන්දු  වෙන්න.. අපෙ බබාට වෙනස් කම් කරන් නෑ කියලා.. ”

ගිහාරා අමාරුවෙන්  කියවන දේවල් වලට හංසකගෙ ඇස් වලට කදුළු ආවා.

‘‘ ඔයා දන්නවද හංසක…මට ආස හිතුණා දවසක් අපි දෙන්නා කාපු ලස්සන හොටෙල් එකේ තිබ්බ අඹ මාළුව ආපහු කන්න. ඒත් ඔයා නැතුව මං කොහොමද ඒකට යන්නේ. ”

ගිහාරා අමාරුවෙන් හිතේ තිබ්බ ඔක්කොම කියලා දැම්මෙ තමන්ගේ ජීවිතය ගැන ගිහාරාට ඇත්තටම  බයක් දැනුන නිසා.

‘‘ දැන් මට දුක නැහැ. මගේ පුතාගේ අප්පච්චි ඉන්නවා..  හංසක එයාට නම තියන්න ගිහංස කියලා.. අපි දෙන්නගෙම නම් වල කෑලි තියෙනවා”

හංසකගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. මේ කියන ඒවාට දෙන්න උත්තර හංසක ළග නැහැ. හංසක ගිහාරාගේ අත ඇරගෙන දැඩිව සිප ගත්තා.

‘‘ මගේ රත්තරන්. දැන් දුක හිතෙන ඒවා කියන්න එපා. ”

‘‘හංසක..  ඔයා එයාට සැර කරන්න එපා.. දුක හිතෙයි. පව්නෙ. පොරොන්දු වෙන්න ආදරේ කරනවා කියලා..හිත රිද්දන් නෑ කියලා. මාව වගේ එයාව දාලා යන්නෙ නෑ කියලා. ”

‘‘ පොරොන්දු වෙනවා  රත්තරං.. මං ආදරෙයි කියලා. ”

‘‘ ඔයා තරහා ගන්න එපා. ”

‘‘ ඔයාට මොකුත් වෙන් නෑ.. ඔයාට මොනවා හරි  වුණොත් මං ජිවත් වෙන්නෙත් නෑ.. ”

‘‘ හං..හංසක..රිදෙනවා. ”

ගිහාරා හංසකගෙ අත දැඩිව අල්ලගෙන බාහුවක් තදින් හැපුවෙ වේදනාව හින්දමයි. හංසක දරාගත්තෙ ගිහාරා ඉන්න තත්වෙ ගැන ගොඩක් බයෙන්. සුදු පාට සාරිය පෙගීගෙන රුධිර දහරාවක් ගලන් යද්දි හංසකටත් දැනුනෙ කලන්තෙ දාන්න වගේ.. කොල්ලා දන්න කියන හැම දෙයියෙක්ම මතක් කරගෙන ගිහාරාව තුරුළු කරගත්තා.

කොහොමහරි ප්‍රධාන පාරේ ට්‍රැෆික් එකෙන්  මග ඇරලා  වර්ෂ  අතුරු පාරට කාර් එක  හරවා ගත්තා.. යශේන්  නිසා ඒ පාරෙන් ඉක්මනට හොස්පිට්ල් එකට යන්න පුළුවන් වුණා. ගෙනියපු ගමන්ම ගිහාරාව තියටර් එකට දැම්මා. තියටර්  එක ළඟ  එළියෙ  පුටුවක වර්ෂ ඉඳගෙන හිටියා. ඒත් හංසකට එක තැනක ඉඳගෙන ඉන්න බැහැ. කොල්ලා එහෙට යනවා…  මෙහෙට යනවා… දහඩිය පිහිනවා…  තියටර් එකේ දොර දිහාට හැරෙනවා. ආයෙත් නවතිනවා

‘‘ වර්ෂ‍යා… උඹ මාත් එක්ක තරහද? ”

ඇත්තටම වර්ෂ බංකුවට වෙලා ඉඳගෙන හිටියේ තරහින් තමා.

‘‘  වර්ෂයා ”

‘‘උඹෙයි මගෙයි යාළුකම් ඉවරයි හංසක. හැබැයි අර කෙල්ලට මොනවා හරි උනොත් ඒ සේරටම වග කියන්න ඕනේ උඹ විතරමයි. හොඳට මතක තියාගන්නවා”

වර්ෂ කඩං පනිද්දි හංසක බිම බැලුවා.

‘‘ උඹ දන්නවද? ඒ කෙල්ල උහුලගෙන හිටපු දුක් ගින්න කොච්චරද කියලා.  දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ළඟ අනිවාර්යෙන් ඒ දරුවාගේ තාත්තා ඉන්න ඕනේ.  ඒ උනත් ඒකි එක්ක ඉන්න ඕනම මොහොතේ උඹ හිටියේ නැහැ. ”

‘‘ මචං.  මං කේන්තියෙන් හිටියේ. ”

‘‘ උඹේ කුකුල් කේන්තිය නිසා ඒ වෙච්ච දේවල් මදිද ? ටිකක් හිතපං. යශේන් හිටියේ නැත්තන් අපිට මේ වෙනකොටත් හොස්පිට්ල් එකට එන්න ලැබෙන්නේ නැහැ. යශේන් ගිහාරාට උදව් කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. උඹට වැඩිය ඌ ගිහාරාට ආදරෙයි. ඒක තමයි ඇත්ත. අනුන්ගෙ දරුවෙක් බව දැන දැනත් ඒ දරුවා රැකගන්න උදව් කළා. ”

හංසකගෙ පපුව ගැහෙන්න වේගෙ තවත් වැඩි වුණා.

‘‘ ඒත් උඹ දන්නවද? ගිහාරා කවදාවත් යශේන් ගැන  හිතුවේ නැහැ. අඩුම තරමින් යශේන් වැරදි අදහසකින් ගිහාරාගේ අතකින්වත් අල්ලලා නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඒත් උඹ ? යශේන් මැරයෙක් උනාට ඌ හිත හොඳ එකා. උඹ මහා ලොකු බිස්නස්කාරයා. වතුපිටි දේපළ එමට.  ඒත් උඹෙ හිත හොඳ නෑ. උඹ ගිහාරාව කසාද බැන්දෙ නැත්නම් ඒ කෙල්ලට  වෙන හොඳ කොල්ලෙක් කසාද බැදගෙන සතුටින් ඉන්න තිබුණා.  ”

හංසකට ඇත්ත තේරුම් කරන්න මීට වඩා අවස්ථාවක් නොලැබෙන බව දන්න නිසාම වර්ෂ හිතේ තියෙන හැම දෙයක්ම කියලා දැම්මා. හංසක ළග තිබුණු පුටුවෙ ඉඳගත්තා  නෙවෙයි, පුටුවට  කඩාගෙන වැටුනා කිව්වොත් නිවැරදියි. හංසකගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙනවා

‘‘ මං මේ මොකක්ද කළේ බං. මොකක්ද කළේ ? ”

හංසක ඔළුව අල්ලගෙන ඇස් පියාගන්න කොටම එතෙන්න  නැනී අම්මා යශේන් එක්ක ආවා. කලබලේට  නැනී  අම්මව එක්කරගෙන එන්න වර්ෂට මතක් වුණෙත් නැහැ.  නැනී අම්මාගෙ බබාගේයි අම්මාගෙයි දෙන්නගෙම ඇඳුම් බෑග්  ඇරගෙන ඇවිත් හිටියේ.

‘‘ මහත්තයා.. දෙයියන්ගෙ පිහිටෙන් නෝනෙට කරදරයක් වෙන එකක් නෑ. ”

හංසක ඇස් ඇරියා. යශේන් දැක්කහම හංසකට  දැනුනේ පුදුම තරම් ලැජ්ජාවක්. ඒ එක්කම තියටර් එකේ ඉඳලා  ලේඩි ඩොක්ටර් කෙනෙක් එළියට ආවා. හංසක කලබලෙන් නැගිටලා ඩොක්ටර්ව  නතර කළා.

‘‘ ඩොක්ටර්.. කොහොමද මගේ නෝනාට”

‘‘ දැන්ම  මොකුත් කියන්න බෑ.නෝනට ටිකක් අමාරුයි. වෝටර් බෑග් එක කැඩිලා නිසා පෙකනි වැල බබාගේ බෙල්ල එතිලා. normal delivery එකකට යන්න අමාරුයි. සීසර් එකක් කරන්න වෙනවා  ”

‘‘ අනේ ඩොක්ටර් ”

‘‘ බයවෙන්න එපා. අපි පුළුවන් උපරිමයෙන්ම   උත්සාහ කරනවා ”.

දොස්තර නෝනා ඉක්මනට එතනින් ඉවත් වුණා. යශේන් හංසකගෙ  උරහිසට අත තිබ්බා.

‘‘ බයවෙන්න එපා මචං. ගිහාරාට කිසි දෙයක් වෙන්නේ නැහැ  ”

‘‘යශේන්.. මට සමාවෙයන් ”

හංසක යශේන්ව තදින් වැළඳ ගත්තා. වර්ෂ හංසකගෙ පිටට තට්ටු කළා.

‘‘හංසක… මචං වාඩි වෙමු. මට කියන්න දෙයක් තියෙනවා. සමහරවිට මට ආයෙ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ”

යශේන් කිව්වම හංසක වගේම වර්ෂත් එතන වාඩි වුණා.

‘‘හංසක… උඹට මතකද මීට අවුරුද්දකට විතර කලින් උඹ ගිහාරා එක්ක යද්දි මූණ පුරාම රැවුල වැවුණු මිනිහෙක් වෙඩි වැදිලා පාරේ වැටිලා හිටියා.ගිහාරා ඒ මනුස්සයව බේරගන්න හොස්පිට්ල් අරං යන්න උඹත් එක්ක රණ්ඩු කළා”

හංසකට ඒ අතීත සිදුවීම් ක්ෂණිකව මතක් උනා.

‘‘ ඒ හිටියේ මම තමයි ”

හංසකට දැන් තමා ඒ මූණ, හැඩහුරුකම මතක් උනේ. දැන් රැවුල වවලා නැති නිසා යශේන් ගොඩක් වෙනස්.

‘‘ ආතක් පාතක් නැති මම පාරෙ වැටිල ඉද්දි කවුරුවත් මගේ දිහා බැලුවේ නැහැ. ඒත් දේවතාවියක් වගේ ගිහාරා තමා මගේ උදව්වට ආවේ. මට ගිහාරාව අමතක කරන්න බැරි වුණා.  මං එයාව හොය හොයා හිටියේ. ඒත් හිතුවෙ නැති විදිහට ගිහාරාව මට හම්බවුණා. ඒ ෆොටෝ එකකින්. ගිහාරාගෙ  ෆොටෝ එකක් මගේ අතට ආවා. හැබැයි ඒ ආවේ හොඳ දෙයකට නෙමෙයි ”

එතන ඉඳලා යශේන් සිද්ධ වෙච්ච හැමදේම කියද්දී හංසකට තේරුණා අමායා මොනතරම් වැරැද්දක්ද කරල තියෙන්නෙ කියලා. අනිත් අතට  තමන්ගෙත් වරදක් තියෙනවා කියලා හංසක කල්පනා කළේ ගිහාරාව විශ්වාස නොකරපු හින්දා.

කුටුම්භයක ජීවය රැඳිලා තියෙන්නෙ විශ්වාසය මත.  විශ්වාසය කියන හුස්ම පොද කුටුම්භය ජීවත් කරවනවා. විශ්වාසය බිඳුනු දවසට ඒ හුස්ම පොද  නැතිවෙලා කුටුම්භය  පණ අදිනවා. විනාඩි හතළිස් පහකට විතර පස්සෙ තියටර් එකෙන් ඩොක්ටර් එළියට ආවා.

‘‘ ඩොක්ටර්. මගෙ නෝනාට කොහොමද? ”

‘‘ බබා නම් සනීපෙන් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒත් වයිෆ්ට ගොඩක් බ්ලීඩ් වෙලා තියෙන්නේ . හොඳටම දුර්වල වෙලා. ප්‍රශ්ණෙකට තියෙන්නේ  අපේ blood bank එකේ මේ වෙනකොට ඒ blood group එක නැති එක. ඔයාලා පුළුවන් තරම් ඉක්මණට blood හොයා ගන්න ට්‍රයි කළා නම් ගොඩක් හොඳයි  ”

‘‘ මං දෙන්නම් doctor  ”

හංසක  ක්ෂණිකව කිව්වා.

‘‘ ඕනේ ඕ පොසිටිව් ”

‘‘ Oh god… මගේ තියෙන්නෙ බී පොසිටිව් ”

‘‘ මං දෙන්නම්. මං ඕ පොසිටිව් ”

යශේන් ඉදිරිපත් වුණා. ඒ ගමන්ම doctor යශේන්ව ඇතුලට එක්කගෙන ගියා. සෑහෙන වෙලාවකට පස්සෙ යශේන්  එළියට ආවා

‘‘ යශේන්..මට වචන නැහැ කියන්න”

හංසක යශේන්ට ළං වුණා.

‘‘ දැන් ඒවා හිතන්න එපා. මං දැන් යන්න ඕනේ. භාරගත්ත වැඩක් තියෙනවා ”

යශේන් හංසකගෙ පිටට තට්ටුකරලා වර්ෂගෙනුත් සමු අරගෙන එලියට ගියා. යශේන් යන දිහා හංසක බලන් හිටියෙ පුදුමාකාර හැඟීමකින්. යශේන් අපූරු පුද්ගලයෙක් කියලා හංසක ඒ මොහොතේ හිතුවා. වර්ෂ කිව්වේ ඇත්ත කියලත් ඒ එක්කම කොල්ලාට තේරුණා. තමන් කරපු වැරැද්ද ගැන හංසක  පසු තැවුනා.

උසාවියේදී සිද්ධිය වෙච්ච සිදුවීම ගැන දැනගත්ත තාරි හිටියේ හිතේ පුදුම නොසන්සුන් කමකින්. හංසක ඒ විදියට හැසිරුණා කියන්නේ අනිවාර්යෙන් ඒ දෙන්නා එකතු වෙනවා කියන එක. තාරිට දැන් තමයි තේරෙන්නේ හංසක තමන්ව මැරි කරන්න කැමතියි කිව්වෙ ඇයි කියලා. තාරි  හැමදේම දැනගෙන හොස්පිට්ල් එකට ගියේ හංසක එතනින් එක්කරගෙන එන්න බලාගෙන. තාරි යනකොට වර්ෂ හංසක එක්ක කතා කර කර හිටියා.

‘‘ මචං. අර වහන්තරාව  මේ පැත්තට එනවා ”

වර්ෂ කිව්වේ ඈතින් එන තාරිව දකිද්දී. හංසක අහක බැලුවේ වර්ෂගෙ මූණ බලන්න බැරුව. වර්ෂ රවනවා එකසිය ගානට. තාරි ලැසි ගමනෙන් හංසක  ළඟට ආවා.

‘‘ මචං මං පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම්. ”

වර්ෂ ඉක්මණට එතනින් මාරු උනා. නැනී අම්මාත් පැත්තකට වුණා.

‘‘ හංසක.. මොනවද  ඔයා මෙතන  කරන්නෙ..මං දැන ගත්ත ගමන්මයි ආවෙ. මට අද ෆොටෝ ශූට් එකක් තිබ්බා. ඒක නිසයි මම කෝට් එකට ආවේ නැත්තේ. ඩිවෝස් එක ලැබුන නේද ? ”

‘‘තාරිකා… මං ඔයාව මීට් වෙන්න එන්නම්. දැන් ඔයා  මෙතනින් යන්න  ”

හංසක කෝපය පාලනය කරගෙන කිව්වා.

‘‘ හංසක… මොකටද ඔයා මෙතන ඉන්නේ ඩිවෝස් වෙනවා නම්. ඔයා මෙතන ඉන්න එක තේරුමක් නැහැනේ  ”

‘‘ තාරිකා… මං දැන්මම කියන්නම්. ඇත්තටම සොරි මං ඔයාට බලාපොරොත්තුවක් දුන්නා. ඒත් මට ඔයාව මැරි කරන්න බැහැ. මං ගිහාරාව ඩිවෝස් කරන්නේ නැහැ ”

‘‘ මොනවද හංසක ඔයා කියවන්නේ. ඔයා හිතෙන හිතෙන වෙලාවට මාව මැරි කරන්නයි, ආයෙ වෙලාවකට බෑ කියන්නයි… මොකක්ද මේකෙ තේරුම.. ඔයා මගේ ජීවිතේ එක්ක මොකද්ද මේ කරන සෙල්ලම  ”

තාරිකා මේක ඉස්පිරිතාලයක් කියලා බලන්නෙත් නැතිව කෑ ගැහැවා.

‘‘ තාරිකා… කියන දේ තේරුම් ගන්න ”

‘‘ මං මීඩියා වලටත් අපේ මැරේජ්  එක ගැන කියලා තියෙන්නේ. මං කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ ”

‘‘ තාරි.. ප්ලීස්…  ඔයා යන්න. මං පස්සේ ඔයාව මීට් වෙන්න එන්නම්. ”

‘‘ ඒත් හංසක ”

හංසක දබර ඇගිල්ල උස්සලා තාරිකාගේ මූණට දිග්කළා.

‘‘ තාරි… මගෙ යකා අවුස්සන් නැතිව යනවද? නැද්ද? තමුසෙ දැන් ගියෙ නැත්නම් ඊළග  ෆැෂන් ශෝ එකට එකියක් හොයා ගන්න කියනවා. මොකද තව ටිකකින් තමුසෙගෙ මූණ කට සමතලා කරලා  අර පේන ඇඳකට දානවා මං. ”

හංසක දත්මිටි කාගෙන කියද්දි තාරිකා මේකප් පුරවගෙන තිබ්බ මූණ ගැස්සුවා. තාරිකා ගස්සගෙන යන හැටි වර්ෂ ඈතින් ඉඳලා බලාගෙන හිටියා. වර්ෂ  හිමීට හංසක ලඟට ආවා.

‘‘ වර්ෂ… මට බබා බලන්න ආසයි ”

‘‘ ඉස්සෙල්ලා නර්ස් කිව්වනේ baby room දාලා කියලා. එයාලා  පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවෙම අපිට  බබා බලන්න දේවි. ”

‘‘ මහත්තයා බයවෙන්න එපා. දෙයියන්ගෙ පිහිටෙන් සුදු නෝනෙ ඉක්මණට ඇස් අරියි. මහත්තයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. බබාව මං බලා ගන්නම්. නීලත් ඉන්නවනෙ උදව්වට. අපි සුදු නෝනෙට කරදර නොකර බබාව බලා ගමු. ”

නැනී අම්මා කියද්දි හංසක නැනී අම්මා දිහා බැලුවා. ඒ වියපත් මූණෙ ඇදිලා තිබ්බෙ  කරුණාබර හැගීම්.  දොස්තර නෝනා එතෙන්න ඇවිත් කියපු දෙයින් තුන්දෙනාගෙම මූණු වල සැනසීමේ ලකුණු උදා වුණා.

‘‘වයිෆ්ට දැන් හොඳයි. ඒත් තවම සිහිය හරියට ඇවිත් නෑ. අවධානම් තත්වෙන් මිදිලා ඉන්නෙ. දැන් ඔයාලා මෙතනින් යන්න. තව පැය දෙකකින් විතර ආපහු එන්න..එතකොට හවස පහට ලෙඩ්ඩු බලන වෙලාව.  ඒ වෙලාවට ඔයාලට බබා  බලන්න පුළුවන් වෙයි. ”

‘‘ගොඩාක් පින් ඩොක්ටර්. ”

‘‘ මේ අපෙ ඩියුටි එක. ”

හංසක ඇස් දෙක තද කර ගත්තේ සැනසීමෙන්. වර්ෂගෙ  කටේ බලය හින්දා හංසක ඉස්පිරිතාලෙන් එළියට ආවා. ඒත් කොල්ලා ඉස්පිරිතාලෙ පේන තෙක් මානෙන් ඉවතට යන්න කැමැති වුණේ නැහැ.

හවස ලෙඩ්ඩු බලන වෙලාවට  බබාව බලන්න හංසකට පුළුවන් වුණා. ගිහාරා තාමත් වෝඩ් එකට දාලා තිබුණෙ නෑ.

නිල් පාට පැනල් එකකින් ඔතපු සුදුම සුදු පුළුන් හා පැටියෙක් වගේ  චූටි බබා දකිනකොට හංසකගෙ ඇස්වලට කඳුළු පිරුණා. හංසකගෙ පොඩි කාලේ ෆොටෝ එක ඒ විදිහමයි.  කිසිම වෙනසක් නැහැ. ගිහාරාව බලන්න ලැබුණෙ නැති නිසා හංසක හිටියෙ නොසන්සුන්ව. ඒත් පහුවදා උදේ වෙනකල් ඉවසන්න කොල්ලට සිද්ද වුණා. ඒ රැය තමා හංසක ගෙව්ව අමාරුම රැය. ඒ රැය පුරාම හංසක කාමරේ පුටුව උඩට වෙලා කල්පනා කර කර හිටියා. ජීවිතේ අද කොයි දිසාකවට ඇවිත්ද?

උදේ පාන්දරම හංසක හොස්පිට්ල් එකට ආවෙ තනියම. ලෙඩ්ඩු බලන්න දෙන්නෙ පහමාරට. ඒත් හංසක හතර හමාරෙ ඉඳලා ගේට් එක ළග. කොල්ලගෙ නොසන්සුන් බව දැක්කම සිකුරුටි අයියාටත්  පුදුම හිතුණා. උදේම බබාව වගේම ගිහාරාවත් බලන්න හංසකට පුළුවන් වුණා. ඒ වෙනකොට ගිහාරා හොඳින් හිටපු නිසා බබාවත් එයා ළගට ගෙනත් තියලා තිබ්බේ. ගිහාරාගෙ මූණෙ තිබ්බෙ වෙහෙසක්.

හංසක ළගට ආවාම ගිහාරා ඇස් ඉස්සුවා. ඒ  දෑස් කාලෙකට පස්සෙ ආදරණීයව ගැටුණා.

‘‘ හංසක ”

හංසක නින්දෙන් කිරි සිනා පාන  බබාගෙ චූටි අතක් සිපගෙන තවමත් ඇදේ හාන්සි වෙලා වෙහෙස නිවන ගිහාරාගෙ නළල් තලේ සිපගත්තා.

‘‘ ගිහාරා… සමාව ඉල්ලන්න මං සුදුසු නෑ. ඒත් මේ පව්කාරයට එක පාරක් අවස්ථාවක් දෙන්න. ”

ගිහාරා ලස්සනට හිනා වෙලා ඇස් දෙක පියා ගත්තා.

——————————–

බබා ගෙදර ගේන්න කලින් නැනී අම්මාට වැඩ ගොඩයි.  මුළු ගේම අස්කරලා අලුතෙන් පේන්ට් කෙරෙව්වා. බබාව ගෙනාවට පස්සෙ  බලා ගත්තෙ නෑනී අම්මා. උදව්වට නීලත් හිටියා. සීසර් සැත්කමක් කරපු නිසා ගිහාරාට විවේකෙන් ඉන්න අවස්ථාව සලසලා දුන්නා.

‘‘ වර්ෂ අයියේ. යශේන් කොයි. ඇයි මාව බලන්න ආවෙ නැත්තෙ. අඩුම තරමේ බබාවත්. එයා කොච්චර ආසාවෙන්ද හිටියෙ  බබා හම්බ වෙනකල් ”

වර්ෂ ආපු වෙලාවක ගිහාරා ඇහැවෙ මෙච්චර දවසක් හිතේ තිබ්බ බරපතළම ප්‍රශ්නය.හංසකගෙන් ඒ ගැන අහන්න ගිහාරා බය වුණා. මොකද හංසක මොන වගේ අදහසක් යශේන් ගැන  දරයිද කියලා තාම ගිහාරාට හිතාගන්න බැහැ. හංසක  යශේන්  ගැන කිසිම දෙයක් ගිහාරා එක්ක මේ වෙනකල් කතා කලේ නැහැ . ගිහාරා හංසක ඉන්න තැනම තමයි වර්ෂගෙන් මේ ගැන ඇහැවේ. වර්ෂ අහක බැලුවේ යශේන් ගැන ගිහාරාට  කියන්න බැරුව. අනිවාර්යෙන් ගිහාරා දුක් වෙනවා.

‘‘ වර්ෂ අයියේ. ඇයි උත්තරයක් දෙන්නෙ නැත්තෙ ”

‘‘ නංගි මං ඒක ඔයාට කියන්නම තමා හිටියේ. ඒත්. ඔයා හිටපු තත්වෙත් එක්ක ඒ ගැන කියන්න බැරි වුණා”

‘‘ මොකක්ද වෙලා තියෙන්නේ?  ඇයි යශේන් එන්නේ නැත්තේ ”

‘‘ යශේන් ආපහු එන්න බැරි ලොකු දුරක් ගිහින් තියෙන්නෙ නංගී. එයා කවදාවත් ආපහු එන්නේ නැහැ ”

ගිහාරාගේ ඇස් විමතියෙන් විසල් වුණේ ඒක විශ්වාස කරන්න බැරුව ගිහාරා  වර්ෂගෙ ළගට ඇවිත් වර්ෂගෙ ෂර්ට් කොලර් එකේ එල්ලුණා.

‘‘ වර්ෂ අයියේ. මොනවද ඔයා මේ කියවන්නේ. කෝ යශේන් ”

‘‘ නංගී එදා යශේන් ඔයාව බලන්න හොස්පිට්ල් එකට එනකොට එයාගෙ හතුරෙක් එයාට වෙඩි තියලා. පාතාලේ ඔය  වගේ දේවල් සාමාන්‍යයයි. ඇත්තටම යශේන්ගෙ ගැන්සියේ තුන් හතර දෙනෙක්ටම වෙඩි වැදිලා තියෙනවා. යශේන් තනියම  නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් යශේන්ටත් කරගන්න දෙයක් නැති වෙලා. හිතපු නැති විදිහට තමයි ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ.මේ ගැන නිව්ස් වලත් ගියා. ඒත් ඔයා ඒවා බැලුවේ නැහැනේ.  ඒ නිසා ඔයාට ආරංචි වුණේ නැහැ. අපි ඒ ගැන  කිව්වෙත් නැත්තෙ ඔයා අප්සට් වෙයි කියලා. හංසකත්  මේවා ඔක්කොම දැනගෙන හිටියා”

ගිහාරාගෙ ඇස් වලින්  කඳුළු ගලා යන්න පටන් ගත්තා. ගිහාරාට මේක විශ්වාස කරන්නත් බැරි තරම්.

‘‘අනේ වර්ෂ අයියේ. ඇයි ඔයා මට කිව්වේ වත් නැත්තේ. එයාගේ මිනිය බලන්නවත් මාව එක්කගෙන ගිය නැත්තෙ? දන්නවද? මේ දරුවාගේ තාත්තා හංසක  වුණාට දරුවා වෙනුවෙන් හැම යුතුකමක්ම ඉෂ්ට කළේ යශේන්. එයා මැරයෙක් උනත් එයාගේ හිත හොඳයි. වැරදි පාරක ගියාට  එයාට තිබ්බේ පුදුම මනුස්සකමක්. මං දිහා වැරදි ඇහැකින් බලලා නැහැ එයා. මුලදිම හරි පාරට ආවා නම් එයා  අදත් හොඳට සමාජෙ වැදගත් විදිහට ජීවත් වෙනවා. ”

එච්චර වෙලා නිහඬව හැමදේම අහගෙන හිටපු හංසක ගිහාරා ළඟට ඇවිල්ලා ඔළුව අත ගාන්න පටන් ගත්තා.

‘‘ ගිහාරා දැන් දුක් වෙන්න එපා. ඔයාගෙ ජීවිතේ බේරගත්තේ යශේන්. ඒ වගේම  ඔයාව සීසර් කළාට පස්සේ ඔයාට ගොඩක් බ්ලීඩ් වෙලා තිබ්බා. යශේන් තමයි ඔයාට බ්ලඩ් දුන්නෙ. අපි කාගෙවත් blood group ඔයාට ගැළපුණේ නැහැ. ”

හංසක  කියද්දී ගිහාරා හංසකගෙ පුපුවෙ ඔළුව තියාගත්තා. ගිහාරාගෙ කඳුළු දකිද්දී හංසකටත් සෑහෙන්න කණගාටුයි.

‘‘ නංගා. යශේන් ගෙනාපු ආයුෂ එච්චරයි. දැන් ඒ ගැන හිතලා දුක් වෙලා වැඩක් නැහැ. අපි යශේන් වෙනුවෙන් කරන්න ඕනේ පින්කම් වැඩ කරමු. ”

 

—————————————

‘‘ හංසක. ඔයා තාරිට  තේරුම් කළාද මේ හැමදේම ”

හංසක ඔෆිස් යන්න ලෑස්ති වෙද්දි ළඟට ආව ගිහාරා ඇහැවා.

‘‘ ඔව්.. තාරිකා තේරුම් ගත්තා. කොහොමත් එයාගෙ වෙන එෆෙයාර් එකක් තිබ්බා drama director කෙනෙක් එක්ක.  එයා හිතන් හිටියේ මං ඒවා දන්නේ නැහැ කියලා. ඒ නිසා එයා ගැන අපි දුක් වෙන්න ඕනෙ  නැහැ”

‘‘ ඒත් හංසක අපිට කරන්න තව යුතුකමක් තියෙනවා. අමායා ආන්ටිට අපි උදව් කරන්න ඕන එයා මේ වෙලාවේ අසරණ වෙලා ඇත්තෙ”

‘‘ඔයාට පිස්සුද ගිහාරා.  ඒක කරන්න බැහැ. ”

‘‘ ඇයි බැරි.. ”

‘‘ ඒ ගෑණි ඔහෙ විඳවපුදෙන්. ”

‘‘  එත් හංසක.. හිතන්න. අපිට අපි හිමිවුනේ එයා නිසා.. අපිට මුණ ගැස්සුවේ එයා.”

කොහොමහරි ගිහාරාගෙ  වදෙන් බේරෙන්න බැරි කමට හංසක අමායාට උදව් කලා. ඒ නිසා දඩුවම ලිහිල් කරගන්න පුලුවන්  වුණා. අන්තිමේදි  ගිහාරා නිරේශ්ටත් කතා කරලා කරලා අමායාට සමාව අරගෙන දුන්නා. ගිහාරා බන්ධනාගාරෙට ගියාම අමායා ඇඩුවෙ ගිහාරගෙ දෙපාමුල වැටිලා. කල අකුසල කර්ම මේ ආත්මෙදිම අමායාට පඩිසන් දුන්නා. අන්තිමේදි  අමායාට ජීවිතේ දුන්නෙ එයා මරන්න කොන්ත්‍රාත්  එක දුන්නු ගිහාරා..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!