රත් දෙකොපුල්- 08 කොටස

පාළු වත්තක් මැද තිබුණු ගෙදරක යශේන් ගිහාරාව හිර කළා.   මේ වෙනකල් ගිහාරා යශේන් එක්ක වචනයක්වත් කතා කළේ නැහැ.  ගිහාරා හිටියේ හංසකගේ මතකය  එක්ක අතරමං වෙලා. ඒ  හොඳ සිහියෙන් නෙවෙයි. ඊයෙ දවසම හරියට කෑමක් නැති නිසා හාමත් වෙලා. ඒ නිසා ඔළුව පැලෙන්න වගේ රිදෙනවා.

 

‘‘ සාවිත්‍රී ”

 

යශේන් වැඩට හිටපු ගෑණු කෙනාව ඇමතුවා.

 

‘‘ මාත්තියා . ”

 

‘‘  නෝනාව හොඳට බලාගන්න. හොඳට කන්න බොන්න දෙන්න. නෝනා  දුර්වල වෙලා ඉන්නේ. මං හවසට එනවා හරිද? ”

 

‘‘හරි මාත්තියා  ”

 

‘‘ එළියෙ ගාර්ඩ් එකට මගෙ කොල්ලො ඉන්නවා. නෝනට එළියට බහින්න දෙන්න එපා. නෝනා බයවෙයි. ”

 

යශේන් ගිහාරා ළගට ආවා. ගිහාරාගෙ ඇස් වල කිසිම හැගීමක් ලියැවිලා තිබ්බෙ නෑ.කොල්ලා ගිහාරාගෙ ඔළුව අතගෑවෙ කරුණාවෙන්.

 

‘‘ මං හවස ආවම අපි කතා කරමු. ”

 

යශේන් ගිහාරා දිහා බලලා ගෙදරින් එළියට බැස්සා.

 

———————–

 

‘‘ පොඩි බාප්පේ. ඔන්න මං වැඩේ ගොඩ දැම්මා ”

 

‘‘ නියමයි පුතා. මං දන්නවා උඹට වැඩක් බාර දුන්නොත් ඉතිං ආයන් ආයෙ ඇදක් කුදක්  හොයන්න නැහැ. දැන් කෙල්ල කොයි? ”

 

‘‘ පරිස්සමට ඉන්නවා. අවුලක් නැහැ”

 

‘‘ හරි යශේන්. දැන් උඹ මේ ගේම් එකෙන්අයින් වෙන්න ඕනේ. දැන් කෙල්ලව මට බාර දෙන්න ඕන. ඉතුරු ටික මං බලා ගන්නම්  ”

 

යශේන්ගෙ දැඩි බැල්ම පොඩි බාප්පා දිහාට යොමු වුණා.

 

‘‘ පොඩි බාප්පේ… එහෙම බැහැ. ඊළඟට වෙන දේටත් මම වග කියනවා. අනික මං බාර ගත්ත වැඩක් බාගෙට අත ඇරලා දානා මිනිහෙක් නෙවෙයි.  ”

 

‘‘එහෙනම් පුතා වෙන්න ඕනේ එච්චරයි. ඒ කෙල්ල හොඳින් ඉන්න බෑ. ඒකි  ඇක්සිඩන්ට් එකකින් මැරුණු විදහට ඔප්පු වෙන විදහට  මැරෙන්න ඕනේ ”

 

‘‘ මොකද්ද? ”

 

යශේන් ගැස්සුනා.

 

‘‘ඔව්… එහෙමයි ඩීල් එක… උඹත් එක්ක යද්දි ඇක්සිඩන්ට් උනා වගේ කෙල්ල මැරෙන්න ඕනේ. කතාව එච්චරයි  ”

 

‘‘ පොඩි බාප්පේ… මේ… ඒක කීයටවත් වෙන්නේ නැහැ…කෙල්ල මැරෙන්නෙ නැහැ. ”

 

යශේන් පොඩි බාප්පාගේ ටී ෂර්ට් එකේ කොලර් එකෙන් ඇද්දා. කොල්ලට හොඳටම තරහා ගිහින් තිබුණේ.

 

‘‘ යශේන් උඹට මොන යකෙක් වැහිලද?  මේ කොහෙවත් යන  කෙල්ලෙක් නිසා උඹ මට අත තියෙනවද? ”

 

‘‘ බාප්පේ… ගිහාරා කොහෙවත් යන කෙල්ලෙක් නෙවෙයි. මං එයාට කැමතියි ”

 

‘‘ උඹට පිස්සුද ? ඒකි බැඳපු එකියක්. ”

 

‘‘ බාප්පේ.. මං මීට කලින් කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ. ඒත් අද ඉල්ලනවා. මට ගිහාරාව ඕනේ. පොඩි කාලෙ ඉඳලා මගෙන් බාප්පට වරදක් වෙලා නෑ. අදටත් මං බාප්පා එක්ක ඉන්නෙ එක හිතින්.  ”

 

මිල්ටන් දන්නවා යශේන් දෙයක් කිව්වොත් කිව්වා කියලා.  කවදාවත් කෙල්ලෙක් ගැන කතා නොකරපු යශේන් ගිහාරා ගැන කතා කරන්නෙ හදවතින්ම කියලා පොඩි බාප්පාට තේරුණා.

 

‘‘ යශේන් ඩීල් එකෙන් බාගයක්  මම මේ වෙනකොට අරගෙනයි තියෙන්නේ. ඉතුරු බාගෙ ගන්න නම් ඒ කෙල්ල මැරෙන්න ඕනේ  ”

 

‘‘ බාප්පේ… බාප්පා කියන ඕන වැඩක් මම කරන්නං.  හැබැයි මේ වැඩේ බෑ… ඒ වගේම බාප්පාට මේ වැඩේ කරන්න මං ඉඩ දෙන්නෙත් නැහැ. බාප්පා දන්නවා යශේන් කවුද කියලා. ”

 

අශේන්ගේ මුහුණේ මස් පිඩු නැටවෙන හැටි  මිල්ටන්  බලාගෙන හිටියා. මේ ෆීල්ඩ් එකේ මේ විදිහට දුර ගමනක් යන්න යශේන්ගේ උදව් හැම වෙලාවෙම එයාට ඕන වුණා.  ඒ නිසා මේ වැඩේ මෙතනින් ක්ලෝස් කරන්න මිල්ටන් හිතුවා.

 

‘‘ හරි පුතා. උඹ වෙනුවෙන් මං මේ පාර මේ වැඩේ අත අරින්නම්. මං අත ඇරිය  පලවෙනි වැඩේ මේක  ”

 

‘‘ හරි බාප්පෙ. මං දන්නවා බාප්පා මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා කියලා. ඒත් මට දැනගන්න ඕනේ ඕන කාටද ගිහාරාව මේ විදිහට මරන්න ඕන කියලා. බාප්පා මේ වෙනකම් මට ඒ ගැන මොකුත් කියලා නැහැ. මට ඇත්ත දැනගන්න ඕනේ. ”

 

‘‘ පුතා. දැන් ඇත්ත දැනගත්තා කියල ඇති වැඩක් නෑනෙ. උඹට කෙල්ලව ලැබෙනවා.  කතාව එච්චරයි ”

 

‘‘ ගිහාරාගේ හස්බන්ඩ් ද මෙහෙම කරන්නේ ? ”

 

‘‘ නැහැ… ගෑණුකෙනෙක්. කවුද? කින්ද? මන්ද? ඒ විස්තර හොයන එක මට අදාළ නැහැ. මට තියෙන්නේ වැඩේ කරන්නයි ගණුදෙනු පියව ගන්නයි විතරයි. ”

 

‘‘ හරි  ”

 

යශේන් පොඩි බාප්පා  දිහා බැලුවේ මූණත් අමුතු කරගෙන.

 

————-

 

‘‘මොකද්ද මිනිහො උඹ කියන්නේ?  මං උඹට ඩීල් එකේ හැටියට බාගයක්ම ගෙව්වා. ඉතුරු බාගෙ දෙන්නෙ වැඩේ කෙරුණට පස්සෙ.  දැන් උඹ ඇයි ඒ වැඩේ කරන්න බෑ කියන්නෙ.  හරි  ”

 

‘‘ ඩීල් එක ඉවරයි මැඩම්. දැන් කෙල්ල අතුරුදහන් වෙලා තියෙන්නෙ. ”

 

‘‘ ඒත්… ”

 

‘‘කරන්න දෙයක් නැහැ මැඩම්. අපෙ ඩීල් එක මෙතනින් ඉවරයි ”

 

දුරකථන ඇමතුම විසන්ධි  වුණේ අමායාගෙ මූණ තරහින් පුපුරු ගහද්දි. ප්ලෑන් එක ඔක්කොම වෙනස් වුණු එක ගැන අමායාට පුදුම තරහක් දැනුණේ. හැමදේම ගානට ලස්සනට සිද්ද වෙමින් පැවතුණා. එකපාරටම වෙන පැත්තකට සිද්දිය පෙරලෙද්දි අමායා ගොඩක් කලබල වුණා. අමායා  හිතුවේ හංසක ටික දවසක් දුක්වෙලා හිත හදා ගනියි කියලා. අමායා හිතාගෙන හිටියේ ගිහාරා මැරුණු බව දැනගත්තම කොහොමත් දේපල සේරම විවාහක ස්වාමි පුරුෂයා නිසා හංසකට ගන්න පුළුවන් බව. දැන් තත්වෙත් එක්ක ඊළඟට ගන්න පියවර මොකක්ද කියලා අමායාට හිතා ගන්න බැරි වුණා .

 

—————————–

 

‘‘ හංසක මං නැති දවස් දෙකට උඹ මොකද්ද මේ නටලා  තියෙන නාඩගම  ”

 

වර්ෂ හංසකගෙ ඇඟට ගොඩවුනේ ගෙදරටම හොයා ගෙන ඇවිත්. හංසක පිස්සෙක් වගේ ඔහෙ කාමරේට වෙලා හිටියා. ඔෆිස් යන්නවත් උවමනාවක් හංසකට තිබ්බෙ නෑ.

 

‘‘ වර්ෂයා…  උඹ අහපං මට නොවුණේ මොනවද කියලා.  වෙන්න තියෙන හැමදේම වුණා. ”

 

‘‘ අමායා ආන්ටි  මට විස්තර කිව්වා. ඒත් හංසක මම ඒ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ.  ”

 

‘‘වර්ෂ… තවත් මොනවද විශ්වාස නොකරන්න තියෙන්නෙ. මං ඇස් දෙකින්ම හැමදේම දැක්කා ”

 

‘‘ අමායා ආන්ටි පෙන්නපු ෆොටෝස් මම දැක්කා. ඒ ෆොටෝස් වල තියෙන්නේ ගිහාරා කවුරුහරි එක්ක කතා කර කර ඉන්නවා විතරයි. වෙන දෙයක් නැහැ. කවුද දන්නේ ඒ ගිහාරාගේ ඇකඩමි එකේ යාළුවෙක් ද කියලා. හදිසියකට ගිහාරාට ලිෆ්ට් එකක් දුන්න ද කියලා.  උඹ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඒ කෙල්ලට යන්න ඇරියා.

 

‘‘මං  යන්න කිව්වේ නැහැ. ඒකි ඌත් එක්කම පැනලා ගියා  ”

 

‘‘ හංසක. වෙලාවකට අපි ඇස් දෙකට දකින දේවල්, ඒ වගේම අපිට අපේ කනට ඇහෙන දේවල් එහෙම්මම බොරු වෙනවා . දැන් ගිහාරා ඉන්න තැනක් උඹ දන්නවද ? ”

 

‘‘ මං කොහොමද දන්නෙ ? ”

 

‘‘ ගිහාරාගෙ දෙමව්පියොන්ට කිව්වෙ නැද්ද? ”

 

‘‘ අමායා ආන්ටි කීවා එයාලා අවුරුද්දකට රට ගිහින් කියලා. ”

 

‘‘ බලනවා  උඹේ හැටි… දවස් දෙක තුනට ඇදිලා ගිහිල්ලා. රැවුල බාගෙට වැවිලා. උඹ පිස්සෙක් වෙලා නේ ”

 

‘‘ මට තවත් මෙහෙ ඉන්න බෑ වර්ෂයා. මට මේ කාමරේ ඉන්න බැහැ. මට හැමතැනම ගිහාරාගෙ කටහඬ ඇහෙනවා. ගිහාරව පේනවා. මෙහෙම හිටියොත් මං පිස්සෙක් වෙයි. වර්ෂයා උඹ කියපං මං මොකද කරන්නේ කියලා. ”

 

වර්ෂට තමන්ගේ යාළුවා ගැන දැනුණේ ලොකු කණගාටුවක්. හොඳම වැඩේ මේ ප්‍රශ්න විසඳ ගන්නකල්  හංසක මේ පරිසරයෙන් ඈත් කරන එක.

 

‘‘හංසක… උඹ ටික කාලෙකට රට පලයං. මං හැමදේම ලැහැස්ති කරල දෙන්නම්. මගේ යාළුවෙක් ඉන්නවා සිංගප්පූරුවෙ.   මං ලෑස්ති කරලා දෙන්නම් මාස හයකට යන්න. එතකොට මේ ප්‍රශ්න විසඳිලා තියෙයි. උඹ මෙහෙ හිටියොත් බීලම නාස්ති වෙනවා ”

 

‘‘ වර්ෂ  ”

 

‘‘ හංසක මොකුත් කියන්න එපා. උඹ යන්න ලැහැස්ති වෙන්න ඕනේ. මං අදම වැඩ පටන් ගන්නවා. කතාව එච්චරයි. උඹට ඕන විදිහට නටන්න බැහැ. මං කිව්වේ නෑ කියන්න එපා. ”

 

වර්ෂ තර්ජනය  කරලා කාමරෙන් පිට වෙන හැටි හංසක ඔහේ බලාගෙන හිටියා. හංසකට ගිහාරාගෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ. හංසකට හිත හදාගෙන ගෙදර ඉන්නත් බැරි වුණා.  මුළු කාමරේම පාලුයි. ගිහාරාගෙ හිනහව හැමතැනම මැවී මැවී පේනවා. ඒ රත් දෙකොපුල්  දකින්නේ නැතිව ඒවා, සිප ගන්නේ නැතුව මේ ගෙවන ජීවිතේ ගෙවා ගන්න අමාරුයි. අන්තිමේදී වර්ෂ කියපු දේට කොල්ලා කැමති වුණා .

 

———————————————–

 

 

‘‘ නෝනෙ.. නෝනෙ හරිම දුර්වලයි. අනේ හොඳ නෝනෙ වගේ මේ කෑම ටික කන්න. මාත්තියා මගේ බෙල්ල මිරිකන්න හදනවා.  ”

 

සාවිත්‍රි බලෙන්ම බත් කටක් ගිහාරාට කවන්න දැඟළුවත් ගිහාරා දවස් ගාණකින් හරියට කාල නැහැ. තේ විතරයි බොන්නේ. ඒකත් බඩගිනි උපරිම වුණොත් විතරයි. ගිහාරා හිටියේ ෂොක් වෙලා වගේ. ටික ටික යථා තත්ත්වයට පත් වෙනකොට යශේන්  මේ කරන දේ මොකක්ද කියලා හිතාගන්න  ගිහාරාට බැරි වුණා.

 

යශේන් හවස් වරුවක ගිහාරා හොයාගෙන ආවේ ටිකක් කතා කරන්න. සවිත්‍රි කියලා තිබ්බා දැන්නම් නෝනට ටිකක් හොඳයි කියලා. ගිහාරා කාමරේ ඇඳේ ඔහේ  වාඩිවෙලා හිටියා.  ගිහාරා මුලු දවසම කලේ  මේ සිද්දු වුණු දේ වල අග මුල  කල්පනා කරන එක.

 

කාමරයට ඇතුල් වුන යශේන් ගැන හැඟීමක් විහාරට තිබුණෙ නැහැ. යශේන් ළඟටම ඇවිල්ලා ගිහාරාගේ දකුණු අත ඇල්ලුවා.  ඒ ගමන්ම අකුණු සැර වැදුන වගේ ගිහාරා අශේන්ගේ අත ගසා දැම්මා.

 

‘‘ ගිහාරා.  මට ටිකක් කතා කරන්න ඕනේ. ”

 

‘‘මොකක්ද  යශේන් මේකෙ තේරුම.  ඇයි මාව මෙහෙම හිරකරගෙන ඉන්නේ? මට යන්න දෙන්න.මට යන්න  ඕනේ මගේ හංසක ළඟට ”

 

‘‘ මං ඔයාව මෙහෙම හිරකරගෙන ඉන්නේ ඔයාගෙ ජීවිතේ බේරගන්න ඕන නිසා. ”

 

‘‘ මගේ ජීවිතේ ඔයා දැන් මොනවා බේරගන්න ද?  මගේ ජීවිතේ විනාස වෙලා ඉවරයි. ඔයා නිසා. ඇයි මට මෙහෙම කළේ යශේන්. ඔයා නිසා මගෙ පවුල් ජීවිතේ විනාස වෙලා ඉවරයි. ඒත් මට මෙහෙම ඉන්න බෑ. මට ගෙදර යන්න ඕනේ  ”

 

‘‘ ඔයාට දැන්මම හංසක ළඟට යන්න බෑ ගිහාරා. මොකද හංසක  දැන් මේ රටෙත් නැහැ. ”

 

ගිහාරා පුදුමෙන් ඇස් ලොකු කළා.

 

‘‘ මොකද්ද කිව්වේ?  මගේ හංසක කොහෙ ගිහිල්ලද?  ”

 

‘‘ හංසක ඊයෙ රෑ  ෆ්ලයිට් එකේ රට ගියා ”

 

යශේන් ඒ වෙනකොට හැමදේම හොයාගෙන හිටියේ. අමායා තමයි මේ හැමදේම කරන්නෙ කියලා යශේන් හොයා  ගත්තා. සාක්ෂි ඇතිව අමායාගෙ වැරැද්ද නීතිය ඉදිරියට ගේන්න මැරයෙක් වුණත් යශේන් තීරණය කරගෙන හිටියා. මේ දවස් වල යශේන් තමන්ගෙ සම්පූර්ණ කාලෙ යෙදෙව්වෙ ඒ වැඩේට.

 

ගිහාරාට ඒක අදහගන්න බැහැ. හංසක කොහොමද එයාව දාල ගියේ?  ගිහාරා හිතුවේ කවදහරි හංසක එයාව හොයාගෙන එයි කියලා.  ඒක අහපු ගමන් කම්පනය නිසාම ගිහාරාගේ ඇස් නිලංකාර වුණා. ගිහාරා පරඬැලක් වගේ කඩාගෙන වැටෙද්දී යශේන් පැනපු ගමන් ගිහාරාව අල්ලගත්තා.

 

‘‘ සාවිත්‍රි ”

 

යශේන් යටිගිරියෙන් කෑ ගැහුවා. සාවිත්‍රි බයවෙලා කාමරයට දුවගෙන ආවා.

 

‘‘ මාත්තියා… නෝනෙට මොකද වුණේ. ”

 

‘‘ සාවිත්‍රි බලන්න… කලන්තෙ හැදුණා ”

 

යශේන් සාවිත්‍රිගෙ උදව්වෙන් ගිහාරාව ඇඳේ හාන්සි කළා.

 

‘‘ දෙයියනේ මාත්තියා. දොස්තර කෙනෙක් හොයාගෙන එන්න. මොකක් හරි අසනීපයක් ද දන්නේ නැහැ. හරියට කෑමක් බීමක් කෑවෙ නෑනෙ. දුර්වල වෙලා ඇති ඇඟ ”

 

මං ඉක්මණට ඩොක්ටර් කෙනෙක් එක්කගෙන එන්නම්.  එතකල් පරිස්සමට බලාගන්න. යශේන් තත්පරේට කාමරෙන් පිට වුණා. යශේන් දොස්තර කෙනෙක්ව එක්ක ගෙන ආවේ පිස්තෝලෙ ඔළුවට තියලා. යශේන්ට ඒ වෙලාවේ හොඳ නරක මතක් වුණේ නැහැ. ගිහාරාට කරදරයක් කියල විතරයි කොල්ලගෙ ඔලුවෙ තිබුණෙ. දොස්තර මහත්තයා ගිහාරාව පරික්ෂා කරලා බලලා කියපු දෙයින් යශේන්ගෙ ඔළුව යකාගෙ කම්මල වගේ වුණා.  ඒ වෙනකොට ගිහාරාට සිහිය ඇවිල්ලා තිබ්බේ.

 

‘‘ මැරි කළේ ළගදිද? ”

 

දොස්තර මහත්තයා අහද්දි ගිහාරා ඔළුව හෙල්ලුවා.

 

‘‘ බය වෙන්න දෙයක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක්.  ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. ”

 

ගිහාරාගෙ මූණ සතුටින් එළිය වැටෙද්දි යශේන් හිටියෙ පාෂාණිභූත වෙලා. දොස්තර මහත්තයා ඊළගට හැරුණෙ යශේන් දිහාවට.

 

‘‘ ඔයාගෙ වයිෆ් ගොඩක් දුර්වලයි. පෝෂණය මදි. මං විටමින් ටිකක් ලියලා දෙන්නම්. පරෙස්සමට බලාගන්න. එයා අවධානමක ඉන්නෙ. සතුටින් තියන්න ”

 

දොස්තර හිතාගෙන හිටපු වැරදි දේ නිවැරදි කරන්න යශේන් උත්සහ ගත්තෙ නෑ. යශේන්ගෙ හිත හෙල්ලිලා තිබුණෙ. ගිහාරාට නම් සන්තෝසේ උහුලන්න බෑ. දොස්තර ගියා විතරයි ගිහාරා කියවන්න පටන් ගත්තා.

 

‘‘ අනේ!  හංසක දැනගත්තොත් කොච්චර සතුටු වෙයිද ? අපි දෙන්නගෙ බබා. යශේන් මට හංසක ළඟට යන්න ඕනි. අනේ ප්ලීස් මාව කොහොමහරි එක්කගෙන යන්න ”

 

යශේන්  සාවිත්‍රි දිහා බලලා කාමරෙන් එළියට ආවා. කොල්ලා එහෙමම ඉස්තෝප්පුවෙ පුටුවකට කඩං වැටුණා. යශේන් තදින් ඇස් දෙක පියා ගත්තා. ගිහාරා එක්ක බැඳුනු සිදුවීම් ඔක්කොම තත්පරේට යශේන්ගෙ මනසෙ සිත්තම් වුණා.  කොල්ලා ඇස් ඇරියෙ තීරණයක් අරගෙන.

 

යශේන්  පැයකින් විතර ආපහු ආවේ ගිහාරාට කන්න බොන්න කෑම ජාති ගොඩක් ඇරගෙන. සාවිත්‍රි ඇස් උඩ තියාගෙන බලාගෙන හිටියෙ පුදුමෙන්. සාවිත්‍රිට මේක පැටලුණු නූල් බෝලයක් වගේ.

 

‘යශේන් මහත්තයා පුළුවන් තරම් ගිහාරා නෝනට සලකනවා.  ඒත් ගිහාරා නෝනා වෙන මහත්තයෙක් ගැන කියව  කියව පිස්සුවෙන් වගේ ඉන්නවා. ’

 

ඒත් සාවිත්‍රිට මේ  අවුල ලිහාගන්න ප්‍රශ්න කරන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ.

 

‘‘  සාවිත්‍රි… නෝනට ඕන කරන කෑම ජාති මේවයින් බලලා හදලා දෙන්න. කන්න මොනවා හරි ආසයි කියලා කිව්වොත් මට ටක් ගාලා කෝල් එකක් දෙන්න. නෝනට කිසිම අඩුවක් වෙන්න බෑ. තේරුණානේ  ”

 

‘‘ සරි මාත්තියා ”

 

‘‘ මං අර කොල්ලොන්ට කියන්නම්. හෙට මුළු ගේම අස් කරලා දූවිලි පිහදාන්න කියලා. ඒ වෙලාවට නෝනව එළියෙ ගාර්ඩ්න් එකට එක්ක යන්න.  තත්පරේකටවත් තනි කරන්න එපා. හරිද? ”

 

‘‘ සරි මාත්තියා. ඒත් නෝනා කෑම කන්න තමා හොර මාත්තියා. නෝනා මුරණ්ඩුයි ”

 

යශේන් ගිහාරා දිහාට හැරුණා. යශේන් සාවිත්‍රිට දෙන උපදසේ ගිහාරා අහගෙන හිටියෙ පුදුමෙන්. ඒකෙ තේරුම දිගටම මෙහෙ ඉන්න වෙනවා කියන එක. ගිහාරාගෙ මූණ හොඳටම අවුල් වුණා.

 

‘‘ ගිහාරා. තමුසෙ කෑම කන්න ඕනෙ.  මගෙන් මැරුම් කන්න එපා හරිද?  කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. තමුසෙ දන්නෙ නෑ තවම මං කවුද කියලා. මං තමුසෙව  හංසක ළඟට එක්කරගෙන යනවා. ඒක මං තමුසෙට වෙන පොරොන්දුවක්.  හැබැයි පිස්සු නටන්න බැහැ. කාලා බීලා සතුටින් ඉන්න ඕනේ ”

 

‘‘ ඇයි යශේන් ඔයා මට ඔහොම සැර කරන්නේ. ඇයි  මට මෙහෙම කරදර කරන්නේ. ”

 

ගිහාරා ඇස්වල කඳුළු පුරවගෙන කියද්දි කොල්ලට තමන් ගැනම දැනුනෙ පුදුම තරහක්. යශේන් ගිහාරාට ළං වුණා.

 

‘‘ මේ අහන්න ගිහාරා. ඔයාව මරන්න බලාගෙන එළියෙ කෙනෙක් ඉන්නවා. ඔයාට මේ විදියට වෙන්න හේතුව ඒ කෙනා.  මං මේකට සම්බන්ධ වුණේ නැත්නම් ඔයා මේ වෙනකොට මළවුන් අතර. මං ඔයාට හැමදේම පැහැදිලි කරන්නම් ටික ටික. ඔයාගේ ජීවිත අනතුර ඉවත් උනහම, ඒ වගේම හංසක ආපහු ලංකාවට ආපුහාම,  මං ඔයාව එයා ළඟට ඇරලනවා. ඒක මං ඔයාට වෙන පොරොන්දුවක්. ”

 

‘‘ ඔයා මාව රැවැට්ටුවා අශේන්. මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ. ”

 

‘‘ ඔයාට වෙන විකල්පෙකුත් නැහැ ගිහාරා. ඔයාට තියෙන එකම විසඳුම තමයි කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න එක. ලෝකෙ මිනිස්සු හිතන් ඉන්නේ ඔයා මගෙත් එක්ක පැනලා ගියා කියලා. ඒකෙ ඇත්ත නැත්ත දන්නේ අපි දෙන්න විතරයි. ”

 

‘‘ මට හංසක නැතුව ඉන්න බැහැ යශේන්. මං එයාට ආදරෙයි. ඒ වගේම එයත් මට ආදරෙයි  ”

 

‘ මාත් ඔයාට ආදරෙයි. ’

 

යශේන් ඒ වචන ටික කිව්වේ හිතෙන් විතරයි. ගිහාරාගෙ  මූණෙ තිබ්බ හිනාව ආපහු ගිහාරාට දෙන්න යශේන් හිතා ගත්තා. යශේන්ගෙ  හිත ගිහාරාව ඉල්ලනවා. ඒ වුණත් ගිහාරා කැමති හංසකට.  හංසක හිතාගත්තා කවදාහරි දෙන්නාව ආපහු එකතු කරනවා කියලා. ඒත් ඒක කරන හැටි කොහොමද කියලා යශේන් දැනගෙන හිටියේ නෑ. මේ වෙලාවේ කරන්න තිබ්බ එකම දේ අමායාව නීතියට කොටු කරලා දෙන එක.  අමායා ගැන බලා ගන්න යශේන්ට බැරි කමක් නෑ. ඒත් ඒකෙන් ගිහාරායි හංසකයි දෙන්නම ලොකු අමාරුවක වැටෙනවා.ඒ නිසා නීතිය තමා  එකම පිළිසරණ.

 

 

————–

 

අමායා වලව්වේ අයිතිය අතට ගන්න උත්සාහ කළාට ඒ නීතීඥ මහත්තයාගෙ මැදිහත්වීම නිසා ඒක කරන්න බැරි වුණා. ගිහාරා  ජීවත් වෙනවා ද? නැද්ද ? කියන එක ඔප්පු කරගන්න බැරි වුණ නිසා වලව්වේ අයිතිය කාටවත් දෙන්න බැරි වුණා.  හංසකත් ඒවා ගැන අදහස අත්හැරලා රට ගියපු නිසා අමායාට කරගන්න දෙයක් නැතිවුණා.

 

මේ අතරේ යශේන් දවසක් වර්ෂව හම්බවෙන්න ආවා.  හංසකගේ හැම විස්තරයක්ම යශේන් ඒ  වෙනකොට හොයාගෙන තිබ්බේ. ඇත්ත ඇති සැටියෙන්ම යශේන් වර්ෂට කිව්වෙ  වර්ෂ හංසකගෙ හැබෑ මිතුරෙක් බව වැටහුණු නිසා. කතාව අහගෙන හිටපු වර්ෂ කේන්තිය පාලනය කර ගත්තා.

 

‘‘ මට ඔය ගෑණි ගැන මුලින්ම සැකේ තිබුණා. අමායාව දැකපු දවසෙ ඉඳලා මට ඒකිව ඇල්ලුවෙ නැහැ. ඔය තාරිකාවත් එහෙමයි.   ”

 

‘‘ඔව් වර්ෂ… මේක ලේසි ගේම් එකක් නෙමෙයි ”

 

‘‘ මෙහෙමත් ගෑනු ඉන්නවානේ බං. ශිට් ”

 

‘‘ වර්ෂ මං කියන දේවල් විශ්වාස කරනවා නේද ? ”

 

‘‘ ඔව් අවිශ්වාස කරන්න මට කිසිම හේතුවක් නැහැ. මට කියන්න ගිහාරා හොඳින් ඉන්නවා නේද ? ”

 

‘‘ ඔව් ගිහාරා හොඳින් ඉන්නවා.  හැම වෙලාවෙම හංසක ගැනම තමා කියවන්නේ. ඒ වගේම තව නිවුස් එකක් තියෙනවා. ”

‘‘මොකක්ද ? ”

 

‘‘ ගිහාරා pregnant ”

 

‘‘ මරුනෙ. අරූ දැනගත්තොත් පිස්සු නටයි”

 

‘‘  ඒත් හංසක දැන්ම මේවා දැනගන්න ඕනෙ නැහැ. එයා ඉන්න විදිහට හිටපුවාවෙ. ”

 

‘‘ යශේන්… මට ගිහාරාව බලන්න පුලුවන්ද? ”

 

‘‘  පුළුවන්… ඒත් දැන් ම බැහැ… මේ අමායගෙ ප්‍රශ්නෙ විසඳුනාට පස්සේ මං එයාව එක්කරගෙන එන්නම්. අපි දන්නේ නැහැ අමායා ඊළඟට කරන්නේ මොනවද කියලා. පොඩි බාප්පා සල්ලි වලින් භාගයක් ඇරගෙන මේ වැඩේ අත ඇරලා තමයි ඉන්නේ දැන්. ඒ නිසා අමායා වෙන කෙනෙක්ට contract එක දීලා වෙන්නත් පුළුවන් ”

 

‘‘ අපි දැන් මොකද කරන්නෙ යශේන්. කොහොමද අමායාව අල්ල ගන්නෙ ”

 

‘‘ මගේ ළග ප්ලෑන් එකක් තියෙනවා. මුලින් ඩීල් එක සම්පූර්ණයෙන් කළේ පොඩි බාප්පා. මං සම්බන්ධ වුණේ නෑ. මට නිව්ස් දුන්නෙ පොඩි බාප්පා.  මම අමායාට කතා කරලා ගිහාරාව මරන්න කන්ට්‍රැක් එක ඇරගන්නවා. ඒ හැමදේම රෙකෝඩ් කරලා, වීඩියෝ කරලා පොලිසියට දෙනවා ”

 

‘‘ නියමයි. දැන් මගෙන් මොකද්ද කෙරෙන්න ඕනෙ ”

 

වර්ෂ ඇහැවෙ බොහොම සන්තෝසෙන්.

 

‘‘ වර්ෂ… මෙතනදි මට ඩිරෙක්ට් පොලිසියත් එක්ක ගණුදෙනු කරන්න බෑ. උඹට තේරෙනවනෙ. ඒ නිසා මම දෙන ඩීටේල්ස් පොලිසියට දෙන එක උඹ කරන්න ඕනෙ. උඹ හංසකගෙ හොඳම යාළුවා නිසා අවුලක් වෙන්නෙ නෑ. ගේම් එකේ පිටිපස්සෙ මං ඉන්නවා කියලා ලීක් වෙන්න බෑ. මේ ගේම් එකේ මාර්ක්ස් සම්පුර්ණයෙන් බැර වෙන්නෙ උඹේ අකවුන්ට් එකට. ”

 

‘‘ සුපිරි ගේමක්නෙ බං ”

 

‘‘ ඒ වගේම තාරි  ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ. අමායා එක්ක මේවා ගැන කතා බහ කරන්නත් ඕනේ. ඒ හැමදේම වීඩියෝ හරි රෙකෝඩ් හරි වෙන්නත් ඕනේ. ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි පොලිසියේදී වැදගත් වෙනවා. පුළුවන් නම් ඔෆිස් එක පැත්තෙත් සෝදිසියක් දාන්න ඕනෙ. ”

 

‘‘මචං යශේන් උඹ මාර පොරක්නෙ. මට නිකං හිතෙන්නෙම සීඅයිඩී  ඔෆිසර් කෙනෙක් කියලා ”

 

යශේන්ගෙ මූණට ආවෙ අපූරු හිනාවක්.

 

‘‘මැරයෙක් වුණත් ජීවිතේ එකපාරක්වත් හොඳ වැඩක් කරලා තියෙන්න එපැයි මචං. ”

 

‘‘ යශේන්.. ඔෆිස් එකේ වැඩේ මට සෙනුරිට භාර දෙන්න පුළුවන්. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ”

 

‘‘ ගුඩ්.. එහෙනම් මට වැඩක් තියෙනවා. මම යනවා.  ”

 

‘‘ පොඩ්ඩක් හිටපං මචං.  ”

 

යන්න ලෑස්ති වුණු යශේන්  ආපහු හැරුණා.

 

‘‘ යශේන්. මට පාතාලෙ යාළුවෙක් ඉඳලා නෑ. දැන් ඒ අඩුවත් හරි. ඒත් මචං මට මේකත් කියනවද?  උඹ මේවා කරන්නේ ඇයි? ඇයි උඹ ගිහාරා වෙනුවෙන් මේවා කරන්නේ ? ”

යශේන්ගෙ මූණට ආවෙ අමුතුම හිනාවක්.

 

‘‘ඒක කිව්වත් උඹ විශ්වාස කරන එකක් නැහැ. කැමති විදිහට හිතාගන්න ”

 

‘‘ මට හිතාගන්න පුලුවන්. ඒත් බං උඹ පරක්කුයි. ”

 

‘‘ මං දන්නවා ”

 

අමුතුම හිනාවක් මූණෙ තියාගෙන ඈතට යන යශේන් දිහා වර්ෂ බලන් හිටියෙ අමුතුම හැඟීමක් හිතට එද්දි. එහෙම කොල්ලෝ ඉන්නවානේ කියලා වර්ෂට පුදුම හිතුනා.

 

කාලය ගත වෙද්දි වර්ෂගෙයි යශේන්ගෙයි දැඩි කැපවීම , උත්සාහය නිසා අමායාව පොලිසියට කොටු කරලා දෙන්න දෙන්නට පුළුවන් වුණා. අමායාව හම්බවෙන්න යශේන් ආවෙ වෙස් වලාගෙන. ඒ නිසා පොලිසියට දුන්න වීඩියෝ සාක්ෂි යශේන්ට ගැටලුවක් වුණේ නැහැ. අමායා කීයටවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා.

 

තාරිකාට විරුද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න බැරිවුන නිසා තාරි ගැන දෙන්නා කිසිම දෙයක් කළේ නැහැ. ගිහාරාගෙ නීතීඥ මහත්තයාගෙ සාක්ෂිත් වැඩේට උදව් වුණා.

 

‘‘අමායා. මොකද්ද උඹ මේ නටපු නාඩගම. උඹට අර දරුවෝ දෙන්නා ගැන හිතන්න තිබුණා.  මං උඹට කලින්ම කිව්වා වැරදි වැඩ කරලා මගෙ ළගට එන්න එපා කියලා ”

 

අමායාගෙ සැමියා නිරේශ් බන්ධනාගාරෙ කියලා බලන්නෙ නැතිව කෑ ගැහැවා.

 

‘‘ අනේ නිරේශ්. ප්ලීස් මාව බේරගන්න. ”

 

අමායා හිර කූඩුවේ පොලු අතරින් කෑගැහැවා. අමායා  හොඳටම අසරණ වෙලා හිටියේ. කවුරුවත් තමන් ගැන බැලුවේ නැහැ. ආරංචිය ලැබුන ගමන් නිරේශ් පුළුවන් ඉක්මණට ආවා . පුළුවන් ඉක්මණට කීවට නිරේශ් එනකොට සති දෙකකුත් පහුවෙලා. මොකද නැවක රස්සාව කරන නිරේශ්ට හිතුණ ගමන්  ලංකාවට එන්න බැහැ.

 

‘‘  අපෙ කසාදෙ ඉවරයි. හොඳට අහගන්නවා. මං දරුවො දෙන්නත් ඇරගෙන මගේ මහ ගෙදරට යනවා. මගේ දරුවො දෙන්නට උඹ වගේ අම්මෙක් එපා. උඹෙ හෙවණැල්ලවත් මගේ දරුවන්ට වැටෙන්න ඕනෙ නෑ. මගෙ දරුවොන්ට දැන් ලෝකෙන් කොච්චර අපවාද අහන්න වෙයිද?  උඹ හංසකගෙ ජීවිතෙත් විනාශ කළා. දැන් හංසකගෙ දේපල ගැන ජීවිත කාලෙම හිත හිත මේ හිර කූඩුවේ ලගින එකයි තියෙන්නේ  ”

 

නිරේශ් පොලීසියෙන් එළියට ගියේ තරහින් පුපුර පුපුර.  කොහොමත් නිරේශ් අමායාට සමාවක් නොදෙන්න තීරණය කරලා ඉවරයි. නිරේශ් හංසකට කතා කරලා සිද්ද වෙච්ච හැම දේම පැහැදිලි කළා. අමායා නිසා වුණු දේට සමාව ඉල්ලුවා. නිරේශ්ගෙන් වෙච්ච හැමදේම දැන ගත්ත හංසක මාස හතරක් ගතවෙද්දි ලංකාවට ආවේ ගිහාරාව කොහොමහරි හොයාගන්න හිතාගෙන.

 

හිටපු ගමන්  හංසක වර්ෂගෙ ඔෆිස් රූම් එකට කඩා පාත් වෙද්දි වර්ෂට හිතා ගන්න බැරිවුණා.

 

‘‘ වර්ෂයා… මේ වෙච්ච කිසිම දෙයක් උඹ මට කිව්වේ නෑ.. උඹ මගේ යාළුවෙක් ද? නෑ… උඹ ඔබ මගේ හතුරෙක්… පරම හතුරෙක් … ”

 

ලංකාවට ආපු ගමන්ම හංසක කළේ වර්ෂව හොයාගෙන ගිහිල්ලා හොඳටම දොස් කිව්ව එක. වර්ෂ හිටියේ ගොළු කසාය බිව්වා වාගෙ. හංසක කියන කිසිම දෙයකට වර්ෂ උත්තර දුන්නේ නැහැ.

 

‘‘   කියපං වර්ෂයා. උඹට තිබුණා මට කෝල් එකක් ඇරගෙන කියන්න. අමායා… මං ඕකිව ඉතුරු කරන්නේ නැහැ.  පොඩි කාලේ ඉඳලා මාව හදාගත්තේ දේපළ වෙනුවෙන්. ඒකි නිසා මං ගිහාරාවත් අත ඇරියා. මචං ගිහාරා කොහේ කොහොම ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ප්ලීස් වර්ෂයා. මට උදව් කරපන්. ඇයි උඹ ගොළුයි බිහිරියි වාගේ ඉන්නෙ. මං අහන දේවල් වලට උත්තර දෙන්නෙ නැත්තේ ? ”

 

‘‘ ඉස්සෙල්ලා උඹ සන්සුන් වෙයන්. ඊට පස්සේ කතා කරමු. අනිත් එක මේ ලංකාවට ගොඩ බැහැපු ගමන් මෙතන පිස්සු නටන්න තියාගන්න එපා. උඹ දැන් ගෙදර ගිහිල්ලා වොශ්  එකක් දාලා හොඳට නිදාගනිං. අපි හෙට කතා කරමු . ”

 

‘‘ උඹට පිස්සුද බං. මං කොහොමද ගෙදර යන්නේ ගිහාරා නැතුව. මං ගෙදර යන්නේ නැහැ. කියපන් වර්ෂ ගිහාරා කොහෙද ඉන්නේ? ”

 

‘‘ මං කොහොමද දන්නේ ? මම ද ඒකිගෙ මිනිහා. ”

 

වර්ෂ යක්ෂාවේශෙන් කඩං පැන්නා.

 

‘‘ උඹ හරියට බෙරිහන් දෙන්නෙ මං ඒකිව හංගන් ඉන්නවා වගේනේ. අනික මෙච්චර කාලයක් ඒකි උන්න ද මළා ද බලපු නැති  උඹ දැන් මෙතන වැළලෙන්න හදනවා  ”

 

‘‘ මං හිටියෙ පිච්චි පිච්චි බං. උඹ බොරු කියන්නෙ . උඹ දන්නවා. නිරේශ් අන්කල් කිව්වා අමායාව අල්ලලා දෙන්න උඹ උදව් කළා කියලා ”

 

‘‘ඔව්… උදව් කළා තමයි. මං උඹට මුලින්ම කිව්වනේ. අමායාව මට අල්ලන්නේ නැහැ කියලා. බොරු ද ඒවා ? ”

 

‘‘ වර්ෂ මට තවත් මෙහෙම ඉන්න බැහැ. මම පිස්සෙක් වෙලා. .උඹ දන්නවද මං රට හිටිය හැටි…හුස්ම ගත්තට ඔක්සිජන් නැත්නම් වැඩක් නෑ. මටත් ඒ වගේ  ”

 

‘‘ හරි…උඹ හෙට උදේම වරෙන්. අපි ගිහාරා බලන්න යමු… වෙන මොකුත් අහන්න එපා… මං උත්තර  දෙන් නෑ.. ”

 

වර්ෂගේ කතාවෙන් සෑහීමට පත්වුනු හංසක ගෙදර ගියේ හිතේ සැනසීමෙන්.

 

—————————

 

ගිහාරාගෙ  කුසට දැන් මාස පහයි.. අමායා  හිරේ ගියාට පස්සේ ගිහාරාට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුණා. යශේන් ගිහාරාව කඩුගන්නාවෙ වලව්වට ඇරලුවා.. නැනී අම්මාගෙ උදව්ව ඇතිව ගිහාරා ටික ටික හිත හදා ගත්තා. දරුවා ගැන හිතලා ගිහාරා සතුටින් ඉන්න පුරුදු වුණා.

 

යශේන් පුළුවන් හැම වෙලාවෙම ගිහාරාව බලන්න ගියා. එයාගේ අඩුපාඩු ගෙනත් දුන්නා. වර්ෂත් එක පාරක් ගිහාරාව හම්බවෙන්න ගියා. යශේන්ගෙ සමාගමය ගිහාරාට සතුටක් සැනසුමක් වුණා. ගිහාරාව හැම මාසෙම වැනල් කරන ඩොක්ටර් ළගට එක්ක ගියෙත් යශේන්. ගිහාරාට යශේන් ලොකු හයියක් වුණා. යශේන් මොන වැඩේ තිබ්බත් ගිහාරාගෙ වැඩ වලට මුල් තැන දුන්නා.

 

——————————–

 

පහුවදා උදේ පාන්දර හංසක වර්ෂගෙ ගේ ඉස්සරහා හෝන් කළා. කොල්ලා ඩීසන්ට් විදිහට ඇඳලා පිළිවෙලට හිටියා. ඒත් පුදුමෙකට වගේ වර්ෂගෙ ගෙදර කවුරුවත් ඒ වෙලාවෙ හිටියෙ නැහැ. හංසක වර්ෂගෙ ෆෝන් එකට ගත්තා.

 

‘‘ මචං හංසක…  ඊයේ රෑ පොඩි කරදරයක් වුණා. මට උඹත් එක්ක එන්න වෙන්නේ නැහැ ”

 

‘‘ ඇයි? ”

 

‘‘අපෙ නංගිට හදිසියේ අසනීප වුණා. අපි හැමෝම දැන් හොස්පිට්ල් එකේ ඉන්නේ ”

 

‘‘ආ සොරි බං. මම එන්නද දැන්. ”

 

‘‘ නෑ නෑ එපා.. උඹ ගිහාරාව හම්බවෙන්න යන්න ”

 

‘‘ ඒත් මචං… මම දන්නේ නැහැ ගිහාරා ඉන්නේ කොහෙද කියලා. ”

 

‘‘  වෙන කොහෙද? ගිහාරාගෙ උරුමෙ තියෙන තැන එයා ඉන්නවා ”

 

‘‘ මොකක්ද? උඹ කියන්නේ කොතනද? ”

 

‘‘ මට වැඩිය ඒක උඹ හොඳට දන්නවා. හොඳට කල්පනා කරපන්. ගිහාරාගේ උරුමය තියෙන්නෙ එතැන. ඊට වඩා දෙයක් මම මට කියන්නේ නැහැ ”

 

වර්ෂ ෆෝන් එක කට් කළා. ගිහාරාගේ උරුමය තියෙන තැන.. හංසක දන්නවා ඒ කොතනද කියලා. කොල්ලගෙ මූණට ආවෙ තෘප්තිමත් හිනාවක්.

 

උදේ දහය හමාර වෙද්දි කඩුගන්නාවේ තිබ්බ වලව්වට හංසක කාර් එක  ඇතුළු කළා. ගෙවත්තට ආපු වාහනේ දැකලා නැනී අම්මා ඉස්සරහට ආවා. කාර් එකෙන් බැස්සෙ සුපුරුදු මූණක්. නැනී අම්මාට සන්තෝසේ දරාගන්න බැහැ.

 

‘‘ හංසක මහත්තයා ”

 

‘‘ නැනී අම්මා… කොයි සුදු නෝනා.  කතා කරන්න එයාට  ”

 

‘‘ සුදු ‍ නෝනා ගෙදර නෑ මහත්තයා ”

 

‘‘ මොකද්ද ? ”

 

‘‘ සුදු නෝනා ගෙදර නෑ මහත්තයා. ”

 

නැනී අම්මා ආයෙත් ඒකම කිව්වා. හංසකට යකා නැග්ගා.

 

‘‘ මම එන හැම වෙලාවෙම ඕකි ගෙදර නැහැ. ඒ පාර කොහෙද රෝන්දේ ගියෙ. ”

 

හංසක මූණත් කළු කරගෙන කිව්වෙ  නැනී අම්මාට රවන ගමන්.

 

‘‘ සුදු නෝනා රෝන්දෙ නෙවෙයි ගියෙ මහත්තයා. ක්ලිනික් ගියේ ”

 

‘‘ කොහෙද ඒක තියෙන්නෙ? ”

 

නැනී අම්මා  ක්ලිනික්  එකට යන පාර කිව්වා. ඒත් ගිහාරා ක්ලිනික් යන්නේ ඇයි කියලා අහන්න කලබලෙන් හිටපු හංසකට මතක් වුණේ නැහැ. හංසක කෝපෙන් පුපුර පුපුර කාරෙක ආපහු හරව ගත්තා. ක්ලිනික් එක ළඟ කාර් එක නතර කරලා හංසක බිමට බැස්සා. ගර්භණී මවුවරු තමන්ගේ මහත්තුරුත් එක්ක, සමහර අය අම්මලා, නැන්දම්මලත් එක්ක සායනය අවසන් කරලා පිටවෙලා යන දිහා හංසක බලාගෙන  හිටියේ පුදුමෙන්.

 

‘ගිහාරා මොනවටද මෙතෙන්න එන්නෙ? ’

 

හංසක  එක අතක් ඉනේ තියාගෙන අනිත් අතින් කොණ්ඩෙ අදින ගමන් කල්පනා කළා. ඒත් හංසකට වැඩි වෙලාවක් කල්පනා කරන්න වුවමනා වුණේ නැහැ. හංසක දැක්කෙ උඩ තිබුණු ක්ලිනික් එකේ ඉඳලා අමාරුවෙන් පල්ලම් බහින ගිහාරාව. ගර්භනී බව හින්දම ගිහාරා හිටියේ අපහසුතාවයෙන්. යශේන්ගෙයි නැනී අම්මාගෙයි සාත්තුව හින්දා ගිහාරාගෙ  කුස සෑහෙන්න ලොකු වෙලා. ගිහාරා  බෝල ගෙඩියක් වගේ. දෙන්නා කෑමෙන් බේරෙන්න ගිහාරාට ඉඩ දුන්නෙ නෑ.

 

ඒත් ගිහාරාව දැක්කහම හංසක හිතුවා වගේ සතුටක් හංසකට දැනුනේ නෑ. ගිහාරා යශේන්ගේ අතේ එල්ලිලා බොහොම අමාරුවෙන් පඩිපෙළක් බහිනවා. ඒ දර්ශනය  හංසකට දරාගන්න බැරි වුණා. කොල්ලගෙ ඉවසීම නැතිවුණා.  ඒ යශේන් කියලා අඳුන ගන්න හංසකට අපහසු වුණේ නැහැ.

 

‘ගිහාරා කොහොමද pregnent වෙන්නෙ. අර අතේ එල්ලිලා ඉන්නෙ ඇයි?’

 

ගිහාරා ගැන පුදුම  කේන්තියක් හංසකට දැනුනා. පඩිපෙළ බැහැලා ඉස්සරහ බලපු ගිහාරා දැක්කේ හංසකව. හංසකගෙ යක්ෂ මුහුණ දුර නිසා ගිහාරාට පෙනුනෙ නෑ. හංසක දැක්කා විතරයි ගිහාරාට දැනුනේ පුදුම සතුටක්.  ගිහාරා යශේන්වත්  අත ඇරලා දාලා දුවන්න ලැස්ති උනා. ඒත් යශේන් ගිහාරාව වැළැක්වුවා. ඇත්තටම යශේන් දැනගෙන හිටියෙ නෑ හංසක ලංකාවට ඇවිත් කියලා. අද මේ විදිහට එයි කියලවත් යශේන් දන්නේ නැහැ.

 

වර්ෂ යශේන්ට මේක දැනුම් දෙන්න හිටියට ඊයේ රෑ ගෙදර සිද්ධ වෙච්ච කලබලය නිසා වර්ෂට යශේන්ට කතා කරන්න අමතක උනා. උදේ වර්ෂ ගත්තත් යශේන්ගෙ ෆෝන් එක වැඩ තිබුණෙ නැහැ. අද ගිහාරාට ක්ලිනික් කියලා වර්ෂ දන්නෙත් නැහැ. හැමදේම යෙදිලා තිබ්බෙ හංසකගෙ හිතෙන් ගිහාරාව ඈතටම කෙරෙන විදිහට.

 

‘‘ ගිහාරා පරිස්සමෙන් ”

 

යශේන් මතක් කළා. ගිහාරා හෙමීට යශේන් එක්කම හංසක ළඟට ආවා. හංසක දත්මිටි කනවා. කොල්ලගෙ මූණ කෝපයෙන් කළු වෙලා. ඒක දැක්කම ගිහාරාට හිතා ගන්න පුළුවන් උනා හංසක  හිතාගෙන ඉන්න දේ. කොහොමත් පැහැසර එක්ක වුණත් ගිහාරා ආශ්‍රය කරනවට හංසක කැමති වුණේ නැහැ. වෙඩින් එකට සතියක් තියාගෙන  වෙඩින් එක දවස වෙනකල්ම හංසක තරහා වෙලා හිටපු හැටි ගිහාරාට මතක් වුණා.

 

‘‘ හංසක..  ඔයා ආවද? ”

 

ගිහාරා ඇහැවේ හරි සන්තෝසෙන්. හංසක ගිහාරා දිහායි යශේන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා. වචනයක් හරි කතා කරා නම් හංසකට හිතාගන්න බැහැ එයා මොනවා කරයිද කියලා. ඒ නිසා හංසක කාර් එකේ දොර ඇරලා දඩාස් ගාලා වහගෙන කාර් එක ස්ටාර්ට් කරගෙන වේගෙන් හරව ගත්තා.

 

දූවිලි වලාවක් නංවගෙන හංසකගෙ කාර් එක ඈතට යනකොට ගිහාරාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා.

 

‘‘ ගිහාරා.. ඉවසන්න. මං වර්ෂට කතා කරන්නම් ”

 

‘‘ අනේ යශේන්. මං හංසක ගැන හොඳට දන්නවා.  එයා වැරදිවට හිතුවේ. මට එයාට කතා කරන්න ඕනේ ”

 

‘‘ හරි බබා.. මං දන්නවා කතා කරන්න ඕනේ කියලා . ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි. පේනවනෙ මිනිහා ගියපු හැටි . හංසකට තේරුම් කරන්න ගොඩක් අමාරු වෙයි. අපි හෙට කතා කරමු. ඔයා දැන් මේ ගැන කලබල වෙන්න එපා. හිත හදාගන්න. ”

 

යශේන් කිව්වට ගිහාරාට හිත හදාගන්න බැරි වුණා. යශේන් ගිහාරාව වලව්වට ඇරලලා ගියාට පස්සේ, ගිහාරා නැනී  අම්මත් එක්ක හංසකගෙ ගෙදර යන්න ලැහැස්ති වුනා.

 

————————-

 

‘‘ වර්ෂයා… උඹ මේ ගමන මග ඇරියේ මේක හින්දා. ”

 

හංසක පොළොවේ අඩි හප්පලා කෑ ගැහුවා.

 

‘‘හංසක කියන දේ තේරුම් ගනින්. ”

 

‘‘ මොනවද යකෝ මට තේරුම් ගන්න කියන්නේ ඒකි pregnent උනේ කොහොමද මම නැතුව. මට කියන්නේ ඒ දරුවාගේ තාත්තා මං කියලා විශ්වාස කරන්න කියලද? ”

 

වර්ෂ හංසකගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇද්දෙ හිතේ ඇති වුණු තරහා නිසාමයි.

 

‘‘ උඹට අමු කැවිලද හංසක. ඒ දරුවා උඹේ තමයි. දැන් මාස පහයි. ටිකක් කල්පනා කරලා බලපන්  ”

 

‘‘ උඹ දොස්තර ද මාස ගණන හරියටම කියන්න. උඹ දැක්කනං ඒකි අරූගෙ අතේ එල්ලිලා බැහැපු හැටි  ”

 

‘‘ හංසක මට තේරුම් ගන්න බැහැ උඹ ඇයි ඔහොම හිතන්නේ කියලා. උඹ මේ පාරත් වැරදියට හිතන්නෙ ”

 

වර්ෂ හංසකව අත ඇරලා කිව්වෙ කළකිරීමෙන්.

 

‘‘ වර්ෂ… මට උඹ කියන කිසිම දෙයක් අහන්න ඕනෙ නෑ. උඹත් මාව රැවැට්ටුවා. උඹ ඒ ගමන ආවේ නැත්තෙත් ඒක නිසයි. උඹෙයි මගෙයි යාළුකං අදින් ඉවරයි. හොඳට මතක තියාගනින්. හංසක මැරුණා. ”

 

හංසක වේගයෙන් වර්ෂගෙ කාමරෙන් පිට වුණා. වර්ෂ ඔළුවේ අත ගසා ගත්තා..

 

‘මේ මිනිහට කොහොම තේරුම් කරන්නද? ඌ රට හරකෙක්නෙ. ’

 

වර්ෂ හිතුවේ හරිම කලකිරීමෙන්.

 

——————————————-

 

‘‘අනේ නැනී අම්මා.  හංසක එන්නේ නැති වෙයි ද ? ”

 

ගිහාරා හංසකගෙ ‍ගෙදර ඇවිත් නැනී අම්මත් එක්කම බලන් හිටියේ හංසක ගෙදර එනකල්. ඒත් හංසක එදා රෑ ගෙදර ආවෙ නැහැ. නීලාත් හංසක ගැන තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. එදා හවස හදිසියේම ඇවිත් හංසක බෑග් එකකුත් අරගෙන ගෙදරින් ගිහින් තිබ්බා.

 

ඇත්තටම හංසක අතුරුදහන් වෙලා. වර්ෂටත් දැන ගන්න බැරි වුණා හංසකට මොනවා උනාද කියලා. වර්ෂ අකමැත්තෙන් වුණත් ගිහාරාට කිව්වා හංසක හිතන විදිහ ගැන.

 

‘‘ ගිහාරා… මටත් තේරුම් ගන්න බෑ හංසකට මොනවා වෙලාද කියලා. සොරි… ඔයා ඉන්න මේ තත්වෙත් එක්ක මේවා කියන එක හොඳ නෑ. ඔයා ඇහැව නිසයි කීවෙ. ”

 

වර්ෂ කිව්වෙ  කණගාටුවෙන්.

 

‘‘ නෑ වර්ෂ අයියෙ… ඔයා කියපු එක හොඳයි. මට හිතුණා හංසක එහෙම හිතන්න ඇති කියලා. එයාගෙ ඉක්මණ් කේන්තිය නිවෙන්නෙ නෑ ලේසියෙන්. ”

 

‘‘ නංගා.. මේවා යශේන්ට කියන්න එපා.ඌ අප්සෙට් යයි. යශේන් හංසකව හොයනවා. ”

 

ගිහාරා ඔළුව වැනුවෙ වර්ෂ දුන්නු අවවාදෙ පිළි අරගෙන. මේ ප්‍රශ්න කවදා විසදෙයිද කියලා  ගිහාරාට හිතා ගන්න බෑ.

 

——————————————

 

‘‘තාරි…. මට තමුසෙත් එක්ක කතා කරන්න ඕනේ ”

 

තාරිකා දැන් නැගීගෙන එන නිළියක්. තාරිකාගෙ ටෙලිඩ්‍රාමා  එකක් ෂූට් කරන තැනට ආපු  හංසක තාරිකාව පැත්තකට ඇදගෙන ගියා.

 

‘‘ හංසක… මටනම් විශ්වාස කරන්නත් බැහැ. ඔයා ආපහු ඇවිල්ලා. මට හරි සන්තෝසයි ”

 

තාරිකා කොල්ලගෙ අතක් අල්ලගත්තා.

 

‘‘ තාරි… මට තමුසෙව මැරි කරන්න ඕනේ ”

 

හංසක කියද්දී  තාරිගෙ ඇස් උඩ ගියා.

 

‘‘ හංසක… ඔයා ඔය ඇත්තටමද කියන්නේ? ”

 

‘‘ ඔව්… කියනවා තමුසෙ කැමතිද? නැද්ද? අකමැති නම් මං වෙන කෙල්ලෙක් හොයා ගන්නවා. ”

 

‘‘ ඔයා ගිහාරාව මැරි කළානේ. මාව මැරි කරන්නේ කොහොමද? ”

 

‘‘ තමුසෙට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ. මං ගිහාරාව ඩිවෝස් කරලා තමුසෙව බඳිනවා. තමුසෙ කැමතිද? එච්චරයි මට දැනගන්න ඕන. ”

 

‘‘ මං මොකටද අකමැති වෙන්නේ.කොහොමත් මුල ඉඳලම අමායා ආන්ටි  අපිට කියලා තිබ්බේ ඒකනෙ. ”

 

‘‘අමායා කෙනෙක් ගැන මගේ ඉස්සරහ ආයෙ කියන්න එපා ”

 

තාරිකාගෙ ඇස් සතුටින් දිලිසුනා. ඒත් හංසකගෙ ඇස්  දිලිසුනේ වෛරයෙන්. ගිහාරාගෙන් පළිගන්න හොඳම ක්‍රමය තමා මේක.

 

ගිහාරා බලන් හිටියට හංසක ආයෙ ආවේ නැහැ. හංසක ගැන ගිහාරට යමක් දැන ගන්න පුළුවන් වුණේ තාරිකා පුවත්පත් සාකච්ඡාවකට කියලා තිබ්බ දෙයක් නිසයි.

 

‘ මං ළඟදිම මැරි කරනවා. මැරි කරන්නේ හංසක ගජධීර්. බිස්නස්මන් කෙනෙක්. එයා මේ දවස් වල abroad ඉන්නේ ’

 

‘‘ වර්ෂ අයියෙ. මට කොහොමහරි හංසකට කතා කරන්න ඕනේ. තාරි දන්නවා හංසක ඉන්න තැන. අනේ ප්ලීස් වර්ෂ අයියේ. මම ගිහිල්ලා තාරි හම්බ වෙන්නම්  ”

 

ගිහාරා වර්ෂට කිව්වේ වර්ෂ ගිහාරාව බලන්න ආපු වෙලාවක

 

‘‘තමුසෙට පිස්සුද නංගි. ඒක හරියන වැඩක් නෙමෙයි.  අනික තාරි කියයි කියලා අපිට හිතන්නත් බැහැ. හංසක සම්පූර්ණයෙන් නටන්නෙ පිස්සුවක් ”

 

‘‘හංසක  සිද්ද  වුණ කිසි දෙයක් තේරුම් ගත්තේ නැහැ.  ඉන්න තැනකින් නිකංවත් කෝල් එකක් අපිට දෙන්නේත් නැහැ. තාරිගෙන් හරි විස්තර හොයාගමු වර්ෂ අයියේ. ”

 

‘‘ඔයා ඔය තත්වෙන් ඉඳගෙන  තාරි හම්බ වෙන්න කොහොමත් යන්න ඕනෙ නැහැ. ගිහාරා මං යන්නම් තොරතුරක් ගන්න බලන්න. හරි නේ. ඔයා stress ගන්න එපා ”

 

වර්ෂ තාරිව හමුවුණාට කිසිම වැඩක් වුනේ නැහැ.  තාරි  වර්ෂව තඹේකට මායිම් කලේ නැහැ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!