‘‘ යශේන්… ”
පොඩි බාප්පගෙ හඩට යශේන් ඇස් ඇරියා. කොල්ලා පුටුවක් උඩ හොඳ නින්දක් දාගෙන හිටියෙ.
‘‘ පොඩි බාප්පෙ. මොකෝ ”
පොඩි බාප්පා, නැත්තං මිල්ටන් ඇවිත් යශේන්ගේ පිටට තට්ටු කළා.
‘‘ යශේන්. ගේම් එකක් තියෙනවා මොකද කියන්නේ. කැමතිද ? ”
‘‘මගෙන්ද අහන්නේ? මම කවදා ද බෑ කිව්වේ පොඩි බාප්පට.. ”
‘‘ යශේන් මේක ටිකක් අමුතු කේස් එකක්. ඒ වුණත් වැඩේ ගොඩ ගියොත් අපිත් ගොඩ. ලේසි නෑ. ලක්ෂ පනහයි ඩීල් එක. ”
‘‘ මරුනෙ බාප්පේ.. මොකද කරන්න තියෙන්නේ ? කිඩ්නැප් ද? ”
‘‘ ඒ වගේ තමා. ඒත් මේක ටිකක් වෙනස්. වෙන්න ඕනේ මොනවද කියලා මම කියන්නම්. උඹට තියෙන්නෙ මං කියන විදිහට ගානට වැඩේ ගොඩ දාන එක විතරයි. ඉතුරු හරිය මං බලාගන්නම්. හරි නේ ”
‘‘ පොඩි බාප්පේ. මේ.. වහෙන් ඔරු භාෂාව මට බෑ. දන්නවනේ. කියන්න තියෙන දෙයක් කෙලින්ම කිව්වා නං ඉවරයි. යශේන් එක්ක ඔය හිතේ එකක් කටේ එකක් කතා බෑ. හරිද? ”
මේසේ උඩ තිබ්බ පිස්තෝලේ අතට අරගෙන කරකවන ගමන් යශේන් තදින් කිව්වා.
‘‘ යශේන්. මේකයි ගේම් එක. උඹ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනේ ”
යශේන්ගෙ ගේ දැඩි බැල්ම මිල්ටන් දිහාට යොමුවුණා.
‘‘ කෙල්ලෙක් ”
‘‘ ඔව්. ඇත්තම කිව්වොත් නම් කෙල්ලෙකුත් නෙවෙයි . බැඳපු එකියක්. ”
‘‘ පොඩි බාප්පා දන්නවනේ මං ඕවට කැමති නැහැ ”
‘‘ පුතා. මේක ඩීල් එකක් විතරනේ. පුතාට තියෙන්නෙ ඒ කෙල්ලව යාලු කර ගන්න විතරයි. ඉතුරු වැඩ සේරම මම බලාගන්නම්”
‘‘ කෙල්ල ලස්සනයි ද? ”
යශේන් ඇහැවෙ කට කොනෙන් හිනා වෙවී.
‘‘ ආයෙත් අහලා. මේ බලපන්කෝ ”
පොඩි බාප්පා දිග් කරපු ෆොටෝ එක යශේන් අතට ගත්තා. ඒත් ෆොටෝ එක දැක්ක ගමන් කොල්ලා ගැස්සිලා ගියා. ඒ මූණ. මාස ගාණක් පුරා හෙව්ව ඒ රූපය අද ෆොටෝ එකක් විදිහට තමන්ගේ අතට ලැබිලා. යශේන්ට ඒක විශ්වාස කරගන්න බැහැ. එදා වෙඩි වැදිලා වැටිලා ඉද්දි යශේන්ව බේරගන්න හදපු ඒ ගෑනු ආත්මය අයිති රුපකාය කොල්ලාගෙ පපුවටම කිඳා බැස්සේ කවදාවත් නොමැකෙන විදිහට.
‘ මොනවද හංසක ඔයා කියවන්නෙ. පාතාලේ තියා මොන තාලේ වුනත් මනුස්සයෙක් මෙහෙම පාරේ මැරෙන්නෙ වැටිලා ඉද්දි දාලා යන්නෙ මොන හිතකින්ද?’
ඇගේ ඒ අරුත්බර වදන් තාමත් කොල්ලගෙ කනට ඇහෙනවා වගේ. පිං පාට උතුරන ඒ මූණ දැක ගන්න කොල්ලගෙ හිතේ තිබ්බෙ පුදුම ආසාවක්.
හොස්පිට්ල් එකෙන් එලියට ආපු දවසෙ ඉඳල යශේන් ඒ කෙල්ලව හෙව්වා. ඒත් යශේන්ට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. අද දෙයියො දුන්න වගේ අතටම කෙල්ලව ගෙනත් දීලා. යශේන්ට නටන්න තරම් සතුටුයි. කෙල්ල මැරි කරලා කියන එක යශේන්ට අදාල වුණේ නෑ.
යශේන්ගේ මූණෙ ඉරියව් වෙනස් වෙන හැටි මිල්ටන් හොඳට නිරීක්ෂණය කළා. ඒකෙ තේරුම කොල්ලා මේ වැඩේ බාර ගන්නවා කියන එක.
‘‘ මොකද? උඹට හිතෙනවද කෙල්ල හොඳයි කියලා ”
‘‘ බාප්පේ මට කෙල්ල ගැන ඩීටේල්ස් ඔක්කොම ඕන ”
‘‘ ඒ ඔක්කොම උඹට ලැබෙයි පුතා. මේ කෙල්ල ඉහළ අත්තක් ”
‘‘ ඒත්. ඇයි මං ඒ කෙල්ල එක්ක යාලු වෙන්න ඕනේ? ”
‘‘ ඒ හැමදේම මං හෙමිහිට පැහැදිලි කරන්නම්. ඒත් දැන්ම බෑ. දැනට උඹට තියෙන්නෙ මේ කෙල්ලව යාලු කරගන්න විතරයි. වෙලාව, කරන්නේ කොහොමද, ඒ හැමදේම මං ගානට ප්ලෑන් කරලා තියෙන්නේ. අපිට මේ වැඩේට යොදාගන්න පුළුවන් එකම කොල්ලා උඹ විතරයි. මොකද පොශ් ටයිප් එකට ඇන්දම උඹ පාතාලෙ කියලා දැක්ක එකෙක්ට හිතාගන්න බැහැ.
යශේන් කට කොනෙන් හිනා උනා .
‘‘ දැන් බාප්පා කියන්නේ මට මැර වැඩ අමතක කරලා නළුවෙක් වෙන්න කියල ද? ”
‘‘ හිතුවොත් කරන්න බැරි වැඩක් නැහැ පුතා. උඹ මේ වැඩේ බාර ගන්න ඕනෙ ”
යශේන් ඒ ෆොටෝ එක උඩ දෙතොල් තිබ්බා. මිල්ටන් දැනගත්තා වැඩේ ගොඩ කියලා. එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. මිල්ටන් පුටුවෙන් නැගිට්ටා.
——————–
කාලය ගෙවිලා ගියේ වේගෙන්. දැන් ගිහාරා ඇකඩමි එකට ඇවිත් මාස තුනයි. ගිහාරා අද ඇකඩමි එකෙන් එලියට ආවෙ ටිකක් පරක්කු වෙලා. ඒත් පුරුදු වාහනය තාම ඇවිත් නැහැ වගේ.
අමායා ඇකඩමි එකට ගිහාරාට යන්න එන්න වාහනයක් ලැහැස්ති කරලා තිබ්බේ. හංසක සාමාන්‍යයෙන් උදේට ගිහාරාව ඇරලනවා. ඒත් හවසට හංසකට එන්න විදිහක් නැහැ. මොකද හංසකට වැඩ වැඩියි.
ගිහාරා හිතපු නැති විදිහට ගිහාරාගේ ඉස්සරහා නැවැත්තුවේ බයික් එකක්. එ්කෙන් බැස්සෙ මැර පෙනුම තියෙන කොල්ලා දෙන්නෙක්.
‘‘ ආ.. මිස් කොහෙද යන්නෙ ? ”
කොල්ලො දෙන්නා එකපාරටම අහද්දි ගිහාරාට මොකුත් හිතා ගන්න බැරි වුනා. ගිහාරා වටපිට බැලුවේ මෙතනින් මාරු වෙන්න බලාගෙන.
‘‘ ඇයි අහන්නෙ? ”
එක කොල්ලෙක් ගිහාරා හිතුවෙ නැති විදියට ගිහාරාගෙ අතකින් ඇල්ලුවා..
‘‘ මොනවද මේ කරන්නේ. අතාරින්න. ”
ගිහාරා කෑ ගැහුවත් ඒ හරියෙ වෙන කවුරුවත් හිටියෙ නැහැ. ඒ එක්කම එතන බ්රේක් කළේ කලු පාට ජිප් එකක්. බැස්සේ වැදගත් පෙනුම තියෙන කොල්ලෙක් .. ”
අර කොල්ලො දෙන්නා කට කොනෙන් හිනා වෙවී ඒ කොල්ලා දිහා බැලුවා. ගිහාරා පුදුම වෙලා බලාගෙන හිටියා.
‘‘ මොකද්ද අවුල මල්ලිලා.. ”
කොල්ලා ඇහැවෙ ගහගන්න වගේ.
‘‘ මේ අයියා. පව් නොදී යනවද? ”
කොල්ලො දෙන්නත් කිසි වගක් නැතුව කියලා දැම්මා.
‘‘ හරි මං යන්නම්. හැබැයි ඔය නංගිවත් අරිනවා ”
‘‘ ඇයි? මේ සුකුමල අංගනාව අයියගේ කවුරුහරි ද ? නෑනේ ”
‘‘ මගේ කවුරුවත් නොවුනට එයා කාගේ හරි කවුරුහරි නේ. මට ඈතදිම තේරුණා තමුසෙලා බලෙන් තමයි කෙල්ලගේ අත ඇල්ලුවේ ”
ගිහාරා තාමත් අත මුදා ගන්න දඟලනවා. යශේන් වැඩේ පටන් ගත්තා. තමන්ගේම ගෝලයො දෙන්නට මදි නොකියන්න කොල්ලා සැලකුවා. ගේමක් නැතුව ගෝලයෝ දෙන්නා ගුටි කෑවේ කොල්ලගෙ ප්ලෑන් එක හින්දා.
කොල්ලො දෙන්නා බයික් එකේ නැගලා ගියාට පස්සේ යශේන් ගිහාරා දිහාට හැරුණා. ඒ ඇස් ගැහෙනවා. ඒ අහිංසක මූණ ඒ විදිහමයි. දිග කොණ්ඩෙ කඩා හැලෙනවා. කහ පාට මල් වැටුණු සුදු පාට දිග ගවුමක් ඇඳලා.
ගිහාරාට යශේන්ගෙ ඇස්වල හුරු බවක් දැනුනා. ඒත් යශේන් කවුද කියලා ගිහාන්ට මතක් වුණේ නැහැ. මොකද යශේන් ගිහාරා දකිනකොට හිටියේ මූණ පුරාම රැවුල වවාගෙන. ඒත් දැන් කොල්ලා රැවුල කපලා පිලිවෙලට ඉන්නවා. වැදගත් විදිහට ඇඳගෙන ඉන්නවා.
‘‘මිස්ට අවුලක් නෑ නේද? ”
යශේන් ඇහැවෙ බොහොම වැදගත් විදිහට. ගිහාරා තවම ගැහෙනවා.
‘‘ ඔව් ප්‍රශ්නයක් නැහැ. අනේ ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා ලොකු උදව්වක් මට කළේ. ඔයා ආවේ නැත්නම් මට මොනවා වෙයිද දන්නේ නැහැ ”
‘‘ ආ.. ඒක සුළු දෙයක්. ඒක එච්චර හිතන්න එපා. ඒත් මේ වෙලාවේ ඔයා තනියම මොකද මෙතන කරන්නේ ”
‘‘ ඇත්තටම මං හිටියෙ වාහනේ එනකල්. අද වාහනේ ලේට් වෙලා වගේ ”
‘‘මම ටවුන් එක පැත්තට යන්නේ. ඔයා කැමති නම් ලිෆ්ට් එකක් දෙන්න පුළුවන් ”
‘‘නෑ කමක් නෑ. මං යන්නම්. තෑන්ක්ස් ”
‘‘ ඒත් අර කොල්ලො දෙන්නා ආපහු එන්නත් පුළුවන්.. ”
යශේන් කිව්වේ ඇස් හීනි කරලා. එහෙම කියනකොට ගිහාරට ගොඩක් බය හිතුණා. ගිහාරා ඒ ගමන්ම ෆෝන් එක ඇරගෙන වාහනේ ඩ්‍රයිවර්ට කෝල් එකක් ගත්තා.. ඒත් ආන්ස්වර් කළේ නෑ. ඊළගට හංසකට කෝල් කළා. ඒත් හංසකත් ෆෝන් එක ආන්සර් කළේ නැහැ. යශේන් හිටියෙ ගිහාරාගෙ හැම ඉරියව්වක්ම නිරීක්ෂණය කරන ගමන්.
‘‘ ඇත්තටම මං හස්බන්ඩ්ට කෝල් කෙළේ. ඒත් එයා ආන්ස්වර් කරන්නෙ නෑ. අද මීටින් එකක් කීවා. තව ඉවර නැතුව ඇති. වෙහිකල් එකේ ඩ්‍රයිවර් ආන්ස්වර් කරන්නෙත් නෑ. ”
ගිහාරා කිව්වේ බොහොම කලබලෙන්.
‘‘බයවෙන්න එපා මිස්. මං ඩ්‍රොප් කරන්නම්. එන්නකො. ”
යශේන් ජීප් එකේ එහා පැත්තෙ දොර ඇරියා. කළුවර වැටීගෙන එන නිසා කෙල්ලට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. හංසක ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. ඒ නිසා ගිහාරා යශේන්ගේ ජිප් එකට නැග්ගා. යශේන් ජිප් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට ඇදුනා.
‘‘ මිස් මොකද අතන හිටියෙ ? ඇකඩමි එකටවත් යනවද? ”
යශේන් පුළුවන් තරං හෙමිහිට තමා වාහනය පැදගෙන ගියෙ. මේ රසබර මොහොත නැති කරගන්න යශේන්ට උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් ගිහාරාට නම් තිබ්බෙ පුදුම හදිසියක්. ඒත් අනුන්ගේ වාහනයක නැගලා හදිසි කරන්න පුළුවන්කමකුත් නැහැ නේ. ඒ නිසා ගිහාරාත් සද්ද නැතිව හිටියා.
‘‘ ඔව්… මං ඇකඩමි එකේ ඉගෙන ගන්නවා. ”
‘‘ ඒක නෙවෙයි… මම යශේන්… ඔයා? ”
‘‘ ගිහාරා ”
එතනින් එහාට අහන්න කියන්න ගොඩක් දේවල් තිබ්බට යශේන්ට හිතාගන්න බැහැ මොනවා අහන්නද මොනවා කියන්නද කියලා. කොච්චර වණ්ඩිකම් දැම්මත් මේ ගෑණු ළමයා ඉස්සරහ දි යශේන්ට දැනුනෙ තමන් අඩු මට්ටමක බව. යශේන්ට ඕනෙ නම් මේ දැන්ම ගිහාරාව ඕන තැනක අරං යන්න තිබුණා. කිඩ්නැප් කේස් යශේන්ට මහ දේවල් නෙවෙයි. ඒත් යශේන්ට ගිහාරා දැක්කට පස්සෙ කෙල්ල ගැන දැනුනෙ ගොඩක් පහන් හැගීමක්. කොච්චර නරක දේවල් කළත් ගිහාරාගෙන් එදා ඇහුණු මනුෂ්‍යත්වයෙන් පිරුණු වදන් නිසා කොල්ලගෙ හිත කැළඹිලා තිබුණෙ. ඒ තරම් කරුණාවක් යශේන් ජීවිතේ කවදාවත් විඳලා තිබුණෙ නෑ.
‘‘ ටිකක් ඉක්මණට යමුද ? ”
ගිහාරා ඇහැවෙ බැරිම තැන.
‘‘ ඇත්තටම මං ගොඩක් වේගෙන් ඩ්‍රයිව් කරන්නේ නැහැ. ”
‘‘ එහෙමද? හංසක නම් එහෙම නෑ. කොච්චර කිව්වත් අහන්නේ නෑ. ස්පීඩ් යනවා ”
හංසක ගැන කියනකොට යශේන් අතින් ඇක්සලේටර් එක නිකම්ම පෑගුනා. කොල්ලට හිතාගන්න බෑ මේ සන්සුන් වත දැක්කට පස්සේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. ඇය අන්සතු මලක් කියන දේ යශේන්ට දැන් අමතකයි.
‘‘ හංසක කිව්වෙ.. ”
‘‘ ආ.. මගේ හස්බන්ඩ් ”
‘‘ එහෙමද? ”
කොල්ලා යටි තොල හපාගත්තා.
‘‘ මේ ඇහුණද ? මිස්ටර් යශේන් මාව මේ හරියෙන් දාන්න. මං අර ටැක්සියක යන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි මට කරපු උදව්වට. ගොඩක් පින් ”
කොල්ලා ජිප් එක පැත්තකට කරලා නතර කළා. හිනාවෙලා බහින ගිහාරා දිහා යශේන් පුදුමෙන් බලන් හිටියා.
‘ඔයාට ගොඩක් ස්තුතියි මට කරපු උදව්වට. ගොඩක් පින් ’
කවමදාවත් කවුරුවත් ඒ විදිහෙ වචනයක් කොල්ලට කියලා නැහැ. මොකද කොල්ලා කරල තියෙන්නේ පින් දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජීවිතේ පළවෙනි වතාවට උදව්වක් කරලා යශේන් සතුටු වුණා.
‘ගොඩාක් පින්’
ඒ වචනෙ යශේන්ගෙ හද පත්ලටම වැදුනා. ගිහාරා ටැක්සියට නගින හැටි යශේන් බලාගෙන හිටියා. යශේනුත් ටැක්සිය පිටි පස්සෙන් නොදැනෙන්න ෆලෝ කළා. ගිහාරා ඉන්න තැන දැනගෙන හිටියත් කොල්ලට නිකමට වගේ යන්න හිතුණා.
ගිහාරා කාමරේ එහෙට යනවා. මෙහෙට යනවා. කෙල්ල නොසන්සුන්. හංසක ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. අද වෙච්චි දේවල් අනිවාර්යෙන්ම හංසකට කියන්න ඕන. එ්ත් හංසක කොහොම ප්‍රතිචාරයක් දක්වයිද?
‘ අනේ! දෙවියනේ මං මොකද කරන්නේ? නොදන්න කොල්ලෙක් එක්ක, නොදන්න වාහනේක ඒ විදිහට ආවා කිව්වොත් හංසක ඒක සාමාන්‍ය විදිහට පිළිගනීද? පැහැසර එක්ක කතා කරනවා කියලා එයා මගෙත් එක්ක කොච්චර රණ්ඩු ඇල්ලුවාද? දැන් කොච්චර සමගියෙන් ඉන්නවද අපි දෙන්නා. අර කොල්ලො දෙන්නා ගැන කිව්වොත් එයා කොහොම හැසිරෙයිද ? සමහරවිට මට ආයෙ ඇකඩමි එකට යන්න දෙන්නෙත් නැති වෙයි. මං මොකද කරන්නේ? අනික ඕක අල්ලගෙන සති ගාණක් කියවයි.. මට වද දෙයි.. ’
කල්පනා කරලා කරලා අන්තිමේදී ගිහාරා තීරණය කළා මේ ගැන හංසකට මුකුත් නොකියන්න. කිව්වොත් අනිවාර්යයෙන් කොල්ලා ආයෙ යන්න දෙන්නේ නැහැ කියලා ගිහාරා දන්නවා. ඒත් කෙල්ලට ඒ වෙලාවෙ මතක් වුණේ නැහැ, මේ ගැන හංසක ට කෙලින්ම එයාම නොකියා, වෙන කෙනෙක් කිව්වම මොනවා වෙයිද කියලා .
‘‘ ගිහාරා ඩාලිං… ”
ගිහාරා තීරණයක් අරගෙන ඇදෙන් නැගිටින කොටම අමායා කාමරේට ආවා.
‘‘ බලන්න ඩාලිං. අද ඔයාගෙ වාහනේ ඇවිත් නෑ නේද? මේ ඩ්‍රයිවර්ට ටිකක් අසනීප වෙලා. ඔයා ආවෙ කොහොමද? ”
‘‘ ආන්ටි මං.. ”
‘‘ කෙල්ලෙ. කොහොම ආවත් කමක් නෑ. ප්ලීස් හංසකට කියන්න එපා අද ඩ්‍රයිවර් ආවෙ නෑ කියලා. දන්නවනෙ කොල්ලගෙ හැටි. ඩ්‍රයිවර් බයවෙලා ඉන්නෙ හංසක එයාව අස් කරයි කියලා. මිනිහට පොඩි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ”
‘‘ හරි ආන්ටි ”
‘‘ ගුඩ් ගර්ල්. ”
තමන් ගත්ත තීරණේ ගැන ගිහාරාගෙ වැනෙන හිත එක තීරණේකට ආවෙ අමායාගෙ බලපෑමත් එක්ක.
දින දෙකක් ගත වුණේ නොදැනීම වගේ. තුන්වැනි දවසේ හවස ගිහාරා ඇකඩමි එකෙන් එළියට ආවට එදා විදිහටම වාහනේ ඇවිත් තිබ්බේ නැහැ. විනාඩි දහයක් ගියත් වාහනය නැති තැන ගිහාරා හිතුවේ එන බස් එකක යන්න. ඒ වුණත් හිතුවේ නැති විදිහට යශේන්ගෙ ජීප් එක ගිහාරාගෙ දෙපා මුල නතර වුණා. ෂටර් එකෙන් ඔලුව දාපු කොල්ලා ගිහාරාට කතා කළා.
‘‘ මිස් ලිෆ්ට් එකක් දෙන්නම්. අදත් වාහනේ නැද්ද? ”
කොල්ලා අහනකොට ගිහාරා යාන්තම් හිනා වුනා
‘‘ බයවෙන්න එපා. එදා වගේම මගට දාන්නම්. නගින්න… මම යන්නෙත් ඒ පැත්තට ”
මේක කොහොමත් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ගිහාරාට කරගන්න දෙයක් නැහැ. වට පිටේ මිනිස්සුත් අමුතු විදහට බලනවා. කෙල්ල අකමැත්තෙන් වුණත් ජීප් එකට ගොඩ උනා.
‘‘ඉතින් කොහොමද මිස් ? ”
මේක යශේන්ගේ සාමාන්‍ය ස්වභාවය නෙවෙයි. යශේන්ට මෙහෙම කතා කරලා පුරුදු නෑ. ඒත් කොල්ලා ආයාසයෙන් මේ රඟපෑම ගෙනියනවා. එක අතකට මේක රඟපෑමකුත් නෙමෙයි. කොල්ලා ගිහාරා එක්ක කතා කරන්නනෙ හදවතින්මයි. කවදාවත් කෙල්ලෙක්ගෙ හිතට ළං වෙච්චි නැති යශේන් දන්නෙම නැතිව ගිහාරාගෙ ලෝකෙ අතරමං වෙලා. කොල්ලට රෑට නින්ද යන්නෙත් නැහැ. පහුගිය දවස් දෙකේදි ගිහාරාට පේන්න නාවට ගිහාරා ඈතින් එන දිහා කොල්ලා බලාගෙන හිටියා. අද උදේ හංසක ගිහාරාව ඩ්‍රොප් කරනවත් යශේන් බලාගෙන හිටියා.
ගිහාරා හිතුවේ නැති විදිහට යශේන් රෙස්ටුරන්ට් එකක් ළඟ ජිප් එක නතර කළා.
‘‘ තිබහයි. මොනවා හරි බීල යමුද? ප්ලීස්.. දවල්ට කෑවෙත් නැහැ. ”
‘‘ ඔයා බීලා එන්න. මම ඉන්නම්. ”
ගිහාරා කිව්වේ කොහොමත් මේක හරි යන්නේ නැති නිසා.
‘‘ එහෙම හරියන් නෑනේ. මේ… මේ… යමු. බයවෙන්න එපා ”
‘‘ එහෙම හොඳ නෑ. මං එක්ක යන එක ඔයාටත් හොඳ නෑ මටත් හොඳ නෑ. ඒ නිසා ඔයා බීලා එන්න. මම ඉන්නම් ”
යශේන් ජීප් එකෙන් බැහැලා ඇවිත් දොර ඇරියා. ගිහාරාව කොහොම හරි එක්ක යන්න ඕනෙ. වෙලාවකට යශේන්ට මේ වැඩේ ගැන මාර තරහයි. ගිහාරා කොච්චර හොඳ ගෑණු ළමයෙක් ද? එහෙම කෙනෙක්ව මෙහෙ රවට්ටන එකට තමන්ගෙ හෘද සාක්ෂිය සමාවක් දෙයි ද ?
‘‘එන්නම ඕනේ. අද මගේ බර්ත්ඩේ එක. ප්ලීස් ”
යශේන් අහිංසක විදිහට එහෙම කියද්දී, ගිහාරා අසරණ වුණා. කෙල්ල හිමිහිට බිමට බැස්සා. ගිහාරා පැකිලි පැකිලි යශේන් පිටි පස්සෙන් ගෑටුවා. යශේන්ට ඇත්තටම පුදුමයි. ගිහාරාගෙ හැසිරීමෙන් තේරෙන්නෙ එයා හස්බන්ඩ්ට ගොඩක් බයයි වගේ. ටේබල් එකක් ළග ඉඳගත්තට පස්සෙත් ගිහාරා හිටියෙ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ..කොයි වෙලේ ගිනි කන්ද පුපරලා ලෝදිය ගලලා ඒ ගින්නෙන් පිච්චිලා යාවිද කියලා බයෙන් ගැහෙන හදවතින්.
‘‘ මොකද? ..හංසක මතක් උනාද.. ”
යශේන් ඇහැවෙ කේක් එක්ක ඔරෙන්ජ් ජූස් ඕඩර් කලාට පස්සේ.
‘‘ ආ. ..ඔයා කොහොමද හංසක ගැන දන්නෙ? ”
‘‘ ඇයි ළමයො… ඔයාමනෙ මට එදා කිව්වෙ. ඔයාගෙ හස්බන්ඩ් හංසක කියලා. ”
කොල්ලා ටේබල් එක උඩ තිබ්බ ගිහාරාගෙ දිගැටි ඇගිලි දිහා බලලා ඇහැවා.. ඒ වමතෙ වෙදගිල්ලෙ රන් මුදුවක් සිරවී තිබ්බා.. ඒක දැක්කම කොල්ලගෙ හිත හෝස් ගාලා කඩා වැටුණා..
‘‘ ඒක නෙවේ මැඩම්. මට හැපි බර්ත්ඩේ කියන්නෙ නැද්ද.. ”
‘‘ ආ… සොරි… මොකද්ද ඔයාගෙ නම කිව්වෙ ..මිස්ටර් යශ්..නේද.. ”
කෙල්ලට නම හරියට මතක නෑ
‘‘ යශේන්..ඒත් යශ් කියනවට මං ගොඩක් කැමතියි.. ”
‘‘හැපි බර්ත්ඩේ මිස්ටර් යශේන් ”
ගිහාරා එහෙම කිව්වම කොල්ලගෙ හිතට දැනුනෙ මදිකමක්. ගිහාරා අමුතුම ජාතියේ කෙනෙක් කියලා කොල්ලට තේරුණා.
‘‘ තෑන්ක්ස්… ”
‘‘ මං කේක් ඕඩර් කලා.. කමක් නෑ නේද? ”
ගිහාරා බිම බැලුවා. ඒ එක්කම වගේ ගිහාරාගෙ ෆෝන් එක රිං උනා..
‘හංසක..’
කෙල්ල ගැහෙනවා. .ගිහාරා නොසන්සුන් වුන හැටි කොල්ලා දැක්කා.
‘‘ඇයි හංසකද? ”
‘‘ ඔව්… ”
‘‘ඉතිං ආන්ස්වර් කරන්න.. ”
කොහොමත් යශේන්ට වැරදි ප්‍රතිරූපයක් දෙන්න ගිහාරාට ඕනෙ වුනේ නෑ.. කෙල්ල ෆෝන් එක ආන්ස්වර් කලා.
‘‘ ගිහාරා..කොහෙද ඉන්නෙ..? ”
‘‘ හංසක..මං ට්‍රෝජන් රෙස්ටුරන්ට් එකේ.. ”
‘‘ මොකක්? තමුසෙ කොහෙද ඔහෙ ගියෙ? ”
‘‘ යාලුවෙක් එක්ක .. ”
‘‘ හ්ම්..ඉක්මණට එනවා මං අද කලින් එනවා.. ”
‘‘ හා… ”
හංසක ෆෝන් එක කට් කලා.
‘‘ බොන්න… ”
යශේන් බීම වීදුරුව කෙල්ලට පෙන්නුවා.
යශේන්ගෙ ඇස් ඒ සොඳුරු වත විදිනවා. කෙල්ල හිටියෙ පුදුම අපහසුවකින් .ගිහාරා හිටියෙ උගුලකට අහුවුණ මුව පැටියෙක් වගේ.
‘‘ අපි යමුද? ප්ලීස්.. ”
කොල්ලා ඔලුව හෙල්ලුවා..තවදුරටත් ගිහාරාව අපහසුතාවයට පත් කරන්න යශේන් හිතුවෙ නෑ.
———————————————-
ගිහාරා ගෙදරට ඇතුළු වුණේ බයෙන් වගේ
‘‘සුදු නෝනෙ.. අන්න මහත්තයා කලින් ඇවිත් අද. නෝනෙව හෙව්වා. ”
නීලා ගෙට ගොඩවුණු ගිහාරාට කිව්වෙ මහත්තයාගෙ හැටි දන්න නිසා. එයා ගෙදර එන වෙලාවට නෝනා ගෙදර ඉන්න ඕනෙ. ඒක තමා එයාගෙ නීතිය. ඒත් අද නම් මහත්තයාගෙ මූඩ් එකේ අවුලක් පෙනුණෙත් නෑ.
‘‘ හා ..එයා ආවද නීලා. මං බලන්නම්. ”
ගිහාරා කඩිසරව පඩිපෙළ නැග්ගා.
ගිහාරා රූම් එකට යනකොටම හංසක ගිහාරව බිත්තියට තද කරගත්තා. කොල්ලා පිස්සුවෙන් වගේ තමන්ගෙ ප්‍රිය බිරිඳව සිපගන්න පටං ගත්තා..
‘‘ අනේ! හංසක මොකද මේ… ”
‘‘කෑ නොගහ ඉන්නවද පාඩුවේ. මට වැඩක් කරගන්න දීලා. ”
‘‘ ඔයාට පිස්සු හංසක. ඇයි අද කලින් ආවෙ ? ”
‘‘ මට මතක් උනා… මං ආවා. එච්චරයි.. ”
හංසකගෙ නොසන්සුන් සුසුම් ගිහාරාගෙ ගෙල පාමුලට දැනෙනවා.
‘‘ හංසක… මේ අහන්නකෝ… මට දෙයක් කියන්න තියෙනවා ”
ගිහාරා හිතුවේ යශේන් ගැන හංසකට කියන්න. මොකක් වුණත් ගිහාරාගේ හිතට හරි මදි. හංසක බැන්නත් ගැහුවත් කමක් නෑ කියලා හිත හදාගෙන වෙච්චි ඔක්කොම කියන්නයි කෙල්ල ලෑස්ති වුණේ.
‘‘ මට මොකුත් අහන්න ඕනේ නෑ දැන් ”
‘‘ අනේ හංසක අහන්නකො ”
‘‘ සද්ද නොකර ඉන්නවා ගිහාරා ”
කොල්ලට ඒ වෙලාවේ ඕන වුණේ කතා කරන්න නෙවෙයි ගිහාරගේ සුවඳ විඳින්න. දෛවයේ සරදමකට වගේ ගිහාරට ලැබුණු අන්තිම අවස්ථාව ඒක.
එදා රෑ හංසකට යාළුවෙක්ගෙ පාර්ටි එකක්. හංසක ගිහාරාව එහෙ එක්ක ගියේ නෑ. හංසක එද්දි ගොඩක් රෑ වුණා. කෙල්ලා එහෙමම ඇඳට වැටුණා. පහුවදා උදේ හංසක ඇහැරෙන්න වෙලා ගිය නිසා ගිහාරා වාහනේ ඇකඩමි එකට ගියා. යශේන් ගැන හංසකට කියා ගන්න බැරි වුණ එක ගිහාරාගෙ හිතට වද දුන්නා. අද හවස නම් කොහොම හරි කියනවා කියලා ගිහාරා හිතා ගත්තා.
හවස හංසක ඔෆිස් එකෙන් යන්න ලැහැස්ති වුණා. කොල්ලා එළියට ඇවිත් කාර් එකේ දොර අරින කොටම හංසකගේ ෆෝන් එකට නාඳුනන අංකෙකින් Whatsapp message එකක් ඇවිත් තිබුණා. හංසක නිකමට වගේ ඒක ඕපන් කළා. දැක්ක දෙයින් හංසකට උන්හිටිතැන් අමතක උනා.
Whatsapp message වල එවලා තිබ්බෙ ෆොටෝස් වගයක්. ඒ ෆොටෝස් වග හිටියෙ ගිහාරා තවත් කොල්ලෙක් එක්ක. ගිහාරා ඒ කොල්ලට ලං වෙලා කතා කරනවා. ඒ වගේම දෙන්නා එකට බීම බොනවා. ඊයේ ගිහාරා ඇඳගෙන ගියපු නිල් පාට ගවුම ඒ. ජීප් එකක් ළගත් ඉන්නවා. තව ජීප් එකට නගිනවාත් එක්ක. දවස් දෙකක ෆොටෝස්. ඒ ඉන්නෙ එයාගෙ කහ පාට මල් වැටුණු දිග ගවුම ඇඳගෙන. මොකක් වුණත් මේවා ඊයේ පෙරේදා ගත්ත ෆොටෝස් බව කොල්ලට පැහැදිලියි.
හංසකගෙ ඇස් රතු වුනා. මූණ කළු වුණා. කොල්ලට කේන්තිය උපරිමයි. මෙහෙම දෙයක් හංසක හීනෙන්වත් බලාපොරොත්තු වුණේ නෑ. හංසක ෆෝන් එක පොළේ නොගහ ඉවසන් හිටියෙ අමාරුවෙන්. කොල්ලා කාර් එකේ රෝදෙට පයින් ගහන හැටි සිකුරුටි බලං හිටියේ ඇස් ලොවි ගෙඩි දෙකක් වගේ කරගෙන. හංසක කාර් එකට නැගලා දඩාං ගාලා දොර වැහැවා. එනපොට හොඳ නැති බව තේරුම් ගිය සිකුරුටි ඉක්මණට ගෙට් එක ඇරියා.
අමායා දරුවො දෙන්නත් එක්ක කෑම මේසෙ ළග ඉඳගෙන හිටියේ. හංසක යකා වගේ ඇවිත් පඩිපෙළ නගින හැටි අමායා තියුණු ඇස් වලින් නිරීක්ෂණය කළා.
‘ වැඩේ පත්තු වෙලා’
අමායා යටි හිතෙන් හිනා උනා. ගිහාරා අද කලින් ඇවිත් හෝම් වර්ක් වලට දුන්නු අසයිමන්ට් එකක් කර කර හිටියෙ. එකපාරටම රූම් එකේ දොර දඩාස් ගාලා ඇරගෙන ආව කොල්ලව දැක්කම ගිහාරා පුදුමෙන් පුටුවෙන් නැගිට්ටා.
‘‘ හංසක ඔයා. ”
හංසක පැනපු ගමන් ගිහාරාගෙ බෙල්ලෙන් අල්ල ගත්තා.
‘‘ ගිහාරා දැනගනින්. මං උඹව මරනවා. මරන එක මරනවා. උඹ හිතුවේ උඹ එක එකා එක්ක නාඩගම් නටලා මගේ ළගට එනකම් මං බලන් ඉඳියි කියලද? කියපන්.. කවුද ඌ? මං ඌවත් ඉවර කරනවා. උඹ මං ගැන හිතාගෙන ඉන්නෙ කොහොමද යකෝ. උඹ ඌත් එක්ක රෙස්ටුරන්ට් ගානෙ රවුම් ගහලා ඇවිත් ලැජ්ජා නැතිව ඊයෙ මට තුරුළු වුණේ. ගොඩේ වුණාට ඒවාට ගොඩේ නෑ. ”
හංසකගෙ කේන්තිය උපරිමයි. කොල්ලම දන්නෙ නෑ මේ කියන්නෙ මොනවද කියලා. හංසක ඒ වෙලාවෙ හිටියේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මානසිකත්වෙක නෙවෙයි.
‘‘ හංසක පුතා… මේ මොකද? අතාරින්න. ඔය කෙල්ල… අනේ අතාරින්න ”
හංසක උඩට ගියපු හැටියට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා අමායා කෝකටත් උඩට නැග්ගා. අමායා හංසකගෙ අතේ එල්ලුන නිසා ගිහාරාගෙ බෙල්ල අතහැරියා. ගිහාරාට හුස්ම ගන්න බැහැ. හුස්ම හිරවෙනවා.
‘‘ හංසක පුතා… මොකද වෙලා තියෙන්නෙ? ඔයා මිනී මරුවෙක් වෙන්නද හදන්නෙ.. ඇයි මේ කෙල්ලට මෙහෙම කරන්නේ? මොකක්ද මේ කෙල්ල කරපු වැරැද්ද? ”
අමායා ආන්ටිගෙ සැර කටහඬ නිසා හංසක ටිකක් මෙල්ල වුණා. ගිහාරා පපුව අල්ලගෙන වෙව්ලනවා. හංසක දිහා බලන්න කෙල්ලට බයම බයයි. හංසක මෙච්චර කේන්තියෙන් ඉන්නවා කෙල්ල මීට කලින් දැකලා නෑ.
‘‘ ආන්ටි මගෙන්ද අහන්නෙ? ආ..මේකිගෙන් අහන්න.. මං කොච්චර විශ්වාස කරාද මේකිව. තාරිගෙන් ඈත් වුණා. මගේ පරණ පුරුදු ජරා ජීවිතේ අතහැරියෙත් ඒ මේකි නිසා. දන්නවද මම මේකිට කොච්චර ආදරේ කලාද කියලා. මට ඒක කියන්න වචන නෑ. ”
ගිහාරා පුදුමෙන් ඇස් ලොකු කරගෙන ඒ වදන් අහගෙන හිටියා.
‘ ආදරෙයි ’
හංසක කවදාවත් නොකිව්ව ඒ වචනෙ මෙච්චර තරහින් මේ විදිහට හංසකගෙ කටින් අහගන්න ලැබෙයි කියලා කෙල්ල කීයටවත් හිතුවෙ නැහැ. ඒත් ඇයි මෙච්චර තරහින් ඉන්නේ? මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ? යශේන් ගැන දැනගෙන වෙන්න ඔනේ.. ගිහාරාට කිසිම දෙයක් හරියට හිතා ගන්න බැරි වුණා.
‘‘ ප්ලීස්… වෙලා තියෙන දේ කියනවා හංසක ”
අමායා කෑ ගැහුවා. ඒත් හංසක ආයෙත් ගිහාරාට ගහන්න පැන්නා. ඒත් අමායා ඒ අතේ එල්ලුණා.
‘‘ හංසක නවත්තන්න. ගිහාරා පුතේ ඔයා යන්න පහලට. නංගීයි මල්ලීයි දෙන්නත් බයවෙලා ඇති. ඔයා එයාලත් එක්ක පහළ රූම් එකට යන්න. මං මේක කතා කරලා විසඳන්නම්. යන්න දැන් ”
ගිහාරා අමායාට අවනත වෙලා අඩාගෙන කාමරෙන් පිට වුණේ, නැත්නම් හංසකගෙන් මැරුම් කන්න වෙන බව තේරුණු නිසා. හංසක මේසෙ උඩ තිබුණු දෙන්නගෙ මගුල් ෆොටෝ එක අරගෙන පොලේ ගහන සද්දෙ පඩිපෙළ බහින ගිහාරාට ඇහුණා. කෙල්ලට හරි දුකයි. ගිහාරාට දැනුනේ හංසක තමන්ට පිහියෙන් ඇන්නා වගේ.
‘‘ හංසක. ඕක නතර කරන්න. සිද්ද වෙච්චි දේ පැහැදිලිව කියලා ඉන්න මට ”
‘‘ කියන්නේ මොනවද ආන්ටි. ආන්ටිම මේවා ඇස් වලින් බලාගන්න. ගොඩේ නැට්ටිච්චගෙ කෙරුවාව ”
හංසක ෆෝන් එක දිග් කළා. අමායා ලෝක පුදුමෙ දැක්කා වගේ පුදුමෙන් ෆොටෝස් බලන්න පටන් ගත්තා .
‘‘ දෙයියනේ හංසක… මේ මොනවද වෙන්නේ.. ”
‘‘ ආන්ටි දැනුත් කියන්නේ මට ඒකිව හුරතල් කරන්න කියලද ? ”
‘‘ මගෙ තමයි වැරැද්ද. මම තමයි ඇකඩමි යන්න ඉඩ දෙන්න කිව්වේ. ”
‘‘ මං ඕක නිසා තමයි ඕකි යවන්න අකමැති උනේ. ගොඩේ නැට්ටිච්චි වුණාට අනික් වැඩ හොඳට ගාණට කරගන්නවා. ”
‘‘ හංසක… පුතා. කලබල වෙලා අපිට ප්‍රශ්න විසඳන්න බැහැ නේ. සමහර විට මේ යාළුවෙක්ද දන්නේ නැහැනේ ”
‘‘ යාලුවෙක්… මං ඇරෙන්න කොල්ලෙක් ඕනෙද යාළුවෙක් විදිහට කසාද බැන්ඳට පස්සේ. අනික පහුගිය ටිකේම ගිහිල්ලා තියෙන්නෙ ඒ කොල්ලත් එක්ක. ඕකිට නිකං හරි මට කියන්න ඕනි කියලා හිතුනේ නැද්ද යාලුවෙක් නම් ”
හංසක අමායාටත් රවාගෙන කාමරෙන් පිට වුණා. අමායාගේ කට කොනට හිනාවක් ආවේ නිතැතින්මයි. ගිහාරා පහළ රූම් එකක ඇදේ පෙරළිලා අඬනවා හොඳටම. අමායා ඇවිත් ඇඳේ පෙරලිලා ඉන්න ගිහාරාගේ ඔලුව අත අතගෑවා.
‘‘ ගිහාරා.. ඩාලිං නැගිටින්නකො ”
ගිහාරා ඔළුව ඉස්සුවා. ගිහාරාගෙ මූණ හොඳටම රතු වෙලා. කොණ්ඩෙ පිස්සියක් වගේ. ගිහාරා අමායාව දැක්ක ගමන් බදා ගෙන අඩන්න පටං ගත්තා.
‘‘ ආන්ටි… මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ. මට හිතාගන්න බැහැ ”
‘‘ ගිහාරා කලබල වෙන්න එපා. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි. ඔයා කවුරු හරි කොල්ලෙක් එක්ක පහුගිය ටිකේ කතාබහ කලා ද? කොහේ හරි ගියා ද? ”
ගිහාරා ආමායාව අත ඇරලා කෙලින් වුණා. අමායා මේ අහන්නෙ යශේන් ගැන ද?
‘‘ ආන්ටි… යශේන් ගැන ද අහන්නෙ ”
‘‘ එහෙනම් ඒ ඔක්කොම ඇත්ත. ”
‘‘ ආන්ටි මොනවද ඇත්ත? මොනවද මේ කියන්නේ? ”
අමායා හංසකගෙ ෆෝන් එක කෙල්ලට පෙන්නුවා. ඒ ෆොටෝස් දකිද්දී ගිහාරාගෙ කඳුළු ආයෙත් අලුත් උනා.
‘‘ අනේ ආන්ටි.. හංසක හිතන්නේ වැරදිවට… මෙතන එහෙම දෙයක් නෑ. ”
‘‘ ගිහාරා. ඔයා හංසකගේ හැටි හොඳටම දන්නවනේ. එයා අනිත් කොල්ලෝ වගේ නෙවෙයි. අමුතු විදිහට හිතන්නෙ. ඔය වගේ ෆොටෝ දැක්කම එයාට මොනවා හිතෙනවා ඇත්ද? ”
‘‘ ආන්ටි මාව විශ්වාස කරන්න. යශේන්ගෙයි මගෙයි එහෙම හිතවත්කමක්වත් නෑ . මං කරදරේක වැටුණු වෙලේ යශේන් උදව්වක් කළා මට. එච්චරයි වුණේ. අනික මං යශේන්ව දැකලා තියෙන්නෙත් දෙපාරයි. මේ ෆොටෝ කවුද හංසකට එවලා තියෙන්නෙ? ”
‘‘ ඔයාව මං විශ්වාස කළාට හංසක විශ්වාස කරන එකක් නැහැ ”
‘‘ අනේ අමායා ආන්ටි.මොනවා හරි කරන්න. හංසකගෙ තරහ නිවලා දෙන්න. මං එයාට තේරුම් කරන්නම්. ”
‘‘ දැන් ඔයා කාලා රූම් එකට යන්න. හංසක ගියා. කීයට එයිද දන්නේ නැහැ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා … ”
ගිහාරා හෙමීට පඩිපෙළ නැගලා එයාගේ රූම් එකට ගියා.වෙඩින් ෆොටෝ එකේ වීදුරුව බිඳිලා. ෆොටෝ එක බිම. කෙල්ල ඒක හෙමීට අහුලලා තුරුළු කරගත්තා. ගිහාරා නිදි නැතුව රෑ පුරාම කඳුළුවලින් කොට්ටේ තෙත් කළා. ගිහාරා කොච්චර බලන් හිටියත් හංසක එදා රෑ ගෙදර ආවේ නැහැ. කුල ගෙයි මෙච්චර දුක් විඳින්නේ වෙයි කියලා ගිහාරා කීයටවත් හිතුවෙ නැහැ. ඒත් ගිහාරා තමන්ටම බැනගත්තා… දහස් වරක් පසු තැවුණා.
‘ ඇයි දෙයියනේ මං හංසකට නොකීවේ. මට යශේන් ගැන කියන්නයි තිබුණේ. මගේ වැරැද්ද. අනේ හංසක මට සමාවෙන්න අනේ ප්ලීස් මහත්තයෝ ”
ඒත් ගිහාරාගේ දුක් අඳෝනාව අහන්න හංසක හිටියේ නැහැ. පහුවදා ගිහාරාට ඇකඩමි එකේ නිවාඩු. ඒත් කෙල්ල උදේම ලැහැස්ති වෙලා පහලට බැස්සා.
‘‘ කොහෙද යන්නෙ. ”
අමායා ගිහාරාව දැකලා පාර හරස් කළා.
‘‘ ආන්ටි මම යනවා හංසක හොයන්න. අනේ එයා කොහේ ඉන්නවද දන්නෙ නෑ. සමහරවිට ඔෆිස් එකේ ඇති. මං එයාට කතා කරනවා”
‘‘ ගිහාරා ඔයාට පිස්සුද? ඔෆිස් එකේ ගිහින් පිස්සු නටන්න එපා. හංසකගෙ හැටි දන්නේ නැද්ද? ඔයා හදන්නෙ රටේ ලෝකෙ මිනිස්සු ඉස්සරහා හංසකට ලැජ්ජා කරන්නද? එයාට තියෙන පිළිගැනීම නැති කරන්නද ? ”
අමායා ඇහැවෙ කෝපයෙන්. ගිහාරා බයටම හැකිළුනේ අමායා මෙහෙම බලපෑම් කරනකොට කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරුව.
‘‘ අනේ. ආන්ටි… එයා කොහේ ඇද්ද? ආන්ටි දන්නවා නම් කියන්න මට? මට හරි බයයි එයා ගැන. තරහින් කාර් එක ඩ්‍රයිව් කරන්න ඇත්තෙ ඊයෙ. ”
‘‘ වෙන කොහේ ඉන්නද ළමයො. එයා ඊයේ හිටියේ තාරි එක්ක. තාරි උදෙන්ම මට කතා කරලා කිව්වා. ”
ඒක ඇහුනම ගිහාරාගෙ මුළු ලෝකෙම කඩං වැටුණා. ගිහාරා එහෙමම හැරිලා කාමරේට දිවුවා. තවත් එළියට බැහැලා යන්න ගිහාරාට හයියක් තිබ්බේ නැහැ.
‘ හංසක… ඇයි එහෙම කළේ හංසක… ඔයා පොරොන්දුව කැඩුවා. ඔයා තාරි ළගට ගියා. ඔයා පෙරොන්දු වුණා හැමදාම ගෙදර එනවා කියලා. ඇයි මට මෙහෙම කරන්නෙ. මං කොහොමද ඔයා නැතිව ඉන්නෙ. මං ඔයාට කොච්චර ආදරේද කියලා කියන්න මට අවස්ථාවක් නොදෙන්නෙ ඇයි මගේ මහත්තයෝ. ”
හවස් වෙනකල්ම කෑමක් බීමක් නැතිව ගිහාරා කාමරේට වෙලා හිටියා. නැනී අම්මා ඒ දවස් වල වලව්වට ගිහිල්ලා හිටිය නිසා ගිහාරා ගැන විශේෂයෙන් හොයන්න කෙනෙක් හිටියෙත් නෑ. ගෙදර වැඩ කරන නීලටත් අමායා කියලා තිබ්බේ ගිහාරාගෙ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ නිසා ඒ අයත් ගිහාරා ගැන හෙව්වේ නැහැ.
ගිහාරා හංසකගෙ ඔෆිස් එකට කෝල් කළාට හංසක ඔෆිස් එකට ඇවිල්ලා හිටියේ නැහැ. අමායාගේ දුව ගිහාරාට තේ එකක් හදල ගෙනත් දුන්නා. පුංචි වුනාට එයාටත් ගිහාරාගෙ වේදනාව දැනුනා. ඒත් එයාලට කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. රෑ එකොළහ වෙද්දි හංසක ගෙදර ආවා.
හංසක රූම් එකේ දොර ඇරිය ගමන් ගිහාරා ඇඳෙන් ඔලුව ඉස්සුවා. ඒත් එදා ගෙදර ආවේ වෙනදා හිටපු හංසක නෙමෙයි. ඇස් දෙක හොඳටම රතුම රතු වෙලා. වැනි වැනී ගිහාරා ළගට ආපු හංසක ගිහාරාව ඇඳට තද කරගත්තා. හංසකගෙ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ. කොල්ලා දත්මිටි කනවා. ඊලග මොහොත ගැන අවිනිශ්චිතතාවයකින් ගිහාරාගෙ මුළු හිතම සලිත වුණා. ගිහාරාට කතා කර ගන්නවත් පණ නැහැ.
‘‘ ගිහාරා… උඹ මාව විනාස කලා. ඇයි එහෙම කළේ මට… ඇයි එහෙම කලේ මට ? ”
හංසක ඇහැවෙ ගිහාරාගෙ මූණටම ළංවෙලා. ගිහාරාට ඉවසන්න බෑ විස්කි ගඳ… අප්පිරියයි… කාලා හිටියෙ නැති නිසා ඔක්කාරෙට වගෙත් එනවා. ඒත් කෙල්ල දරාගෙන හිටියා. හංසක හිටියෙ ඊයෙ ඇඳුම් පිටින්මයි. පිළිවෙලට ලස්සනට හිටපු කොල්ලා එක දවසට විනාශ වෙලා. ගිහාරා අමාරුවෙන් හඩ අවදි කළා.
‘‘ අනේ! හංසක එහෙම දෙයක් නෑ. මාව විශ්වාස කරන්න ”
‘‘ උඹ මගේ විශ්වාසය බින්දා ගිහාරා. දන්නවද? හංසක කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරලා නෑ. ඒ වුණත් උඹට පණ වගේ ආදරේ කළා. දැකපු දවසෙ ඉඳලා ආදරේ කළා. මං හිතුවෙ මං උඹට ආසයි කියලා… ඒ වුණාට පස්සෙයි මට තේරුණේ ඒක ආදරේ කියලා… උඹ අර කාෂ්ටකේ කෑම්ප් ගිහින් දුක් විඳිනවට මං කැමති වුණේ නෑ… උඹ මගෙ නෙළුම් මල කියලයි මං මගෙ යාළුවොන්ට කිව්වෙ. දන්නවද මං උඹෙ ගැන කොච්චර ආඩම්බර වුණා ද කියලා. මගෙ යාළුවන්ගෙන්වත් උඹට බැල්මක් වැටෙනවට මං කැමති වුණේ නෑ. මට ඕනෙ වුණේ උඹව රැක ගන්න. මං හිතාගෙන හිටියෙ උඹ හරි අහිංසකයි කියලා. මමයි මෝඩයා.
කියනවා ගිහාරා. උඹ කැමති හැමදේම මං ගෙනත් දුන්නේ නැද්ද? උඹ ආස දේවල් දුන්නේ නැද්ද? උඹ එදා උණ හැදිලා ඉද්දි මං මුළු රෑම නිදි මැරුවේ නැද්ද? ”
ගිහාරාගෙ කඳුලු වැල් අලුත් වුණා. ඒ ඔක්කොම ඇත්ත. ලඟදි දවසක ගිහාරාට උණ හැදිලා ඉද්දි හංසක මුළු රෑම හිටියේ ඇහැරගෙන.
‘‘ඇයි මගේ ආදරේ මදි වුණේ? මගේ ආදරේ තිබ්බ අඩුව මොකක්ද? මං කවදාවත් වචනෙන් ආදරෙයි කියලා කිව්වෙ නෑ. ඒ වුණාට මම ආදරෙයි කියලා උඹට දැනුනෙ නැද්ද? මගේ ආදරේ දැනුනේ නැද්ද? ඇයි එහෙම කලේ? වෙන මිනිහෙක් ළගට යන්න තරම් මොකද්ද මගෙ තිබ්බ අඩුව ”
හංසක ගිහාරාව අත ඇරලා බිම වාඩිවුණා. ගිහාරා කවදාවත් හංසකගෙ ඇස් වල නොදැක්ක කඳුළක් කොල්ලගෙ ඇස්වලින් කඩාගෙන වැටුණා. ගිහාරාත් හංසක ළගින්ම බිම වාඩි වුණා. කොල්ලා පිස්සෙක් වගේ අඩනවා.
‘‘ ගිහාරා.. උඹෙ සල්ලි මට දුන්නු හින්දද එහෙම කළේ. ”
‘‘ අනේ හංසක මට සමාවෙන්න.. මං වැරැද්දක් කරලා නෑ මහත්තයෝ.. මගෙ ජීවිතේ ඔයා විතරයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. මං කියන දේ අහන්න. ප්ලීස් ”
‘‘මට කිසි දෙයක් අහන්න ඕනෙ නෑ. මගෙන් කිසි සමාවක් නෑ ගිහාරා. උඹේයි මගෙයි බැඳීම ඉවරයි. ඉවරෙටම ඉවරයි. හංසක මැරිලා. එච්චරයි. දැන් මගේ ඇස් දෙකට පේනනෙ නැතිව උඹ පලයන් මෙතනින් මාව මිනීමරුවෙක් නොකර. පලයන් මෙතැනින් ”
‘‘ හංසක ”
‘‘ උඹට ඕනෙ මං ජීවිත කාලෙම හිරේ විලංගුවෙ වැටෙනවා දකින්නද? ඒක ද ඕනෙ. එතකොට උඹට හරි ලේසියිනෙ. ”
‘‘ අනේ හංසක… ඔහොම කතා කියන්න එපා දෙයියනේ. මගෙ පපුව පැලෙයි. ”
‘‘ ගිහාරා… උඹ යනවද නැද්ද? ”
හංසක යටිගිරියෙන් කෑ ගැහුවා. ගිහාරා හුස්ම අල්ලගෙන කටත් වහගෙන එතනින් එළියට ආවා. ගිහාරා එදා මුළු රෑම හිටියෙ සාලෙ සෙටියෙ ගුලි වෙලා. ගිහාරාගෙ දුක සැප හොයන්න කවුරුවත් හිටියේ නැහැ. ගිහාරාට හැම දේ ගැනම තිබුණේ කලකිරීමක් විතරයි. කෙල්ලගෙ ඇස් එක මොහොතක් පියවුණේ නෑ. පාන්දර පහ පහුවෙන කොටයි යාන්තම් ඇස් දෙකට නින්ද ආවෙ. පහුවදා උදේ අමායා ඇවිත් ගිහාරාව ඇහැරෙව්වා.
‘‘ මොකද ළමයො මේ. මෙතනද නිදා ගත්තෙ. ”
‘‘ අනේ ආන්ටි. හංසක ඊයේ රෑ බීලා ආවේ. මට ගොඩක් කෑ ගැහුවා. ”
‘‘ මට ඇහුනා ළමයො. ඒත් මං මොනව කරන්නද? මට පවුල් ප්‍රශ්න වලට කතා කරන්න බැහැනේ. ඔයා මේ ප්‍රශ්නෙ ගැන ඔය ළමයගෙ දෙමව්පියෝ දැනුවත් කළොත් හොඳ නැද්ද? ”
‘‘අනේ ආන්ටි… මං කොහොමද කටක් ඇරලා මේවා අම්මලාට කියන්නේ. අනික අපේ අම්මලා මේවා එච්චර ගණන් ගන්නෙ නෑ. ”
‘‘ ඔව්… ඒකත් ඇත්ත. එක අතකට ඉතිං අම්මලා ඔයා ගැන හොයන්නෙ නැහැනෙ දැන්. කොහොමත් එයාලා ඔයාව අත්හැරලා ඉන්නේ දැන් ”
ගිහාරා අමායා දිහා බැලුවෙ වික්ෂිප්තව.
‘‘ ආන්ටි. ඇයි ඔයා ඒ වගේ දෙයක් කිව්වෙ. ”
‘‘ කොහොමත් එයාලා ඔයාගේ ඇත්ත දෙමව්පියෝ නෙවෙයිනේ ගිහාරා. එයාලට ඔයා ගැන වගක් නැහැ. ”
අමායා කියද්දී ගිහාරා දැනුනේ ඔලුව මැදටම අකුණක් ගැහුවා වගේ.ගිහාරා අමායා ආන්ටිගෙ අත තද කරලා අල්ල ගත්තා.
‘‘ ආන්ටි… මොකද්ද ඒ කියපු කතාව ”
‘‘ දෙයියනේ කෙල්ල. ඔයා ඒවා ගැන දන්න නැද්ද? ”
අමායා ඇහැවෙ පුදුම වුණ බවක් පෙන්නලා.
‘‘මොකද්ද ආන්ටි. මොකක්ද ඒ කතාව? මට ඇත්ත කියන්න”
‘‘ ඇත්තටම ගිහාරා මං හිතුවෙ ඔයා ඒක දන්නවා ඇති කියලා. ඔයා හදාගත්ත දරුවෙක් කියලා ”
‘‘ මොනවද මේ කියන්නෙ ”
‘‘ ඕවා අමතක කරන්න. ඕවා ඔහොම තමයි. ”
අමායා එතනින් නැගිටින්න හැදුවා.
‘‘ නෑ.. නෑ.. ආන්ටි. මට දැනගන්න ඕනෙ ඔක්කොම. මොකක්ද ඔයා ඒ මට කිව්වෙ. ඇයි මට බොරු කියන්නෙ? ”
‘‘ බොරු නෙවෙයි ළමයො. බොරු නම් ඒ රෙකෝඩ් එක අහන්නකො. මේ වගීෂගෙ වොයිස් එක නෙවෙයිද කියලා ”
අමායා ළග තිබ්බ ෆෝන් එකේ රෙකෝඩ් එක ගිහාරාට අහන්න සැලැස්සුවා. ඒකෙන් එඩිට් කරපු කොටසක් විතරයි අහන්න සැලැස්සුවේ. අමායාට ඕන දේ ඕනවටත් වඩා හොඳින් සිද්ධ වෙමින් පැවතුණා. ගිහාරා හිටියේ තුෂ්ණිම්භූත වෙලා. ගිහාරාට කරන්නේ මොනවද? වෙන්නේ මොනවද ? කිසිම දෙයක් හිතාගන්න හිතා ගන්න බැරුව හිටියේ.
‘ වගීෂ රංගනාථ මගෙ තාත්තා නෙවෙයි. ඒ අම්මා නෙවෙයි. මෙච්චර කල් ඇයි ඒක රහසක් විදිහට තියා ගත්තෙ. එයාලා මට වෙනස්කම් කළේ , මාව නොසළකා හැරියෙ ඒකයි. මාව බලෙන්ම හංසකට බැන්දුවෙ මගෙන් නිදහස් වෙන්න ද? ඇයි මට මෙහෙම වුණේ. හංසක… ඔයාත් මට නැති වුණා. ’
‘‘ ගිහාරා. ඔයා කොහෙද යන්නෙ ඔය? ”
ගිහාරා උමතු ගතියෙන්ම ගෙදරින් එලියට බැස්සා. අමායාගෙ කටහඩ කෙල්ලට ඇහුණෙ නෑ. ඒ ගමන්ම තමන්ට අදාල කෙනාට අමායා මැසේජ් එක දුන්නා. අමායා ඔක්කොම ගාණට ප්ලෑන් කරලා තිබ්බෙ. ඒ තත්පරයට පඩිපෙළ නැගලා උඩට ගියපු අමායා කොල්ලව ඇහැරව ගත්තා .
‘‘ හංසක… හංසක… නැගිටින්න.. ඔහොම නිදාගෙන ඉඳලා හරියනවද? ”
‘‘ ම්…. ගි…ගිහා..රා ”
හංසක දෙඩෙව්වෙ නිදිමතේ.
‘‘ ගිහාරා තමයි.. අර බලන්න… අර බලන්න.. එන්න”
ජනේලේ ළඟ ඉඳලා කලබලෙන් කතා කරපු අමායා ලඟට හංසක ගියේ ඇසුත් පොඩි කර කර. ජනෙලෙන් පල්ලේහා දැක්ක දර්ශනෙන් හංසකගෙ ආයෙත් යක්ෂාවේශ වුණා. ගිහාරා කතා කර කර හිටියෙ කොල්ලෙක් එක්ක. ඒ ෆොටෝ එකේ හිටපු කොල්ලා. ගිහාරා කොල්ලා ආපු වාහනේට නැග්ගා.
‘‘ ආන්ටි. මං උන් දෙන්නවම මරනවා. මගේ ගේ ඉස්සරහටම ඇවිත්, මගෙ ඇස් ඉස්සහදිම ඌ එක්ක යන්න තරම් ඒකිට හයියක් ආවෙ කොහොමද? ”
‘‘ ඔව් හංසක… ඔයා හරි. ඒ කෙල්ල කොහොමත් නැහැදිච්ච එකියක්. ඒකිව අමතක කරන්න. දැක්කනෙ ඒ කොල්ලත් එක්ක පැනල ගියපු හැටි. ”
අමායා එහෙම කිව්වට ඇත්තටම උනේ වුනේ හෝන්දු මාන්දු වෙලා එලියට බැස්ස ගිහාරාව යශේන් බලෙන්ම වාහනේට නග්ග ගත්ත එක. එවෙලේ ගිහාරා හිටියේ ලොකු කම්පනේකින්. එයාට කිසිම දෙයක් ගැන වගක් තිබුණේ නැහැ. අසිහියෙන් වගේ කිසිම දෙයක් ගැන තීරණයක් ගන්න බැරි මානසිකත්වෙක හිටපු ගිහාරාට සිද්ද වෙන දේවල් ගැන දැනුමක් නොතිබ්බ ගාණයි.
‘‘ හංසක… මට සමාවෙන්න පුතා.. මායි වැරදි.. ඔයාට ඒ කසාදෙ කරලා දුන්නෙ මං. ඩව්රි එකට වුණත් එහෙම දෙයක් නොකර ඉන්න තිබුණා. ”
හංසක බිත්තියට තදින් පාරක් ගැහැවා.
‘‘ ආන්ටිගෙ වැරැද්දක් නෑ. මං ඒකි ගැන හිතපු එකයි වැරැද්ද. මට සල්ලි වලට වඩා ඒකිව වටිනවා කියලා හිතපු එක… ශිට්… නැත්නම් මට මේ තරම් වේදනාවක් නැතිවෙයි. ”
අමායා කාමරෙන් පිට වුණා. හංසකගෙ ලෝකෙ හත්කඩකට පැලුනා වගේ. කොච්චර වුණත් මෙච්චර දෙයක් හංසකට දරාගන්න බැහැ. මොන දේ සිද්ධ වුණත් ගිහාරා නැතුව ඉන්න හංසකට පුළුවන් කමක් නැහැ.
ගිහාරා ගියා කිවුවහම ඇස් දෙකෙන් දැකලත් හංසකට විශ්වාස කරන්නත් බැහැ. ඒ වුණත් යන කෙනෙක් පස්සෙන් ගිහින් නතර කරගන්න හංසකට වුවමනාවක් තිබ්බේ නැහැ. කොල්ලා එහෙමම ඇඳට වැටිලා ආපහු ඇස් දෙක පියා ගත්තා.