මුළු රෑ පුරාම නිදන්න දැඟළුවාට කොල්ලට නිදා ගන්න හම්බුණේම නෑ. ගිහාරා ඊයෙ බොන්න එපා කිව්ව නිසා කොල්ලට ක්ලබ් එකට යන්න හිතුණෙත් නෑ. අන්තිමේදී හිතත් එක්ක මාර ෆයිට් එකක් දීලා කොල්ලා ෆෝන් එක ඔන් කළා. ඒත් හිතුව විදිහට ගිහාරාගෙන් කෝල් ඇලට් නම් ආවෙ නැහැ.
‘‘ මේකිට මාව මතක් වෙන්නෙ නැද්ද එතකොට ”
හංසක ගිහාරාගේ නම්බර් එකට කෝල් එකක් අරගත්තා. ගිහාරා කොච්චර රිං වුණත් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. දැන් නම් හංසකට ඉන්නම බෑ. කොල්ලා එහෙමම කාර් එකේ යතුර අරගෙන පල්ලෙහාට බැස්සා.
අමායා ඇන්ටි එයාගේ ගෙදර කට්ටියත් එක්ක හරි හරියට කතාවක්. හංසක දැක්ක පාර අමායා ආන්ටි හංසකට අඬ ගැහැවා.
‘‘ හංසක පුතා. එන්නකො. අපි මේ වෙඩින් එක ගැන ප්ලෑන් කරන්නේ. අපි නෑදෑයොන්ටත් එන්න කිව්වා. ලබන සතියේ තියෙන්නෙ කියලා ඔයාට කිසි කරදරයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. මං හැමදේම බලාගන්නම්. පුතා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ගිහාරාගේ දේවල් ඔක්කොම මම හොයලා බලලා කරලා තියෙන්නේ. එයාටත් කියන්න. ”
අමායා ආන්ටිගෙ කියවිල්ල කොල්ලට කන් කරච්චලයක්.
‘‘ ආන්ටි මම පොඩ්ඩක් එළියට යනවා ”
කොල්ලා බැරිම තැන එළියට බැස්සා.
ගිහාරාගෙ ගේ ඉස්සරහා හංසක හෝන් කරනවා. සිකුරුටි හංසකගෙ කාර් එක අඳුනගෙන දඩිබිඩි ගාලා ගේට්ටුව ඇරියා. හංසකගෙ කට නලියනවා සිකුරුටිට මොනවා හරි කියන්න. ඒත් කොල්ලා ආයාසෙන් තරහ පාලනය කරගෙන ගේ ඇතුලට ගොඩ උනා.
යනකොටම දැක්කෙ පැහැසර එක්ක වෙඩින් කාඩ් සිලෙක්ට් කර කර හිටිය ගිහාරාව. හංසක දැක්ක ගමන් ගිහාරා හංසකගෙ ළඟට ආවා.
‘‘හංසක පුතා. කොහොමද? පුතත් ආපු එක හොඳයි. ඔන්න දැන් දෙන්නම එකතුවෙලා වෙඩින් කාඩ් සිලෙක්ට් කරන්න. අපිට කාලය ඇත්තෙම නැහැ ”
වගීෂ රංගනාථ හංසකගෙ පිටට තට්ටුවක් දැම්මා.
‘‘ඔව් අංකල්. මාත් ආවේ ඒකට තමයි. ”
කොල්ලා අමාරුවෙන් හැඟීම් හංගගෙන උත්තර දුන්නා.
‘‘හංසක එන්නකෝ. මේ පැහැසර. මගේ මාමගේ පුතා. මං ඔයාට කිව්වේ දවසක් වලව්වේ දී ”
ගිහාරා එහෙම කියද්දි තමයි හංසකට මීටර් උනේ මේ ගිහාරාගෙ මස්සිනා කියලා. හංසක වෙනසක් නැතුව පැහැසරට අත දුන්නා.
‘‘ කොහොමද මස්සිනා අඳුනගැනීම සතුටක්. ඉස්සෙල්ලා කාර් එකෙන් බැස්සෙවත් නෑනේ. ”
පැහැසර කිව්වේ ලෙන්ගතු විදිහට.
‘‘ මට හදිසි කෝල් එකක් ආවා. ඒකයි මං ගියෙ”
‘‘ හංසක පුතාට බොන්න මොනවා හරි හදන්න කියන්න නැනීට ”
අම්මා කිව්ව නිසා ගිහාරා එතනින් කිචන් එක පැත්තට ගියා. පැහැසර හංසකව කතාවට අල්ල ගත්තා. ඒත් හංසකගෙ ඇස් තිබ්බෙම කිචන් එක පැත්තෙ.
‘‘ දන්නවද හංසක. ගිහාරා හරි අහිංසකයි. හරිම හොඳ කෙල්ලක්. උඹ හරි වාසනාවන්තයි. ”
පැහැසර කිව්වේ හිතේ තිබ්බ අවංකම හැඟීම. හංසක ඒවට හූ මිටි තිබ්බා විතරයි. කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. නැනී අම්මා වැඩ නිසා හදලා දුන්න තේ එක ගිහාරාම ඇරගෙන ආවා. හංසක තේ එක ඇරගෙන හිමීට බොන්න පටන් ගත්තා.
‘‘හංසක පුතා. හෙට අමායාත් එනවා කිව්වා. හෙට වැඩ ගොඩක් තියෙනවා. දෙන්නගෙ ඇඳුම් ලෑස්ති කරගන්න ඕන හෙට. සාරි එකත් ඇරගෙන පුතාගේ කිට් එකත් බලන්න ඕනේ. හොටෙල් නං අමායා බුක් කරලා තියෙන්නෙ. ඒවා ප්‍රශ්නයක් නැහැ. තව ෂොපින් කරන්නත් ඕනේ. පැහැසර පුතත් ඉන්නවානේ. ඒ නිසා වැඩ ඔක්කොම ඉක්මණට කරගන්න පුලුවන් වෙයි ”
ගිහාරාගෙ අම්මා කියද්දී හංසක ගිහාරා දිහා බැලුවා. ගිහාරා මොකුත් නොකියා බිම බලා ගත්තා..
‘‘ ආන්ටි. මට දැන් යන්න ඕනේ. අපේ ගෙදරත් ගොඩක් වැඩ. ඒ අස්සෙ මම නිකමට වගේ මෙහෙ ආවෙ ”
හංසක හිස් කෝප්පෙ ටීපෝ එක උඩින් තියලා නැගිට්ටා
‘‘ දුව. හංසක පුතාව කාර් එක ළඟට ඇරලලා එන්න එහෙනම්. පැහැසර පුතා මේ ඩිසයින් එකත් හොඳයි නේද? ”
ගිහාරා අම්මා කියපු නිසා හංසක එක්ක එළියට ආවා. කාර් එක ලඟට ආවා විතරයි හංසක කෙල්ලව කාර් එකට හේත්තු කරගත්තා. කොල්ලා වටපිට බැලුවේ සිකුරුටි අංකල් කොහෙද කියලා බලන්න. ඒත් සිකුරුටි අංකල් ඒ වෙනකොට පේන්න හිටියේ නැහැ.
‘‘ හංසක ”
‘‘ තමුසෙව අල්ලගන්නමයි මං ආවේ. වෙලාවට ගෙදර කට්ටිය හිටිය නිසා අද බේරුණා කියලා හිතාගන්නවා.”
කොල්ලාගෙ ඇස් රතු වෙලා. බලන්නත් බයයි. ගිහාරාට හිතාගන්න බැහැ කොල්ලාට මොනවා වෙලාද කියලා.
‘‘ ඇයි හංසක මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ. ”
‘‘ වෙලා තියෙන්නේ..වෙලා තියෙන්නෙ මොනවද කියලා තමයි මටත් හිතාගන්න බැරි ”
‘‘ අනේ මං ඔයාට කෝල් කළා. ඒ උනාට ඔයා ෆෝන් එක ඕෆ් කරලා”
‘‘ තමුසෙ හින්දා තව පොඩ්ඩෙන් මං අදත් හිරේ යනවා”
‘‘ඇයි? ”
‘‘ ඇයි තමයි. මොකද අරූව දැක්කම පැනලා ගිහිල්ලා බෙල්ලේ එල්ලුණේ ”
‘‘කාගෙද ? ”
‘‘ තමුසෙගෙ ඇවැස්ස මස්සිනාගෙ ”
‘‘ බෙල්ලෙ එල්ලුනේ නැහැනෙ. අනේ ඇත්තටම මට හරි සතුටක් දැනුණා. පැහැසර අයියා දැක්කෙ ගොඩක් කාලෙකින්. එයා ඉන්නේ රට. මට ඇත්තටම ගාණක් තිබ්බෙ නෑ”
‘‘ තමුසේ මාව කසාද බදින්න ඉඳිද්දි වෙන කොල්ලෙක් ළඟට ඔහොම පැනගෙන ගියාම, මට මොකද හිතෙන්නේ කියලා නිකංවත් හිතුනෙ නැද්ද? ”
‘‘ සොරි.. ඒක වැරදියි තමා. ඒත්.. එතකොට ඔයා තාරිකා එක්ක ඉන්නේ. එව්වා හොඳයිද? ”
හංසකට තරහ පාලනය කර ගන්න බෑ. කොල්ලා කෙල්ලගෙ නිකටින් රිදෙන්නම තදින් ඇල්ලුවා.
‘‘ කට වහගෙන හිටපන්. මං කරන්නේ මට ඕන දේ. උඹ ආයෙ පැහැසර එක්ක ඕනවට වැඩිය ගණුදෙනු කරොත් මම නරකයි කියන්න එපා. හෙට ශොපින් කරන්න පැහැසර එක්ක ආවොත් මං ඕකගෙ හොම්බ තලනවා. තමුසේ මගේ හැටි හොඳටම දන්නවනේ. මං හිතුණු දේ කරන මිනිහා ”
හංසකගෙ තර්ජනය ලේසි පහසු වුණේ නැති බව කෙල්ලට තේරුණා. ඒත් මොකද කරන්නේ. හෙට පැහැසර අයියා එනවනෙ..
‘‘ අනේ හංසක. අම්මා මට කිව්වා පැහැසර අයියාවත් එක්ක යන්න කියලා. අමායා ආන්ටිත් එනවානේ”
‘‘ මට ඔය බයිලා වැඩක් නෑ. තමුසෙ ඌ එක්ක යන්න බෑ එච්චරයි ”
‘‘ හංසක මෙච්චර ඉක්මනට වෙඩින් එක ගන්නවා කියලා ඔයා දැනගෙන හිටියද? ඇයි මට කිව්වේ නැත්තේ? මම දන්නේ පැහැසර අයියා කිව්වට පස්සේ. ඒකත් මෙහෙට ආවට පස්සෙ ”
‘‘ මං ඕවා දන්නෙ නැහැ ඕයි. අමායා ආන්ටි තමයි ඔක්කොම තීරණය කරලා තියෙන්නෙ. මොනවා උනත් ඒ කිව්ව විදිහට වැඩේ වෙයි ”
‘‘ එතකොට තාරිකා ”
‘‘ තමුසෙට තාරිගෙන් ඇති වැඩක් නෑනේ. තාරි ඔය හිටියාවයි.. ”
‘‘ ඇයි ඔච්චර නපුරු. හංසක. ඔයාට මගේ හිත තේරෙන්නෙ නැද්ද ? ”
‘‘ මට කාගෙවත් හිත් වලින් ඇති වැඩක් නෑ. ”
කොල්ලා ගිහාරා අතඇරලා කාර් එකේ දොර ඇරියා . කෙල්ල කොල්ලගෙ අතේ එල්ලුණා .
‘‘ තරහින් නේද ඔය. යන්නෙ කොහොමද? ඩ්‍රයිව් කරන්න හොඳයිද මේ මහ රෑ ”
‘‘ මොකක් උනාම තමුසෙට මොකද? අර ඉන්නෙ එකෙක්. හුරතල් කරනවා ඌව.. ”
‘‘ ඇයි හංසක වැඩකට නැති දේවල් වලට රණ්ඩු වෙන්නේ. තරහින් යන්න එපා. හොඳ මහත්තයානේ ”
ගිහාරා අහිංසක විදිහට එහෙම කියද්දී හංසකට තවත් තරහ හිතේ තියාගෙන ඉන්න බැරි වුණා. කොල්ලා එහෙමම ගිහාරගෙ නළල් තලේ මත දෙතොල් තිබ්බා..
‘‘ යන්නම්.. ”
හංසක කාර් එක ස්ටාට් කරගත්තා.
‘ මට ඔයාව තේරුම් ගන්න බෑ හංසක. ඔයාගේයි මගෙයි මේ බැඳීම මොකක්ද? අපි දෙන්නට කසාද බැඳලා සතුටින් ඉන්න පුළුවන් වෙයි ද? ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නේ? මොකක් උනත් මටත් ඔයාව අමතක කරන්න බෑ. මගේ හිතෙත් ඔයාට දැන් ලොකු ඉඩක් වෙන් වෙලා. ඒත් අපි දෙන්නම ඒ ගැන කතා කරන්නෙ නෑ.. ’
ගිහාරා හිටියේ වේදනාවෙන්. ළඟදිම මනමාලියක් වෙන්න ඉන්න කෙල්ලෙක්ගේ හිතේ තියෙන සන්තෝසෙ ගිහාරාගෙ හිතේ තිබුණේ නැහැ. පැටලුණු ගතියක් විතරයි කෙල්ලගෙ හිතේ ඉතුරු වෙලා තිබ්බේ.
‘ හංසක කියන්නෙ දහඩබ්බරයෙක්. එයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුලුවන්ද? ’
පහුවදා වෙඩින් එකේ වැඩ වලට ගිහාරා ,අමායා , ගිහාරාගෙ අම්මා එක්ක පැහැසරත් ආවා. ගිහාරාට පැහැසරව නවත්තන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. වෙඩින් සාරි එක ගන්න ගිහිල්ලා අමායා හංසකට කෝල් කළා ඒ තැනට එන්න කියලා.
හංසක පැය භාගෙකින් තැනට ආවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකේ වෙඩින් සාරි තියෙන කොටසට ඇතුළු වෙනකොටම කොල්ලා දැක්කෙ පැහැසර එක්ක හිනා වෙවී ඉන්න ගිහාරාව.
පැහැසර වෙඩින් සාරි එකක් ඇරගෙන ගිහාරට පෙන්නනවා. ගිහාරා ගුණ දොස් කියනවා. ඇත්තටම ගිහාරා දන්නේ නැහැ අමායා දැන් හංසකට එන්න කියලා කෝල් කළා කියලා. හංසක ගිහාරා ළඟට යන්නෙ නැතිව පැත්තකට ගිහින් ගිහාරාගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.
‘‘ හෙලෝ ”
ගිහාරා පැහැසරගෙන් ටිකක් ඈතට ගියා. ගිහාරාට ෆෝන් එක ආන්සර් කරන්න ලැබුණේ නැහැ. හංසක කඩන් පැන්නා.
‘‘ මං තමුසෙට කිව්වා නේද පැහැසර එක්ක එන්න එපා කියලා. තමුසෙ දැම්ම මං කියන දේ අහන් නැත්තං, මැරි කළාට පස්සෙ කොහොම වෙයිද? ”
‘‘ අනේ හංසක. ප්ලීස්. අහන්නකො. මං මොකද කරන්නෙ? අම්මා තමයි පැහැසැරට එන්න කීවේ ”
‘‘ මං කිව්වනේ මට ඕවා වැඩක් නෑ කියලා. තමුසෙ වෙඩින් සාරි එකත් ඌට කියලා සිලෙක්ට් කරගෙන ඌවම කසාද බැඳ ගන්නවා. හරිද? ”
‘‘ අනේ හංසක අහන්නකො. ඔයාට මොනවද වෙලා තියෙන්නේ ? ”
හංසක කෝල් එක කට් කරලා එහෙමම එළියට ගියා. හංසකට මේ හිත තවම තේරුම් ගන්න බැහැ. හංසකගෙ හිත පුරාම දිව්වෙ ඉරිසියාව. ගිහාරාගෙ අඳුරු වුණු මූණ දැක්කම පැහැසරට හිතුනා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා .
‘‘ ඇයි සුදු නංගි? මොකක්ද ප්‍රශ්නේ? ”
‘‘ නෑ මේ නිකන්.. අවුලක් නෑ ”
‘‘ ළමයො ඉක්මනට සාරි එක සිලෙක්ට් කරන්න. තව වැඩ ගොඩක් තියෙනවා නේද? හංසක එනකල් ඉන්න බෑ ”
පැහැසර කරුණාවෙන් කීවා. අමායා කෙල්ලව එයාගෙ සැලොන් එකටත් එක්ක ගිහින් තමයි ආපහු ගෙදර යන්න දුන්නේ. අමායා ආන්ටිගෙ කතාබහ, සැලකිලි ඔක්කොම ගැන ගිහාරා ගොඩක් සතුටු වුණා. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලයි කෙල්ල හිතුවේ. ගිහාරා ගෙදර ගිහිල්ලා හංසකට කෝල් කළා. ඒත් හංසක නෙමෙයි ෆෝන් එක ආන්සර් කළේ. කොල්ලා හිටියේ තරහින් පුපුර පුපුර .
දවස් ගණන් ඉගිලිලා ගිහින් වෙඩින් එක දවසත් උදා වුණා. ගිහාරාට හිතාගන්න බැහැ. හංසක නිකංවත් බලන්න ආවේ නැහැ. ඒ මදිවට කෝල් එකක්වත් දුන්නේ නැහැ. ගිහාරා ගත්ත එක කෝල් එකක්වත් හංසක ආන්ස්වර් කළේ නැහැ. හංසකව තේරුම් ගන්න ගිහාරාට බැරි වුණා.
‘ ඇයි හංසක ඔයා ඔච්චර නපුරු. ’
ගිහාරා යැව්ව එක මැසේජ් එකකටවත් හංසක උත්තර දුන්නේ නැහැ. පැහැසර එක්කගෙන ආපු එකට හංසක පළිගත්තේ එහෙමයි.
ලා දම් පාට සුදු පාට මිශ්‍ර වෙන විදිහට සැරසිලි වලින් අලංකාර කරපු ලස්සන හොටෙල් එකකට ගිහාරා අඩිය තිබ්බා. සැලුන් එකේ පාන්දර ඉඳලා ඇඳගෙන ගිහාරා ලස්සන මනමාලියක් වෙලා හිටියා. සාමාන්‍යයෙන් වෙඩින් වල උදේම ෆොටෝස් ගන්නවා. ඒත් හංසක ඒවා මොනවත් එපා කියලා තිබ්බා. ඒ නිසා කෙල්ලට කෙලින්ම යන්න වුණේ හොටෙල් එකටමයි. හොටෙල් එකේ රූම් එකක ඉදලා වෙඩින් හෝල් එකට කෙල්ලව එක්ක ගියේ පැහැසර.
‘‘ සුදු නංගි අද හරි ලස්සනයි. මට හරි සන්තෝසයි. ”
පැහැසර කිව්වෙ හැමදාම වැඩිමහල් අයියා විදියටම හිතේ තිබ්බ ආදරේ නිසා. මේ වෙඩින් එකේ වෙන වෙඩින් වල වගේ දෙවනි මනමාලියෝ පිරිවර එහෙම හිටියෙ නෑ. හංසක ඔව්ට කැමති වුණේ නෑ.
ගිහාරා ලැජ්ජාවෙන් හිනා වුණා. හෝල් එකට ඇතුළුවන ගිහාරා දිහාවට හැමෝගෙම ඇස් යොමු වුණා. ගිහාරාගේ අම්මත් ඇවිල්ලා ගිහාරාගේ අතින් අල්ලගත්තා. ඒ වෙනකොට හංසක පෝරුවට නගින්න ලෑස්තියි. ගිහාරා ඇස් උස්සලා කොල්ලා දිහා බැලුවා.
කොච්චර දවසකින් ද දැක්කේ? සුදු පාට ෆුල් සූට් එකට කොල්ලා හරිම කඩවසම්. කොච්චර තරහින් හිටියත් හංසක කෙල්ල දිහා බලනකොට ඒ තරහ නිවිලා ගියා. නෙළුම් මලක් වගේ ලස්සන ඒ රත් දෙකොපුල් අද බාහිර ආලේපන නිසා රෝස පාට වෙලා. ගිහාරා යන්තම් හිනා වුණා. ඒත් හංසක රැව්වා. ගිහාරා ඊට පස්සේ හංසක දිහා බැලුවෙම නෑ. බිම බලාගෙනම හිටියා. පෝරුවේ චාරිත්‍රත් පටන් ගත්තා.
ඡායාරූප ශිල්පියාට ඕන විදිහට හැමදේම සිද්ධ වුණා. දෙන්නා සෙටියෙ ඉඳගෙන ඉන්නවා. ඒත් දෙන්නගෙන් කවුරුවත් කතා කරන්නේ නැහැ. ඊළඟට ඡායාරූප ශිල්පියාගෙන් හංසකට බේරෙන්නම බැරි වුණා. ඒ නිසා හොටෙල් එක ළඟ තිබුණු ලස්සන පරිසරය ලඟට දෙන්නට යන්න සිද්ද වුණා.
කැමරාවට හිනාවෙන හංසක හොරෙන් කෙල්ලට ඔරවනවා. වෙලාවකට ගිහාරාට හිනා යන්නත් එනවා මේ නාඩගමට. ඡායාරූප ශිල්පියා කිව්වට පස්සේ ගිහාරාගේ කම්මුල් කිස් කරන්න කියලා, ඒක නං හරිම කැමැත්තෙන් හංසක බාරගත්තා. ගිහාරා ලැජ්ජාවේ ඇඹරෙනවා.
හංසක හැමෝම එක්ක හොඳින් කතා කළා.. හිනා උනා.. සතුටු වුණා.. අන්තිමේදී සිංදු වලට නැටුවා. ඒත් කෙල්ල එක්ක නෝ කතා නෝ සිනා. ගිහාරාට දුක නොහිතුනා නෙවෙයි. ඒත් කෙල්ල ඔහේ පාඩුවේ හිටියා. හංසකටම ඇතිවෙලා මේ පළිගන්න එක නවත්තයිනෙ කියලා.
ජෝඩුව සමුගන්න වෙලාවේ ගිහාරට දැනුනේ ලොකු දුකක්. එයාට දාලා යන්න බැරි කෙනෙක්ට හිටියේ නෑනී අම්මා විතරයි. ගිහාරා නැනී අම්මාව බදාගෙන අඬනවා. ගිහාරාගේ අම්මයි තාත්තයි පැත්තක ඉඳල බලාගෙන ඉන්නවා.
‘‘ අනේ නැනී අම්මේ. මට බෑ යන්න. ”
‘‘ මගෙ සුදු නෝනේ. ඔයාට වරදින්නේ නෑ. මහත්තයා නෝනෙට ආදරෙයි. මම එනවනේ නෝනෙ බලන්න ”
නැනී අම්මා කෙල්ලගෙ හිත හැදුවා. හංසක කාර් එකට නැගලා හෝන් කරනවා. හංසක ගැන දන්න නිසාම ගිහාරා ඉක්මණට කාර් එකට නැග්ගා. හංසක මේ කොහේ කාර් එක අරගෙන යනවද කියලා ගිහාරා දන්නේ නැහැ. ගිහාරා කාගෙන්වත් අහන්න ගියෙත් නැහැ. දැන් යන්නේ කොහේහරි හොටෙල් එකකට කියලා නං කෙල්ල දන්නවා. ගිහාරා කියලා කෙනෙක් එහා සීට් එකේ නෑ වගේ තමා හංසක ඩ්‍රයිව් කරන්නෙ. ගිහාරාට දුකයි.. දුකට වැඩිය දැන් කේන්තියි. මුළු දවසම තරහින් හිටියා මදි ද? අදට සතියයි කතා නොකර..
‘‘ මේක නවත්තනව ද ? ”
හංසක ඇහුනෙ නෑ වගේ ඩ්‍රයිව් කළා. දැන් ටික ටික රෑ වී ගෙන එනවා.
‘‘හංසක මේක නතර කරන්න. මට බහින්න ඕනේ. ”
ඒ පාර හංසක කාර් එක පැත්තකට කරලා නතර කළා. ගිහාරා ඇස් ලොකු කරගෙන හංසක දිහා බලාගෙන හිටියා. හංසක සද්දයක් නැතිව පාරේ ඈත බලාගෙන ඉන්නවා.
‘‘ හංසක.. මම බහිනවා ”
‘‘ බහිනවා ඉතිං. මං අල්ලන් හිටිය ද? ”
කොල්ලා රවාගෙන කෙල්ලට කිව්වා.
‘‘ අනේ හංසක. දැන් ඔය පළිගත්තා ඇති නේද? දැන් ඔය තරහ අමතක කරන්නකො ”
‘‘ මොකටද මං පළිගන්නේ. තමුසේ බැහැලා යනවා ”
‘‘ මාව තනියම මඟ දාල යනවද” ?
‘‘දැන් බහින්න ඕනේ කිව්වේ. ඇයි? අරූ එනවා කියන්න ඇති මඟ ”
‘‘ පව් කතා කියන්න එපා හංසක. පැහැසැර කියන්නේ මගේ මාමගේ පුතා. මගේ මස්සිනා බව ඇත්ත. එයා මගේ සහෝදරයෙක්. හැමදාටම ඒක එහෙමයි ”
ගිහාරාට දැන්නම් හොඳටම කලකිරිලා තිබ්බේ. හංසක ඇයි කිසි දෙයක් තේරුම් ගන්නෙ නැත්තෙ ?
‘‘ හංසක. ඔයාට මාව ඕනෙ නැත්නම් මටත් ඔයා ඕනෙ නෑ. කොහොමත් මේ කසාදෙට මගේ කැමැත්තක් තිබුණෙ නැහැ.. ඔයාගේ වගේම.. මම යන්නම්. ඔයා පරිස්සමට යන්න. බුදු සරණයි”
ගිහාරා දොර ඇරියා. ඒ එක්කම හංසක ගිහාරාගෙ අත අල්ල ගත්තා.
‘‘ ඉන්නවා.. මං ගෙදරට ගිහින් දාන්නම් ”
හංසක එහෙම කිව්ව පාර ගිහාරාගේ ඇස් වලට කඳුළු පිරුණා. ඒ කඳුළු ඇස් දෙක දකිද්දී හංසකට තවත් හිතේ තරහා තියාගෙන පළිගන්න බැරි වුණා. ඒත් කොල්ලා කෙල්ලව අතහැරලා කාර් එක ස්ටාර්ට් කරගත්තා. අමායා ආන්ටි හොයලා දුන්න හොටෙල් එකට යනකල්ම කොල්ලා සද්ද කළේ නැහැ. කෙල්ල හිතුවේ මේ ගෙදර එක්කරගෙන යනවා කියලා ඒත් හෝටලේ දකිද්දී නම් කෙල්ලට හිතුනා දැන් හංසක තරහ නැතුව ඇති කියලා. ඒ එක්කම බයකුත් නොදැනුනා නෙවෙයි.
කපල් එක හොටෙල් එකට ඇතුළු වෙද්දිම ලස්සන රතු රෝස මල් පොකුරක් ගිහාරාගේ අතට හම්බුනේ ඒකේ මැනේජ්මන්ට් එකෙන්. වෙල්කම් ඩ්‍රින්ක් එකක් එක්කම වෙන් කරපු රූම් එකට දෙන්නව ඇරලුවා. ගිහාරා බයවෙලා කණ්ණාඩිය ඉස්සරහ බලාගෙන ඉද්දි හංසක කළේ පුරුදු විදිහටම බ්ලේසර් එක ගලවලා දාලා පැත්තකට විසික් කරලා ඇඳට පත බෑවුන එක.
කොල්ලා සනීපෙට ඇදේ නිදාගෙන ඉන්නවා දැක්කම නම්, ගිහාරාට නිකම්ම හිනාවක් ආවා. වෙලාවකට පොඩි එකෙක් වගේ. ගිහාරාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කොහොමද කොණ්ඩෙ කටු ගළවන්නේ කියලා. අමායා ආන්ටිගෙ සැලුන් එකේ හිටපු අක්කා කොණ්ඩෙට මොනා කළාද දන්නෑ. ගිහාරා බැන බැන හෙමීට කොණ්ඩ කටු ගැලෙව්වා. හංසකගෙ ගැඹුරු හුස්ම සද්දෙ කෙල්ලට ඇහෙනවා. කොල්ලා හොඳටම නිදි.
රූම් සර්විස් එකෙන් කෑම ගෙනත් දුන්නට ගිහාරාටත් කන්න හිතුණෙ නැහැ. ගිහාරා වොෂ් එකක් දාගෙන හංසක ළඟට ආවා. හංසක හොඳට නිදි. තවම සපත්තු දෙකත් එහෙමමයි . ගිහාරා හෙමිහිට සපත්තු දෙක ගැලෙව්වා. නිදාගෙන ඉන්නකොට නම් නපුරු පාටක් නැහැ. බොහොම අහිංසක පාටයි. ගිහාරා එකපාරටම ඇතිවුණු හැඟීමක් නිසා හංසකගෙ නළල මත දෙතොල් තිබ්බා. ගිහාරා නොසිතුව විදියට හංසක ඇස් ඇරියා. කොල්ලගෙ මූණෙ හිනා කටයි. කොල්ලා එහෙමම ගිහාරාව ඇඳට පෙරළ ගත්තා.
‘‘ මොකක්ද ළමාතැනී තැන කරන්න හැදුවේ. මාව අවුස්සන්න නේද? ඉන්නේ නම් මහ උපාසිකාව වගේ. ඒ උනාට හිත. ශී ශී… හරිම කැතයි. නිදාගෙන හිටපු මට මොනවද කරන්න හැදුවේ? ”
හංසක ඒ ඇස් වලට එබුණා.
‘‘ ඔයාට පිස්සු හංසක. ඔයා නිදි නිසා මමත් නිදාගන්න හැදුවේ. නිදාගෙන ඉන්න කොට නම් ඔයා හරි අහිංසකයි. හා පැටියෙක් වගේ. මට පව් කියලා හිතුනා ”
‘‘ හා… ඒකද ඉම්බේ.. ”
‘‘ අපෝ නැහැ ”
‘‘ එහෙනම් ”
‘‘ දවස තිස්සේ දාඩිය ගදේ ඉන්නේ කොහොමද බලන්න තමා ලං උනේ ”
කෙල්ල කිව්වේ යටි තොල හපාගෙන
‘‘ ඔහොම ඉන්නවකො මං වොශ් එකක් දාගෙන එනකං. දාඩිය ගඳ පෙන්නන්න. ”
කට කොනට හිනාවක් ගත්තු හංසක කෙල්ල ළගින් ඈත් වුණා. හංසක ආපහු එද්දි කෙල්ලට හොඳටම නින්ද ගිහින්.
උදේ ඉඳලා සාරිය බරට බරේ උස්සගෙන හිටපු හැටි කොල්ලා දැක්කා. ඒවගේම නෑදෑයො කී දෙනෙක්ට වඳින්න වුණාද? තරහින් වගේ හිටියට කොල්ලා කෙල්ලගේ හැසිරීම ඔක්කොම බලාගෙනයි හිටියෙ. කෙල්ල හිටියේ ගොඩක් මහන්සියෙන් කියලා කොල්ලා දන්නවා. ඒ නිසා හංසක නිහඬව ගිහාරව තුරුළු කරගෙන නින්දට වැටුණා.
ගිහාරා උදේ නැගිටිද්දී හංසක පේන්න හිටියේ නැහැ. ඊයේ රෑ තමන්ට එහෙමම නින්ද ගියා කියලා ගිහාරාට මතක් වෙද්දි කෙල්ලට පුදුමයි.
‘ ඇයි හංසක මාව ඇහැරෙව්වේ නැත්තෙ. හංසක කොයි දැන් ? ’
කාමරය පුරා හෙව්වට හංසක හිටියේ නෑ. ගිහාරා ඉක්මණට වොශ් එකක් දාගෙන ඇඳුමක් දාගත්තා. ගිහාරා හෙමීට පහලට බැස්සේ හංසක හොයාගෙන. ගිහාරාට හංසක හමුවුණේ ගාර්ඩ්න් එකෙන්. හොටෙල් එකට ඇවිල්ලා හිටපු පිටරට ෆැමිලි එකක පිරිමි ළමයි තුන් දෙනෙක් එක්ක හංසක ක්‍රිකට් ගහනවා. ඒ පොඩි ළමයි එක්ක හංසක හරි සතුටින් හිටියේ. ගිහාරාව දැකපු හංසක ගිහාරාට ෆ්ලයින් කිස් එකක් පා කළා. කොල්ලා බැට් එක පෙන්න පෙන්න කෙල්ලට අඬගහනවා. බැට් එක හොල්ල හොල්ල ඔලුව වනනවා.
ටිකකින් ගිහාරා ආපහු රූම් එකට ගියා. හංසක කොහොම කොල්ලෙක් ද? ගිහාරාට තාම තේරුම් ගන්න බැහැ. ගිහාරා නැනී අම්මාට කෝල් එකක් ඇර ගත්තා. කෝල් එක ඉවර වෙද්දිම හංසක දාඩිය පෙරාගෙන ආවා.
‘‘ කවුද කතා කළේ? පැහැසර ද?
කොල්ලා රවනවා.
‘‘ නැනී අම්මා කතා කළේ. සැකයි නම් බලන්න ෆෝන් එක. ”
කෙල්ල කිව්වේ තරහින්. තවමත් හිතේ තියෙන්නේ සැකය විතරයි.
‘‘ඇයි මහත්තයෝ මට මෙහෙම කරන්නේ? ”
අත්දෙකින්ම මූණ වහගෙන ඇඳේ මුනින්තලා වෙලා ගිහාරා අඩන තාලෙට හංසකට දුක හිතුනා. කොල්ලා ගිහාරාගෙ අත් දෙක මූණෙන් ඈත් කළා.
‘‘ සොරි බබා මට ටිකක් තරහ ගියා. ”
‘‘ ටිකක් ද තරහ ගියෙ? ඔයා සතියක් තිස්සේ මගෙන් පලිගන්නවා ”
‘‘ හරි හරි. දැන් ඕවා අමතක කරන්නකො. ඒක නෙවෙයි. අද දවල්ට පොඩි ගමනක් යමුද? ”
‘‘ කොහෙද? ”
‘‘ අර ඔයා කැමතිම ගායකයා ෂෝ එකකට එනවලු ”
කොල්ලා එහෙම කිව්වහම කෙල්ලගේ ඇස් දිලිසුනා. කෙල්ල එහෙමම හංසකගෙ පපුවට වාරු උනා.
‘‘ තෑන්ක්ස්. ”
ගිහාරා හිමිහිට මිමිණුවා.
ෂෝ එකත් බලලා, හැම තැනම ඇවිදලා දෙන්නා ආපහු හොටෙල් එකට ආවා. දෙන්නම හිටියේ හරි සන්තෝසෙන්. වොෂ් එකක් දාගෙන දෙන්නම ලෑස්ති වුණේ හොටෙල් එකේ තියෙන ඩාන්සින් ඉවෙන්ට් එකට යන්න.
හංසක ගිහාරාට ඒකට අඳින්න දණහිසට වෙනකල් කොට නිල් පාට ගවුමක් අරං දුන්නෙ මගින් එද්දි. හොටෙල් එකේ මැනේජ්මන්ට් එක දෙන්නා උදේ එළියට යනකොට හවස තියෙන ඒ ඉවෙන්ට් එක ගැන කියලා තිබ්බෙ. ගිහාරා නම් ඒ ගවුමට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මොකද කෙල්ල කැමති නෑ කොටට අඳින්න.
හංසක බැල්කනි එකේ ඉඳලා එද්දි ගිහාරා කණ්ණාඩියෙන් බල බල ගවුම පහළට අදිනවා. හංසක පිටවෙන්න ආව හිනාව අමාරුවෙන් ගිල ගත්තා. කොල්ලාත් නිල් පාටම ෂර්ට් එකක් ඇඳලා.
‘‘ හරිද? ලෑස්ති ද? යමුද? ”
ගිහාරා කණ්ණාඩියෙන් එයා දිහා බලං ඉන්න හංසකට රවනවා.
‘‘ මට නම් බෑ හංසක. මේක කොටයි. මේ බලන්න කරත් ගොඩක් කපලා. මං ඉඳගන්නෙ කොහොමද? පඩිපෙළ බහිද්දි ලැජ්ජාවෙ බෑ. ”
‘‘ පිස්සුද? ඒ ගවුමට ඔයා මාර හැඩයි. අර ගොඩේ ටයිප් ඇන්දට වඩා කොච්චර ලස්සනද? අනික ඔය ගවුම කොට නෑ..මගෙත් එක්කනෙ යන්නෙ? ”
හංසක ගිහාරාව වටේට කරකව කරකව හැඩ බලනවා.
‘‘පර්ෆෙක්ට් ”
කොල්ලා කිව්වෙ සන්තෝසෙන්. හංසකගෙ ෆෝන් එක රිං වුණු නිසා කොල්ලා කෙල්ලව අතඇරියා. අමායා ආන්ටි කෝල් කළේ.
‘‘ ආන්ටි කියන්න”
‘‘ පුතේ කොහෙද ඉන්නේ? ”
‘‘ අපි හොටෙල් එකේ. ඇයි? ”
‘‘ පුතේ පොඩි කරදරයක්. තාරිට සනීප නැහැ. ”
‘‘ ඇයි? තාරිට මොනවා වෙලාද? ”
තාරිගෙ නම ඇහුණ ගමන් ගිහාරා කලබල වුණා.
‘‘ තාරිට හොඳටම උණ. පුතේ පුළුවන් නං ඔයාලා දෙන්නා එන්න ”
අමායා කියද්දී හංසකට කරගන්න දෙයක් නැතිවුණා. මොනව වුණත් තාරිට කාත් කවුරුවත් නෑ කියලා හංසක දන්නවා .
‘‘ ඇයි? ”
ගිහාරා හෙමීට හංසකට ළං වුණා.
‘‘ ගිහාරා ඇඳුම් ලෑස්ති කරගන්න. අපි යමු දැන්. ”
හංසක එහෙම කියද්දී ගිහාරාට ගොඩක් දුක හිතුණා.
‘ තාරිකාත් එක්ක තියෙන මේ බැඳීම මොකක්ද? එතකොට මම කවුද? මෙහෙම ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ’
හිතේ වේදනාව වචනයට පෙරලන්නෙ නැතුව, අහිංසක කෙල්ල ඒක විඳ දරා ගත්තා. කොල්ලා කිව්ව විදිහටම සද්ද නැතිව ඇඳුම් ටික ලැස්ති කරගත්තා.
කොල්ලට කෙල්ලගේ හැඟීම් නොතේරෙනවා නෙවෙයි. කොල්ලා ඇඳුම් බෑග් එක වහන ගිහාරාව තුරුළු කරගෙන බිත්තියට හේත්තු කරගත්තා. හංසකගෙ දීප්තිමත් දෑස දිහා බලන්න බැරුව කෙල්ල බිම බලා ගත්තා.
‘‘ ඇයි මගෙත් එක්ක රණ්ඩු නොවෙන්නෙ? ඇයි මගෙන් අහන්නෙ නැත්තෙ ඇයි යන්නේ කියලා? ඇයි එපා කියලා කියන්නේ නැත්තේ? ආ…. ”
කොල්ලා අහන ප්‍රශ්න වලට උත්තර කෙල්ල ළග තිබුනෙ නෑ. කඳුළු අතරින් දිලිසෙන ඒ ඇස් පියන් කොල්ලා සිපගත්තා. හංසක රතු පාට කම්මුල් වල සුවඳ විඳ ගත්තෙ ආසාවෙන්. හිත උමතු වෙලා වගේ. දැන් කොල්ලට මතක නෑ යන්න ඕනෙ කියලා. කොල්ලගෙ මත් උනු ඇස් ගිහාරාගෙ ඇස් වලට යොමු උනා.
‘‘ හංසක… ”
ගිහාරාට මොකුත් කියන්න නොදී කොල්ලා ඒ දෙතොල් තද කළා. ගමන හෙටට කල් දාලා හංසක ගිහාරාව දෝතට ගත්තා.
———————
විසිල් එකකුත් ගගහා බොහොම සංතෝසෙන් කාර් එක ඩ්‍රයිව් කරන කොල්ලා දිහා බලන්න ගිහාරට ලැජ්ජයි. බලන බලන සැරේට කොල්ලා කට කොනින් හිනා වෙනවා. ඊයෙ රෑ පුරාම වද දුන්නු ඒ උමතු ඇස් වල උමතුව දැන් නෑ. ඒ වෙනුවට තරවටු බැල්මක් විතරයි..
ආදරේ ගැන වදනක් වත් පිට නොවෙන ඒ හිත ගැන කෙල්ලට පුදුමයි. ඒත් ගිහාරාට ඒ ආදරේ දැනෙනවා. කොල්ලා හොයන්නෙ ආදරේ. ගිහාරගෙ හිත පිරෙන්නම දැන් ඒ ආදරේ පිරිලා. ඒත් දෙන්නගෙන් කවුරුවත් ඒ ගැන කතා කරන් නෑ.
ගිහාරාගෙ හීන ලෝකෙ බිඳුනෙ හංසකගෙ ෆෝන් එක රිං වෙද්දි. කොල්ලා ෆෝන් එක ගන්න කියලා ගිහාරට ඇස් වලින් කිව්වා. කෝල් කලේ තාරි. ගිහාරාගෙ මූණ මැලවුනා. හංසක ෆෝන් එක බැලුවා. තාරිකා… හංසකගෙත් මූණ වෙනස් වුණා. කොල්ලා ඒත් ෆෝන් එක ආන්ස්වර් කලා..
‘‘ හංසක. ඔයා ඇයි එන් නැත්තෙ..මං හොස්පිට්ල් අනේ.. ”
‘‘ තාරි..මං එන ගමන්.. ”
‘‘ ආන්ටි කීවෙ ඔයා රෑ එයි කියලා. ”
‘‘ එන්න තමා හිටියෙ. ඒත් රෑ එන්න බැරි වුණා. මට වෙරි වැඩි උනා.. ”
හංසක කට කොනේ හිනාව ගිලගෙන ගිහාරා දිහා බැලුවා. ගිහාරා යටි තොල හපාගෙන අහක බැලුවා.
‘‘ ගොඩේ කෙල්ල එක්ක ඉන්න කොටත් වෙරිද ඔයාට. ”
‘‘ මේ තාරි. තමුසෙ දැන් තේරුම් ගන්නවා. මං බැඳපු මිනිහෙක්. මට තමුසෙව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ.. ”
‘‘ ආ..එහෙමද? බලමුකො එහෙනම්. හංසක…ඔයා නටනවා වැඩියි.. මගේ කට අවුස්සන්නෙ නැතුව ඉන්නවා හොඳද? ”
හංසක කෝල් එක කට් කලා. කොල්ලගෙ මූණ කලු වෙලා. මෙච්චර වෙලා තිබ්බ සංතෝසෙ කොහෙ ගියාද දන් නෑ. ගිහාරා මොකුත් ඇහැවෙ නෑ..හිත තද කරගෙන ඔහේ බලං හිටියා.. හංසක ගිහාරව එයාගෙ ගෙදර ළගින් බස්සලා එහෙමම කාර් එක හරව ගත්තා..ගිහාරා පත්වුණේ අන්ත අසරණ තත්වෙකට. හංසකගෙ ගෙදර ගැන හරි දෙයක් කෙල්ල දැනගෙන හිටියෙ නෑ. ගිහාරා ගෙට ඇතුලු උනා..අමායා ආන්ටි පේන්න නෑ.
‘‘ කවුද?.. ”
ගේ ඇතුලින් ආවෙ නැනී අම්මා වගේම ඒ වයසෙ කෙනෙක්..
‘‘ දෙයියනේ.. මේ අපෙ සුදු නෝනෙනෙ..අර ෆොටෝ එකේ වගේමයි. එන්න නෝනෙ කෝ මහත්තයා .. ”
කෙල්ලගෙ අතේ තිබ්බ බෑග් එක ගන්න ගමන් නීලා ඇහැවා.
‘‘එයා ගියා. හදිසියේ ”
‘‘ එහෙමද? මං නීලා..නෝනෙ යමු උඩ තට්ටුවට..අනිත් අය ගෙදර නෑ. අමායා නෝනා එන්නත් රෑ වෙයි අද.. ”
ගිහාරා හෙමීට පඩිපෙල නැග්ගා. හංසක කොහෙද ගියෙ. ගිහාරා එ් ගැන නොහිතා ඉන්න උත්සහ කළා.. අදින් ඇරඹෙන මේ පාලු ජීවිතේ… හංසක ඉන්නකොට මේ හිත පිරිලා තිබ්බට හංසක නැති වෙලාවට කොච්චර පාලුවක් දැනෙනවද? මේ ටික වෙලාවට කෙල්ලට ඒක දැනිලා ඉවරයි.. රෑ වෙනකල්ම හංසක ආවෙ නෑ..
‘‘ ඩාලිං ඔයා ආවද?. අනේ මට නීලා කෝල් එකක්වත් දුන් නෑනෙ.. ”
අමායා ගිහාරාගෙ කාමරේටම එබුනා.
‘‘ ආන්ටි.. ”
‘‘ ඇයි නිදි පැටියෝ? ”
‘‘ නිකම්..කම්මැලි නිසා.. ”
‘‘ ඔයා කාලා නෑනෙ ඩාලිං.. ”
‘‘ හංසක ආවම කන්නම් ඈන්ටී.. ”
‘‘ අද හංසක එන එකක් නෑ දුව..ඒ නිසා ඔයා කාලා නිදා ගන්න.. ”
අමායා ආන්ටි එහෙම කියල නැලවි නැලවි යන හැටි කෙල්ල බලං හිටියෙ දුකින්.
‘ හංසක ඇයි එන්නෙ නැත්තෙ?’
අහන්න ඕනෙ උනාට කෙල්ල අහැවෙ නෑ.. හංසකගෙ ෆෝන් එකත් ඕෆ්..කෙල්ල එහෙමම ඇදේ හාන්සි උනා….
——————————————
‘‘ තාරි… පිස්සු නටන්න එපා..දැන් තමුසෙට හොඳයිනෙ ”
තාරිකා හොස්පිට්ල් කිව්වට එයාට ලොකු අමාරුවක් තිබ්බෙ නෑ. ඒ නිසා හංසක තාරිකාව ටිකට් කපාගෙන ගෙදර එක්ක ආවා..
‘‘ අනේ හංසක මට බයයි. අද ඉන්නකො..මට රෑට වැඩි උනොත්.. ”
‘‘ මළ ඇණයක්නෙ ඕයි”
‘‘ ඔයා ඉස්සර ඔහොම නෑ හංසක. අමතක කරන්න එපා මං ඔයාගෙ වයිෆ් වෙනවා කියලා. ඔයා ඩව්රි එක ලැබුනට පස්සෙ ඔය ගොඩේ කෙල්ලව ඩිවෝස් කරනවා ”
හංසක තරහෙන් පුපුරනවා.. අමායා ආන්ටිගෙ ප්ලෑන් එක ඒක උනාට දැන් හංසකට ගිහාරව අමතක කරන්න කොහොමත් බෑ.
‘‘හංසක.. පුතේ හොඳට මතක තියා ගන්න. ඔයා ඔය ගොඩේ කෙල්ලට ළං වෙන්නෙ නෑ කියලා මං දන්නවා. ඒත් පරෙස්සමින්. අපි ඩව්රි එක වගේම වලව්වත් අරගෙන තමා කෙල්ලව අයින් කරන්න ඕනෙ..තාරිකා තමා ඔයාට මැච් වෙන්නෙ. කෙල්ල කවදාහරි ටොප් මොඩ්ලර් කෙනෙක් වෙනවා ෂුවර්. එතකොට අපෙ බිස්නස් වලටත් හොඳයි. කීයටවත් ඔය ගොඩේ කෙල්ලගෙ පොත්තෙ රතට අහු වෙන්න එපා. ඒත් ඒ කෙල්ලට වෙනසක් දැනෙන්න අරින්නත් එපා. අපේ වැඩේ කෙරෙන කල් ශේප් එකේ තියාගමු ”
වෙඩින් එකට කලින් දවසෙ රෑ අමායා ආන්ටිගෙ උපදෙස් කොල්ලට දැනුත් ඇහෙනවා වගේ.
‘ ළං වෙන්න එපා කිව්වට මං කොහොමද ළං නොවී ඉන්නෙ. ඒ ඇස් දෙක රතු කම්මුල් දකිද්දි මට පිස්සු වගේ. පලවෙනි දවසෙ රෑ ඉවසන් හිටියට මට හැමදාම එහෙම ඉන්න පුලුවන්ද? ..අනික මොනවා වුණත් එයා මගෙ වයිෆ් දැන්..’
හංසක එයාගෙම හිතත් එක්ක ෆයිට් කලා..
‘‘ හංසක.. ”
‘‘ ආ.. ”
කොල්ලා මේ ලෝකෙට ආවෙ තාරිගෙ ඇමතුමෙන්..
‘‘ තාරි..මං යන්න ඕනෙ..ඔයා දොරවල් වහගෙන නිදාගන්න.. ”
‘‘ මට හෙට ශෝ එකක්. ”
‘‘ පිස්සුද? ..ටිකක් රෙස්ට් කරනවා. ”
හංසක පිටත් උනා. මොනවා වුණත් හංසකට තාරිකා ගැනත් දුකයි. ඒත් කිසිම වෙලාවක ගිහාරාත් එක්ක ඇති වුණා වගේ ප්‍රබල බැඳීමක් තාරිකා එක්ක ඇති වෙලා නෑ. තාරිකා හිටියෙ හංසකගෙ හිතේ බලෙන් අත්පත් කර ගත්තු ඉඩක. ඒත් ගිහාරා මුලු හිතම අරක් ගෙන හිටියෙ හංසකගෙ මුලු ලෝකෙම වෙනස් කරලා. කොල්ලා ගෙදර ඇවිත් රූම් එකට එනකොට රෑ දහයත් පහුවෙලා. කෙල්ල නිදි.
ඒ රත් දෙකොපුල් වල වේලිලා තියෙන කඳුලු පොකුරු වලට කොල්ලා දෙතොල් තිබ්බා.
‘‘ ගිහාරා ඇස් ඇරියා.. ”
‘‘ හංසක.. ”
කෙල්ල එහෙමම ඒ පපුවට බර වුණා. ගිහාරාට කඳුලු නවත්තගන්න බෑ.
‘‘ හංසක.. ”
කොල්ලගෙ ෂර්ට් එකත් තෙමිලා.
‘‘ දැන් නාඩා ඉන්න. මං ආවනෙ.. ”
‘‘ අනේ ඔයා යන්න එපා. මට පාලුයි.. ”
කෙල්ල දැන් බොළඳ පෙම්වතියක් වෙලා..
‘‘ මං ආවනෙ දැන්.. රෑ වෙලා ගොඩක් ”
‘‘ මට විශ්වාසයක් තිබ්බා ඔයා එයි කියලා.. අමායා ආන්ටි කිව්ව ඔයා එන් නැතිවෙයි කියලා.. ”
‘‘ ගිහාරා..මං පොරොන්දු වෙනවා..මං ගෙදර නෑවිත් ඉන්නෙ නෑ කියලා.. ”
හංසක කිව්වෙ කෙල්ලව තදින් තුරුලු කරගෙන.
‘‘ කෑවෙ නෑ නේද? ”
‘‘ ම්හු.. ” කෙල්ල ඔළුව වැනුවා.
‘‘එන්නකො.. මාත් කෑවෙ නෑ.. බඩගිනියි.. ”
හංසක ගිහාරාව පහලට එක්ක ගියා. අමායා රෑ එකොළහට විතර කෑම කාමරේ දිහාට ආවෙ වතුර එකක් අරගෙන යන්න. ඒත් කෑම කාමරේ දොරෙන් දැක්ක දර්ශනෙන් අමායා හිටි තැනම ගල් ගැහුනා. හංසක ගිහාරව තුරළු කරගෙන කෑම කවනවා. අමායා පපුව අල්ල ගත්තා. අමායාට හුස්ම ගන්නත් අමතක උනා වගේ. අමායා එහෙමම ආපහු කාමරේට ගියා..
‘ දෙයියනේ..මේ දවස් දෙක තුනට මේ දෙන්නා මෙච්චර යාලු වුනේ කොහොමද? හංසක ඒ කෙල්ල දිහා බලං හිටපු හැටි. හංසක කිව්වෙ නම් ගිහාරාව ගණන් ගන් නෑ කියලා. ඒත් මේ ඇයි එහෙනම්. බොරුවට ද? කොල්ලා ගෙදරට ඇවිත් අද..මෙහෙම ගියොත් නම් ඔක්කොම අවුල් වෙනවා..’
දෙන්නගෙ සම්බන්ධෙ තවත් දුර දිග යන්න කලින් ඉක්මණට පියවරක් ගන්න අමායා තීරණේ කලා.
————————————————
හංසක ඔෆිස් ගියාම ගිහාරා පාලුවෙන් හිටියෙ. ඒත් නිවාඩුවට ගමේ ගිහින් හිටපු අමායාගෙ දුවයි පුතයි ආවට පස්සෙ නම් හවස් වරුව කෙල්ල හිටියෙ සංතෝසෙන්. දෙන්නම ට්වින්ස්ලා. මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙ කරනවා. එයාලට ගිහාරා හොඳ යාලුවෙක් වගේම, ගුරුවරියකුත් වුණා. හංසකටත් කෙල්ල ගැන පුදුම හිතුණා. ගිහාරා විද්‍යා අංශෙන් උසස් පෙළ කරලා තියෙන්නෙ කියලා කොල්ලා දැන ගත්තෙත් එතකොට.
‘‘ ගිහාරා. බොරු කාරී. ”
දවසක් හංසක ගිහාරාගෙ කනට කෙඳිරුවේ ගිහාරාගෙ වලව්වට ගිහින් පන්සලට යනකොට. කෙල්ල හංසකවත් ලෑස්ති කරගෙන වෙලේ නියර දිගේ පන්සලට ගියා.
‘‘ ඇයි? මං බොරු කියන්නෙ නෑ. ”
ගිහාරා නියර උඩ නැවතිලා හංසක දිහාට හැරුණා.
‘‘ තමුසෙ සයන්ස් කරලා තියෙන්නෙ. හොඳට ඉගෙන ගෙන. මට කිව්වෙ නෑ ”
‘‘ ඉතිං. ඔයා ඇහැවෙ නෑනෙ. ”
‘‘ මං අහන්නම ඕනෙද? ”
‘‘ ඔයා මාව මැරි කළේ මගේ ගැන හොයලා බලලා නෙවෙයිද? ”
ගිහාරා අහද්දි හංසකට තමන් ගැනම දැනුනෙ ලැජ්ජාවක්. ඇත්තටම හංසක ගිහාරා ගැන හොයපු දෙයක් නෑ. හංසක ගිහාරාට ආස වුණේ ඇත්තටම ගිහාරාගෙ ළග තිබුණු ආකර්ෂණේට.
‘‘ පණ්ඩිතකම නම් අඩු වෙලා නෑ නේද තව. සයන්ස් කරලා තියෙන නිසා ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නෙ නේද? ”
‘‘ ඔයා කළේ මැත්ස් නේද? ඔයාට ඉංජිනියර් කෙනෙක් වෙන්නනේ තිබුණේ. ”
‘‘ කවුද කිව්වෙ? ”
‘‘ මං නීලා ගෙන් අහගත්තෙ ”
‘‘ ඕපාදූප හෙවිල්ල ගෑණුන්ගෙ ගතියනේ ඉතිං. මගේ නෝනා කියලා එව්වා වෙනස් වෙනවයැ ”
හංසක කට ඇද කළා.
‘‘ ඇයි හංසක ඔයා ලකුණු තිබිලත් කැම්පස් නොගියෙ. අපරාදෙනෙ ”
‘‘ මං ඕවට ආස නෑ ඕයි. ඒ තියා මේ බිස්නස් එක කරන්නෙත් ආමායා ආන්ටිගෙ මළ වදෙන් ගැළවෙන්න. ”
‘‘ එහෙම හරියනවද? ඔයා හිස් චෙක් අත්සන් කරනවා වෙලාවකට. අනේ මන් දන් නෑ. ”
‘‘ එව්වා වැඩක් නෑ තමුන්ට ”
‘‘ හරි හරි.. දැන් රණ්ඩු නොවී පන්සල් යමු. මොකටද නිකම් හිත නරක් කර ගන්නෙ. ”
‘‘ හ්ම් ”
ආපහු එනකොට නියර මැදදි කොල්ලා ගිහාරාව නවත්ත ගත්තා.
‘‘ එදා මං වැටුණුම හිනා වුණා නේද? ”
හංසක ඇහැවෙ ඇස් දෙකින් එදා වැටුණු තැන පෙන්නලා. ගිහාරාට නිකම්ම හිනා ගියා.
‘‘ ඔය දැක්කද? දැනුත් හිනාවෙනවා.. මං ඕවට පළිගන්නවා. දන්නවද? මං අල්ල ගන්න හිටියෙ. මාව දවසක් අර හිර කූඩුවට දැම්මනෙ. ඒකටත් වාඩුව ගන්න තියෙනවා. මං ඕවා ලේසියෙන් අමතක කරන්නෙ නෑ. ”
‘‘ නපුරු වෙන්න එපා ඔච්චර. පන්සල් ගිහින්වත් ඔය හිතේ නපුරුකම අඩුවෙලා නැද්ද? ”
‘‘ නෑ. ”
‘‘ යමු කෑ නොගහා. ”
හංසක ගිහාරාගෙ අත තදින් අල්ල ගත්තා.
———————————————-
අමායා හිතුවෙ නැති විදිහට හංසක තාරිව සම්පූර්ණයෙන්ම අත ඇරලා දැම්මා. කොල්ලා හත වෙනකොට ගෙදර එනවා.
ක්ලබ් යන්නෙත් නෑ. බීමත් සම්පූර්ණයෙන් නවත්තලා. ඒ මදිවට දැන් නිතරම ඔෆිස් එකේ. තවම කොල්ලා අකවුන්ට්ස් බ්‍රාන්ච් එකට ඔලුව දැම්මෙ නෑ. මේ ඔක්කොම ගිහාරා නිසා කියලා අමායා දන්නවා.
‘ ඔය අම්මණ්ඩි ගොඩේ ටයිප් එකට හිටියට හරි කපටියි. කොල්ලව දැලේ දාගෙන. ඒකිගෙ උපදෙස් තමයි හංසක පිළිපදින්නෙ. කොහෙද? අර තාරි හිටියට පුළුවන්ද ඔච්චර දෙයක්. මෙහෙම ගියොත් ගිහාරා දරුවෙක්වත් හදා ගත්තොත් ප්ලෑන් ඔක්කොම අවුල් වෙනවා. හංසක දැන් මං කියන ඒවත් ගණන් ගන්නෙ නෑ. ’
අමායා හොඳටම අවුල් වෙලා හිටියෙ. අමායා හොද වෙලාවක් බලලා හංසකගෙ ඔෆිස් රූම් එකට ආවා..
‘‘ ආන්ටි..එන්න ඉදගන්න.. ”
හංසක ලැප් එකේ ඔලුව ඔබාගෙනම කිව්වා..
‘‘ පුතා..මං ආවෙ වැදගත් දෙයක් කතා කරන්න.. ”
‘‘ කියන්න ආන්ටි.. ”
‘‘ මට ගෙදරදි කියන්න බැහැ. ”
‘‘ මොකද්ද ආන්ටි”
‘‘ පුතා.. අපි අර ගත්ත ලෝන් එක ඇරියස් වෙලා කෝටි දහයක් ගත්ත ලෝන් එකේ කෝටි පහක්ම දැන් ඇරියස් වෙලයි තියෙන්නේ. බිස්නස් එක දුවන්නෙ පාඩුපිට. මේ ගැන ඉක්මනටම ඇක්ෂන් එකක් ගත්තේ නැත්තං අපි කඩන් වැටෙනවා ”
හංසක ඒපාර දාගෙන හිටපු කණ්නාඩි දෙකත් ගලවලා අමායා දිහා බැලුවා ..
‘‘ ආන්ටි..ඒත් මේ හදිසියේ එච්චර ගානක් හොයන්නෙ කොහොමද? ”
‘‘ කරන්න දෙයක් නෑ පුතා .මං අමාරුවෙන් මේවා කන්ට්‍රෝල් කරගෙන ඉන්නෙ. අනික එයාලා ලීගලි වැඩ කළොත් අපි ලොකු අමාරුවක වැටෙනවා ”
‘‘ ආන්ටි කෝටි පහක් .. ”
හංසක කල්පනා කරනවා.
‘‘ ඕක ඔච්චර හිතන්න දෙයක් නෑනෙ පුතා. වගීෂ මට කිව්වා ගිහාරාගෙ අකවුන්ට් එකට කෝටි දහයක් ඩව්රි එකට දැම්මා කියලා. ඔයා ගිහාරාට කියන්න ඒකෙන් අරං දෙන්න කියලා.. ”
‘‘ ඒත් ආන්ටි.. එක පාරටම ..අපි මැරි කරලත් තව සති තුනයි.. ”
‘‘ පුතා.. අමතක කරන්න එපා.. අපෙ පොරොන්දුව …මේ මැරේජ් එක ගණුදෙනුවක්.. ”
හංසක් හිත දැඩි කර ගත්තා
‘‘ හරි ආන්ටි.. මං එයාට කතා කරන්නම්.. ”
හංසක කිව්වෙ කළකිරීමෙන්..