අවසන් රාත්‍රිය-5කොටස

‘‘තමුසේ ගල් යුගයෙ ද ඉන්නේ . මොකුත් දන්නේ නැද්ද ”

රශ්වින්  ඇහැවෙ සදැසිට  රවන ගමන්

‘‘මං වැරැද්දක් කිව්වෙ නෑනෙ මහත්තයා.. ලස්සනට සිංදුව කිව්වා කියලයි මං කිව්වේ ”

සදැසි කිව්වෙ බොහොම සෝකෙන්.

‘‘හරි හරි. ඒ සින්දුව ඔයාට නියමෙට මැච් වෙනවා ”

කොල්ලගෙ කට කනේ ..සඳසි ඇස් ලොකු කරලා කොල්ල දිහා බලනවා.

‘‘ඇයි ”

‘‘තමුසෙව වතුර බැරල් එක ඔබලා ගත්ත නම් දිය කිඳුරියක් වගේම තමයි.පට්ට ඈ.. ”

කොල්ලා හිතට ආපු සිතිවිල්ල ඒ විදිහටම වචනෙට පෙරළුවා. සදැසිගෙ  මුහුණ ලැජ්ජාවෙන් රතු වුණා

‘‘ජෝක් එකට කිව්වේ හලෝ.. ගණන් ගන්න එපා. කොළඹින් එන්න මෙච්චර රෑ වුණේ මොකද. ගෑනු ළමයෙක් නේද.. කලින් එන්න දන්නේ නැද්ද ”

සදැසි ඒ දුක්බර මොහොත මතක් කලා

 

‘‘වරුවෙන්  නිවාඩු දාන්න තමා හිටියේ මහත්තයා.. ඒත්… ”

සදැසි කතාව නැවැත්තුවා ..කොල්ලගෙ හිතට ආවෙ  කුතුහලයක්

‘‘ ඇයි ඒත් මොකද උනේ ”

‘‘ මැනේජර්  එන්න දුන්නෙ නෑ”

කෙල්ල කීවෙ අකමැත්තෙන්. උත්තර නොදී හිටියොත් මහත්තයාට තරහා යාවි..කෙල්ල බය වුණේ ඒකට.

‘‘ ඒ මොකද ”

‘‘මැනේජර් එහෙම තමයි මගෙත් එක්ක තරහයි.නිවාඩු ඉල්ලපු නිසා තවත් වැඩක් දුන්නා ”

‘‘ඒ මොකද තරහා”

ඒක කොහොමද මහත්තයට කියන්නේ . සදැසි කල්පනා  කරනවා

‘‘මැනේජර්  ඇයි තරහා”

‘‘මැනේජර්  මගෙන් යාලුවෙන්න අහනවා.. ඒත් මං බෑ කිව්වා ”

‘‘මොකද  ඒ. ”

‘‘කසාද බැඳපු මනුස්සයෙක්ට ඇයි මං කැමති වෙන්නේ ”

‘‘මොකක්ද ..ඒ  කියන්නෙ කසාද බැඳලා නැත්තං ඔයා  කැමති වෙනවා.. එහෙමද”

‘‘අපෝ නෑ ..මැනේජර්ට යාළු  ගෑනු ළමයි ගොඩක් ඉන්නවා”

‘‘මේ මට වගේද.. ”

කොල්ලා ඇහැක් ගැහුවා ..සදැසි ඇස් ලොකු කරගෙන ආයෙත් කොල්ලා දිහා බලා  බලනවා.

‘ මහත්තයා එහෙම කොල්ලෙක්ද හම්මෝ හිතන්නවත් බැහැ නේ ’

‘‘බය උනාද කෙල්ලෙ.. ..මං බේබද්දෙක්  තමයි ..ඒ වුණත් මං කෙල්ලො පස්සෙන් යන්නේ නැහැ ”

‘‘මහත්තයා ඔච්චර බොන්නේ  ඇයි”

‘‘ හේතුවක් නෑ පුරුදුවෙලා. ඉස්සෙල්ලම බිව්වෙ යාළුවන්ගෙන් බේරෙන්න බැරිවුණු නිසා. පස්සෙ යාළුවන්ට මගෙන් බේරෙන්න බැරිවුණා.. ”

‘‘අක්මාවක් හොයන්න වෙයි..ඇයි මහත්තයාගේ නෝනා එපා කියන්නේ නැද්ද”

කොල්ලා හයියෙන් හිනා උනා

‘‘මොකද ඔයා එහෙම ඇහැවෙ..දැනගන්න ඕනි මං මැරි කරලද කියල  ද.. තාම මැරි කරල නෑ.. අවිවාහක සිංහල …බොදු.. ගොවි… සත්ගුණවත් ..සුරා සූදුවෙන් තොර අවුරුදු 27ක ව්‍යාපාරික  කඩවසම් තරුණයෙක් ”

කොල්ලා තාලෙට ඇද ඇද ඒක කිව්ව විදිහට සදැසිට බකස් ගාලා හිනා ගියා.. රශ්වින්   ඩ්‍රයිව් කරන ගමන් ඒ හිනාව දිහා  සැරෙන් සැරේ බලනවා

‘‘අනික් ඒවා නම් හරි ..සුරාසූදුවෙන් තොර කෑල්ල කැපුවා නම්. ”

‘‘ අහිංසක වගේ හිටියට කටත් තියෙනවා  නේද.. ”

‘‘මහත්තයාගේ දැන් වෙරි හිදිලා  නේද.. දැන් ගෙදරට යන පාර මතකද ”

‘‘ඇයි අහන්නේ ..නැත්නම් ඔයාල ගෙදර මට අද රෑ නවාතැන් දෙනවද ..මට නම් අවුලක් නෑ.. ”

‘‘අපෙ දුප්පත් ගෙදර මහත්තයා වගේ කොල්ලෙක්ට නවතින්න සුදුසු නෑ මහත්තයා..  මහත්තයට තේරෙයි අපි කොච්චර දුප්පත් ද කියලා ”

ඉන් එහාට දෙන්න අතර කතාවක් වුණේම නැහැ.රිකිල්ලගස්කඩට ආවට පස්සේ සදැසි  ගෙදරට යන පාර  කිව්වා. රෑ 12ට  ගේ ලඟ කාර් එක නතර කරන කොටත් අප්පච්චී දොරකඩට  වෙලා බලාගෙන ඉන්නවා දැකල සදැසිගෙ පපුව හෝස් ගාලා පත්තු වුණා.කාර් එක දකිද්දි අප්පච්චි පිල්කඩ උඩින් නැගිට්ටා . සදැසි කාර් එකෙන් බැහැලා එක පිම්මට අප්පච්චි ළඟට දුවගෙන ගියා

‘‘සදැසි..මගේ දුව මොකද මෙච්චර රෑ උනේ .අන්තිම බස් එකත් ගියා..අද එන් නැතිවෙයි කියලත් හිත හිත මං කෝකටත් මග බැලුවෙ”

අප්පච්චි කාර් එකෙන් බහින කොල්ලා  දිහා පුදුමෙන් බල බල ඇහැවා

‘‘ අනේ අප්පච්චි මට කොළඹින් එන්න රැ උනා..  එනකොට ගමේ බස් එක ගිහිල්ලා ..මං ගොඩක් බය උනා ..මට ලොකු කරදරයක් වෙන්න ගියා. මේ මහත්තයා තමයි මාව බේරගෙන ගෙදරට ඇරලුවෙ”

කෙල්ල සිද්ධ වෙච්ච දේවල් කෙටියෙන් අප්පච්චිට කිව්වා

‘‘අනේ මහත්තයට ගොඩක් පින් මගේ කෙල්ලව පරිස්සමට ගෙදර ඇරලුවාට ..මහත්තයා ගෙට එන්න ..තේ එකක් එහෙම බීල යමු ”

‘‘අන්කල්  මට වෙලා යනවා.. මං යන්නම් . ”

කොල්ලා ලගට නොයා කිව්වෙ…ගියොත් බීපු ගතිය දැනුනොත් කෙල්ලට හරි නැති නිසා..ඇතුලෙන්  මල්ලිලා කෑ ගහලා  අප්පච්චිට කතා කරනවා ඇහුනා

 

‘‘ පුතේ මල්ලිලා ඇහැරිලා වගේ ..මං පොඩ්ඩක් බලලා එන්නම්.. එහෙනම් මහත්තයා ගියාම ගෙට ඇවිල්ලා දොර වහන්ට”

අප්පච්චි හෙමීට ගේ ඇතුලට ගියා.කාර් එකට  හේත්තු වෙලා  රශ්වින් අත් දෙක බැඳගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා ..සදැසි බෑග් එක ගෙදර පිල්කඩ උඩ තියලා කොල්ලා දිහාට හෙමීට ඇවිදගෙන ආවා.. කිව්වා වගේම දුප්පත්කම ගෙයින් පේනවා.. පරණ උළු සෙවිලි කරලා තිබ්බ ගෙදර අවුරුදු ගණනකින් පේන්ට් කරල නැහැ .සදැසි  අත් දෙක එකතු කරලා රශ්වින්ට වදින්න  හැදුවා.. ඒත් කොල්ලා ඒ අත් දෙක අල්ලගෙන කෙල්ලට ඉඩ දුන්නේ නැහැ  වදින්න

‘‘ඉස්සෙල්ලත් මට වැන්ද නේද නංගි .. වැඳුම් ලබන්න තරම් සුදුසු එකෙක් නෙමෙයි මම ”

‘‘ මහත්තයා මට කළේ කවුරුවත් නොකරන උදව්වක්.. මෙච්චර දුරක් වියදම් කරගෙන මහත්තයාගේ වැඩ පාඩු කරගෙන ආපු එක මදිද”

‘‘හා ..වියදම  අවුලක් නැහැ. ඉතින් මට රෑට  වෙන වැඩකුත් නෑ ..ඔයා වගේ ලස්සන කෙල්ලක් එක්කන් ආපු එක නං හැබැයි නරකම නෑ ”

කොල්ලගෙ මූණේ තිබ්බේ දඟකාර හිනාවක්

‘‘ඔයා මට විහිළු කරනවා ”

‘‘දිය කිදුරි . ”

රශ්වින් හිනාවෙවී ඇහැක් ගැහුවා ..කෙල්ල ලස්සනට හිනා උනා

‘‘මං යන්න ද එහෙනම්  ”

‘‘හා…පරිස්සමට යන්න ..මගදී බොන්න එපා ..හොද මහත්තයානේ  බුදු සරණයි”

 

රශ්වින්  එක පාරටම  හිතට දැනුනු සිතුවිල්ල නිසා හෙමිහිට කෙල්ලට ලං වෙලා සදැසි ගේ නලල්තලේ මත දෙතොල් තිබ්බා. සදැසිට දැනුනේ හුස්ම හිරවෙනවා වගේ.. කවදාවත් එහෙම දේකට සදැසි මුහුණ දීලා නෑ..කොල්ලා ඈත් උනා..කෙල්ලගෙ ඇස් වල කදුලු දිලිසෙනවා..

රශ්වින් එහෙමම කාර් එකට නැගලා ස්ටාර්ට් කරගත්තා.. කොල්ලා සයිඩ් කණ්නාඩියෙන් නොපෙනී යන කෙල්ල දිහාම බලාගෙන හිටියා ..

‘ඔයා වගේ අහිංසක කෙල්ලෙක් මං දැක්කමයි සදැසි..දිය කිදුරි…’

කොල්ලා මිමිනුවේ හිතෙන්.

 

🌷🌷🌷🌷🌷

 

සදැසි හවස මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා.. ඊයෙ රෑ ගැන හිතද්දී කෙල්ලට පුදුමයි ..රෑ නින්දට වැටුනට මොකද  මැවි මැවී පෙනෙන්නේ රශ්වින්ගේ මූණමයි ..නැගිට්ට වෙලේ ඉඳලා මතක් වෙන්නෙත් රශ්වින්ව.. ඒ බැල්ම ..ඒ හිනාව ..ඒ කතාව…ලස්සනට  සිංදු කියපු හැටි …නලල සිපගත්ත හැටි..හැමදේම ඒ අන්තිම රාත්‍රියේ දැකපු හීනයක්ද

‘‘දෝනි ”

අප්පච්චි ආපු නිසා කෙල්ල නැගිට්ටා.

‘‘  මං දූ එනකම් බලාගෙන හිටියේ වැදගත් දෙයක් කතා කරන්න… දෝණිගේ අම්මා තමයි හරි නම් මේවා කතා කරන්න ඕනේ .ඒත් .. ”

අප්පච්චි  කතාව නතර කළා.

‘‘කමක් නැහැ කියන්න අප්පච්චි ”

‘‘දෝණිගේ කවුරුහරි මහත්තයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද”

අප්පච්චි අහද්දි සදැසි පුදුම වුණා

‘‘නැහැ”

‘‘එතකොට ඊයෙ  ආපු මහත්තයා.. ”

‘‘ ඒ මහත්තයා තමා මාව ගෙනත් ඇරලුවෙ.. අප්පච්චිට මං සිද්ධ වෙච්ච දේවල් කීවනේ ”

‘‘හ්ම් එහෙමද? ”

‘‘ඇයි අප්පච්චි ”

‘‘දුවගෙ  දැන් කල වයස හරි ..මං දෝණිට කටයුත්තක් බැලුවා ..ගමේ කපු හාමිනේ තමා කතා කළේ . බොහොම වැදගත් පවුලක දරුවෙක්.. හෙට ඒ ගෙදරින් එනව දුව බලන්න”

සදැසි පුදුමෙන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.. මෙහෙම දෙයක් සදැසි හීනෙකින්වත්  හිතුවේ නැහැ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!