අවසන් රාත්‍රිය-4කොටස

 

‘‘එක්කෝ එනවා ..තමුසෙව ගෙදරට ඇරලන්න.. බැරිවෙලාවත් මොකෙක් හරි  තමුසෙව කුදලගෙන ගියොත් ඒ පාපෙත් වැටෙන්නේ මගේ එකවුන්ට් එකට ..අනික ට්‍රැෆික් ඕඅයිසී තාම ඇති අතන.. ”

රශ්වින් කාර් එකෙන් බැහැලා ආපහු එහෙම කියද්දී සදැසිගෙ හිතට සැනසීමක් දැනුනා. සදැසි ඉක්මණින් කාර් එකෙන් ඉඳගත්තා.. මොකද කොල්ලාගේ හිත ආයෙත් වෙනස් උනොත් එහෙම. ටිකක් දුර එනකල් සද්ද නැතුව කොල්ලා ආවා.. කොහොමත් රිකිල්ලගස්කඩට යන්න පැයකට වඩා  ගතවෙනවා.සදැසි  සැරෙන් සැරේ කොල්ල දිහා බලනවා ..කොල්ලට දැන් වෙරි හිදිලා නිසා   හොර ඇහෙන් ඒක පේනවා .

‘‘මොකද හොරෙන් බලන්නේ ”

සඳැසි තත්පරේට බිම බලා ගත්තා .

‘‘ තමුසෙගෙ මොකක් හරි හොරයක් තියෙනවා.. ඒකයි සැරෙන් සැරේ හොරෙන් බලන්නෙ..කියනවා ඇත්ත ..තමුසෙ කවුද”

‘‘මම සදැසි. අනේ මං මහත්තයාට බොරුවක් කලේ නැහැ මහත්තයා . මහත්තයාමනෙ මං වමනෙ දැම්මට පස්සේ කීවේ මම ප්‍රෙග්නන්ට් කියලා”

‘‘හරි හරි හලෝ දැන් ඕක නතර කරමුකෝ.. ඉතින් මට තමුසේ ගැන විස්තර කියනවා. ”

‘‘කියන්න තරම් දෙයක් නැහැ මහත්තයා අපි ගොඩක් දුප්පත් . මගේ අම්මා නැහැ. අප්පච්චි තමයි චූටි කාලෙ ඉඳලම මාව බලාගත්තේ ..මල්ලිලා දෙන්න හම්බ වෙන්න යද්දි අම්ම නැති වුණා.. මං හරි අවාසනාවන්ත කෙල්ලෙක් මහත්තයා”

සඳැසි ගේ ඇස් වල කඳුළු  පිරෙනවා කොල්ලට යන්තම් පෙනුනා .

‘‘ඕවා ඔහොම තමයි හලෝ ..හරි හරි දැන් අඩන්නැතුව ඉන්නවා .. ”

හාරගම හරියට එනකං නිශ්ශබ්දව ආපු රශ්වින් ටිකකින් ප්ලේයර් එක ඔන් කලා. ඒකෙ එච් ආර් ජෝතිපාල මහත්තයාගේ පැරණි ජනප්‍රිය සිංදුවක්  ප්ලේ උනා.. කොල්ලා සිංදුවෙ තාලෙට තට්ටුවක් දදා  සිංදුව කියන්න පටන් ගත්තා. සදසි සැරෙන් සැරේ පුදුමෙන් රශ්වින්  දිහා බලනවා ඇත්තටම රශ්වින්  බොහොම අපූරුවට ඒ සින්දුව කිවුවා

🎶🎶

 

දිය කිදුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ

මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ

කිවමැන ඔබ කවුදෝ ළදේ

🎶🎶

 

කොල්ලා සැරින් සැරේ කෙල්ල දිහා බලනවා.. සදැසි කොල්ලා දිහා බලාගෙන ඉඳලා කොල්ලා බලන වෙලාවට අහක බලනවා.. සදැසිට හිනා යන්නත් එනවා.. හැබැයි රශ්වින්  නම් හිටියේ හරිම සන්තෝසෙන්

🎶🎶🎶

දේහ ලතාවේ රූසිරු වරුණේ නොදැනී මේ නෙත යා වෙලා

දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැගවේවා අද පාවෙලා

ගිනි දැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා

මනසේ ඇදුණා දෙනෙතින් මිදුණා සිහිනය සේ නොපෙනී ගියා

මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා

🎶🎶🎶🎶

 

කොල්ලා සැරින් සැරේ සදැසි දිහාට බර වෙනවා..සදැසි හිනාව තදකරගෙන එළිය දිහා බලාගෙන හිටියා

 

🎶🎶🎶🎶

දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ළංවෙලා

සුපුරුදු සුවදයි ඔබ ළග දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා

හිරු දැක බිදෙනා පිණි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන්වී නොයා

රූ තනි ඉවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා

තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ ඔබටයි මේ පෙම් ගීතිකා

 

🎶🎶🎶🎶

 

රශ්වින්ට හිතුනෙ මේ අවස්ථාවට ගැළපෙනම සිංදුව ප්ලේයර් එකේ යනවා කියලා.. මෙහෙමම අරන් ගිහිල්ලා වතුර බැරල් එකක ඔබලා ගත්ත නං මේ කෙල්ල දියකිඳුරියක් ම තමයි ..කොන්ඩෙත් දිගයි. රශ්වින් ගෙ  කොලු හිතට එක එක ඒවා හිතෙනවා.. දැන්  ප්‍රෙග්නන්ට්  නැති එකේ අවුලකුත් නැහැ ..කොල්ලගෙ කට කොනට නිකම්ම හිනාවක් නැගුණා .මහත්තයා ගෙ මූණට අමුතු හිනාවක්  නැගෙන හැටි සදැසිට පෙනුනා..

‘මහත්තයා  මං ගැන හිතාගෙන ඉන්නෙ වැරදි විදිහට..අනේ  ඇයි අප්පා මටම මෙහෙම වෙන්නෙ. අර මැනේජර්  කාරයත් එහෙමයි.මං කොච්චර  හොදට වැඩ කලත් ඇදයක්මයි හොයන්නෙ..’

‘‘මොකද  බුම්ම ගත්තෙ”

රශ්වින් හිටියෙ කෙල්ල ගැන අවධානෙන්

‘‘මොකුත් නෑ..මහත්තයාට ලස්සනට  සිංදු කියන්න පුලුවන්.. ”

‘‘එහෙමද.. මං ඊලග පාර හිරු ස්ටාර් යන්න ඉන්නෙ .මට වොට් කරනවා හරිද.. ”

ඒ කිව්වෙ මහත්තයා ..ෆෝන් එකක් නැති සදැසි ඕවා දන් නෑ..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!